තුවාල නෑ: උන්නු විදිහටම මැරිලා… එක්ස්ප්‍රස් පර්ල් කැස්බෑවන්, ඩොල්පීන් මරාදැමූ හැටි

319

ජගත් කණහැරආරච්චි


එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන ගිලී ගියේ ශ‍්‍රී ලංකාවට අසීමිත පාරිසරික විනාශයක් අත්කර දෙමිනි. එක් පැත්තකින් එහි පටවාගෙන පැමිණි බහලූම් 1486 ක් මේ වනවිට ගිනිගෙන හෝ මුහුදු බත්වී ඇත. ඒ තුළ ඇසිඞ් වර්ග, රසායනික ද්‍රව්‍ය, බැර ලෝහ සහිත භාණ්ඩ වර්ග යනාදී වශයෙන් වර්ග 170 කට අධික භාණ්ඩ ලැයිස්තුවක් තිබුණු බවට හඳුනාගෙන ඇත. නැව ගිනි ගන්නා මොහොතේ පටන් වෙරළට කාන්දු වුණේ එහි තිබූ ලක්ෂ – කෝටි ගණනක් වූ ප්ලාස්ටික් පෙලට්ස් ඇතුළු පාවෙන දේවල් පමණි. නමුත්, බහාලූම් ගණනාවක තිබුණු හා ගිනි ගැනීමට හේතුවුණු රසායනික ද්‍රව්‍ය බොහොමයක් හා තොග ගණනාවක් තවමත් ඇත්තේ මුහුදු පතුළේය. එම රසායනිකවලින් සිදුවන මහා සමුදුරු දූෂණයේ ප‍්‍රතිඵල දැන් වෙනත් ආකාරයෙන් අපට දර්ශනය වන්නට හෝ දැනෙන්නට පටන්ගෙන ගෙන ඇත. ඒ අන්කිසිවකින් හෝ නොව මෙම රසායනික දූෂණයට ඉතාම සංවේදී මුහුදු ජීවීන් සිය දහස් ගණනකගේ මිය යෑම මගිනි.

ඒ අතර ඇහැට පෙනෙන සතුන් හා ඇසට හරි හැටි ග‍්‍රහණය නොවන මුහුදු ප්ලවාංග (Plangton), කොරල් ජීවීන්, මුහුදු ඇල්ගී ඇතුළු තෘණ වර්ග(Sea Gras) යනාදී දහසකුත් ජීවීහු වෙති. මේ වනවිට කොරල් පර හා මුහුදු තෘණ බිම්වලට සිදුව ඇත්තේ කුමන ආකාරයේ හානියක්ද යන්නවත් අප නොදන්නේ මුහුදේ රළු ස්වභාවය හා රසායනික දූෂණය මැද ඒ ගැන සොයන්නට කිමිදුම්කරුවන් සයුරට නොබසින බැවිනි. එනමුත් මේ රසායනික විනාශයේ ගොදුරක්ව මිය යන කැස්බෑවන් හා ඩොල්පින් මසුන් ඇතුළු මත්ස්‍ය විශේෂ ගණනාවක සිරුරු මේ වනවිටත් ගොඩගසමින් පවතින අතර, ප‍්‍රකට කැස්බෑ සංරක්ෂණවේදියකු වන කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ තුෂාන් කපුරුසිංහ මහතා පවසන්නේ අඩුම තරමින් කැස්බෑවන් 50-55 අතර ප‍්‍රමාණයක් මේ වනවිට මිය ගොස් ගොඩ ගසා ඇති බවට වාර්තා තමන් වෙත ලැබී ඇති බවයි.

මෙසේ මියගිය කැස්බෑවන් කිහිප දෙනකු පිළිබඳව සමීප නිරීක්ෂණයක් කරන්නට තමන්ට අවස්ථාව ලැබුණු බවද, එහිදී තමන්ට හඳුනාගන්නට ලැබුණේ මෙම කැස්බෑවන්ට කිසිදු බාහිර තුවාලයක්, තැලීමක් වැනි උපද්‍රවයක් වූ බවට හඳුනාගත නොහැකි නමුත් පිළිස්සුණු ආකාරයක් පෙන්නුම් කරන බවයි. එසේම, කටින් හා ජම්බාලිය (ගුද හා ප‍්‍රජනක විවරය) තුළින් ලේ වැගිරීම සිදුව ඇති බවයි. එසේම, පිටකටුව පිළිස්සුණු හා හිස මෙන්ම, හිස සිට අවල්පත් දක්වා පිළිස්සුණු හා මස් දියව ගිය සතුන්ගේ සිරුරු තමන් අධ්‍යයනය කළ බවද කපුරුසිංහ මහතා පවසයි. එසේම, මුඛය ඇරගෙන ඉදිමී මියගිය සතුන් මේ අතර සිටින බවත් ඉන් පෙන්නුම් කරන්නේ විසක් ශරීර ගත වූ ලක්ෂණ ඇති බව පවසන තුෂාන් කපුරුසිංහ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ හැකි ඉක්මණින් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර වහාම මෙම සතුන් මිය යන්නට හේතුව විද්‍යාත්මකව පැහැදිලි කරන්නට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කිරීම වැදගත් බවයි. එම දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද මරණ පරීක්ෂණවලදී රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවෙන කැස්බෑවන්ගේ (සහ ඩොල්පින් ඇතුළු මසුන්ගේ) රස පරීක්ෂණ වාර්තාව ඉතා ඉක්මණින් ප‍්‍රසිද්ධ කළ යුතුව ඇති බවද ඒ මහතාගේ අදහසයි. ඒ මිය යන කැස්බෑවන්ගේ මරණවලට ඇත්ත හේතු දැන ගැනීම සඳහාය.

කපුරුසිංහ මහතා කියන පරිදි, සාමාන්‍යයෙන් වාරකන් සමයේදී කැස්බෑවන් ගොඩගැසීම සිදුවන නමුත් මෙසේ අසාමාන්‍ය ලෙස මීට පෙර කිසි කලෙකත් කැස්බෑවන් මිය ගොස් ඇති බවක් ඔහු නිරීක්ෂණය කර නැත. එසේ වාරකන් සමයේදී මිය ගොස් වාර්තා වන කැස්බෑවන් සංඛ්‍යාවට වඩා තුන් ගුණයකටත් වැඩි කැස්බෑවන් ප‍්‍රමාණයක් මෙම නැව් අනතුරෙන් පසු මිය ගොස් ඇති බවට වාර්තාවී ඇති බවත් ඒ මගින් පැහැදිලි වන්නේ නැවේ තිබුණු විස රසායනිකයක් හා යම් පිළිස්සුම් කාරක මගින් මෙම මරණ සිදුවන බවද කපුරුසිංහ මහතා පැහැදිලි කළේය.

මේ අතර කැස්බෑවන් පිළිබඳව දශක කිහිපයක් තිස්සේ සිට පර්යේෂණ කටයුතු සිදු කරන තවත් ප‍්‍රකට කැස්බෑ විශේෂඥයකු වන ජීවි සංරක්ෂණ සංගමයේ සභාපති ආචාර්ය ලලිත් ඒකනායක මහතා පවසන්නේ මෙම නැව් අනතුර සිදුවන්නේ මෙරට මුහුදු තීරයේ කැස්බෑවන් බහුල ලෙස සංචරණය කරන කාලයක බවයි.

‘‘කැස්බෑවන්ගේ බිත්තර දමන ස්ථාන ගැන අපි 1996 සිට පර්යේෂණ සිදුකරනවා. මුලින්ම අපි බැලූවේ තංගල්ල රැකව මුහුදු තීරය ගැන. දෙවනුව කොස්ගොඩ වෙරළ ආදී වශයෙන්. මෙහිදී පය 24 ම දවස් 365 ම අපි මේ ගැන සොයා බැලූවා. කොහොමහරි රැකවට වසර පුරාම කැස්බෑවන් බිත්තර දාන්න එනවා. ජනවාරි පටන් ගත්තහම දිගටම එනවා. නමුත් අපි දැක්කේ අපේ‍්‍රල්-මැයි වගේ තමයි වැඩිපුරම කැස්බෑවන් එන්නේ කියල. ඒ කියන්නේ උපරිම ප‍්‍රමාණයක් එනවා. ඉන් පස්සේ ටික ටික අඩුවෙනවා. කොහොම හරි මේ නැව අනතුරට ලක්වෙන්නේ උපරිම කැස්බෑවන් ප‍්‍රමාණයක් ලංකාවට එන කාලයේ. ඉතා වැදගත්ම කාරණය තමයි අපි සැටලයිට් තාක්ෂණය උපයෝගී කරගෙන 2006-2007 සිදු කළා වැදගත් පරීක්ෂණයක්. රැකව සිට ගල් කැස්බෑවන් 10 දෙනෙකුට සැටලයිට් ඩිවයිස් සම්බන්ධ කරල මුදා හැරියා. ඒ කැස්බෑවන් 10 දෙනාගෙන් 7 දෙනෙක්ම රැකව ඉඳන් බටහිර පැත්තට ඇවිල්ලා 2 ක් ගාල්ල පහුකරලා අන්දමන් දූපත් පැත්තට ගියා. අනිත් 5 දෙනා බටහිර වෙරළ දිගේම කොළඹත් පහුකරල උඩට ගිහින් පුත්තලම දක්වා ගිහින් එක් කෙනෙක් වමට හැරිලා කේරළ පැත්තට ගියා. අනෙක් 4 දෙනා තලෙයිමන්නාරම බොක්ක පැත්තට තමයි ගියේ. මේකෙන් කියන්න පුළුවන් ඒ කැස්බෑවන්ගෙන් සියයට පනහක්ම කොළඹ හරහා තමයි ගමන් ගන්නේ. ඒ කියන්නේ බිත්තර දැම්මට උන් භෝජන කලාපයට යන්නේ මේ නැව අනතුරට ලක්වුණු ස්ථානය පසුකරගෙන. ඒ කියන්නේ එකක් තමයි උන්ගේ ගමන් මාර්ගයේ තමයි මේ අනතුර වෙන්නේ. අනික උන් බිත්තර දාන උපරිම කාලය. ඉතින් කැස්බෑවන් මෙතරම් බහුල ලෙස මිය යන්න හේතුව ඉතාම පැහැදිලියි.’’ ආචාර්ය ලලිත් ඒකනායක පවසයි. තුෂාන් කපුරුසිංහ මහතා කැස්බෑවන්ගේ මරණ සම්බන්ධයෙන් තවත් වැදගත් කරුණක් හෙළිදරව් කරයි. එනම් ඔහු පවසන්නේ ශ‍්‍රී ලංකාවට පැමිණෙන විශේෂ 5 ම කැස්බෑවන් මිය ගොස් සිටි බව සමාජ මාධ්‍ය මගින් හා ඇතැම් මාධ්‍ය මගින් මෙන්ම යම් පුද්ගලයින්ද ප‍්‍රකාශ කළත්, තමන්ට ලැබී ඇති තොරතුරු අනුව මිය ගොස් වාර්තාවන්නේ කැස්බෑ විශේෂ 3 ක් පමණක් බවයි.

‘‘දාර කැස්බෑවන්ගේ සිරුරු සොයාගත් බවට වාර්තා හෝ පින්තුර අපි දැක්කේ නෑ. දාර කැස්බෑවා ඕනෑම කෙනෙකුට අඳුර ගන්න පුළුවන්. ඒ වගේම ඔළුගෙඩි කැස්බෑවන් මියගිය බවටද වාර්තා මම දැක්කේ නෑ. මිය ගොස් සිටින්නේ බටු කැස්බෑවන් සහ ගල් කැස්බෑවන් යන විශේෂ දෙක සහ පොතු කැස්බෑවා යන විශේෂය. සමාජ මාධ්‍ය මගින් පළකර තිබුණු ඇතැම් පින්තුර වෙන රටවල සිද්ධවුණු දේවල් කියලයි මම දැක්කේ. සමහර මත්සයින්ගේ පින්තුර අපේ රටේ ඒවා නෙමෙයි. ඒවගේ වැරදිත් මේ වෙලාවේ සිද්ධ වෙනවා. කොහොම හරි මේ නැවේ පරිසර විනාශය අපි තවම හරි හැටි අත්වින්දේ නෑ. කොරල් පර, මුහුදු තෘණ බිම් ගැන අපි තාම දන්නෙවත් නෑ. ඉස්සරහට තමයි මේ විනාශයේ තරම හරි හැටි දැනගන්න පුළුවන් වෙන්නේ” යැයි තුෂාන් කපුරුසිංහ මහතා පවසයි.

මෙසේ කැස්බෑවන් ඇතුළු මුහුදු ජීවීන් විශාල වශයෙන් මිය යෑම වාර්තා වන්නේ ජුනි මස 16 දිනට යෙදී තිබුණු ලෝක සාගර කැස්බෑ දිනය සමරන මොහොතේ හා ජුනි මස 08 දිනට යෙදී තිබුණු ලෝක සාගර දිනය සැමරුමට ලක්වන මොහොත්දී වීම අතිශය කනගාටුදායක සිද්ධියකි. ලෝකයම කැස්බෑවන් ඇතුළු සාගර සම්පත් සුරකින්නට කතා කරන කාලයක අපට සිදුව ඇත්තේ මියගිය කැස්බෑ සිරුරු, ඩොල්පින් සිරුරු බදාගෙන අඬන්නටය. සැබැවින්ම මේ අපට සිදුව ඇත්තේ අපි නොසිතු විනාශයකට මුහුණ දෙන්නටය. ලෝකයට පරිසර සංරක්ෂණය ගැන ඔල්වරසන් දුන් අපිට අද සිදුව ඇත්තේ ලජ්ජාවෙන් මිරිකෙන්නටය. අඩුම තරමින් මේ ලජ්ජාවෙන් ගැලවෙන්නට මේ සිදුවූ විපතට සරිලන වන්දියක් ගන්නටවත් බලධාරීන් කටයුතු කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment