තෙල් දෙන්න  මුල් තැන  කාටද?  – උසාවිය 12 දාට  පෙර ලිඛිතව ඉල්ලයි

180

ජන ජීවිතයට ඉතා අත්‍යවශ්‍ය ඉන්ධන තොග මිලදී ගැනීම බෙදාහැරීම හා ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛත්වය දෙන අංශ පිළිබඳව රජයෙන් විමසා ලබන 12 වැනිදාට පෙර ලිඛිතව අධිකරණයට දැනුම් දෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04 දා) නීතිපතිවරයාට නියෝග කළේය.

ඉන්ධන සැපයීමේ අවිධිමත් ක්‍රියා කලාපය නිසා රටේ සාමාන්‍ය ජන ජීවිතය කඩාවැටී, රෝහල්, ප්‍රවාහන හා කර්මාන්ත සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ වී ඇති බැවින් ඉන්ධන සැපයීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට රජයට බලකරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ විජිත් කේ. මලල්ගොඩ, මහින්ද සමයවර්ධන හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, උප සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ, ලේකම් ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කොට තිබිණි.

පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉල්ලා සිටින ඉන්ධන මිලදී ගැනීම හා සැපයීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් කඩිනමින් අධිකරණය දැනුවත් කිරීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා එහිදී අධිකරණයට එකඟතාව පළ කළේය. එම පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 14 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියෝග කළහ.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගළහේවා, ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය කනග ඊශ්වරන් මහත්වරු පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment