තුන්වේලට බත් වෙනුවට පාන් කාලත් හමාරයි

194

‘කේක් වෙනුවට පාන් කාපල්ලා’ කී කතාවත් බොරුවෙලා

දැන් නම් මේ රටේ මිනිස්සු නොමැරී ජීවත් වෙනවා කියන එකත් පුදුමයට කාරණාවක්. රටේ තියන ආර්ථික ප‍්‍රශ්න විසඳගන්න බැරිව ඉස්සරහට මිනිස්සුන්ට කන බොන ප‍්‍රමාණය අඩු කරන්න වෙනවා කියලා තීරණ ගන්න තරම් මේ රට අන්තෙටම වැටිලා ඉවරයි. ප‍්‍රංශෙ මිනිස්සු කන්න බොන්න නෑ කියලා පැමිණිලි කරද්දි ඒ රටේ පාලකයෝ පාන් නැත්නම් කේක් කාපල්ලා කියල කිව්වට අපිටනං කේක් තියා හුළං විස්කෝතුවත් කන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. වෙනදට නැති බැරි මිනිස්සු වේලක් පිරිමහ ගත්තේ පාන් කෑල්ලක් කාලා ප්ලේන්ටියක් බීලා කියල කිව්වට දැන් පාන් කාලා ප්ලේන්ටියක් බොන්නත් සෑහෙන වත්කමක් තියෙන්න ඕන. තුන්වේලම බත් කන්න වත්කමක් නැති මිනිස්සු පාන්, බනිස් වගේ කෙටි කෑම වලට හුරු වුණා. දැන් බතුත් නෑ. එළවළුත් නෑ. පානුත් නෑ. ඒ මදිවට ගෑස් නෑ. ගෑස් පුපුරනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ හැමදේම ගිනි ගණන්. වේල් තුනෙන් එක වේලක් හරි බඩ පිරෙන්න කන්න ලැබෙනවා නම් ඒකත් ලොකු දෙයක්” දිනෙන් දින ඉහළ යන බඩු මිල සම්බන්ධයෙන් ජනතාව පවසන්නේ එවැනි කතාවකි. කොවිඞ් වසංගතය ආරම්භයත් සමඟම මේ රටේ සියලූම අංශ ක‍්‍රම ක‍්‍රමයෙන් කඩා වැටෙන්නට පටන් ගත් අතර වරින් වර රට වසා දැමීමට සිදුවීම නිසා මෙරට ආර්ථිකය සීඝ‍්‍ර ලෙස කඩා වැටීමකට ලක්විය. නැවත රට විවෘත කර යම් යම් සීමාවන්ට යටත්ව ජනතාවට සුපුරුදු පරිදි තමන්ගේ කිරීමට අවස්ථාව උදා වී තිබුණ ද ද මිනිසුන් පවසන්නේ දැන් කොවිඞ් වලින් ආරක්ෂා වනවාටත් වඩා බඩගින්නේ මිය නොයා සිටීමට විසඳුම් සෙවීමට සිදු ඇති බවයි.

පසුගිය මාස කිහිපය තුළ පොහොර ගැටලූව නිසා මෙරට තුළ එළවළු පළතුරු අස්වැන්නේ අඩුවක් ඇති බවට ගොවියෝ පෙන්වා දුන්හ. කෙසේ වෙතත් පසුගිය සතියේ දිවයිනේ සියලූම ආර්ථික මධ්‍යස්ථාන වලට එළවළු සැපයීම ප‍්‍රමාණාත්මක ලෙස අඩු වී තිබුණි. සැපයීම අඩුවීමත් සමඟම එළවළු පලතුරුවල මිල ගණන් විශාල ලෙසින් ඉහළ ගොස් ඇති බවට පාරිභෝගික ජනතාව මෙන්ම වෙළෙන්දෝ පවසති.

‘‘වෙනදට රුපියල් දාහක් එක්දහස් පන්සියයක් අරගෙන පොළට ගිහිල්ලා සතියකට හරියන්න එළවළු ගත්තට, අද රුපියල් දාහකට එළවළු දෙක තුනක් වත් ගන්න බෑ. වට්ටක්කා විතරයි අඩුවට තියෙන්නේ. තව ටික දවසකින් වට්ටක්කාත් කන්න බැරි වෙයි. එළවළු පලතුරු නැත්තන් පරිප්පු, හාල්, සීනි, පිටි ටිකවත් ගණන් අඩු වෙන්ඩ ඕනේ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඊටත් වඩා වැඩියි. දැන්නම් පාරිභෝගික ජනතාවට වගේම වෙළෙඳුන්ටත් බඩු මිල දරාගන්න බැරි තරම්. මේ රටේ මිනිස්සු හාමතේ මැරෙනවා කියලත් තව ටික දවසකින් අපට ආරංචි වෙයි”.

මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ එළවළු, පලතුරු මිල ඉහළ ගොස් තිබියදී පසුගිය විසිවනදා මධ්‍යම රාත‍්‍රිය වන විට ඉන්ධන මිල ගණන් ද ඉහළ නැංවුණි. ඉන්ධන මිල ඉහළ යෑම සියලූම ක්ෂේත‍්‍රවලට ඍජුව බලපාන කාරණාවකි. ඉන්ධන මිල වැඩි කර පැය විසි හතරක් යෑමටත් මත්තෙන් පාන් සහ බේකරි නිෂ්පාදන මිල ගණන් සඳහා වන පාලන මිල ඉවත් කෙරිණි.

  • පාන් සහ බේකරි නිෂ්පාදන පාලන මිල ඉවත් කළේ ඇයි ?

ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල පාලන මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් අපි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති වරයා වන එන්. කේ. ජයවර්ධන මහතාගෙන් විමසීමක් කළෙමු.

‘‘ඉන්ධන මිල වැඩි කළාට පස්සේ පාන් බනිස් විකුණන්න ඕනේ කීයටද කියලා බේකරි හිමියන් මට කතා කරලා අහනවා. හැමදේම ගණන් ගිහිල්ලා තියෙද්දි ඉන්ධන මිලත් ඉහළ දැම්මාම පාන් ගෙඩියක මිල තීරණය කරන්න මට බෑ. ඒ නිසා අද දවසේ පාන් මිල කියලා සාධාරණ මිලකට පාන් සහ බේකරි නිෂ්පාදන අලෙවි කරන්න කියලා මම බේකරි හිමියන්ට යෝජනා කළා. ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් අඩු වුණොත් පාන්වල මිල ගණන් අඩුවෙයි. ඒ වගේ මිල වැඩි වුණොත් පාන් සහ සියලූම බේකරි නිෂ්පාදන මිලත් වැඩි කරන්න සිද්ධ වෙනවා”.

ඒ අනුව දිනෙන් දින පාන් සහ බේකරි නිෂ්පාදනවලට මිල ගණන් අඩු වැඩි කිරීමට සිදුවන බවද කෙසේ වෙතත් පවතින තත්ත්වය මත බේකරි නිෂ්පාදනයන්ගෙන් ලාභයක් ලබා ගැනීමට නම් අවම වශයෙන් පාන් ගෙඩියක් රුපියල් සීයකටවත් අලෙවි කළ යුතු බවද සභාපතිවරයා කියා සිටියි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල පාලනය ඉවත් නොකළ බවත්, එම මිල ගණන් පිළිබඳ තීරණ ගැනීමෙන් ඉවත් වූ බවත් සභාපතිවරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත් මේ වන විට පාන් රාත්තලක් රුපියල් සියයට, සැන්විච් පාන් රුපියල් දෙසීයටත්, කෙටි කෑම රුපියල් පනහේ සිටත්, බටර් කේක් කිලෝවක් රුපියල් නවසීයටටත් ලෙස මේ වන විට බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළ ගොස් තිබේ.

මෙලෙස පාන් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් බේකරි හිමියන් කිහිපදෙනකුගෙන් ද අපි තොරතුරු විමසුවෙමු.

‘‘ඉන්ධන මිල ඉහළ යෑම, විශේෂයෙන්ම ඞීසල් හා භූමිතෙල් මිල ඉහළ යෑම බේකරි හිමියන්ට තදින්ම බලපානවා. ලංකාවේ බේකරි හිමියන්ගෙන් සීයට තිහක් විතර අවන් භාවිත කරනවා. ඒ අවන් වැඩ කරන්නෙ භූමිතෙල් හා ඞීසල් වලින්.

කොවිඞ් එක්ක බොහෝ විට බේකරි නිෂ්පාදන අලෙවි කළේ ජංගම අලෙවි රථ වලින්. ඒවට පෙට‍්‍රල් වැය වෙනවා. මේ නිසා බේකරි කර්මාන්තයට ඉන්ධන මිල ඉහළ යෑම සෘජුවම බලපානවා. ගෑසුත් හිඟ වෙලා තියෙන වෙලාවක ඉන්ධන මිල ඉහළ යෑම නිසා බේකරි කර්මාන්තයට විශාල පාඩුවක් සිදු වුණා.” ලෙස කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ බේකරි හිමියෙකු වන ප‍්‍රියන්ත රත්නායක මහතා පවසයි.

ඉන්ධන මිල ඉහළ යෑම පමණක් නොව බිත්තර, ෆාම් ඔයිල්, පිටි, යීස්ට් ආදී බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ඉහළ යෑමද කෙටි කෑම සඳහා භාවිත කරන එළවළු වර්ග හිඟය සහ මිල ඉහළ යෑම ද බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමට ඍජුව බලපා ඇති බවට බේකරි හිමියෝ පවසති.

  • බතුත් නැති, පානුත් නැති කන්න මොනවත් නැති රටක්.
තුන්වේලට බත් වෙනුවට පාන් කාලත් හමාරයි

තුන් වේලටම බත් කන්නට නැතත් පාන්, රොටී සහ කෙටි ආහාර වර්ග හෝ පරිභෝජනය කරමින් මිනිසුන් තම කුසගින්න නිවා ගත්තද පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ යෑමත් සමඟම කුසගින්න නිවා ගන්නට තිබූ අවස්ථාවන්ද අහිමි වී ගිය බවට ජනතාව අඳෝනා නඟති. පොහොර ගැටලූවත් සමඟ අස්වනු අඩුවී සහල් සහ ධාන්‍යත්, එළවළු පලතුරුත් හිඟ වූ පසු කුසගින්න නිවාගැනීමට විකල්ප ආහාර භාවිත කරමින් සිටියදී, ජනතාවට ඒ අවස්ථාවටද තිබූ ඉඩ ඇහිරීම සැබෑවටම ඛේදනීය කාරණාවකි.

‘‘ඇහුවොත් කියනවා මේ රටේ හාල්, එළවළු අත්‍යවශ්‍ය භාණ්ඩ හැමදේම හිඟයක් නැතුව තියෙනවලූ. මිනිස්සුන්ට බඩු ගන්න අතේ සල්ලි නැත්නම් හිඟයක් නැතුව භාණ්ඩ තිබුණට වැඩක් නෑ. කුලී වැඩක් කරලා දවසේ ආදායම හොයාගන්න මනුස්සයාගේ ඉඳලා, රාජ්‍ය අංශයේ පුද්ගලික අංශයේ රැකියා මිනිස්සු දක්වාම දැන් ආර්ථික වශයෙන් කඩා වැටිලා ඉවරයි. කුලී වැඩක් කළත්, බෝඩිමක හිටියත්, ගෙදරක වුණත් හදිස්සියට බත් නැත්තං විකල්පයක් විදිහට පාන් තමයි කෑවේ. පාන් රාත්තලක් රුපියල් සීයට විකිණෙනවා කියන එක කොච්චර බරපතළ කාරණාවක් ද කියලා අපේ රටේ සැප විඳින මිනිස්සුන්ට තේරෙන්නේ නෑ” ගෘහනියක් මෙන්ම පාසල් ගුරුවරියක් වන ශාන්ති මහත්මිය එලෙසින් අදහස් දැක්වූවාය.

  • චූන් පාන් සද්දෙ ඇහුණම මිනිස්සු ගෙට දුවනවා

පාන් සහ බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළ යෑමත් සමඟ බේකරි නිෂ්පාදන අලෙවි වීමේ අඩුවක් ඇති බව බේකරි නිෂ්පාදන අලෙවිකරුවන් පෙන්වා දෙයි. වෙනදාට ජංගම වෙළෙඳ රථවලින් නිවෙස් අසලට පැමිණ බේකරි නිෂ්පාදන අලෙවි කරන විට විශාල ලාභයක් ලැබුණද මේ වන විට එලෙස ලාභ ඉපයිය නොහැකි බවට ජංගම වෙළෙඳ රථයකින් බේකරි නිෂ්පාදන අලෙවි කරන පුද්ගලයකු පැවසීය.

‘‘වෙනදට චූන්පාන් සද්දෙ ඇහෙද්දි පාන් ගන්න පාරට දුවගෙන එන පිරිස දැන් වාහනේ සද්දෙ ඇහෙද්දි ගෙට දුවනවා. පාන් ගෙඩියක් බනිස් ගෙඩියක් ගත්තු මිනිස්සුන්ට දැන් ඒව ගන්න වත්කමක් නෑ. පොඩි එකෙක්ට බිස්කට්, එකක් බනිස් ගෙඩියක් අරන් දෙන්න තරම් වත් අතේ රුපියල් සියයක් දෙසීයක් නැති මිනිස්සුත් ඉන්නවා. ඒ වුණත් වෙනදා ගානට පාන් විකුණන්න බෑ. වාහනවලට තෙල් ගහගෙන ගමක් ගමක් ගානේ යන්න සෑහෙන වියදමක් යනවා. අනෙක බේකරි වලින් නිෂ්පාදන මිලදී ගන්නත් වියදමක් යනවා. පාරිභෝගිකයන් වගේම වෙළෙන්දොත් අසරණයි”.

එලෙස වියදම් වැඩිවද්දී අඩු මිලට ජනතාවට පාන් සහ බේකරි නිෂ්පාදන ලබා දෙන්නේ කෙසේදැයි බේකරි නිෂ්පාදන අලෙවිකරුවන් ප‍්‍රශ්න කරයි.

‘‘පාලන මිල අයින් කරනවා කීවාම මිල වැඩි ඇයි කියලා අපිට ප‍්‍රශ්න කරන්න බෑ. ඉන්ධන බඩු මිල වැඞී කියන එක අපිත් පිළිගන්නවා. පොඩි එකාට වෙනදට රුපියල් 40 ට අරන් දෙන මාළු පාන් ගෙඩිය දැන් රුපියල් අසූවක් වෙලා. එකට එකක් මිල වැඩි කරලා. දැන්නම් හැම තැනකම කළුකඩ මුදලාලිලා වැහි වැහැලා. කවදත් නැති බැරි අහිංසක මිනිස්සු තමයි බඩගින්නේ ඉන්නේ.”

මේ අතර ඇතැම් බේකරි නිෂ්පාදන අලෙවි කරුවන් ලැබූ අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගනිමින් ඉහළ මිල ගණන් වලට නිෂ්පාදනයන් අලෙවි කරන බවට ද පාරිභෝගිකයන් කියා සිටියි.

  • ගෑස් පෙන්වූ ගෑස් නිසා බේකරිවලින් සීයට පනහක් වහන්න වෙලා.

මේ වන විට වැඩි මුදලට හෝ බේකරි නිෂ්පාදන සැපයීම අඛණ්ඩව සිදු කළ ද ඉදිරියේදී බේකරි නිෂ්පාදන සැපයීමේ ගැටලූවක් ද ඇතිවීමට ඉඩ ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වාදෙයි. ගෑස් ආශ‍්‍රිත අනතුරු සිදුවීම නිසා සහ ගෑස් මිල ඉහළ යෑම නිසා ගෑස් හිඟයක් නිර්මාණය වීමත් සමඟ මෙරට තුළ පිහිටා තිබූ බේකරි හත්දාහෙන් තුන්දාස් පන්සීකට ආසන්න ප‍්‍රමාණයක් මේ වන විට වසා දමා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි. ගෑස් ගැටලූවට ඉදිරියේදීත් විසඳුම් නොලැබුණහොත් ඉතිරි බේකරි සංඛ්‍යාවද ඉක්මනින් වැසී යන තත්ත්වයකට පත්වනු ඇති බවට සභාපතිවරයා අනතුරු ඇඟවීමක් ද සිදු කළේය.

‘‘මේ රටේ මොකක් හරි ගැටලූවක් ආවොත් පිටරටින් ගෙන්වන මොනාට හරි තහනමක් දානවා. ඊට පස්සේ තහනම ඉවත් කරන්නේ නැතුව සුළු පිරිසකට විතරක් ඒ දේවල් ගෙන්නන්න බලපත‍්‍ර ලබා දෙනවා. පාම් ඔයිල් වලට වුණෙත් ඒ දේම තමයි. තහනම් කරන්න කලින් පාම් ඔයිල් ලීටර් විස්සක් රුපියල් අටදාහයි. දැන් දාසයදාහයි. රජය ගන්න මෝඩ තීරණ නිසා ජාතියටම වන්දි ගෙවන්න සිදුවෙලා. ඇත්තටම පොහොර තහනම් කරත්, පාම් ඔයිල් තහනම් කරත් දුප්පත් අහිංසක මිනිස්සුන්ට සෙතක් වුණේ නෑ. සුළු පිරිසක් විතරක් අවස්ථාවෙන් ප‍්‍රයෝජන අරගෙන උපරිම හම්බකර ගන්නවා”.

ගෑස් ගැටලූවට අමතරව පිටි මිල ඉහළයෑම, පිටි හිඟය, පාම් ඔයිල් තහනම සහ බේකරි නිෂ්පාදන මිල ඉහළයෑම නිසා ඉල්ලූම අඩුවීම වැනි කරුණුද බේකරි වැසී යෑම සඳහා බලපා ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.

මේ අතර ගෑස් හිඟය හේතුවෙන් රටේ ප‍්‍රධාන නගරවල හෝටල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ආපන ශාලා සහ බේකරි දොළොස් දහසකට ආසන්න ප‍්‍රමාණයක් වැසී ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ හේතුවෙන් එම ස්ථාන පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයන් මෙන්ම ඒවායේ සේවය කළ සේවකයන් හා පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිති. ඉදිරියේදී කෑම පාර්සල්වල සහ අනෙකුත් කෑම වල මිල ගණන්ද තවත් ඉහළ යා හැකි බවට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පෙන්වා දෙයි.

එලෙස මිල ගණන් වැඩි වුවහොත් ගෑස් ගැටලූව නිසා නිවසේදී ආහාර සකස් කර ගත නොහැකි පිරිසට වෙළෙඳපළෙන් ආහාර මිලදී ගැනීමටද නොහැකි වන තත්ත්වයක් උදා වනු ඇත. ගෑස් සම්බන්ධ අනතුරු වැඩිවීමත් සමඟ භූමිතෙල් ළිප් සහ දර ළිප් මිල දී ගැනීමේ ප‍්‍රවණතාවක් ද දැකගත හැකි වුවත් මේ වන විට භූමිතෙල් ළිප් සහ දර ළිප් වල මිල ගණන් ද ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ඉන්ධන මිල වැඩි වීම නිසා භූමිතෙල් තෙල් ළිප් වලින් ආහාර සකස් කර ගැනීමටද නොහැකි තත්ත්වයක් උදාවනු ඇතැයි ගෘහණියන් කියා සිටියි.

‘‘බඩගින්නේ මැරෙනවාට වඩා කොවිඞ් වලින් මැරෙන එක හොඳයි කියලා දැන් මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ. කන්න බොන්නවත් අවශ්‍ය දේවල් ටික නැති රටක, තියෙන දේවල්වලත් මිල ගණන් ඉහළ දාන්නේ කොහොමද කියලා අපිට තේරෙන්නෙ නෑ. දැන් මිල වැඩි කරන්න කියලා කිසිම දෙයක් නෑ. වැඩි වෙන මිල ගණන්වලට හරියන්න පඩි වැඩි කරන්නේ නෑ. සමහර මිනිස්සු ජොබ් වලිනුත් අයින් කරනවා. උගස් තියා ගන්න කනකර බඩුවත් නැති අසරණ මිනිස්සු මේ රටේ ඉන්නවා කියලා සැප විඳින බලධාරීන්ට අමතක වෙලා ගිහිල්ලා . මේ පාලකයෝ පත්වෙද්දී දුප්පතුන් නැති කරනවා කියල කිව්වට අහිංසක අපිව නැත්තටම නැති කරයි කියලා හිතුවේ නෑ”.

මේ වන විට පාරිභෝගික ජනතාව පමණක් නොව, නිෂ්පාදකයෝ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ද, අතරමැදි වෙළෙන්දෝ සහ සමස්ත ජනතාවම ද බඩු මිල ඉහළ යෑම නිසා පීඩා විඳිමින් සිටිති. අනාගතය සඳහා ආයෝජනය කිරීමට කෙසේ වෙතත් එදා වේල පිරිමසා ගනිමින් දරු පවුල් සමඟ ජීවත් අවශ්‍ය වටපිටාවවත් නිර්මාණය කර දෙන ලෙසට ජනතාව වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ එසේ නොකළහොත් තමන්ට දෙවියන්ගේ පිහිට මිස වෙන කිසිවෙකුගේ සරණක් නොමැති බවද සිහිපත් කරමිනි.

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment