තෙල්වලට වතුර කවලම් වෙලාද?… වතුර මිශ්‍ර කර ඉන්ධන බෙදුවා ද?

129

පසුගිය දිනවල රට පුරා බෙදා හැරි පෙට්‍රල් හා ඩීසල්වලට වතුර කවලම් කර ඇතැයි ජනතාව චෝදනා කළ හ. වාහන ටැංකිය තෙලින් පුරවා පැය කිහිපයක් ගත වන විට ඇන්ජිම අක්‍රිය වීම සහ ගාල්ල හා නාරම්මල ප්‍රදේශයන්හි ඉන්ධන පිරවුම් හල් දෙකකින් ලබාගත් පෙට්‍රල් බෝතල් තුළ පැහැදිලි ජල ස්තරයක් තෙලින් වෙන් ව දිස් වීම මෙකී චෝදනාවට සාක්‍ෂි විය.

මේ මහජන ගැටලුවෙහි පසුබිම පිළිබඳව අපි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ඛනිජ තෙල් උපදේශක එස්. කේ. සිරිල් සුදුවැල්ල මහතා ගෙන් විමසුවෙමු. ඔහු එහි දී පැහැදිලි කර සිටි වැදගත් කරුණක් වූයේ ඛනිජ තෙල් පොම්ප කිරීමේ දී සහ ගබඩා කිරීමේ දී වතුර තාක්‍ෂණික මෙවලමක් ලෙස භාවිත කරන බව ය.

“අපි ඛනිජ තෙල් පොම්ප කිරීමේ දී සහ ගබඩා කිරීමේ දී අවස්ථා කිහිපයක දී ම වතුර භාවිත කරනවා. නැව් මගින් ගෙනෙන පෙට්‍රල් සහ ඩීසල් මුතුරාජවෙල හෝ කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණ වෙත පොම්ප කරන්නේ පයිප්ප ලයින් එකක් හරහා. මේ පයිප්ප ලයින් එක පිරිසිදු කිරීම සඳහා මුහුදු වතුර භාවිත කරනවා. ඒ වගේ ම අපි පොම්ප කිරීමෙන් ලබාගැනීමට නො හැකි ව නැව් ටැංකියේ ඉතිරි වූ තෙල් ලබා ගැනීමටත් වතුර භාවිත කරනවා.

අපි දන්නවා තෙල් ජලයේ පා වන බව. මොකද ජලය කියන්නේ තෙල්වලට සාපේක්‍ෂ ව ඝනත්වයෙන් වැඩි ද්‍රවයක් නිසා. අනෙක් අතට, ඒවා කිසි දා මිශ්‍ර වෙන්නෙ නෑ. ඒ, ජල අණු ධ්‍රැවීය වන අතර තෙල් අණු නිර්ධ්‍රැවීය වන නිසා.

මේ සරල රසායනය භාවිතයෙන් අපි ටැංකිය පතුලේ ම ඇති තෙල් ඉවතට ගන්නට අවශ්‍ය මට්ටමට වතුර පුරවලා පහසුවෙන් ම තෙල් උඩට ගන්නවා.”

● ඉන්ධන පර්යන්තයේ ටැංකි තුළ වතුර?

මෙසේ භාවිතයට ගත් ජලය සුළුවෙන් හෝ තෙල් ගබඩා සංකීර්ණ ටැංකි තුළ ගබඩා විය හැකි බව පවසන සුදුවැල්ල මහතා වැඩි දුරටත් පැවසුවේ, එම තෙල් ටැංකි විවෘත පරිසරයේ ඇති නිසා ඇතැම් විට වැසි ජලයත් ටැංකි තුළට කාන්දු වන බවයි.

“ජලය වාෂ්ප ලෙස හෝ වෙනත් ක්‍රමයකට කාන්දු වෙලා ඕනෑ ම තෙල් ටැංකියක පතුලේ තියෙන්න පුළුවන්. ඒ එක්ක ම ටැංකි පතුලේ රොන්මඩ සහ වෙනත් අපද්‍රව්‍ය තිබෙන්නත් පුළුවන්. ඒ නිසා නැවකින් පොම්ප කළ තෙල් මේ ටැංකි තුළට වැටෙන කොට ඒවා ඔක්කොම තෙල් සමග කැලතෙනවා. මොකද මේ ටැංකි තුළට පොම්ප කරන්නෙ තෙල් ටොන් 30,000ක් හෝ 40,000ක් වගේ ලොකු ප්‍රමාණයක් නිසා ඒවා පොම්ප වෙන්නෙ විශාල පීඩනයකින්.

ඒ අතරෙ තෙල් පොම්ප කරන පයිප්ප ලයින් පිරිසුදු කිරීමට යොදාගත් වතුර සහ නැව් ටැංකිය පතුලේ තිබූ තෙල් පා කර ගැනීමට යොදාගත් වතුරත් ටැංකි තුළට පොම්ප වෙන්න පුළුවන්. එතකොට නැවකින් ටැංකියට තෙල් පොම්ප කරලා ඉවර වුණා ම ටැංකිය වහන්නෙ පොම්ප කළ තෙලුත්, මුහුදු වතුරත්, මඩ වතුර හා වෙනත් ක්‍රමවලින් ආ ජලයත් සමගයි.”

සරල ව තෙල් බෝතලයකට ගෙදර හෝස් බටයකින් වතුර පිරවූ විට වන දේ සිතන්න. තෙල් සහ වතුර කිසි ලෙස වත් මිශ්‍ර නො වන නිසා පීඩනයෙන් පැමිණි ජලය බිඳිති ලෙස බෝතලය තුළ තිබූ තෙල් අතරේ පා වනු දැකිය හැකි ය. සුදුවැල්ල මහතා කී පරිදි ගබඩාවට තෙල් පොම්ප කළ පසු සිදු වන්නේ ද මෙයයි. තෙල් අතරේ පෙර කී ලෙස ආ ජලය බිඳිති ලෙස ගබඩා වේ.

තෙල්වලට වතුර කවලම් වෙලාද?... වතුර මිශ්‍ර කර ඉන්ධන බෙදුවා ද?

“මම කලින් කිව්වා වගේ අපට වතුරෙ ලුණු, සීනි හෝ කිරි වැනි දේ දිය කළ හැකි නමුත් තෙල් දිය කරන්න බෑ. එනිසා පොම්ප කළ තෙල් අතර ජලය තිබුණා නම් ඒ ජලය බිඳිති ලෙස පා වනවා. මේ ජල බිඳිති තෙල් අතරින් වෙන් කර ගන්න අවශ්‍ය නම් අපි කාලයට ඉඩ දිය යුතුයි.

ඒ කිව්වේ, පොම්ප කළ තෙල් ටික වතුරෙන් උඩට ඇවිල්ලා පැහැදිලි ස්තර දෙකකට වෙන් වෙන්න යම් කිසි කාලයක් දෙන්න ඕන. මේ කාලය තීරණය වෙන්නේ වතුරේ ස්වභාවය මත :මුහුදු වතුර ද, මඩ වතුර ද) සහ ගබඩා කරන තෙල් වර්ගය මතයි. ඒ අනුව ඊට ගත වන කාලය පැය 10ක්, දවසක්, දෙකක් හෝ ඊටත් වඩා වැඩි දින ගණනක් වෙන්නත් පුළුවන්. මේ ටැංකි හදල තියෙන්නේ දවස් 28කට තෙල් ගබඩා කරලා තියා ගන්න. ඒ නිසා සාමාන්‍යයෙන් මේ කාලය ඒ තරම් ගැටලුවක් වන්නේ නැහැ. මෙහි අවසාන ප්‍රතිඵලය විදිහට ටැංකියේ තිබූ ජලය පහළට ගොස් පොම්ප කළ තෙල් සංශුද්ධ ව ජලය මත පා වනවා. එවිට තෙල් බෙදා හැරීම ආරම්භ කළ හැකියි.” එහෙත් අද වන විට තෙල් නැවෙන් ආ විගසින් රට පුරා බෙදා හරින්නට ඇති කලබලය නිසා වතුර කවලම් කළා යැයි කියන පෙට්‍රල් හා ඩීසල් රට වටින් හමු වන බව සුදුවැල්ල මහතා කියයි.

“ඉස්සර කවදා වත් ලංකාවට නැවෙන් තෙල් ගෙන ආපු ගමන් බෙදා හරින්නෙ නෑ. දැන් මේ බෙදන්නේ එසේ නො කර බැරිකමට. නැවෙන් ගෙනා තෙල් කොළොන්නාව හා මුතුරාජවෙල ටැංකි තුළට පොම්ප වෙන්නත් ඉස්සෙල්ලා බෙදනවා. සාමාන්‍යයෙන් නම් නැවෙන් ගෙනාවා ම විතරක් නෙමෙයි සපුගස්කන්දේ පිරිපහදු කළ තෙල් ගෙන ආවත්, ගෙනාපු ගමන් බවුසර්වලට පොම්ප කරන්නේ නෑ. දැන් මේ කරන ක්‍රියාවලිය නිවැරැදි තාක්‍ෂණික ක්‍රමවේදය නෙමෙයි. තෙල් සහ වතුර ස්තර දෙකකට වෙන් වෙන්න ප්‍රමාණවත් කාලයක් දෙන්න ඕන. ඒක නැති නිසා තමයි ජනතාව වතුර කවලම් කළ පෙට්‍රල් හා ඩීසල් අලෙවි කළා කියල අපට චෝදනා කරන්නේ.”

● නාරම්මල කතාව

මීට අමතර ව නාරම්මල සිද්ධිය හුවා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ, ඉන්ධන පිරවුම් හළට පැමිණෙන තෙල් බවුසර තුළ ජලය ස්වල්පයක් හෝ තිබිය හැකි බවයි. “බවුසරයට තෙල් පුරවන කරාමය බාගෙට වැහිල තිබ්බොත් බවුසරය හෝදන විට හෝ වැස්සට තෙමෙද්දී වතුර පිරෙනවා. එහෙමත් නැත්නම් තෙල් ටැංකිය පතුලේ තිබ්බ වතුරවලින් කොටසක් හරි එක් වෙලා බවුසරේ පිරවූ තෙල් සමග වතුර තියෙන්න පුළුවන්. එය වළක්වා ගන්න අපි බවුසරයට තෙල් පුරවා ගන්නා කරාමය ටැංකිය පතුලේ සිට අඟල් කිහිපයක් ඉහළින් සවි කර තිබුණත් ඒ ගැන 100%ක් විශ්වාස කරන්න බෑ.

ඒ නිසා පිරවුම්හලේ සේවකයන්ට වගකීමක් තිබෙනවා, බවුසරේ තෙල් පිරවුම්හලේ ටැංකියට පොම්ප කරන්න පෙර තරමක් විශාල ප්‍රමාණයේ විවෘත බාල්දියකට අරගෙන එහි වතුර තියෙනවා දැයි දෘෂ්‍යමාන පරීක්‍ෂාවක් කිරීමට. බවුසරේ පතුලෙ තමයි ඉන්ධන පිරවුම්හලේ ටැංකියට තෙල් පොම්ප කරන නළය සවි කර තිබෙන්නෙ. ඒ නිසා මේ පරීක්‍ෂාවේ දී බවුසරේ වතුර තියනවා නම් ඉස්සෙල්ලා ම එන්නේ වතුර. එදා නාරම්මල වුණේ ඒකයි. පළවෙනි පාර බාල්දියට දාපු ගමන් ම ආවේ වතුර. ඒක බෝතලේකට දැම්මා ම බාගයක් පිරුණෙ වතුරෙන්. නමුත් ඒ බවුසරේ ගෙනාපු වතුර ප්‍රමාණය එච්චර ම වෙන්නත් තිබුණ. ඒ නිසා නිවැරැදි ක්‍රමය වෙන්නෙ තවත් වාර තුනක් වත් බාල්දියට තෙල් ගෙන දෘෂ්‍ය පරීක්‍ෂාව කිරීම. එහෙමත් කරලත් වතුර ම එනවා නම් ඒ තෙල් බවුසරේ භාර නො ගෙන හරවා යැවිය යුතුයි. එතකොට අර දෘෂ්‍ය පරීක්‍ෂාව කිරීමේ දී වතුර පිරුණු බාල්දිත් නැවත බවුසරේට ම දාල තමයි යවන්නේ. එදා නාරම්මල සිදු වීමේ දී ඒ අය දෙවෙනි පාරටත් මේ පරීක්‍ෂාව සිදු කළා නම් සමහර විට බාල්දියට තවත් වතුර එකතු නො වෙන්නත් තිබ්බ. නමුත් එදා පළමු පරීක්‍ෂාවේ දී ම වතුර විශාල ප්‍රමාණයක් ආව. මිනිස්සුත් ගොඩක් පෝලිමේ හිටියා, ඒ අය මේ සිද්ධිය දැක්කා සහ ප්‍රශ්න කළා. ඒ නිසා පිරවුම්හලෙන් තීරණය කළා තෙල් ටික ප්‍රතික්ෂේප කර හරවා යවන්න.”

● ගාල්ලේ වතුර

කෙසේ නමුත් සුදුවැල්ල මහතා පෙන්වා දෙන්නේ බවුසරයේ තෙල් පිළිබඳ දෘෂ්‍ය පරීක්‍ෂාව සාර්ථක වීමෙන් පසුවත් සෑහීමකට පත් විය නො හැකි බවයි. තෙල් පිරවුම්හලක ටැංකිය පොළොව යට ඇති නිසා ඒවාට ද වැහි වතුර කාන්දු වීමේ හැකියාවක් ඇත. ගාල්ලේ වාර්තා වූ සිදු වීමට හේතු වී තිබුණේ මෙම කරුණයි. එම සිදුවීමේ දී බොහෝ රථවාහන තුලට ජලය සමග තෙල් පොම්ප කර තිබූ අතර එම නිසා රථ වාහනවල එන්ජින්වල ක්‍රියාකාරිත්වය නැවතී ඒවා නතරවීමේ සිදුවීම් වාර්තා විය. මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතුව මේ පිළිබඳ ව අදාළ පිරවුම්හලේ සේවකයන් දැක්වූ නො සැලකිල්ල යැයි සුදුවැල්ල මහතා චෝදනා කරයි.

“තෙල් පිරවුම්හලක ටැංකිය තියෙන්නේ පොළොව යට. මේ ටැංකි ගැලුම් 3,000 සිට 5,000 දක්වා විවිධ ප්‍රමාණයෙන් යුක්තයි. ඒ නිසා වැහි වතුර එහෙම පිරෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බවුසරේකින් පිරවුම්හලේ ටැංකියට තෙල් පොම්ප කළාට පස්සේ ටැංකිය ඇතුළේ කොයි තරම් මට්ටමකට වතුර තියනවා ද කියලා පරීක්‍ෂා කරනවා. ඒ සඳහා ාසචිඑසජන කියලා හඳුන්වන මීටර 2ක් පමණ දිග යකඩ කූරක් යොදාගන්නවා. යකඩ කූරේ නිල් පාට රසායන ද්‍රව්‍යයක් ගාලා ටැංකියට ගිල්වනවා. ටැංකියේ වතුර තියනවා, වතුර මට්ටමේ උසට කූරේ ගැල්වූ නිල් පාට රසායන ද්‍රව්‍ය රතු පාට වෙනවා. සාමාන්‍යයෙන් මේ තෙල් ටැංකි පතුලේ අඟල් 3ක් හෝ 4ක් පමණ වතුර පිරිලා තියෙන්න පුළුවන්. එතකොට අපි රික්ත පොම්පයක් භාවිතා කරලා නිවැරදි තාක්ෂණික දැනුමෙන් ඒ වතුර ප්‍රමාණය සම්පූර්ණයෙන් ම වගේ ඉවත් කරන්න උත්සාහ කරනවා. නමුත් ටැංකි පතුලේ මිලිමීටරයක් හෝ දෙකක් පමණ වතුර ඉතිරි වනවා. ඒ ප්‍රමාණය කවදාවත් වාහන වලට තෙල් සපයන පොම්පෙන් ඇදිලා එන්නේ නැති නිසා නො සලකා හරිනවා.”

● වරද කාගේ ද?

සමස්තයක් ලෙස මේ වරද ඉන්ධන ගබඩා කිරීම, බෙදා හැරීම හා සැපයීම දක්වා රාජකාරියේ නියුතු සියලු නිලධාරින්ගේ නොසැලකිලිමත් භාවයෙන් සිදු වූවක් බව පැහැදිලි කළ සුදුවැල්ල මහතා එහි පූර්ණ වගකීම රජය භාර ගත යුතු බව පෙන්වා දෙයි. ඒ අනුව මේ සිදු වීමෙන් පාඩු ලැබූ රියදුරන්ට බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට හෝ මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල් හෝ සභාපතිවරයාට හෝ පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් කිරීමෙන් වන්දි ලබා ගත හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

සහශ්‍රිකා දෙව්මිණි

advertistmentadvertistment
advertistmentadvertistment