තිළිණිගේ තාත්තා සෝමවංශ සොයා යනවිට හමු වුණේ ප්‍රේමසිරි බාස්…

5353

තිළිණිට සහෝදරයොම තුන්දෙනෙක්, අම්මයි තාත්තයි අදටත් ජීවත් වෙනවා…
තිළිණිගේ පළමු සැමියා තවමත් ලෙබනන්…
අම්මා, තාත්තට වැටිලා ඉන්න තිබුණු ගෙයත් තිළිණි උකස් කර සින්න කළා…|
තිළිණි පුංචි කාලේ හොර බොරු වංචා නැති හරිම අහිංසක ළමයෙක්…
තිළිණි නොමඟ ගිය නිසා තමයි අපේ පුතා අයින් වුණේ…

තිළිණිගේ පළමු සැමියාගේ ගෙදර උදවිය ඇත්ත කතාව හෙළිකරයි!

තිළිණි ප්‍රියමාලි නාටකය පුදුම දනවන්නකි. එම නාටකය තිරගතවීම ආරම්භ වූ දා සිට එහි ඉදිරිපත්වන ජවනිකා ද හරි අමුතුය. එමෙන්ම විවිධ පුද්ගලයන්ට, භික්‍ෂූන්වහන්සේට මඩ ගැසීමට, රජයේ මගඩි වසා ගැනීමට තිළිණි පියමාලි නාටකය නොයෙක් අයුරින් පාවිච්චි කෙරෙන බව ද සැබෑය. මේ දිනවල එම නාටකයේ අලුත්ම පෙරළිය තිළිණිගේ මවුපියන් කරලියට රැගෙන ඒමය. හොඳින් හෝ නරකින් ජනප්‍රිය වන චරිතවලට දේශපාලන වෙස් මුහුණ පැළඳවීමට උත්සුක වන මෙරට දේශපාලන අනාථයන් තිළිණිගේ අප්පච්චි හැටියට මිය පරළොව ගිය සෝමවංශ අමරසිංහගේ නමත් ඈඳගෙන ඇති බව මාධ්‍යයෙන් අපි දුටුවෙමු. එම පුවත කරළියේ රැව්පිළිරැව් දෙන අතරේ පියමාලිගේ සැබෑ මවුපියන්, ඥාතීන් සොයාගෙන අපි අතුරුගිරියට ගියෙමු.

එම ප්‍රදේශවාසීන්ගෙන් අපට ලැබුණු තොරතුරුවලට අනුව ප්‍රියමලිලා ජීවත් වූ පුංචි නිවස පිහිටා තිබෙන්නේ අතුරුගිරිය, ගෝවින්න මාවතේ කඳුගැටයක් පාමුල, වෙල් යායකට මුහුණලාය. ගම්මුන්ගේ මඟපෙන්වීම මත තිලිණිලාගේ නිවස පිහිටා තිබෙන ඉසව්වට ද අපි ගියෙමු. මනස්කාන්ත, සුවදායක පරිසරයකි. වෙල් යාය දෙසින් හමා එන සීතල සුළං රැළි ගතට අමුතු ප්‍රබෝධයක් ගෙන දුන්නේය. එහෙත් සිත කනස්සල්ලට පත් විය. ඒ පියමාලිලාගේ පුංචි නිවස තිබුණු ස්ථානයේ දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකෙරෙමින් තිබෙන අයුරු දුටු විටය.

“ප්‍රේමසිරි බසුන්නැහැලා ගමෙන් ගිහින් දැන් අවුරුදු ගාණක් වෙනවා. මේ ඉඩම බැංකුවට සින්න වුණා. ඔය තිළිණි ඉඩම බැංකුවට තියලා ණයක් අරගෙන ගෙවාගන්න බැරිව තමයි සින්න වෙලා තිබුණේ. ඉඩම ගත්ත අය නැවත, නැවත විකුණලා තුන්වෙනියට ගත්ත අය පරණ ගේ කඩලා මේ ගොඩනැඟිල්ල හදන්න අරගෙනත් දැන් කාලයක් වෙනවා…”

“ප්‍රේමසිරි බසුන්නැහැ ගුණයහපත් මනුස්සයා. දක්ෂ වඩුවා. ඒ කාලේ හොඳට වැඩ තිබුණා. හවසට එනකොට කටගොන්නක් බී ගෙන ආවත් දරුවන්ගේ ඇඟ පත හෝදලා, උයලා කන්න බොන්න දුන්නෙ ඒ මනුස්සයා. තිළිණිගේ අම්මා කාන්ති රට වටේ ඇවිද්ද මිසක් දරුවන්ව බැලුවේ නෑ. පුංචි කාලේ ඔය දරුවො හතරදෙනාට හරියට කන්න, අඳින්නවත් තිබුණේ නෑ. නොසෑහෙන්න දුක් වින්දා. තිළිණිට වැඩිමහල් පිරිමි ළමයි දෙදෙනයි. බාල තවත් පිරිමි ළමයෙක් හිටියා. පුංචි සන්දියේ තිළිණි වැඩිපුර හිටියේ අපේ ගෙදර. හරි ලස්සන කෙල්ල. ගමටම හිටිය සිරියාවන්ත කෙල්ල. පුංචි කාලේ හරිම අහිංසකයි. හොර, බොරු, වංචා කළෙත් නෑ. දෙන දේ කාලා කියන දේ අහගෙන හොඳට හිටියා. ප්‍රේමසිරි බසුන්නැහැත් කෙල්ලට පණ ඇරලා හිටියේ…”

තිළිණිගේ තාත්තා සෝමවංශ සොයා යනවිට හමු වුණේ ප්‍රේමසිරි බාස්…
කාලයක් තිළිණි ජීවත් වූ සැමියාගේ නිවස

“කෙල්ලෙ පරිස්සම් වෙයන්. දැන් උඹ පොඩි නෑ…” ලස්සනට ඇඟ පත හැදෙනකොට මන්තරයක් මතුරනවා වගේ අපිත් ඒ දරුවට කිව්වා. කෙල්ල හැඩට හැදෙනකොට, අම්මා හොයා බලන්නෙත් නැති වෙනකොට, තාත්තත් බීගත්ත ගමන් ඉන්නකොට ඒ දරුවට අපි අනුකම්පා කළා. පුළුවන් විදිහට උදව් උපකාර කළා. තිළිණි ඉස්කෝලෙ ගියේ කොට්ටාවේ පොඩි පාසලකට. තිළිණිගේ මල්ලි ඉගෙන ගත්තෙ පෝරෙ ගමේ පාසලේ. ඒ දරුවො හතරදෙනාම හරියට ඉගෙනගත්තෙ නෑ. දවසක් ගියොත් ඊළඟ දවසෙ ඉස්කෝලෙ ගියේ නෑ. ළමයින්ට නිසි අධ්‍යාපනයක් ලබාදෙන්න ඒ මවුපියො උනන්දු වුණෙත් නෑ. ඒ දරුවො හතරදෙනාම සාමාන්‍ය පෙළ විභාගයවත් ලිව්වේ නෑ. තිළිණි ඉස්කෝලෙ යන වයසේදීම මේ අහල පහළ පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන කෙටි කාලයකින් කසාදත් බැන්ඳා. මගේ මතෙක හැටියට තිළිණි දීගකන්න ගන්නකොට අවුරුදු දහසයක් විතර ඇති. තිළිණි කසාද බැඳපු පිරිමි ළමයත් හරියට ඉගෙනගත්තෙ නෑ. ඒ ළමයත් දුප්පත් පවුලක දරුවෙක්. ඒ ළමයගේ අම්මත් රට හිටියේ. අයියයි, මල්ලි හැදුණේ තාත්තා ළඟ. ඒ ළමයි පදිංචි වෙලා හිටියෙත් තිළිණිලාගේ නිවසට ගෙවල් දෙකක් එහායින්. ඉදිරියට මුණගැහෙන පාර නෙමෙයි, ඊළඟ පාරෙන් පහළට යනකොට තුන්වෙනි ගේ…”

“ආ… ඔයාගේ වෙලාව හොඳයි. අර පාරේ ඇවිදගෙන යන්නෙ තිළිණිගේ මහත්තයාගෙ අයියා. ටිකක් නූහුගුණ වගෙයි. කාලයක ඉඳලා බෙහෙත් පාවිච්චි කරනවා…” අපට කරුණු පැහැදිළි කළ අසල්වැසි කාන්තාව ඈතින් ඇවිඳගෙන යන කෙනෙක් දෙසට දකුණත දිගු කළාය. ඒ ඇසිල්ලට කමල් බෝගොඩ අත්පොඩියක් ගසා ඔහුව නතර කළේය.

“ඇයි…” ඔහු කතා කරන ස්වරය රෞද්‍රය.

“අපි ප්‍රේමසිරි බසුන්නැහැ හොයාගෙන ආවේ. ඔයා එයාලගේ ඥාතියෙක් කියලා දැනගත්ත නිසා කතා කළේ…” මම ඔහු ඉදිරියට ගියෙමි.

“ඔව්… මගේ මල්ලි බැඳලා තියෙන්නෙ ප්‍රේමසිරි මාමගේ දුව තිලිණි. දැන් නම් කසාදෙ නෑ. මල්ලි රට. ප්‍රේමසිරි මාමලත් ගමෙන් ගිහින් ගොඩක් කාලයක් වෙනවා. මේ කිට්ටුව ගමක කුලියට ඉන්න බවක් ආරංචියි. ගේ තියෙන තැනක් නම් මම හරියට දන්නෙ නෑ…” ඔහු කතාවට උනන්දු බව හැඟේ. අතේ පොඩි මල්ලකි. කඩේ යන බවක් පෙනේ. කොට කලිසමක්, අත්කොට කමිසයකින් සැරසී සිටින ඔහු උසය. කොණ්ඩය කොටටම කපා තිබෙන ඔහු තුළින් වෙනස් ස්වරූපයක් ඉස්මතු වන බව ද සැබෑය. හේ සමන්තය. වයස අවුරුදු හතළිස් නවයකි. තවමත් තනිකඩය.

සමන්ත මොකද කරන්නෙ…? දීර්ඝ කතාවකට මුල පුරමින් මම ඔහුට කෙටි පැනයක් යොමු කෙළමි.

“රජයේ ලියාපදිංචි පින්තාරු, වෑද්දුම් ශිල්පියෙක්. ඉස්සර හොඳට වැඩ තිබුණා. අසනීප වුණාට පස්සෙ පොඩි, පොඩි වැඩ කරගෙන ජීවත් වෙනවා. 2006 අවුරුද්දෙ ඉඳලා බෙහෙත් බොනවා…”

ගෙදර තව කවුද ඉන්නෙ…?

“අම්මයි, මමයි විතරයි…”

දැන් අම්මා ගෙදර ඉන්නවද?

“ඔව්..”

යමුද අපි ගෙදර…?

තිළිණිගේ තාත්තා සෝමවංශ සොයා යනවිට හමු වුණේ ප්‍රේමසිරි බාස්…
සැමියාගේ නිවසෙහි තිළිණිගේ පෞද්ගලික කාමරය

‘යමු…’ අපේ වෑයම සාර්ථකය. සමන්ත ඉස්සර විය. අපි ඔහු පසුපසින් පටු කොන්ක්‍රීට් පාරක කන්ද බැස්සෙමු. නිවාස දෙකක් පසු කර තෙවැනි නිවස අසළ සමන්ත නතර විය.

“මේ තියෙන්නෙ අපේ ගේ. එන්න ඇතුළට. අපි දුප්පත්. තිළිණිගේ සල්ලිවලින් අපිට වැඩක් නෑ…” සමන්තගේ මුව පළල් විය.

එම මාවතේ සියලු නිවාස උස් තාප්පවලින් වට කර, උස් ගෙට්ටු සවි කර තිබිණි. එම නිවෙස් තුළින් නැඟෙන රට බල්ලන්ගෙ ගෙරවිලි ශබ්දවලට දෙසවන ගැස්සිණි. එහෙත් සමන්තලාගේ නිවස තුන් පැත්තකින් වට වී තිබුණේ අසල්වැසි නිවාස වට වූ තාප්පවලිනි. පාර පැත්ත, මල් වැටකි. සමන්තගේ වත්තට ඇතුළුවීමට මහා ගේට්ටු නැත. කඩුල්ල පැන පියවර කිහිපයකින් නිවසය. පුංචි නිවස මිනිස් වාසයට නුසුදුසු තරමටම අබලන්ය. වහළ කඩා හැළෙන තරම්ය. අපි නිවස තුළට ඇතුළු වුණෙමු. මැද සාලය කහළ ගොඩකි. කැඩුණු පුටුවක් මත රෙදි ගොඩක පරණ ටීවී එකකි. තව තැනක වානේ හිස් බඩු පෙට්ටියකි. බැලු, බැලූ තැන අපිළිවෙළය. ක්‍රියාත්මකව පවතින රූපවාහිනිය තබා ඇති කුඩා ස්ටෑන්ඩ් එක අසළ රාමු කරන ලද පින්තූර කිහිපයකි. කහළගොඩක් වූ එම නිවසෙ මකුණුදැල් බැඳුණු පින්තූර අතර දෝලනය වූ මගේ දෑස් දැන හඳුනන මුහුණක් අසළ නතර විය.

මේ තිළිණි නේද? පින්තූර රාමුව අතට ගත් මම සමන්ත දෙසට හැරුණෙමි.

“ඔව්… තිළිණියි, මල්ලියි, දරුවයි… දැනට අපිට ඉතිරි වෙලා තියෙන එකම පින්තූරය. තිළිණි ගෙදරින් යනකොට කිසිම ලියැවිල්ලක්, පින්තූරයක් ඉතුරු කරලා ගියේ නෑ. සේරම අරගෙන ගියා. මේ පින්තූරය රෙදි ගොඩක් අස්සෙ තිබිලා පස්සෙ තමයි අපිට හම්බ වුණේ. මේකත් දැක්කනම් අරගෙන යනවා. එහෙම වුණා නම් අපේ පුතාව දකින්න පින්තූරයක්වත් නැති වෙනවා. මම දන්න විදිහට මල්ලි ළඟ කසාද සහතිකය තියෙනවා. ඒත් මල්ලි එක්ක විවාහ වෙලා හිටිය බවක් තිළිණි කිසිම තැනක කියන්නෙ නෑ…” මගේ අතේ තිබුණු පින්තූර රාමුව කමල් බෝගොඩ අතට දුන්නෙමි. කමල් ක්‍ෂණයෙන් ඉටිකොළ ඉරා දමා පින්තූරය ඡායාරූපගත කර ගත්තේය.

“මේ ඉන්නෙ අපේ අම්මා…

මළගෙදරක ගිහින් ඇවිත් ඇඳුම් මාරු කරගත්තා විතරයි. අම්මේ මේ මහත්තෙලා පත්තරෙන්. තිළිණිලා ගැන විස්තර හොයාගෙන ඇවිත් ඉන්නෙ…” සමන්ත, තම මවට අපව එසේ හඳුන්වා දුන්නේය.

“ආ… හොඳයි. අපිටත් එයා ගැන යමක් කියන්න තියෙනවා. අපිට මුණුපුරා බලන්නවත් ඉඩ දුන්නෙ නෑ. අපේ පරම්පරාව ගෙනියන්න ඉන්න එකම කොල්ලා. දකින්නත් ආසයි…” පාදයක් අදිමින් පැමිණි සමන්තගේ මව පුටුවක් මත හිඳගත්තාය. සමන්ත තවත් පටු දෙකක් ගෙන අප ඉදිරියෙන් තැබුවේය. අප ඉදිරියේ අසුන්ගෙන සිටින වියපත් මව ඇඳගෙන සිටින ඇඳුම් හත් දොහකින් සෝදා පිරිසිදු කර නැති බව දැනේ. නිවස මෙන්ම පදිංචිකරුවන් ද අපිළිවෙළය. මගේ දෙනෙත් මැද සාලයෙන් ඔබ්බට ගියේය. දොර, ජනෙල් රෙදි කිසිවක් නොමැති ඒ නිවසෙ මැද සාලයට ඉදිරියෙන් පුංචි කාමරයකි. එම කාමරයේ පොළොව කැඩි, බිඳී කැට ගල් ඉලිප්පී තිබෙන අයුරු පෙනේ. ඊට යාබද මුළුතැන් ගෙය දෙස බලන්න බැරි තරම්ය. මැද සාලයේ අප අසුන්ගෙන සිටි තැනට ඉදිරියෙන් නිදන කාමරයකි. නිවසටම ඇති එකම නිදන කාමරයයි.

“තිළිණියි, දරුවයි නිදාගත්ත කාමරය. අපි බොහොම අගහිඟකම් මැද තමයි ජීවත් වුණේ. දුප්පත්කමෙන් ගොඩඑන්න තමයි මම ලෙබනන් රටේ ගෘහ සේවයට ගියේ…” වියපත් මව දීර්ඝ කතාවකට අසුන මත හරි බැරි ගැසිණි. ඇය ජානකි මුතුකුමාරිය. වයස අවුරුදු හැත්තෑ එකකි. මෑතක ඇයට අංශභාග රෝගී තත්ත්වය වැළඳී වාසනාවට ඇවිද යෑමට හැකි තරමට සුවපත් වී සිටින්නීය.

තිළිණිගේ තාත්තා සෝමවංශ සොයා යනවිට හමු වුණේ ප්‍රේමසිරි බාස්…

“මම ලෙබනන්වල ඉන්නකොට තමයි අපේ පුතා ඔය කෙල්ල එක්ක යාළු වෙලා කසාද බැඳගෙන තියෙන්නෙ. මම හිටියා නම් ඕක කරන්න දෙන්නෙ නෑ. අහළ, පහළ ගෙදරක අය තමයි රෙජිස්ටාර් කෙනෙක්ව ගෙදරට ගෙනත් කසාද බන්දලා තිබුණේ. එතකොට දෙන්නම කසාද බඳින වයසෙ නෙමෙයි හිටියේ. මගෙ මතෙක හැටියට පුතලා කසාද බැන්දෙ 1990 ගණන්වල. කසාද බැඳලා ටික කාලයක් ඉන්නකොට තිළිණිවත් මම ලෙබනන් රටට ගත්තා. මම වැඩ කරපු ගෙදර මැඩම්ට කියලා තමයි තිළිණිට වීසා හදා ගත්තෙ. ඊට ටික කාලයකට පස්සෙ සමන් පුතත් ලෙබනන් රටට ආවා. පුතාව ගත්තෙ අපේ මහත්තයාගේ ඥාතියෙක්. එතකොට මහත්තයගේ ඥාති කිහිපදෙනෙක්ම ලෙබනන් රටේ ජොබ් කළා. පුතාට හරි හැටි රස්සාවක් ලැබුණේ නෑ. දැන්වීම් පුවරු සකස් කරන පොඩි කොම්පැණියක තමයි පුතා වැඩ කළේ. තිළිණිට රස්සාවක් තිබුණෙත් නෑ. ඒත් දෙන්නට නතර වෙන්න අරගෙන තිබුණ කාමරය හරි විශාලයි. ගොඩක් ඉඩ පහසුකම් තියෙන නිසා මම කල්පනා කරලා ‘ළමයි බලා ගන්න ඩේ කෙයාර් එකක් පටන් ගන්න’ කියලා තිළිණිට කිව්වා…”

“එතකොට ලංකාවේ පවුල් විශාල සංඛ්‍යාවක් ලෙබනන් රටේ ජීවත් වුණා. ගැහැනු, මිනිස්සු රස්සාවට ගියාම දරුවො බලාගන්න කවුරුවත් නෑ. ඒ අයගේ දරුවො ආරක්‍ෂා කරදෙන්න ලංකාවේ කෙනෙක් ඩේ කෙයාර් එකක් පටන්ගත්තොත් විශාල ආදායමක් ලැබෙන බව මට තේරුණා. ඒ දේ සඵල වුණා. තිළිණි වැඩේ පටන් ගත්ත දවසෙ ඉඳලා දවසින්, දවස අලුත් ළමයි එකතු වුණා. හොඳ ආදායමකුත් ලැබුණා. ඒ රටේ ඉන්නකොට පුතයි, තිළිණියි හොඳ පවුල් ජීවිතයකුත් ගත කළා. ඒත් ඒ ජොබ් එක දිගටම කරගෙන ගියේ නෑ. ටික කාලයක් ඉඳලා සල්ලි ටිකක් හම්බ කරගෙන තිලිණි ලංකාවට ඇවිත් දරුවත් හදාගෙන මේ ගෙදර ජීවත් වුණා. පුතා ලෙබනන්වල රස්සාව කරගෙන හිටියා. දෙන්න රටවල් දෙකක ජීවත් වෙනකොට තිලිණි නොමඟ ගියා. දරු පැටියට අම්මෙක්, තාත්තෙක් ඕන නිසා හදාගන්න තිළිණිට, මම හොඳ, නරක කියා දුන්නා. පුතා බැනලා හදන්න හැදුවා. ඒත් අපි කියන කිසිම දෙයක් තිළිණි කණකට ගත්තෙ නෑ. නොහොබිනා ගමන ගියා. පුතා ලංකාවේ ඉන්න සමහර දවස්වලටත් තිළිණි ගෙදර නෑ. පස්සෙ පුතා ලංකාවට එන්නෙ නැතිව ගියා. තිළිණියි, දරුවයි ටික කාලයක් මේ ගෙදර ජීවත් වෙලා හිටි හැටියේ සේරම අකුලගෙන යන්න ගියා. ඒ ගියා ගියාමයි අදටවත් දකින්න ආවේ නෑ…”

එකම මුණුපුරා ගැන ආරංචියක් නැද්ද? ඇයට, මම අතුරු ප්‍රශ්නයක් යොමු කළෙමි.

“තිළිණි ගෙදරින් ගිය දවසෙ ඉඳලා අපේ දරු පැටියා බලන්න බැරි වුණා. ෆෝන් එකකින්වත් වචනයක් කතා කරන්න ලැබුණේ නෑ. මුණුපුරා එක්ක සම්බන්ධතා පවත්වන්න තිළිණි අපිට ඉඩ දෙන්නෙ නෑ. අපිට ආරංචි විදිහට පුතා දැන් ලොකුයි. තිළිණිගේ ඔෆිස් එකෙ වැඩ කරපු බව තමයි ආරංචිය. තිළිණිටත් ඉන්න එකම පිරිමි දරුවා. දෙවැනි කසාදයෙන් දුවලා දෙන්නෙක් කියලා තමයි ආරංචියි. අපේ පුතාට දැන් හොඳ සහාකාරියක් ඉන්නවා. ලෙබනන් රටේ එජන්සියක් කරගෙන යන කෙනෙක්. ඒ දුව, පුතාට විතරක් නෙමෙයි අපිටත් හොඳට සලකනවා. කෑමට, බීමට බෙහෙත් හෙත්වලට සල්ලි එවන්නෙත් දුව. ඒ එවන සල්ලි කෑම, බීම බෙහෙත්වලට වියදම් වුණාට පස්සෙ මේ ගේ කෑල්ල හදාගන්න මදි. ලොකු පුතත් ලෙඩා. රස්සාවක් කරන්න බෑ. පුළුවන් විදිහට අපි මේ ගෙදර ජීවත් වෙනවා. පොඩි පුතයි, දුවයි ලෙබනන් රටේ හොඳ ජීවිතයක් ගත කරනවා. ඒත් තවම දරුවො නෑ. සමන් පුතාගේ පණත් ලොකු දරුවා තමයි. සමන් පුතා එක්ක මුණුපුරා කතා කරනවද නැද්ද යන්න අපි දන්නෙ නෑ. ඒවා ගැන පොඩි පුතා මා එක්ක කතා කරන්නෙත් නෑ…”

“අපේ පුතා හොඳට ඉන්න එක ගැන ගොඩක් සතුටුයි. මැරෙන්න ඉස්සෙල්ලා මුණුපුරා ළඟට ආවොත් ඒ දවස තමයි මම ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙන මොහොත. ඒ හැර කුස පුරවගෙන, සතුටින් ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒ හොඳටම ප්‍රමාණවත්. වැඩි සල්ලි ඕන නෑ. උපරිමයෙන් සැප විඳින්න ගිය තිළිණි, අම්මා තාත්තට වැටිලා ඉන්න තිබුණු ගේ දොරත් උකස් කර බැංකුවට සින්න කළා. අන්තිමේ ඒ මිනිස්සුන්ව පාරට ඇදලා දාලා එයා තාවකාලික සැපක් විඳලා දැන් බන්ධනාගාරෙ දුක් විඳිනවා. අපිට දුක මුණුපුරා ගැන. තිළිණි ඔය ගමන යන විත්තිය අපි දැනගෙන හිටියා…” ඒ කතා කළේ වසර කිහිපයක් දිළිඳු පැල්පතක තිළිණි සමඟ එකට ජීවත් වූ නැන්දම්මාය. ජානකි මුතුකුමාරිය. තිළිණි මුලින්ම විවාහ වී සිටි සමන්ගේ මවය.

ජානකි අම්මා අවසානයට කියූ වචන කිහිපය සැප සොයා අයාලේ දුවන තිළිණි වැනි කාන්තාවන්ට පාඩමකි. ඒ වටිනා වචන කිහිපයට වැඩි යමක් එකතු කිරීමට අප අකමැතිය. තිළිණි ප්‍රියමාලි ගැන ගෝවින්න ගමේ මිනිස්සු තව බොහෝ දේ අපට කීහ. ඒ කතා පසුවට තබා දැනට අපි නතර වීමු.

තරංග රත්නවීර
ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment