තුම්පනෙන් මතුවන මෙගලිතික යුගයේ ශිෂ්ටත්වයේ නටබුන්

172

යකඩ උණු කළ බවටත් සාක්ෂි

දුන්කුඹුර අයත් වන්නේ තුන්පනේටය. කෙනෙකුට යමක් අවබෝධ නොවන විට නූගත් බව හැඟවීමට ‘‘කොහෙද ගෙවල් තුන්පනේද’’ කියා ජන වහරේ පැවැති යෙදුම භාවිතා කළේ ඒ පුද්ගලයා නෝනජල් කිරීමටය. එහෙව් තුන්පනේ මෙගලිතික යුගයට අයත් අතීත ශිෂ්ටාචාරයක් දරා සිටි බවට දැන් හෙළිවෙමින් ඇත. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය දුන්කුඹුර ප‍්‍රදේශයේ කරන ලද පුරාවිද්‍යා කැණීමක ප‍්‍රතිඵලයක් ලෙසය. ඉතිහාසයේ දිගු කාලයක් කාලයේ වැලි තලාවෙන් වැසී පැවති එම පුරා විද්‍යා බිම්කඩ පිහිටියේ හතරලියද්ද ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ දුන්කුඹුර කඩමණ්ඩියේ සිට මීටර් සියයක් දුරිනි. මෙගලිතික යුගයට අයත් ඉපැරණි සොහොන් ගෙයක නටබුන් යැයි දැන් ස්ථිර කරගෙන තිබෙන එම පුරාවිද්‍යා උරුමය වර්තමාන ලෝකයට අනාවරණය වූයේ මෙසේය.

පසුගිය කාලයේ මහනුවර රඹුක්කන මාර්ගය ලහිලහියේ සංවර්ධන කටයුතු සිදුවිය. ඒ සඳහා දුන්කුඹුර ප‍්‍රදේශයේ පාර දෙපස ඇති ඉවුරු කඩා බිඳ දමන විට අළු වැනි ද්‍රව්‍යයක් සහ ඉපැරණි වළං කැබලි මතුව ආවේය. ඒ පොළවට ආගන්තුක මේ ද්‍රව්‍ය කුමක්දැයි ගවේෂණය කිරීමට පැමිණියේ කැලණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ විද්වතුන් ය. සීරු මාරුවට මේ ගැන ගවේෂණයක යෙදුණ එම විද්වතුන් මුලදී මෙය පැරණි සොහොන් ගෙවල් බව සැක කළේය. මුලදී ආරුක්කුවක හැඩය ගත් අඩි 6ත් 7 ත් උස කෝවක ලක්ෂණ පෙන්නුම් කළ යමක් මෙහි පැවති බව ඔවුන් අනුමාන කළේය. මෙගලිතික යුගය දක්වා එම නිමැවුම්වල ඉතිහාසය දිගහැරෙන බව සිතන්නට හේතු වූයේ දුන්කුඹුර අවටින් හමු වූ තවත් මෙවැනි සාක්ෂිය.

තුම්පනෙන් මතුවන මෙගලිතික යුගයේ ශිෂ්ටත්වයේ නටබුන්

‘‘මෙගලිතික” යුගය යකඩ භාවිතයේ ආරම්භක යුගය ලෙස සැලකෙන්නෙ. එයට සාක්ෂි වශයෙන් මෙම ප‍්‍රදේශය අවට එනම්, දුන්කුඹුර, පොල්වත්ත මාවතගම, ඉඹුලේ තැන්න ආදී ගම්මානවල වර්ග හෙක්ටයාර 200 ක පමණ වපසරියක ගොඩ, මඩ, ඉඩම්වල යබොර කැට (යපස් උණුකිරීමෙන් පසු ඉතිරි වන අපද්‍රව්‍ය) විශාල වශයෙන් හමුවෙලා තියෙනවා. ගමේ මිනිස්සු කියන්නෙ මෙම යබොර කැට නිසා ඇතැම් ඉඩම්වල පොල් වළක් කපා ගන්න බෑ කියල. කිලෝමීටර් 6 -7 ක් දුරින් පිහිටි ගිරිහාගම ‘භගවාලෙන’ නම් ස්ථානයේ ඇති ඓතිහාසික සෙල් ලිපිය ද එදා ලංකාව සහ ඉන්දියාව අතර වෙළෙඳාම් පැවති බව සඳහන්. එම සෙල් ලිපියෙහි සඳහන් පරිදි ‘බරුක වග මදලහ ලෙනේ’ යනුවෙන් සඳහන් වෙනවා. ඉන්දියාවේ වත්මනෙහි ඔරෝමා ලෙස හඳුන්වන එකල බාරුකච්චි නමැති ඉන්දියාවේ බටහිර වෙරළේ පිහිටි වරායට ගොස් වෙළෙඳාම් කටයුතුවල යෙදුන මදල නමැත්තාගේ ලෙන මෙය කියලයි එහි තේරුම.

එදා වෙළෙන්දන් දැදුරුඔය දිගේ ගලගෙදර කොස්පොතුඔය හරහා වෑඋඩ, ගුණදාහ, ගලගෙදර, ගලබාව යන ප‍්‍රදේශවලට සේන්දු වූ බවට බ‍්‍රාහ්මීය අක්ෂරවලින් තබා ඇති සෙල්ලිපි මගින් මනාව පැහැදිලියි. පුරාවිද්‍යා සොයා ගැනීම් අනුව ක‍්‍රි.පූ. 150 පමණ සිට ඉන්දියාවේ යකඩ සහ වානේ භාවිතය පැවති බවත්, කෘෂි කාර්මික උපකරණ මෙන්ම යුද කටයුතු සඳහා අවශ්‍ය අවි ආයුධ, නිෂ්පාදනය සඳහා යකඩ යොදා ගෙන ඇති අතර, ඇතැම් විට ලංකාවෙන් ද ඒ සඳහා අවශ්‍ය යකඩ සහ වානේ ලබාගන්න ට ඇතැයි අනුමාන කළ හැකි’’ යැයි මේ ස්ථානය ගැන දීර්ඝ විස්තරයක් කරන පුරාවිද්‍යා නිලධාරීන් පවසනවා.

තුම්පනෙන් මතුවන මෙගලිතික යුගයේ ශිෂ්ටත්වයේ නටබුන්

ප‍්‍රාග් ඓතිහාසික තොරතුරු පිළිබඳව ගවේෂණය කරන, ඉංග‍්‍රීසි භාෂා උපදේශකවරයකු වන, දුන්කුඹුරේ පදිංචි ආර්.ඇම්.පී.ජී. ජයතිලක මහතා මේ පිළිබඳ සොයා බලන විද්වතෙක්. මේ ස්ථානය ගැන ඔහුගේ කියවීම මේ…

‘‘මෙම ස්ථානය මට මුලින්ම නිරීක්ෂණය වුණේ, මීට වසර හයකට විතර පෙර යි. නුවර, රඹුක්කන මාර්ග සංවර්ධන කටයුතු සිදු කළ අවදියේ, ඒ වන විට මාර්ගය දෙපස ඉවුරු කපා තිබුණා. එක් ස්ථානයක අසාමාන්‍ය විදියට පස් තට්ටුව පිලිස්සී ගිය ගඩොල් පෝරණුවක ස්වරූපයෙන් දක්නට තිබුණා… ඊට අමතරව එය ආරුක්කුවක හැඩය පෙන්නුම් කළා, ඒ නිසා මම තව තවත් විමසිල්ලෙන් පරීක්ෂා කරන විට, එහි තුළ, වළං කැබලි, අළු යනාදිය දැකගන්න ලැබුණා. මම අනුමාන කළේ මෙය යකඩ නිපදවීමට යපස් උණු කළ කෝවක් කියායි. එසේ අනුමාන කිරීමට ද කරුණු කාරණා රාශියක් තිබුණා. මේ අවට එනම් දුන්කුඹුර පොල්වත්ත, මාවතගම, ඉඹුලේතැන්න යනාදී ප‍්‍රදේශවල යකඩ උණුකිරීමෙන් පසුව ඉවත් වන යබොර නමැති අවශේෂ කොටස් විශාල වශයෙන් දැකගැනීමට හැකි වුණා. පස්සේ මම, ග‍්‍රාම නිලධාරි, සහ ප‍්‍රාදේශීය ලේකම් හේමන්ත කුමාර මහතා දැනුවත් කර මේ සම්බන්ධයෙන් එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස් ශිරාන් දැරණියගල මහතා ද හමුවී මෙම ස්ථානය පිළිබඳව තොරතුරු අනාවරණය කළා. ඒ අතරතුර මම මාධ්‍යවේදීන් ගෙන්වා ඔවුන් ද දැනුවත් කිරීමෙන් පසුව පුවත්පත්වල පළ වූ වාර්තා අනුව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් මෙම ස්ථානය සහ අවට ගම්මානවල දැකගත හැකි සාධක නිරීක්ෂණය කර, මෙම ස්ථානයේ තිබුණ වළඳ කැබලි, අඟුරු යනාදිය රැගෙන ගියා. වසර කීපයකට පසුව මට දැන ගැනීමට ලැබුණා මෙම ස්ථානයෙන් ලබාගත් සාම්පල ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල පර්යේෂණාගාරයකට යවා පරීක්ෂණ කටයුතු සිදු කරන බව. ඊට පස්සේ ගිය මාසයේ එම පර්යේෂණ වාර්තාවේ පිටපතක් මා වෙත එවා තිබුණා. තවත් පිටපතක් ප‍්‍රාදේශීය ලේකම්තුමාට ද එවා තිබෙනවා.’’

තුම්පනෙන් මතුවන මෙගලිතික යුගයේ ශිෂ්ටත්වයේ නටබුන්

ක‍්‍රි.පූ 400 සිට ක‍්‍රි. ව. 130 දක්වා වූ පූර්ව ඓතිහාසික යුගයේ දී මියගිය පුද්ගලයින් ආදාහනය කර එම අළු බඳුනක තැන්පත් කර, ඔහු ජීවත් ව සිටිය දී භාවිතා කරන ලද වටිනා භාණ්ඩ ද එම මැටි භාජන තුළ දමා සොහොන් ගෙයි තැන්පත් කිරීම සිරිතක් වශයෙන් සිදුකර තිබේ. ”මෙගලිතික සොහොන් සම්ප‍්‍රදාය’’ හැඩරුව වන්නේ එයයි. එම යුගයේ වංශවත් පුද්ගලයන්ගේ ආභරණ මෙවැනි සොහොන් භූමි තුළින් සොයාගෙන තිබෙන බවට මීට පෙර ද මේ රටින් වාර්තා විණි. දඹුල්ලේ ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමියේ තිබී පබළු වර්ග සහිත පළඳනා රාශියක් හමුවීම ඊට ළඟම සාක්ෂියයි.

1920 පමණ දුන්කුඹුර මාර්ගය කරත්ත පාරක්ව පැවති අතර එය මහාමාර්ගයක් දක්වා සංවර්ධනය කිරීමේදී මෙම භූමියේ විශාල කොටසක් අහිමි වී ඇති බවට සාක්ෂි ඇත. එම පස් තට්ටුව දැනට මෙම මාර්ගයට පහළින් පිහිටි ඉඩම වන අතර එය ද පරීක්ෂා කළහොත් තවත් වටිනා පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත සාක්ෂි අනිවාර්යයෙන් මේ බිමින් සොයා ගත හැකිය.

තුම්පනෙන් මතුවන මෙගලිතික යුගයේ ශිෂ්ටත්වයේ නටබුන්

කැලණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රෝස් සෝලංගආරච්චි මහත්මිය ගේ ප‍්‍රධානත්වයෙන් හරේන්ද්‍ර ලාල් නාමල්ගමුව, කසුන් ජයසූරිය, ඉඳුනිල් මදුරංග යන මහත්වරු මෙම වටිනා ඉතිහාසය ලොවට අනාවරණය කරගැනීමට ක්ෂේත‍්‍ර පරීක්ෂණ සිදු කළ විද්වතුන්ය. ඔවුන් විසින් මේ බිමේදී සොයා ගැණුනු වළඳ කැබලි, අඟුරු, පස්, මැටි, අළු, සාම්පල රැගෙන ඒවා කාබන් රේඩියෝ පරීක්ෂණවලට සහ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ ‘නියාම්’ පර්යේෂණාගාරයේ පරීක්ෂණ සඳහා යොමු කළේය.

ඒ අනුව දැන් දුන්කුඹුර සැලකිය හැක්කේ ශ‍්‍රී ලංකාවේ උසම කුටීර මැටි සොහොන් බිම පවතින ස්ථානය ලෙසය. එය ක‍්‍රි. පූ. 201 ත් ක‍්‍රි.ව. 185 ත් අතර කාලයේ දී ඉදිවූවක් බවද අදාළ කාබන් නිර්ණ පරීක්ෂණවලින් සනාථ කර ඇත. එසේම උස සෙන්ටි මීටර් 115 ක් පමණ වූ සහ ඝනකම සෙන්ටි මීටර් 10 ක් පමණ වූ , මැටියෙන් ඉදිකරන ලද කුටි දෙකක නටබුන් මේ ප‍්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර ප‍්‍රදේශය පුරා විසිරී ඇති යබොර කැට පරීක්ෂණවලින් හෙළිවන්නේ තුන්පනේ යනු යපස් උණුකිරීමෙන් යකඩ සහ වානේ නිපදවූ දියුණු ශිෂ්ටාචාරගත මිනිසුන්ගේ අතීත කතාවක්ය.

තිස්ස ගුණතිලක
පසුබිම් තොරතුරු
හතරලියද්ද
කිත්සිරි බණ්ඩාර සමරතුංග

advertistmentadvertistment
advertistmentadvertistment