තෙල් ගහන්න යතුරුපැදියේ ගිය පියපුතු දෙදෙනා බූතයාගේ හැපී පුතා එතැනමයි, පියාටත් බරපතළයි

451

ඉන්ධන ලබාගැනීම සඳහා මරදන්කඩවල ඉන්ධන පිරවුම් හලේ තෙල් පෝලිමට පෙරේදා (30) රාත්‍රියේ යතුරුපැදියකින් යමින් සිටි පිය පුතු දෙදෙනකු, ඉදිරියෙන් පැමිණි ට්‍රැක්ටර් රථයක පටවාගත් භූතයා නමැති ගොයම් කපන යන්ත්‍රයක ගැටීමෙන් 41 හැවිරිදි පුතු එම ස්ථානයේදීම මියගොස් බරපතළ තුවාල ලැබූ පියා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ඉපලෝගම පොලිසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ ඉපලෝගම සාන්තගම පදිංචි යූ. පී. චමිල නිරෝෂණ නැමැති 41 වියැති දෙදරු පියකු වන අතර ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු සේවකයකු බව ද පොලිසිය කියයි.

මියගිය නිරෝෂණ, තම පියා සමඟ ඉපලෝගම සාන්තගම සිට මරදන්කඩවල දක්වා තම යතුරුපැදියෙන් පෙරේදා දින රාත්‍රියේ පැමිණ ඇත්තේ ඉන්ධන පිරවුම් හලේ පෝලිමේ රැඳී සිට පෙට්‍රල්  ලබාගැනීමට ය.

ඒ එන අතරතුර රාත්‍රි 7.30 ට පමණ මරදන්කඩවල දම්පැලැස්සාගම තැපැල් කාර්යාලය අසල දී විරුද්ධ දෙසින් පැමිණි ට්‍රැක්ටර් රථයක පටවාගත් භූතයා ගොයම් කපන යන්ත්‍රයක ගැටී ඇති බවත් එම ට්‍රැක්ටර් රථය ද කැකිරාව ඉන්ධන පිරවුම් හලෙන් ඩීසල් ලබාගෙන නැවත පල්ලේකාගම දෙසට ගමන් කරමින් සිට ඇතැයි ද ඉපලෝගම පොලිසිය කියයි.

මෙහිදී බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන යෑමට කටයුතු කර ඇති අතර ඒ වනවිටත් පුතු මියගොස් සිට ඇති අතර බරපතළ තුවාල ලැබූ පියා මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

මොවුන් ගමන්ගත් යතුරුපැදියේ ප්‍රධාන විදුලි ලාම්පුව අක්‍රීය වී තිබූ නිසා විදුලි පන්දමක් ආධාරයෙන් යතුරුපැදිය ධාවනය කර ඇති බව මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇතැයි ද පොලිසිය කීය. එම නිසා විරුද්ධ දෙසින් පැමිණ ට්‍රැක්ටර් රථයේ තිබූ භූතයා යන්ත්‍රය හරියාකාරව නොපෙනීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි ද පොලිසිය සැක පහළ කරයි.

මේ වනවිට ට්‍රැක්ටර් රථයේ රියැදුරු හා භූතයා සමඟ ට්‍රැක්ටර් රථය ඉපලෝගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු ඉපලෝගම පොලිසිය මගින් සිදු කරයි.

තිරප්පනේ – සමන් පෙරේරා, මිහින්තලේ – රංග චතූ,  – නොච්චියාගම – එම්. එම්. ජි. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment