තීරණාත්මක අවසන් තරගයට ගුවන් හමුදාව එයි

49

ප්‍රමියර් ලීග් අන්තර් සමාජ පිරිමි හොකී තරගාවලිය

ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සහයෝගය ඇතිව Nextgen Hockey Development society මගින් මෙහෙයවන ලද පළමු ප්‍රමියර් ලීග් අන්තර් සමාජ පිරිමි හොකී තරගාවලියේ තීරණාත්මක අවසාන තරගයට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා ගත්තේය.

මෙම ජයග්‍රහණයත් සමගින් මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත් වන්නට ද ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට හැකියාව ලැබිණි.

තරග 28 කින් සමන්විත වූ මූලික වටයේ දී ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් සටහන් කර ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.

එම දෙපිල අතර පැවති දෙවන අදියර සටන ජය ගනිමින් තීරණාත්මක අවසාන මහා තරගයට වරම් ලබා ගැනීමට චාමර මෙල්ඩර්ගේ නායකත්වයෙන් සැදුම්ලත් ගුවන් හමුදා සමාජයට හැකියාව ලැබිණි.

පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ රීඩ් මාවත කෘතිම ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරුණු මෙම තරගයේ දී ගෝල් 05 – 02 ක පහසු ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට ගුවන් හමුදාව සමත් විය. තරගයේ ප්‍රථම භාගය නිම වන විට ගෝල් 02 – 01 ක් ලෙස පෙරමුණ ගැනීමට ගුවන් හමුදා සමාජයට හැකි විය. ගුවන් හමුදා ජයග්‍රහණය වෙනුවෙන් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වූ ළහිරු වීරසූරිය 03 සහ ඉන්දීය ජාතික විකාෂ් චෞද්‍රි 02 බැගින් ගෝල් වාර්තා කළ අතර පරාජිත පොලිස් සමාජය වෙනුවෙන් පකිස්තානු ජාතික මෝෂීන් ජට් 01 සහ කේ.ජී. බණ්ඩාර 01 බැගින් ගෝල් රැස් කිරීමට සමත් විය. මෙදින පරාජය ලැබූ පොලිස් සමාජයට එරෙහිව යුද හමුදා සමාජය 07 ප.ව. 04.00 ට කොළඹ රීඩ් මාවතේ පිහිටි කෘත්‍රිම ක්‍රීඩාංගණයේ දී තරග වැදීමට නියමිතය.

ප්‍රසාද ලකුණු පුවරුවේ 04 වැනියා වූ ආදි සේනානායක සමාජයට එරෙහිව ගෝල් 05 – 01 ක ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට ප්‍රසාද ලකුණු පුවරුවේ තෙවැන්නා වූ යුද හමුදා සමාජයට හැකියාව ලැබිණි.

ප්‍රථම භාගය නිම වන විට ගෝල් තත්ත්වය 02 – 01 කි.

පරාජිත පිල වෙනුවෙන් එකම ගෝලය ධම්මික අබේරත්න රැස්කළ අතර ජයග්‍රාහී පිල වෙනුවෙන් කැපී පෙණුනු රජිත කුලතුංග 02, චතුරංග චන්ද්‍රසේන 01, ධම්මික රණසිංහ 01 සහ කුසල් තිලකසිරි 01 බැගින් ගෝල් ලබා ගත්හ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment