තීරු ලිපියෙන්, කවියෙන් විප්ලවයක් කළ මහා පත‍්‍රකලාවේදියා සිරිලාල් කොඩිකාර

343

පුවත්පත් කලා ජීවිතයේ ප‍්‍රාඥයෙක් මෙන්ම සරල සුන්දර මිනිසෙක් වන සිරිලාල් කොඩිකාරයන් වාමාංශික අදහස් දරමින් සමාජ දේශපාලන අඳුරු අගාධ කැණීම් කළ අයෙක් ලෙස ප‍්‍රකට පුද්ගලයෙකි. ඔහු ලියූ ‘‘රංචාගොඩ ළමයා’’ තීරු ලිපිය දේශපාලන ලෝකයට කඩු කිණිසි පහරවල් තරම් ප‍්‍රබලව දැනුණි. ඔහු සතුව තිබූ නිර්භීත ලේඛන ශෛලිය ඔහුටම අනන්‍ය වූවකි. සිරිලාල් කොඩිකාර නම් වූ අග‍්‍රණ්‍යය පත‍්‍රකලාවේදියා, සාහිත්‍යධරයා දැයෙන් සමුගත්තේය. මේ සමග පළවනුයේ වරෙක ‘දිවයින’ සමග එතුමන් තම ජීවිතය පිළිබඳව කළ මතක ආවර්ජනයකි.

සම්පූර්ණ නම – කොඩිකාරගේ ඒබ‍්‍රහම් පීරිස්

භාවිත නම – සිරිලාල් කොඩිකාර

උපන් දිනය – 1924 අගෝස්තු 27

ගම – උපන්නේ මහනුවර තලාතුඔය, හැදුනේ වැඩුණේ බේරුවල, වැලිගම ප‍්‍රදේශවලයි.

මව – ඇස්. එමලිනෝනා. ඇය මහනුවර තලාතුඔය,

ගොඩමුන්න පාසලේ මොනිටර් ගුරුවරියක් ලෙස කටයුතු කළා. අම්මාගේ පියා (සීයා) ගමේ තොවිල් පවිල් කළ නැකති පුද්ගලයෙක් නිසා එවැනි අයෙකුගේ දුවෙක් ගුරුවරියක් වීම ගැන ගමේ කුලවතුන්ගෙන් විරෝධතා එල්ල වුණා. එවැනි පවුලකට අයත් ගුරුවරියක් ළඟට තමන්ගේ ළමයින්ව යවන්න ගමේ මිනිස්සු කැමති වුණේ නැහැ. මේ නිසා අම්මාට නොයෙකුත් තාඩන පීඩනවලට මුහුණ දෙන්න සිදු වුණා. කුල භේදය පිළිබඳව දැඩි විරෝධයක් පුංචි කාලෙම මගේ සිතේ පැලපදියම් වුණේ මේ නිසා වෙන්න ඇති.

පසු කලෙක ඔබ වාමාංශික අදහස් දරන්නෙකු බවට පත් වුණෙත් මේ නිසාද?

ඔව්. බොහෝ දුරට එයත් බලපෑවා.

පියා – කොඩිකාරගේ එලියස් පීරිස්.

ඔහු ඉතාම දක්ෂ වඩු කාර්මික ශිල්පියෙක්. ඔහුගේ ගම කොග්ගල වුණත් ඔහු වැඩි කලක් පදිංචි වෙලා හිටියේ බේරුවල. ඒ අතර උඩරට වතුවල රැකියාවක් කර තියෙනවා. ඒ යන එන අතර තමයි අපේ අම්මාව මුණ ගැහිලා විවාහ වෙලා තියෙන්නේ. විවාහයෙන් ටික කලකට පසුව තාත්තා අපිත් එක්ක කුරුණෑගල පදිංචියට ආවා.

සහෝදර සහෝදරියෝ – එක මල්ලියි, නංගිලා දෙන්නයි. එක නංගි කෙනෙක් දැන් ජීවතුන් අතර නැහැ. ගෙදර ආර්ථික ප‍්‍රශ්න නිසා නංගිලාවයි, මල්ලිවයි නෑදෑයෝ හදාගන්න ඉල්ලගෙන තියෙනවා. මම වැඩිමලා නිසා තාත්තා මාව කාටවත් දෙන්න කැමති වෙලා නැහැ. නංගිලා දෙන්නයි, මල්ලියි හොඳට ඉගෙන ගත්තා. පස්සේ කාලෙක මාත්, ඒ අයත් අතර ඇසුර ඉබේම දුරස් වුණා.

අධ්‍යාපනය ලැබූ පාසල් මොනවාද?

මගේ හඳහනේ මහණ යෝගයක් තියෙනවා කියලා මහණ කරන්න හිතාගෙන අම්මලා මාව පාසල් යැව්වේ නැහැ. අම්මා මට ගෙදර ඉගැන්නුවා. පස්සේ මහණ කිරීම කල් යනවා වගේ පෙනුනු නිසා මාව කෑගල්ල පිටිහුම බෞද්ධ මිශ‍්‍ර පාසලට ඇතුළත් කරන්න එක්කගෙන ගියා. එතැනදී විභාගයක් තියලා මාව 2 පන්තියට ඇතුළත් කර ගත්තා. 4 පන්තියට ගියා විතරයි මැලේරියා වසංගතය ගම පුරා පැතිරුණා. අම්මත් වෙනත් රෝගයක් හැදිලා මිය ගියා. මගේ පාසල් ගමන නැවතුනා. පස්සේ තාත්තා ගල්කිස්සට ඇවිත් මිනී පෙට්ටි සාප්පුවක් දැම්මා. එහේ ඉන්න අතරේ මම රත්මලානේ පිරිවෙනකට ගිහින් පොත් පත් කියෙව්වා.

එතකොට ඔබ මහණ වුණේ කොහොමද?

මහණ වෙන්න ලොකු කැමැත්තක් පුංචි කාලෙ ඉඳලා තිබුණා. මට ඕනේ වුණේ මහණ වෙලා කුල භේදය ගැන බණ කියන්නයි. ඔහොම ඉන්න අතරේ බම්බලපිටියේ සමූහයක් මහණ කිරීමේ උත්සවයක් තිබුණා. ඒ අවස්ථාවේ මහණ වුණා.

මහණ ජීවිතයේ ඔබේ අරමුණු ඉටු වුණාද?

කොහෙත්ම නැහැ. මම පුංචි කාලේ ඉඳලා හිතාගෙන හිටියේ මහණ ජීවිතය කියන්නේ බොහොම සිල්වත්, තැන්පත්, බණ භාවනාවලින් කල් ගෙවන, අල්පේච්ඡු ජීවිතයක් කියලයි. නමුත් ගිහි ජීවිතයේ තියෙන සියලූ කුහකකම්, රණ්ඩු සරුවල් මහණ සමාජයෙත් අත්දකින්න ලැබුණා. අනික මම හිතුවා හොඳට ඉගෙන ගන්නත් ලැබෙයි කියලා. ඒ කිසිම දෙයක් සාර්ථක වුණේ නැහැ. දැඩි කලකිරීමකින් අවුරුද්දකටත් අඩු කාලයක් ඉඳලා

මහණ ජීවිතයෙන් ඉවත් වෙලා නැවත තාත්තා ළඟට ආවා. එතකොට වයස අවුරුදු 10 ක් විතර ඇති.

ඔබ මහණකමින් ඉවත් වුණත් පන්සල් ඇසුරෙන් ඈත් වුණේ නැහැ නේද?

රත්මලානේ ආවාසය අයිති කොග්ගල හිරිගල් දේවාලයටයි. එහි නායක කොග්ගල පඤ්ඤාවංශ හාමුදුරුවෝ හඳහන් බලන්න හරිම දක්ෂයි. අපේ තාත්තා මගේ හඳහන උන්වහන්සේට පෙන්නලා තිබුණා. මම කවදාහරි හොඳ තැනකට එනවා. ඒ නිසා හොඳට උගන්වන්න කියලා හාමුදුරුවෝ තාත්තාගෙන් අහලා මාව කොග්ගල හිරිගල් දේවාලය ආශි‍්‍රත ආවාසයට එක්කගෙන ගිහින් සිංහල වෙදකම, සංස්කෘත, පාලි, සිංහල ආදී විෂයන් ඉගැන්නුවා. තාත්තා නිතරම මාව බලන්න කොග්ගල ආවා. ලෝක යුද්ධ කාලේ කොග්ගල හිරිගල් දේවාලය ආශි‍්‍රත ප‍්‍රදේශයේ යුද කඳවුරු හැදූ නිසා අපි වැලිගම අවාසයක් හදාගෙන එහි පදිංචි වුණා. පන්සලේ වස් කවි, සෙත්කවි

ගායනා, කවි ලියන්න, හිටිවන කවි මඩු, ගමේ සාහිත්‍ය උත්සව ආදියට සම්බන්ධ වෙන්න මට එහිදී අවස්ථාව ලැබුණා. ඒ අතරෙ සඟරා පත්තරවලට කවි ලිව්වා. කොළඹ ඇවිත් පත්තර කන්තෝරුවල ඇවිද්දා. මගේ කවි පන්තියක් මුලින්ම පළ වුණේ ‘නවලෝකය’ සඟරාවෙයි. ඒක අධිරාජ්‍ය විරෝධී කවි පන්තියක්.

ඔබ ප‍්‍රාචීන ප‍්‍රාරම්භ විභාගවලටත් පෙනී සිටියා නේද?

ඔව්. මට ඕන වුණා ආයුර්වේදයට ඇතුළත් වෙන්න. නමුත් මම පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කර නොතිබුණු නිසා ප‍්‍රාචීන, ප‍්‍රාරම්භ විභාගවලට පෙනී සිටිය යුතු වුණා. පසුව පාඩම් කරලා විභාග සමත් වුණා. ඒ අතරේ කොළඹ ඇවිත් පොත් සාප්පුවක ඉඳගෙන පොත් විකුණුවා. දවසක් අයිතිකාරයා එද්දි මම පොතක් කියවනවා දැකලා මට යන්න කිව්වා. මම ඊට පස්සේ ඒ පොත් සාප්පුවටම සම්බන්ධ අච්චු කන්තෝරුවක වැඩට ගියා. සතියකට සැරයක් කවි ලියාගෙන ගිහින් පත්තර කන්තෝරුවලට දීලා එනවා.

‘‘සිංහල ජාතිය’’පුවත්පතට සම්බන්ධ වුණේ කොහොමද?

දවසක් කවි වගයක් ලියාගෙන කොළඹ පත්තර කන්තෝරුවලට ගිහින් පාරක ඇවිදගෙන යද්දී සිංහල ජාතිය පුවත්පත් ආයතනයේ නම සඳහන් පුවරුවක් දැකලා මම ඇතුළට ගියා. ඒ 1948 දීයි. එතකොට ඔවුන් වෙසක් කලාපය මුද්‍රණය කරමින් සිටියා. වයසක කර්තෘ කෙනෙක් මා එක්ක කතා කරලා සෝදුපත් බලන්න කියලා රැකියාව දුන්නා. එහෙම ඉන්න අතරේ කවිත් ලියලා දුන්නාම මෙයාට ලියන්න පුළුවන්නේ කියලා විශේෂාංග සම්පාදනය කරන උප කර්තෘ කෙනෙක් බවට මාව පත් කළා. මුලදී රුපියල් 80 ක් මාසික වැටුප හැටියට ලැබුණා. එතනින් ඉවත් වෙද්දී මම මාසෙට රුපියල් 205ක වැටුපක් ලබමින් සිටියා. ඒ කාලේ හැටියට ඒක හරි ලොකු වැටුපක්. 1954 දී පත්තරේ වැහුවා.

ඔබගේ විවාහය සිද්ධ වුණෙත් මේ කාලෙමයි නේද…. රැකියාව අහිමි වීම ගැටලූවක් වුණේ නැද්ද?

ගැටලූවක් වුණා. කරන්න දෙයක් නැතුව කේ. ජයතිලක මහත්තයගේ තැපැල් මාර්ගික විද්‍යාලයට සම්බන්ධ වෙලා ටික කලක් වැඩ කළා. ඔය අතරේ තමයි ‘‘දවස’’ පත්තරේ පටන් ගත්තේ. ප‍්‍රධාන කර්තෘ ඞී. බී. ධනපාල මහතායි. මට පියල් වික‍්‍රමසිංහ මහතාගේ සහායත් ලැබුණා. වසර 4 ක් හිටියා. කාලයක් යද්දී ඇතිවුණු කලකිරීම නිසා මා ඇතුළු 9 දෙනෙක් දවසින් ඉවත් වෙන්න තීරණය කළා. ඉවත් වෙන්න කලින් මම බිරිඳට ඒ බව කිව්වාම ඇය කිව්වා මගේ පඩියෙන් ජීවත් වෙන්න පුළුවන්නේ. ඔයාට එහේ ඉන්න අමාරු නම් අස්වෙන්න කියලා. ඇයගේ වචන මට ලොකු හයියක් වුණා. මමත් වීරයා වගේ අස් වුණා. අස්වෙලා ‘‘ධනපති පත්තර ප්‍රෝඩාව’’ කියලා පොතකුත් ලිව්වා. 1964 ‘‘ඇත්ත’’ පත්තරය පටන් ගත්තාම අපි නව දෙනාටම ඇරයුම් ලැබුණා.

ඔබගේ පුවත්පත් කලා ජීවිතයේ සුන්දරතම කාලය ඇත්ත පත්තරේ ගෙවූ කාලයද?

ඔව්. අවුරුදු 30 ක් පමණ මම ඇත්ත පත්තරේ හිටියා. මා තුළ තිබුණු වාමාංශික අදහස් නිර්භීතව ඉදිරිපත් කරන්න එහිදී මට අවස්ථාව ලැබුණා. යම් යම් බලපෑම් මගේ ජීවිතයට එල්ල වුණා. නමුත් ඒවා අද කාලේ තරම් බිහිසුණු නැහැ. බිරිඳ පාසල් ගුරුවරියක් නිසා ඇයව වෙන පාසලකට මාරු කරන්න දේශපාලන කණ්ඩායම් දැඩි ලෙස උත්සාහ ගත්තා. බිරිඳට කවුරුත් කිව්වේ අනුලා කොඩිකාර කියලයි. නමුත් ඇයගේ නියම නම ගේ‍්‍රස් විල්හිල්විනා කුරුකුල කරුණාතිලක දිසානායකයි. මේ නම බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා ගුරු මාරුව හරියාකාරව කර ගන්න කාටවත් බැරි වුණා. තව අවස්ථාවක අපේ දරුවෙක් පාසලකට ඇතුළත් කරගන්න ගිය වෙලාවක පොඩි ප‍්‍රශ්නයක් ඇති වුණා. මම ජීවිතයේ සතුටින්ම, නිර්භීතව ගත කළේ ඇත්තේ ඉන්න කාලෙයි.

ඔබ ලියූ තීරු ලිපි මගින් බරපතළ ලෙස දේශපාලනයට බලපෑම් එල්ල කළා නේද?

ඔව්. එයින් සමාජයට යහපත උදා වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. විශේෂයෙන්ම මම ලියූ ‘‘රංචාගොඩ ළමයා’’ තීරු ලිපිය බොහෝ කතාබහට ලක් වුණා. ඊළඟට ඩඞ්ලි සේනානායක රජයට විරුද්ධව මම ලියූ ‘‘හත් හවුල් කවි මඩුව’’, ‘‘මා දුටු කෝසල සිහිනය’’ වගේ ලිපිවලට ඉහළ ප‍්‍රතිචාර හිමි වුණා. ඒවායින් මම ලොකු සතුටක් ලැබුවා.

ඇත්ත නැවතුනේ ඇයි?

රටේ දේශපාලන වෙනසක් එක්ක ලේක්හවුස් ආයතනය ජනසතු කළා. ආණ්ඩුවත් කල්පනා කළේ ලේක්හවුස් එක හරහා හැමදේම කරගන්න පුළුවන් කියලයි. ඇත්ත ටිකෙන් ටික ජනතාවගෙන් ඈත් වුණා.

සිරිලාල් කොඩිකාර වියතාණන්ට නිවන් සුව අත්වේවා!

මතක

  • මහනුවර තලාතුඔය ගොඩමුනේ නම් සිය මවගේ ගම් පියසේ දී කොඩිකාරගේ ඒබ‍්‍රහම් පීරිස් උපත ලද්දේ 1924 අගෝස්තු 24 වැනිදාය.
  • කෑගල්ල පිටිහුම බෞද්ධ මිශ‍්‍ර පාඨශාලාවේ මූලික අධ්‍යාපනය ලැබ බේරුවල හා ගල්කිස්ස විහාරස්ථාන දෙකක නේවාසික අධ්‍යාපනය ද ලැබී ය. අනතුරුව 1939 දී වැඩිදුර අධ්‍යාපනය සඳහා සසුන්ගත වී එම වසරේම උපැවිදි විය.
  • 1940 දී පියාගේ අනුදැනුමෙන් කොග්ගල දේවගිරි විහාරස්ථානයේ පඤ්ඤාරන්සි හිමියන්ගේ භාරකාරත්වය යටතේ වෙද සිසුවකු බවට පත් විය.
  • 1946 දී මුල්ම කාව්‍ය නිර්මාණය උඩකැන්දවෙල හිමියන්ගේ ‘නවලෝක’ සඟරාවේ පළවීමත් සමග ‘සිරිලාල්’ යන අන්වර්ථ නාමයෙන් පුවත්පත්වලට නිර්මාණ සැපයීමට පටන් ගත්තේ ය. අනතුරුව කොඩිකාරගේ වාසගම සහිතව හේ සිරිලාල් කොඩිකාර නමින් ලේඛක ජීවිතය ඇරඹීය.
  • 1947 ‘සැනසුම’ නමින් ත්‍රෛමාසික කවි සඟරාවක් සකස් කිරීමට සිරිලාල් කොඩිකාර, ධර්මසිරි කාරියවසම් නමැති මිතුරකු සමඟ එක්විය. එම වසරේ ම දුම් නමින් කාව්‍ය සංග‍්‍රහයක් පළ කිරීමට කටයුතු යොදා තිබුණ ද පිට කවරය මුද්‍රණය කරගත නොහැකි වීම නිසා එම පොත නිකුත් නොවීය.
  • 1948 පළමු රැකියාව වශයෙන් මරදාන මාලිගාකන්ද පාරේ චන්ද්‍රසේන පොත් හලට එක් වුණ ද, එම වසරේම එයින් අස්විය.
  • 1948 දී ම සෝදුපත් කියවන්නකු වශයෙන් සිංහල ජාතිය පුවත්පතට බැඳුණු සිරිලාල් කොඩිකාර සිය කවිත්වය නිසා ම පසුව කර්තෘ මණ්ඩලයට පිවිසීමට වරම් ලැබ සිය පුවත්පත් ජීවිතය ආරම්භ කළේ ය. සති අන්ත ‘සිංහල ජාතිය’ හා දිනපතා ‘ජාතිය’ පත‍්‍ර 1955 දී නතර කරන තෙක් ඔහු එම පුවත්පත්වල සේවය කළේය.
  • 1951 දී ස්වභාෂා සටන නමින් පුවත්පතක් ආරම්භ කිරීමට ද ඔහු සම්බන්ධ විය. 1955 ලංකාදීපයේ ස්වාධීන ලේඛකයකු වශයෙන් කටයුතු කළ සිරිලාල් කොඩිකාර, 1956 දී ජනහඬ පුවත්පත පළ කිරීමට දායක විය.
  • 1957 දී දවස පත‍්‍රයේ වාර්තාකරුවකු ලෙස පත්ව පසුව ස්ථිර ලේඛකයකු හා උප කතුවරයකු ලෙස පත් විය.
  • 1960 දී නොනෙළුෑ මල පද්‍යසංග‍්‍රහය නිකුත් කළේය.
  • 1964 දී දවස කතු මඬුල්ලෙන් ඉල්ලා අස්වී ඇත්ත පත‍්‍රයට සම්බන්ධ වූ සිරිලාල් කොඩිකාර එතැන් සිට ‘කෝසල සිහින’, රඟදෙන බයිලා’, රංචාගොඩ ළමයා’ ‘සකෝ බළලෝ’, ‘හත් හවුල් කවි මඬුව’,

‘ගැටස් සංදේශය’ ආදී විශේෂාංග රචනයෙහි යෙදුණේ ය. මෙම විශේෂාංගවලින් කීපයක් අද දක්වා ම ඉදිරිපත් කිරීම විශේෂ සිද්ධියකි.

  • 1966 දී ‘ලෙයින් ලියූ කවි’ පද්‍ය සංග‍්‍රහයත් 1973 දී ‘ගහෙන් වැටුණු ගැහැනිය හා තවත් අය කෙටිකතා එකතුවක් නිකුත් කළ සිරිලාල් කොඩිකාර, 1981 දී ‘කනේරු මල්’ නමින් පද්‍ය කාව්‍යයක් ද නිකුත් කළේ ය.
  • 1982 බකවත පද්‍ය කාව්‍යය ද, 1984 දී කැලිස්ටාගේ සවාරිය නවකතාව ද, විශ්වය තුළ විශ්ව කෙටිකතා එකතුව ද ප‍්‍රකාශයට පත් කළේය.
  • සිරිලාල් කොඩිකාරගේ ස්වයං චරිතාපදානය දිය වැලක් ඔස්සේ නමින් නිකුත් වූයේ 1986 දී ය. මහාවංශ විමංසන ශාස්ති‍්‍රය කෘතිය 1987 දී නිකුත් කළ සිරිලාල් එම වසරේ සෝවියට් දේශයට ද ගොස් විදෙස් ලේඛකයන් කීප දෙනකු සමග අත්දැකීම් හුවමාරු කර ගත්තේය.
  • 1992 දී ‘මානසවිල’ සහ ‘කනේරු මල්’ නමැති කෘතියත් 1993 දී අපි‍්‍රකානු ජනකතා නමැති කෘතියත් සිරිලාල් කොඩිකාර සිය පාඨක ජනතාවට පිරිනැමීය.

සාකච්ඡා කළේ – තුෂාරි කළුබෝවිල

advertistmentadvertistment
advertistmentadvertistment