තෙත් බිම් උරුමය රකින කොළඹ මිනිස්සු

555

කොළඹ තෙත්බිම් සංරක්ෂණය මගින් එහි ජෛව විවිධත්වය සංරක්ෂණය කර තහවුරු කිරීම, තෙත් බිම්වල වටිනාකම පිළිබඳව ප‍්‍රජාව දැනුවත් කිරීම, ඒ ආශ‍්‍රිත ප‍්‍රජාවගේ ආර්ථිකය සවිබල ගැන්වීම හා වැඩිමනත් පුරන් කුඹුරු නැවත අස්වැද්දීම හා දේශීය වී වර්ග ප‍්‍රචලිත කිරීම මගින් දේශීය සහල් රසායනික භාවිතයෙන් තොරව වගාකිරීම යනාදිය අරමුණු කරගනිමින් ප‍්‍රජා මූල සංරක්ෂණ ක‍්‍රමවේදයක් 2017 වසරේදී ක‍්‍රියාවට නංවන ලදී. ශ‍්‍රී ලංකා රජයේ පූර්ණ අනුදැනුම යටතේ හා පරිසර අමාත්‍යාංශය, කොළඹ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගය මත හා ප‍්‍රජා සහ රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ජගත් පරිසර පහසුකමේ (GEF) සුළු මූල්‍යාධාර වැඩසටහන (SGP) මගින් මෙම තුන් අවුරුදු තෙත් බිම් සංරක්ෂණ වැඩසටහන ක‍්‍රියාවට නංවන ලදී.

මෙසේ ක‍්‍රියාවට නගන ලද සම්පූර්ණ වැඩසටහන කොළඹ තෙත් බිම් කලාපය ආශ‍්‍රිතව පිහිටි තෝරාගත් තෙත්බිම් කලාප කිහිපයක් සඳහා සැලසුම් කර මෙම කොළඹ තෙත්බිම් ආශ‍්‍රිත භූ දර්ශයේ (Landscap) ක්ෂේත‍්‍ර ක‍්‍රියාකාරකම් ඉටුකිරීම සඳහා සංවිධාන 11 ක් තෝරාගන්නා ලදී. ප‍්‍රජා සහ රාජ්‍ය නොවන සංවිධාන වශයෙන් ක‍්‍රියාත්මක වූ මෙම සංවිධාන, තේරීපත්වී ඇත්තේ එම සංවිධාන මගින් තෙත්බිම් සංරක්ෂණය සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනා සැලකිල්ලට ගනිමිනි. තෙත්බිම් සංරක්ෂණය හා ඒ ආශ‍්‍රිත ප‍්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මගින් ඔවුන් තෙත්බිම් සංරක්ෂණයට දායක කරගැනීම ලෙස සරලව මෙම කොළඹ තෙත්බිම් සංරක්ෂණ වැඩසටහන හඳුන්වා දිය හැකිය.

තෙත් බිම් උරුමය රකින කොළඹ මිනිස්සු

මෙසේ කොළඹ තෙත් බිම් භූ දර්ශය පුරා විසිරී කටයුතු කරන ප‍්‍රජා සහ රාජ්‍ය නොවන සංවිධානවල සිදුකළ කටයුතු දැන් අපි විමසා බලමු. මේ සඳහා පළමුව අප එසේ කටයුතු කරන සංවිධාන සියල්ල හඳුනාගැනීම කළයුතු වන අතර, ඔවුන්ගේ ව්‍යාපෘති බලප‍්‍රදේශ මොනවාද යන්නද සලකා බැලීම සිදු කෙරේ.

 පළමුව අප සලකා බලන්නේ කොළඹ නගරයට ඉතා ආසන්නවම පැතිර පවතින වැදගත්ම නාගරික තෙත්බිමක් ලෙස හඳුනාගත හැකි අක්කර 107ක් පමණ පුරා පැතිර පවතින රාජගිරිය – නාවල – නාරාහේන්පිට ප‍්‍රදේශයේ පිහිටි හීන් ඇළ තෙත්බිමේ වාසස්ථාන ප‍්‍රතිෂ්ඨාපනය හා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු පිළිබඳවය. ජලජ සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය (OARM) මගින් මෙහි ක‍්‍රියාකාරකම් සිදුකරන ලදී. ඒ යටතේ  රාජගිරිය බණ්ඩාරනායකපුර ප‍්‍රදේශයේ සිට හීන් ඇළ තෙත්බිමේ සංරක්ෂණ කටයුතු සිදුකරන ලද මෙම සංවිධානය, එතැන් සිට නාවල – වැලිකඩ මාර්ගයේ පාලම දක්වා වන ඇළ මාර්ගයේ ජපන්ජබර, සැල්වීනියා වැනි ආක‍්‍රමණික ජලජ පැළෑටි ඉවත්කර, ස්වභාවික අලංකාර ජලජ පැළෑටි නිදහසේ වැඞීමට ඉඩකඩ ලබාදී ඇති අතර, මේ මගින් ජලජ පක්ෂීන් සඳහාද කදිම පරිසරයක් නිර්මාණය කරදී ඇත.

එසේම, සමස්ත හීන් ඇළ තෙත් බිම චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ඡුායාරූප හා මිණුම් ලබාගෙන සිතියම් ගතකර ඇති මෙම සංවිධානය, මෙම තෙත්බිම සඳහා සංරක්ෂණ සැලසුමක් සකස්කර ඇත. ඒ අනුව, තෙත්බිමේ ජෛවවිවිධත්ව අධ්‍යයනයක් සිදුකරමින් මෙහි වෙසෙන හා මේ තුළ සැරිසරන සත්වයින් හා ශාක පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදුකර ඇත. එසේ හඳුනාගන්නා ලද සතුන් අතර වාසස්ථාන තර්ජනයකට ලක්ව සිටින හඳුන් දිවියන් හා දිය බල්ලන් සංරක්ෂණය සඳහා විශේෂයෙන් කටයුතු සකස්කර ඇති මෙම සංවිධානය, මෙම සතුන්ට සැඟව දිවිගෙවීම සඳහා කැදලි (Dense) තනාදීමට කටයුතු කර ඇත. එසේම, කොළඹ නගරය අශ‍්‍රිතව සැරිසරන වවුලන්ගේ නවාතන්පළක් වන මෙම ප‍්‍රදේශයේ වවුලන්ට ලැගීම සඳහාද ලැගුම් ස්ථාන තනාදී ඇත. සර්පයින්ට ලැගීම සඳහා මැටි කළ, බට (සිලින්ඩර) වැනි දෑ යොදා ඇත. ජලජ කුරුල්ලන්ට ලැගීම සඳහා අතු ඉති යොදා තිබීමෙන් වැඩි කුරුල්ලන් ප‍්‍රමාණයක් දර්ශනය වන අතර, නොගැඹුරු, මඩ කඩිති තනා ඔවුන්ට ආහාර බිම්ද තනාදී ඇත.

බණ්ඩාරනායකපුර ජනාකීර්ණ ප‍්‍රදේශයෙන් හීන් ඇළ තෙත්බිමට මුදා හැරෙන අප ජලය හැකි උපරිම මට්ටමින් අවම කිරීම සඳහා එහි ජනතාව දැනුවත් කිරීමට ව්‍යාපෘතිය මගින් කටයුතු කර ඇති ඇති අතර, ඇළ ඉවුරේ සහ හඳුනාගත් ස්ථානවල කඩොලාන සහ දේශීය පැළ වර්ග සිටුවීම සිදුකර ඇත.

 අනතුරුව අප නිරීක්ෂණයට බඳුන් කළේ කොළඹ නගරයට තදාසන්න තවත් තෙත්බිම් ආශ‍්‍රිතව සිදුකෙරෙන ව්‍යාපෘතියක් කෙරෙහිය. ඒ, ශ‍්‍රී ජයවර්ධනපුර අභයභුමියට අයත් දියසරු උයන හා කෝට්ටේ බැද්දගාන තෙත්බිම් උද්‍යාන ඇසුරේ වනබදව දිවිගෙවන හඳුන් දිවියා සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියයි. ස්මෝල් කැට් ඇඞ්වොක්සි ඇන්ඞ් රිසර්ච් (SCAR) සංවිධානය මගින් සිදුකරන ලද මෙම ව්‍යාපෘතිය මගින් ඉහත තෙත්බිම් කලාප දෙකේ හඳුන් දිවියන්ගේ පැතිරීම, හැසිරීම හා ඔවුන් මුහුණ දී ඇති තර්ජන මෙන්ම හඳුන් දිවියන් හා ප‍්‍රජාව අතර සබැඳියා අධ්‍යයනයට බඳුන්කර තිබිණි. මේ සඳහා නූතන තාක්ෂණික මෙවලම් හා උපායමාර්ග ඉතා හොඳින් භාවිතයට ගැනීමද මෙහි විශේෂත්වය වේ. එනම්, හඳුන් දිවියන්ගේ හැසිරීම් රටා සහ පැතිරීම අධ්‍යයනය සඳහා ස්වයංක‍්‍රීය කැමරා (Camara Traps) මෙන්ම චන්ද්‍රිකා තාක්ෂණය සහිත කර පටි  (GPS Collers) යොදා ගෙන තිබිණි. මෙහිදී කැමරා 6 ක් මගින් විමර්ශනය සිදු කර ඇත. කර පටි මගින් සතුන්ගේ හැසිරීම හා සංචරණය නිරීක්ෂණයට බඳුන් කර ඇත.

 මෙම සංවිධානය මගින් දැනටමත් සිදුකර ඇති අධ්‍යයන අනුව, දියසරු උද්‍යානය හා බැද්දගාන තෙත්බිම් ප‍්‍රදේශයේ දිවිගෙවන වන සතුන්ගේ තොරතුරු හා රූප සහිත පෝස්ටරයක් එළි දැක්වීම සිදුකර ඇත.

 මේ යටතේ ක‍්‍රියාත්මක වන තෙවන ව්‍යාපෘතිය වන තලංගම වැව ආශ‍්‍රිත තෙත්බිම් කලාපයේ සංරක්ෂණ හා ප‍්‍රජා පාදක වැඩසටහන් ක‍්‍රියාවට නගනු ලබන්නේ පීපල් ටු පීපල් වොලන්ටියර්ස් (P2P) සංවිධානය මගිනි. තලංගම වැව ආශ‍්‍රිත තෙත් බිම් පරිසර පද්ධතිය සංරක්ෂණය මූලික කරගනිමින් කටයුතු කරන ලද මෙම සංවිධානය ඉහත තෙත්බිම් පරිසරය සංරක්ෂණයට අදාළව ප‍්‍රජා දැනුවත් කිරීම් සිදුකරන ලදී. මේ සඳහා අදාළ තෙත්බිම් පරිසරයේ වටිනාකම් හුවාදක්වන්නට වැව ප‍්‍රවේශ මාර්ගයේ දැනුවත් කිරීමේ පුවරු සවිකර ඇත. මීට අමතරව කුඩා කණ්ඩායම් මගින් ප‍්‍රජා සවිබලගන්වීම් සිදුකර, ඔවුන් වෙත කාබනික ගෙවතු වගාව හඳුන්වාදී ඇත. නිවසේ හා ගෙවත්තේ කසළ කළමනාකරණය මගින් සිදු කෙරෙන මෙම ගෙවතු වගාව මගින් පවුලේ පෝෂණය තම ගෙවත්ත මගින්ම හා අඩු පිරිවැයකින්, වසවිසෙන් තොරව ලබා ගැනීමට ඉඩ සලසා දී ඇති අතර පාරිසරික හානිය අවම කිරීමට කටයුතු කර ඇත. මේ සඳහා අවශ්‍ය පුහුණුව හා රෝපණ ද්‍රව්‍ය, උපකරණ ව්‍යාපෘතිය මගින් ලබාදී ඇත. නාගරික ගෙවතු සංකල්පය ඉතා හොඳින් මෙහි ස්ථාපිත කර ඇත.

 හෝමාගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වටරැක, පනාගොඩ බටහිර, පානළුව හා ආටිගල ගම්මාන මුල්කරගෙන ශ‍්‍රී ලංකා මානව සංවර්ධන පදනමේ (HDFSL) මගින් ක‍්‍රියාවට නගන ව්‍යාපෘතියේ ප‍්‍රමුඛ කාර්යය ලෙස අපට හඳුනාගන්නට ලැබෙන්නේ පුරන් කුඹුරු කාබනික හා දේශීය වී වර්ග භාවිතයෙන් අස්වැද්දීමය. ඉහත ගම්මාන හතරේ පුරන් කුඹුරු හෙක්ටයාර් 151 ක් හා රසායනික ක‍්‍රමයට අස්වද්දන කුඹුරු හෙක්ටයාර් 160 ක් කාබනික හා දේශීය වී වගාවට පරිවර්තනය කිරීම ඒ මගින් සිදුකර ඇත. එසේම, ඊට යටිතල පහසුකම් දියුණු කිරීම ලෙස ඇළ මාර්ග ප‍්‍රතිසංස්කරණය සහ වාරි ජල පහසුකම් ලබාගැනීමද අදාළ වේ. මෙම ඉලක්ක සාක්ෂාත් කිරීමේ පළමු අදියරේදීම සංවිධානය ප‍්‍රදේශයේ ගොවි සංවිධානවල සහයෝගය ඇතිව 2020-2021 මහ කන්නයේදී අක්කර 116 ක් වපුරා, බුසල් 2308ක අස්වැන්නක් ලබාගෙන ඇත. කළුහීනටි, මඩතවාලූ හා කුරුලූතුඩ වී වර්ග මෙසේ වගා කර ඇත. එසේම, පානළුව හා ආටිගල ප‍්‍රදේශයේ කිලෝමීටර් 2 බැගින් ඇළ මාර්ග කපා පිළිසකර කිරීම අවසන් කර ඇත.

 මෙම සංවිධානය මගින් වටරැුක, පානළුව ප‍්‍රදේශයේ හයිලෙවල් මාර්ගයට මුහුණලා දේශීය ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ප‍්‍රජා වෙළෙඳසලක් විවෘතකර ඇති අතර එමගින් වස විස නැති දේශීය ආහාර ද්‍රව්‍ය, අගය එකතුකළ ආහාර නිෂ්පාදන, බෝග හා බීජ වර්ග, කොළඹ තෙත්බිම්වලින් නෙළා ගන්නා ලද අස්වනු අලෙවි කිරීම මගින් මනා සේවයක් ඉටුකරයි.

 අනතුරුව අපගේ අවධානය යොමු කෙරුණේ කොලොන්නාව වගුරු බිම් අශ‍්‍රිතව ජීවත්වන තරුණ ප‍්‍රජාව තෙත්බිම් සංරක්ෂණය සඳහා යොමුකිරීමේ මූලාරම්භක පියවර නම් ව්‍යාපෘතිය ක‍්‍රියාවට නගන ලද ඉමෝෂනල් ඉන්ටලිජන්ස් ඇන්ඞ් ලයිෆ් ස්කිල්ස් ටේ‍්‍රනින් ටීම් ආයතනයේ (EILS)තෙත්බිම් සංරක්ෂණ කටයුතු කෙරෙහිය. ගොතටුව තෙත්බිම ආශ‍්‍රිතව ඒ වටා පිහිටි ග‍්‍රාම නිලධාරි වසම් 5 ක් තුළ ක‍්‍රියාවට නගන ලද මෙම ව්‍යාපෘතිය මූලිකවම තරුණ පිරිස් ඇසුරෙන් සැලසුම් කරන ලද තෙත්බිම් සංරක්ෂණ වැඩසටහනකි. ඊට ”ලස්සන කොලොන්නාව” ලෙස නම් ලබා දී තිබිණි.

 මෙම කොලොන්නාව තරුණ කැළ, ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය ලේකම්, ප‍්‍රජා පොලිසිය හා ග‍්‍රාම නිලධාරීන් සමග ඉතා ක‍්‍රියාකාරී සම්බන්ධතා ගොඩනගා ගනිමින් තෙත්බිම් සංරක්ෂණයට පියවර ගෙන තිබීම විශේෂ ක‍්‍රියාදාමයකි.

 කසළ අර්බුදය, නාගරික රථ වාහන තදබදය මෙන්ම නාගරීකරණය නිසා සිදුවන තෙත්බිම් හානිය පිළිබඳව වෙබ් අඩවි සහ වෙනත් අන්තර්ජාල සබඳතා මගින් පුළුල් තරුණ ප‍්‍රජාවක් හා එක්ව කටයුතු කරන මෙම ලස්සන කොලොන්නාව තරුණ කණ්ඩායම ඔවුන්ගේ මුහුණු පොත (FaceBook) මගින් වැඩි ජනප‍්‍රියතාවකට ලක්වූ පිරිසකි. පරිසරය, හොඳ ආහාර පුරුදු, කසළ කළමනාකරණය, නිර්මාණශීලිත්වය වැනි උපක‍්‍රම ඔස්සේ තරුණ ප‍්‍රජාව සවිබල ගැන්වීම මගින් තෙත්බිම් සංරක්ෂණය කිරීම ඔවුන්ගේ දැක්ම වී තිබිණි.

 ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අංශයේ තිරසාරත්වය උදෙසා කේන්ද්‍රය (CFS – USJP) විසින් සිදුකරන ලද  ශ‍්‍රී ජයවර්ධනපුර, තලවතුගොඩ තෙත්බිම් පරිසර පද්ධතිය ප‍්‍රතිස්ථාපනය සහ තිරසාර කළමනාකරණය ව්‍යාපෘතිය කොළඹ තෙත්බිම් භූදර්ශයේ මීළඟට අපට හමුවන තවත් වැදගත් තෙත්බිම් සංරක්ෂණ ව්‍යාපෘතියකි. තලවතුගොඩ දියසරු උද්‍යානය පාදක කරගෙන මෙහි කටයුතු සිදුකෙරේ.

කොළඹ තෙත්බිම් සඳහා තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් ජනගත කිරීම, එහි සමනළ උද්‍යානය නරඹන්නන්ට විවර කිරීම හා දියසරු උද්‍යානයේ ඉදිකිරීමට යෝජිත ඉතිරි සමනළ උයන සඳහා ප‍්‍රවේශවන පාලම් මාර්ගය සැකසීම, බත්කූරන්ගේ බෝවීම සඳහා තිබෙන ජල පොකුණු නැවත සකස් කිරීම, බිඳවැටුණු, අවපැහැගැන්වුණු හා දිශාගතවුණු තොරතුරු පුවරු නැවත සැකසීම යනාදිය සිදුකරමින් දියසරු උද්‍යානයට නව පෙනුමක් ලබාදීම මෙම සංවිධානය සිදුකර ඇත.

 මීට අමතරව, මෙම ව්‍යාපෘතිය මගින් දියසරු උද්‍යානයේ සමනළ උයන තුළ ජලජ පැළෑටි ඇතුළුව ශාක හා පැළෑටි 10,000 කට ආසන්න ප‍්‍රමාණයක් රෝපණය කිරීම එහි මඩ කඩිති දෙකක්, පැණි ලබාගැනීමේ බඳුන් ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

 තෙත්බිම් සංරක්ෂණය සඳහා නීති බලගැන්වීම හා නීති ක‍්‍රියාවට නැගීම මෙන්ම, පවතින නීති පද්ධතියේ දුර්වලතා නිසා තෙත්බිම් සංරක්ෂණයට පවතින බාධා හඳුනාගනිමින් හා ඒවා යාවත්කාලීන කරමින් තෙත් බිම් සංරක්ෂණය සඳහා කටයුතු කරන ලද පාරිසරික නීති ආයතන දෙකක් අතරින් පරිසර යුක්ති කේන්ද්‍රයේ  (CEJ) තෙත් බිම් සංරක්ෂණ කටයුතු පිළිබඳව ඉන් පසු අපි සලකා බලමු.

 පරිසර යුක්ති කේන්ද්‍රයේ  (CEJ) තෙත්බිම් සංරක්ෂණ කටයුතු සඳහා සම්බන්ධ වී ඇත්තේ තෙත්බිම් සංරක්ෂණයට අදාළ නීතිමය ප‍්‍රතිපාදන බලාත්මක කිරීම සඳහාය. ඒ සඳහා ප‍්‍රජා සහභාගිත්වයද ලබාගෙන ඇත. මෙම සංවිධානය කොළඹ තෙත් බිම් කලාපයේ ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මහරගම, හෝමාගම, කොලොන්නාව සහ කඩුවෙල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස තම බල ප‍්‍රදේශය ලෙස තෝරාගෙන කටයුතු කර ඇති අතර, මේ එක් කොට්ඨාසයකට හය (06) බැගින් තෙත්බිම් ආරක්ෂණ කමිටු 30 ක් පිහිටුවා ඇත. තෙත්බිම් ගොඩ කිරීම, කසළ දැමීම, අනවසර ඉදිකිරීම් හා තෙත්බිම් ඉඩම් අල්ලා ගැනීම වාර්තා වීම අඩු බැවින් ඉහත කමිටු මගින් එවන් තොරතුරු ලබාගැනීමට කටයුතු කර ඇත. මේ සඳහා එම කමිටුවලට විශේෂිත ඍජු ඇමතුම් අංකයක් (හොට් ලයින් – 071 0369000* ලබා දී ඇත.

එසේම ඔවුන් විසින් තෙත්බිම් සංරක්ෂණයට අදාළ නීති ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටලූ හඳුනාගෙන ඇති අතර මෙම ගැටලූවලට අදාළ නීති ක‍්‍රියාත්මක මට්ටමට ගෙනඒම සංවිධානය මගින් සිදුකර ඇති තවත් ප‍්‍රධාන කටයුත්තකි.

 මෙම ව්‍යාපෘතිය මඟින් හඳුන්වා දී ඇති තවත් වැදගත් අංගයක් වනුයේ තෙත්බිම් සංරක්ෂණය සඳහා E-justis නම් ජංගම දුරකතන මෘදුකාංගයක්  (mobile app) හඳුන්වා දීමය. එමගින් තෙත්බිම් සංරක්ෂණ කමිටුවලට හා ප‍්‍රජාවට තෙත්බිම් ප‍්‍රශ්න ඍජුවම ව්‍යාපෘතියට යොමු කළ හැක. අදාළ බලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම තොරතුරු ව්‍යාපෘතිය මඟින් ක්ෂණිකව භාවිතයට ගනී.

 අවසන් වශයෙන් අප සලකා බලනු ලබන්නේ ඉහත සංවිධාන සියල්ල සම්බන්ධීකරණය කරමින් ඒ සියල්ලේ දැනුම කළමනාකරණය කරනු ලද සුරක්ෂි සංවිධානයේ  (Women for Conservation) කටයුතු කෙරෙහිය. මේ මඟින් අනෙකුත් සංවිධානවල කටයුතු නිරීක්ෂණය හා සම්බන්ධීකරණය සිදුකර ඇත. එක් එක් සංවිධාන මුහුණ පාන ගැටලූ හා ප‍්‍රගතිය පසු විපරමට ලක් කෙරෙන අතර එම තොරතුරු  UNDP/GEF/SGP ව්‍යාපෘතියට යොමු කිරීම කරන ලදී. අමතරව සාකච්ඡා හා රැුස්වීම් සංවිධානය කර අවශ්‍යතා ඇති සංවිධානවලට පුහුණු අවස්ථා සංවිධානය කරදීම ද මෙම සංවිධානය මගින් සිදු කර ඇත. නිදසුනක් ලෙස වගා ක්ෂේත‍්‍රයේ නියුතු සංවිධානවල ප‍්‍රජා සාමාජිකයන් තිස් දෙනකු සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී කෘෂි පුහුණුව ලබා දී ඇත. එසේම ව්‍යාපාරික අවස්ථා, කාර්මික හා තාක්ෂණික සේවා ලබාගැනීමට අදාළ සම්බන්ධීකරණය සිදු කර ඇත. වගා කටයුතුවල නිරත සංවිධානවල ප‍්‍රජාවට සහනයක් ලෙස ඔවුන්ගේ පස් හා ජල සාම්පල්වල ප‍්‍රමිතිගත පරීක්ෂණ සඳහා විශ්වවිද්‍යාල හා එක්ව කටයුතු කිරීමත්, කොළඹ තෙත්බිම් කලාපයේ සංවිධානවල මූලික දත්ත හා තොරතුරු රැස් කිරීමත් සුරක්ශී සංවිධානයේ කටයුතු අතරට අයත්ව තිබිණි.

 මෙසේ විවිධ විෂයයන් ඔස්සේ සහ විවිධ පාරිසරික සහ ප‍්‍රජා ක‍්‍රියාකාරකම් ඔස්සේ ඉහත සංවිධාන මගින් කොළඹ තෙත්බිම් ආශ‍්‍රිත ප‍්‍රජාවගේ දැනුවත්භාවය, ඔවුන්ගේ ජීවන තත්ත්වය හා යටිතල පහසුකම් ඉහළ නංවා තෙත්බිම් පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීමට ගන්නා ලද ධනාත්මක වැඩසටහනක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙම කොළඹ තෙත්බිම් සංරක්ෂණ වැඩසටහන අපට හඳුනාගන්නට හැකිවිය.

 ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment