ඔස්ට්‍රේලියානු සමාගමට දුන් ෂෙඩ් 70ට රජය මැදිහත්වී තෙල් දෙන්න
බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම්
ඉන්ධන ගොඩබෑමක් නොකර ඉන්ධන නැවක් හැරීයෑම නිසා නැවත ඉන්ධන පෝලිම් ඇතිවීමේ අවදානමක් පවතින නිසා හැරී ගිය නැව අයත් සමාගමට අයත් ඉන්ධන හල් 70ට රජය මැදිහත් වී ඉන්ධන ලබාදෙන ලෙස ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම් කපිල නාඔටුන්න මහතා ඊයේ (12දා) ඉල්ලීමක් කළේය.
පැවැති රජය සමයේ ඕස්ට්‍රේලියානු තෙල් සමාගමකට මෙරට ඉන්ධන හල් 150ක් ලබාදෙන බවට පොරොන්දුවී 70ක් පමණක් ලබාදීමේ සිද්ධියක් මුල්කරගෙන ඇතිවූ ගැටලුවක් හේතුවෙන් ඉන්ධන නැව හැරීගොස් ඇති බවට වාර්තා වේ. එම සමාගමට ලබාදී තිබුණේ හොඳ ආදායම් ලබාගනිමින් සිටි ඉන්ධන හල් බවද නාඔටුන්න මහතා කීය. එම ඉන්ධන හල් නාගරික ප්‍රදේශවල පිහිටා ඇති බවත්, නැව හැරී යෑමෙන් පසු එම ඉන්ධනහල් වලට ඉන්ධන සැපැයීමේ ගැටලු ඇතිවිය හැකි නිසා ඉන්ධන පෝලිම් ඇතිවීමේ අවදානමක් පවතින බවත් ඔහු කීය.
ඉන්ධන නැව හැරී ගිය සමාගමට ඉන්ධන හල් ලබාදීමේ දී නියමාකාරයෙන් ගිවිසුම්ගත නොවී ඉන්ධන ලබානොගන්නා ලෙස තම සංගමය ඉන්ධන හල් හිමියන් දැනුවත් කළ බවත්, ඒ ගැන නිසි අවබෝධයක් නොමැතිව එම පිරිස් ගිවිසුම් ගතවී ඇති බවත් නාඔටුන්න මහතා කීය.
සවුදි සහ කුවේට් රටවලින් මාස දෙකක ණයක් යටතේ මෙරටට ඉන්ධන සැපැයීමට අවස්ථා කිහිපයකදීම සැපැයුම්කරුවන් ඉදිරිපත් වූ බවත්, ඒ සම්බන්ධයෙන් පැවැති රජයන් සමග සාකච්ඡා කළත් කිසිදු රජයක් ඊට එකඟ නොවූ බවත් කී නාඔටුන්න මහතා එම ආයෝජකයන් තෙල් මිලදී ගැනීමේදී කිසිදු අයකුට කොමිස් මුදල් ලබානොදෙන බව ප්‍රකාශ කළ බවත් පැවැසීය.
චමින්ද සිල්වා