තෙල් නැතිව වල් වැදුණු රටක්

84

මේ පෝලිම් ක්‍රමය තුළ රටේ අකල් මරණ විශාල වශයෙන් වැඩි වෙනවා…

දේශපාලනඥයන්ට කඩේ නොයන සියලු පොලිස් නිලධාරීන් මේ ආණ්ඩුවත් එක්ක තරහෙන් ඉන්නෙ…

වැලිපැන්න දැන් තෙල් ගබඩාවක් වගෙයි…

සිතට සැනසීමක් නැත. දෙසවනේ රැඳෙනුයේ, නෙත ගැටෙනුයේ හදවත පාරවන අවාසනාවන්ත සිද්ධිමය. පසුගිය 05 වැනිදා බොරැල්ල ඉන්ධන පෝලිමකින් ද එවැනි ඛේදජනක සිද්ධියක් වාර්තා විය. ඒ බොරැල්ල ටිකල් පාරේ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි පුද්ගලයෙක් සිය සුඛෝපභෝගී මෝටර් රථයක් තුළ මිය ගොස් සිටියදී පොලිසිය විසින් සොයාගැනීමය. එසේ මිය ගොස් සිටියේ ඉන්ධන ලබාගැනීම සඳහා පෙරදා රාත්‍රියේ පෝලිමට පැමිණ සිටි අංගොඩ, ගොතටුව පදිංචිව සිටි හේවාගම දිසානායකගේ සුජීව විකුම් ගුණරත්න නමැත්තාය. එමෙන්ම පසුගිය 07 වැනිදා ප්‍රදේශ තුනක තෙල් පෝලිම්වලදී තවත් තිදෙනෙක් මිය ගියහ. ඒ පයාගල, බම්බලපිටි ඉන්ධන පෝලිම් දෙකකදී දෙදෙනෙක් රෝගාතුරුව ඇද වැටී මියයන විට 07 වැනිදා රාත්‍රියේ ගාල්ල, මාගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පෝලිමකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් විසිපස් හැවිරිදි සරසවි සිසුවෙක් මිය ගියේය. තවත් සිව්දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ද වාර්තා වේ. එම මරණ තුනත් සමඟ මෙරට ඉන්ධන පෝලිම්වල සිදු වූ මරණ දහඅට දක්වා ඉහළ ගියේය.

ඒ අයුරින් තෙල් පෝලිම් තුළදී අකාලයේ මිනිස් ජීවිත නැති වී ගිය ද මෙරට ඉන්ධන අර්බුදය විසඳෙන සේයාවක් හෝ නොපෙනේ. සති ගණන් එක තැන පල්වෙන ඉන්ධන පෝලිම් මොහොතින්, මොහොත දිගු වේ. මේ සටහන තබන මොහොත වනවිට මෙරට සියලු නගරවල කිලෝ මීටර් ගණන් දිගු ඉන්ධන පෝලිම් දැක ගැනීමට ලැබේ. ප්‍රධාන මාර්ගවල ඇතැම් මංතීරු ඉන්ධන පෝලිම්වලින් වැසී ගොස්ය. ඉන්ධන පෝලීම් ආසන්නයේදී වාහන ධාවනයට දැඩි බාධා එල්ල වෙමින් තිබේ. එම පෝලිම් තුළ නිරන්තරයෙන් ගැටුම් ඇති වී, මහා ගුටි කෙළි බවට පත්වී රෝහල්ගතවන පුද්ගලයන් සංඛ්‍යාව දවසින්, දවස වැඩි වෙමින් තිබේ. එමෙන්ම ඇතැම් මිනිස්සු එම පෝලිම් තුළම උයා පිහාගෙන කති, බොති. අව්වට පිච්චෙමින්, වැස්සට තෙමෙමින් මහ පාරේ ගත කරන කටුක ජීවිතයේ පීඩනය මුදාහැරීමට ඇතැම්හු කල්ලි ගැසී ගීත ගයති. ඒ අතර පදමට සූර් වී ගෝරි දමන අපතයන් මෙන්ම ඉන්ධන පෝලිම් තුළ පවුල් කන අවස්ථාවාදී නැහැදිච්ච ගැහැනු පිරිමි ද නැතුවාම නොවේ. ඉන්ධන පෝලිම් ඇසුරින් කාන්තාවන්ගේ යට ඇඳුම්, උපත් පාලන උපකරණ මුණගැසෙනුයේ මෙරට තෙල් පෝලිම් සංස්කෘතියේ අඳුරු පැතිකඩ ලොවට විවර කරමිණි.

ඉන්ධන පෝලිම්වල නොපෙනෙන පැතිකඩ මෙන්ම එම පෝලිම් තුළ දින, සති ගණන් රස්තියාදු වන පීඩිත මිනිසුන්ගේ හඬට සවන්දීමට පසුගිය දිනවල කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ ඉන්ධන පෝලිම් කිහිපයක් තුළට අපි ගියෙමු. රට පුරා විසිරී සිටින අපගේ මාධ්‍ය සගයන් මෙරට විවිධ නගරවල ඉන්ධන පෝලිම් තුළට යොමු කිරීමට ද අපි කටයුතු කළෙමු. මෙතැන් සිට පෙළගැසෙන්නේ ඔවුන් ලබාදුන් තොරතුරු මෙන්ම අප සොයාගත් තොරතුරුවල සංශිප්තයකි.

වැල්ලවත්ත ඉන්ධන පෝලිමෙන් ඇසෙන කතාව…

තෙල් නැතිව වල් වැදුණු රටක්

“කතා කරලා වැඩක් නෑ… තෙල් දුන්නෙ දෙදහස් පන්සීයක. ඊයේ සවස 3.00 ඉඳලා අද පාන්දර පහ වෙනකොට කන්න බොන්න සිගරට්වලට රුපියල් තුන්දාහක් විතර වියදම් වෙලා. වැඩියෙන් තෙල් ටිකක් දුන්නා නම් හිතට දුක නෑ. දැන් පිරවුම්හල්වලින් තෙල් දෙන්නෙ මූණ බලලා. සමහර අය මේ තෙල් ගහගෙන යනවා. ටික වේලාවකින් නැවත පෝලිමේ. අපේ කාලකණ්ණි මිනිස්සුත් විපතත් ජාවාරමක් කරගෙන…” වැල්ලවත්තේ පෙට්‍රල් පෝලිමකදී අදහස් දැක් වූ රවිචන්ද්‍රන් එසේ කියන විට එම පෝලිමේ සිටි තවත් පිරිසක් ඒ කතාවට අඩු වැඩි එකතු කළහ. එහෙත් පෙළගැසෙන සටහනට ඇතුළත් කළේ රවිචන්ද්‍රන් පැවසූ වචන කිහිපය පමණි. අනතුරුව ගාලු පාරේ දිගේ තෙල් පෝලිම්වල රස්තියාදු වන බොහෝ මිනිසුන් සමඟ අපි කතාබහ කළෙමු. ඔවුන්ගේ විවිධ කතාවලින් දෙසවන් පිරිණි.

“දැන් ගණිකාවන්ට නම් බිස්නස් ජයයි. රූම්වලට යන වියදමත් නෑ. රෑ දෙක, තුන වෙනකොට පෝලිම්වල තියෙන ගොඩක්ම වාහන රූම් වගේ තමයි. ඒ අතර පෝලිම් තුළදී දැන හඳුනාගෙන එක වාහනයක පැය දෙක, තුන ඉන්න ගැහැනු, පිරිමිත් ඉන්නවා. වැස්සේ, හීතලේ වාහන තුළ ගුළිවෙලා ඉන්නකොට හැඟීම්, දැනීම් ඇතිවීම සාමාන්‍යයක්. පෝලිම්වල ඉන්නෙත් මිනිස්සු නේ. ඒවා නම් අපි වරදක් විදිහට දකින්නෙ නෑ. වරද කළේ ඒ තැනට රටේ මිනිස්සු ඇද දැමූ මේ රටේ පාලකයෝ…” ඒ කතාවේ ද ගත යුතු යමක් තිබේ. මිනිසුන් විනෝදෙට රෑ තිස්සෙ පෝලිම්වල රස්තියාදු නොවන බව සැබෑය. අදූර්දර්ශී පාලකයන් විසින් රටේ ජනතාව ඒ තැනට ඇද දමා තිබේ. විවිධ සිතුවිලිවලින් මනස හෝල්මන් කරන විට වැලිපැන්න ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පෝලිමේ වාහනය නතර විය.

වැලිපැන්න ඉන්ධන පෝලිමෙන් ඇසෙන කතාව…

“වැලිපැන්නේ ගම දැන් තෙල් ගබඩාවක් වගෙයි. ඉන්ධන තොග නැති ගෙයක් නැති තරම්. තෙල් ලීටරයක් රුපියල් 1000 ගානෙ අපෙනුත් ඉල්ලනවා. විකුණන්නෙ 2000 යි. උන් නම් මහා කාලකණ්ණි ජාතියක්. මේ වාගේ ජාවාරම්කාර හැත්තක් එක්ක මේ රට ඉදිරියට යෑම පුදුමයි…” වැලිපැන්න ඉන්ධන පිරවුම්හලේ පෝලිමේදී තරුණයෙක් එසේ අදහස් දක්වන විට තවත් තරුණයෙක් අපූරු කතාවක් කීවේය.

“කළුතර දිස්ත්‍රික්කයේ සුපිරිතම දේශපාලන හොරාගේ ප්‍රධාන ගෝලබාලයන් කිහිපදෙනෙක් භූමිතෙල් ලීටරය රුපියල් 87 ට අරගෙන බේරුවල ධීවරයන්ට 1100 ගානෙ විකුණනවා. ඒ වගේ වැඩි මිලකට තෙල් ගහගෙන මුහුදු ගිහින් කීයට මාළු දෙන්නද? මේ ජාවාරම් ගැන සොයාබලන්න නීතිගරුක නිලධාරීන් මේ රටේ ඇත්තේම නැද්ද අයියේ… ඒ තරුණයාගේ පැනයට අපි නිරුත්තර වීමු. සුහද කතාබහකින් පසු වැලිපැන්න ඉන්ධන පෝලිමේ දුක්විඳින මිනිසුන් අතරින් අපි සමුගත්තෙමු.

පුත්තලම ඉන්ධන පෝලිමෙන් ඇසෙන කතාව…

“පහුගිය කාලේ වැඩි මිලට අරක්කු විකුණපු අයගේ දැන් අලුත්ම බිස්නස් එක ඩීසල්, පෙට්රල් විකිණීම. පෙට්‍රල් ලීටරයක් රුපියල් 2000 යි. ඩීසල් ලීටරයක් 1800 යි. ඒ මිලටත් තෙල් ගන්න ඕන තරම් ගැනුම්කරුවො ඉන්නවා. විකුණුම්කරුවන්ටත් සුපිරි ලාබයක් තියෙනවා. පෝලිම්වල කුලියට මිනිස්සු තියලා තෙල් ගත්තත් පාඩු නෑ. ගොඩක්ම වෙන්නෙ එහෙම තමයි. මිනිස්සුන්ට කුලී වැඩත් නැති නිසා තෙල් පෝලිම්වල කුලියට ඉන්නත් ඇති වෙන්න මිනිස්සු ඉන්නවා. ඉන්ධන පිරවුම්හල් අයිතිකාරයන්, සේවකයන් එක්ක එකතු වෙලා ජයට වැඩේ කරගෙන යනවා. ඒ වගේම තව සංවිධානාත්මක පිරිසක් ඩීසල්, පෙට්‍රල් මහා පරිමාණයෙන් රැස් කරනවා. සරළව කියනවා නම් ඉන්ධන බිස්නස් එක දැන් මේ රටේ තියෙන අධික ලාබ බිස්නස් එකක් බවට පත් වෙලා තියෙනවා. මේක හොරුන්ටම ගිය රටක්. සාධාරණයෙන් ජීවත් වෙන්නම බෑ…” ඒ කතාව අපට කීවේ පුත්තලම ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක දින දෙකක් එකදිගට සිටින වැඩිහිටියෙකි. හේ කුඩා ව්‍යාපාරයක් කරගෙන යන දිරිය මිනිසෙකි. මේ රට ව්‍යාපාර කිරීමට නොව ජීවත්වීමට ද සුදුසු රටක් නොවන බව හේ අපට කීවේය. ටෝගන් ක්‍රමයෙන් සිදුවන ඉන්ධන ජාවාරම ගැන මෙන්ම ඉන්ධන පෝලිම් තුළට ප්‍රදේශයේ පාතාලය රිංගා ඇති ආකාරය ගැන ද ඔහු දීර්ඝව කතා කළේය. එඩිතරව නම් ගම් හෙළිදරව් කළ ද, ඡායාරූපයකට පෙනී සිටියද ඔහුගේ අනන්‍යතාවය තහවුරු නොකර සිටීමට අපි අදහස් කළෙමු. අනතුරුව අපි පුත්තලමෙන් මොණරාගල ප්‍රදේශයට ගියෙමු.

මොණරාගල ඉන්ධන පෝලිමෙන් ඇසෙන කතාව…

“තෙල් පෝලිමට ආවේ තිනර් බෝතලයක් දාගෙන. රුපියල් 2000 ක් දීලා පෙට්‍රල් බෝතලයක් දාගන්නවට වඩා තිනර් ලීටරයක් දාගන්න එක වාසියි. ඒත් බයික් එකේ එන්ජින් එකට හොඳ නෑ. කරන්න දෙයක් නෑ. රුපියල් 2000 ට පෙට්‍රල් ගන්න අපි ලක්‍ෂපතියො නෙමෙයි. යන්තම් වගාවක් කරලා දරුපවුලක් නඩත්තු කරන දුප්පත් මිනිහෙක්. මේ පෝලිම්වල ඉන්න බහුතරය මම වගේ දුප්පත් ගොවියො. සල්ලි තියෙන, යන්තම් හරි මැච් එකක් ගහන්න පුළුවන් අය තෙල් පෝලිම්වල රස්තියාදු වෙන්නෙ නෑ. එහෙට, මෙහෙට කීයක් හරි විසි කරලා අවශ්‍ය තෙල් ටික ගන්නවා. තෙල් අර්බුදයේ පිච්චෙන්නෙත් අපි වගේ දුප්පත් මිනිස්සු විතරයි. භූමිතෙල්, ඩීසල් නැති නිසා දැන් වගා බිම්වලට වතුර දාන්නත් විදිහක් නෑ. වගා බිම් වේළිලා. තව ටික කාලයක් මෙහෙම ගියොත් අපිට මොනව වෙයිද කියලා හිතාගන්නවත් බෑ…” භූමි තෙල්, ඩීසල් නොමැති ගැටලුව නිසා මොණරාගල දිස්ත්‍රික්කයේ වගාබිම්වලට සිදුව ඇති නස්පැත්තිය ගැන තවත් බොහෝ දේ මැදගම චමින්ද අපට පැවසුවේය. පෙළගැසෙන කතාවට වගා ගැටලු බාහිර කතාවක් බැවින් තෙල් නැතිව දුක්විඳින කතරගම මිනිස්සු ඇසුරට අපි ගියෙමු.

තෙල් නැතිව වල් වැදුණු රටක්

කතරගම ඉන්ධන පෝලිමෙන් ඇසෙන කතාව…

“දැන් සති ගානකින් කතරගමට තෙල් ආවේ නෑ. තෙල් ආවත් ගන්නෙ ෂෙඩ් අයිතිකාරයන්ගේ හිතවතුන්, රාජ්‍ය සේවකයො විතරයි. පොලිස් නිලධාරීන්ට, හමුදා නිලධාරීන්ට ඕල්සේල් ඉන්ධන දෙනවා. මදි පාඩුවට ඔවුන්ගේ හිත මිතුරන්ගේ යතුරුපැදි, වාහනවලටත් තෙල් ගහලා දෙනවා. හැම තැනම තැළෙන්නෙ, අසරණ වෙන්නෙ පොඩි මිනිස්සු. මේ රටේ දුප්පත් මිනිසුන්ට ගොඩ ඒමක් ඇත්තේම නෑ. අපි පව්…” කතරගම පලතුරු කඩ වෙළෙන්දෙක් පැවසූ ඒ කතාව කොළඹ ප්‍රදේශයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙක් ද සනාථ කළේය.

පොලිස් නිලධාරියෙක් කියන කතාව…

“රට ඉවරයි… කොළඹ සෑම ප්‍රධාන මාර්ගයකම කිලෝ මීටර් ගණන් දිගු පෝලිම්. ඒ මිනිස්සු විඳින දුක දැක්කම ඔළු විකාර වෙනවා. ඒත් ලොකු ලොක්කන්ට තෙල්, ගෑස් ප්‍රශ්න කිසිවක් නෑ. ඔවුන්ගේ වාහනවලට තෙල් ටික ලැබෙනවා. ගෙදරටම ගෑස් ටැංකිය ගිහින් දෙනවා. එළවළු, තුනපහ ටික යනවා. පොලිසියේ ඉහළ නිලධාරීන්ටත් ඒ වරප්‍රසාද එලෙසින්ම තියෙනවා. ඕ.අයි.සී. ට පහළ ඉන්න අයට මොකුත් නෑ. අපි පෝලිමේ ඉඳලා අමාරුවෙන් යතුරුපැදියට දාගන්න තෙල් ටිකෙන් රාජකාරි වැඩත් කරන්න ඕනෑ. ගෙදර වැඩ ටිකත් කරගන්න ඕනෑ. ඒ මදිවට ලොකු ලොක්කන්ගේ පර වැඩ ටිකත් කරන්න ඕනෑ. රාජපක්‍ෂවරුන්ට, රනිල්ට කඩේ නොයන සියලු පොලිස් නිලධාරීන් මේ ආණ්ඩුවත් එක්ක පුදුම තරහෙන් ඉන්නෙ. කරන්න දෙයක් නෑ. අපි කරන්නේ රාජකාරියක්. මේ ජොබ් එකත් නැති වුණොත් දරු පවුලත් එක්ක අපිට වෙන්න මැරෙන්න. ඒත් පොලිසියේ බහුතරය ජනතාවට පක්‍ෂපාතයි. ආණ්ඩු පක්‍ෂ දේශපාලනඥයන්ට කඩේ යන බත්බැලයො තමයි තෙල් පෝලිම්වල ඉන්න අසරණ මිනිසුන්ට හයිරන් පෙන්වන්නේ…” ඒ පොලිස් නිලධාරියාගේ පීඩිත හඬ තුළ තවත් බොහෝ කරුණු ඉස්මතු විය. එහෙත් මේ සටහනට අවශ්‍ය කරුණු පමණක් ලබාගෙන ඉතිරිය මතක ගබඩාවේ රැස්කර තබා ගත්තේය. අනතුරුව අපි ඉන්ධන පෝලිම්වලදී ඇතැම් යුද හමුදා නිලධාරීන් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වන ආකාරයෙන් කටයුතු කිරීම ගැන ඉහළ හමුදා නිලධාරියෙක් සමඟ කතාබහ කළෙමු.

හමුදා නිලධාරියෙක් කියන කතාව…

“ඒවා ගොං පාට්. ඉහළින් එන නියෝග වෙන්නත් පුළුවන්. පීඩාවට පත්වී සිටින මිනිසුන්ට පහරදීම යුද හමුදාව අපකීර්තියට පත් කිරීමක්. දැැන් අපේ හමුදාව මිලිටරි මානසිකත්වයෙන් මිදෙන්න ඕනෑ. ඒ වගේම රටේ හැම තෙල් පෝලිමක හමුදා නිලධාරීන්ගේ දෙමවුපියො, සහෝදර, සහෝදරියො ඉන්න බව මතක තබාගන්න ඕනෑ. ඒ වගේම මේ රටේ සියලු පුරවැසියන් අපේ මිනිස්සු. ඒ මිනිස්සු අද නන්නත්තාර වෙලා. අපිත් ඒ ගොඩේ ඉන්නවා. ඉහළ නිලධාරීන්ට වාහන, පෙට්‍රල්, ඩීසල්, ඩයිවර්ස් සියලු පහසුකම් ලැබෙනවා. මොන අර්බුද තිබුණත් ඒ පහසුකම් ලැබෙනවා. එවැනි නිලධාරීන්ට සාමාන්‍ය මිනිසුන්ගේ මානසිකත්වය දැනෙන්නෙ නෑ. රටේ ආර්ථික අර්බුදයක් තියෙනවද කියලවත් දැනෙන්නෙ නෑ. ඒ වගේම රටේ ඉන්ධන පෝලිම් ආරක්‍ෂා කිරීමට යුද හමුදාව යෙදවීම අනවශය දෙයක්. යුදමය ගැටුමකදී හෝ ව්‍යසනකාරී අවස්ථාවක වගේම පොලිසියට පාලනය කරගැනීමට නොහැකි යම් ගැටලුකාරී අවස්ථාවක යුද හමුදාව පාවිච්චි කරන්න ඕනෑ. ඉන්දියාවේ කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා එක යුද හමුදා සෙබළෙක්වත් පාවිච්චි කළේ නෑ. සාමාන්‍යයෙන් ලෝකයේ රටවල් යුද හමුදාවක් පාවිච්චි කරන්නේ අවසාන අවස්ථාවේ. අපේ රටේ මුලින්ම පාවිච්චි කරන්නේ යුද හමුදාව. ඒකෙන් රට තුළ යුද හමුදාවට තිබුණු ගෞරවයත් නැති වෙලා යනවා. බත් කන හරක්ට මේවා තේරෙන්නෙ නෑ. ඒක තමයි අවුල…” හමුදා නිලධාරියා ද නිහඬ විය. අපි රට පුරා ඉන්ධන පෝලිම්වල රස්තියාදු වන තවත් විවිධ තරාතිරම්වල බොහෝ දෙනා සමඟ ජීවන අරගලය ගැන කතා කළෙමු. ඔවුහු විවිධ අදහස් ප්‍රකාශ කළහ. ඒ සියලු කතාවල හරය දැන් අපි මෙසේ සටහන් තබමු.

තෙල් නැතිව වල් වැදුණු රටක්

ඉන්ධන පෝලිම් තුළින් ඇසුණු පොදු හඬ…

හොස්ස ළඟින් මැස්සෙක් ගියත් කේන්ති යන තරමට දැන් මිනිස්සු කෝපයෙන් පිපිරෙන බවත් ඉන්ධන පෝලිම්වල ඇතිවන නිරන්තර ගැටුම්වලට එය ප්‍රධාන හේතුවක් බව අප සංචාරය කළ සියලු ඉන්ධන පෝලිම්වල රස්තියාදු වෙන මිනිස්සු අපට කීහ. ඒ කතාවත් සමඟ පෙළගැසෙන සියලු ගැටලු අපි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා වෙත යොමු කළෙමු. මේ ඔහු කියන කතාවය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා…

“මගේ ජීවිත කාලයට මෙතරම් පීඩනයක් රටේ ජනතාවට ඇති වෙලා නෑ. 1970 ගණන්වල මිනිස්සු පෝලිම්වල හිටියා. ඒත් එදා මිනිස්සු මෙතරම් පීඩාවට පත් වුණේ නෑ. අද දින ගණන් ඉන්ධන පෝලිම්වල ඉඳලත් හිස් අතින් යන මිනිස්සු ඉන්නවා. එවැනි මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය බින්දුවට වැටෙනවා. ඒ වගේම දින ගණන් පෝලිම්වල රස්තියාදු වෙනකොටත් මානසික සෞඛ්‍ය උපරිම ලෙස බිඳ වැටෙනවා. ඉන්ධන පෝලිම් තුළ ඇන කොටා ගැනීම්, නිරන්තර ගැටුම් ඇති කරගැනීම් සිදුවෙන්නේ මිනිසුන්ගේ ද්වේෂය, ආතතීය ඉහවහා යෑම නිසයි. ඒ වගේම ඉන්ධන පෝලිමකට මිනිස්සු යන්නේ තම අවශ්‍යතා ඉටුකරගැනීමට. ඒ අවශ්‍යතා ඉටුනොවීම තුළ මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණය බිඳ වැටෙනවා. ප්‍රතිශක්තීකරණය බිඳවැටීම අසනීප තියෙන පුද්ගලයන්ට ඔරොත්තු දෙන්නේ නෑ. විශේෂයෙන්ම බෝ නොවන රෝග තියෙන පුද්ගලයන් පැය අට, දින ගණන් පෝලිම්වල ගත කිරීම අතිශය අවදානම්. මේ වෙනකොට ඉන්ධන පෝලිම් තුළ මියගිය බොහෝ පුද්ගලයන් බෝ නොවන රෝග සහිත මිනිසුන්. මේ පෝලිම් ක්‍රමය දිගින් දිගටම පැවතීම තුළ රටේ අකල් මරණ විශාල වශයෙන් වැඩි වෙනවා…” මහාචාර්යවරයාගේ කෙටි අදහස් දැක්වීම ද අවසානය.

රටේ අකල් මරණ වැඩි කරන ඉන්ධන පෝලිම් ක්‍රමය තුරන් කිරීමට පවතින වල් බූරු ආණ්ඩුවට තවමත් සාර්ථක වැඩපිළිවෙළක් නැති බව පෙනේ. දේශපාලන ඇඹල රැළ අවසාන පැණි පොදක් කා හැළියත් ලෙවන්න තවම පාර්ලිමේන්තුවේ පොර කන බව පෙනේ. ගමනක්, බිමනක් යෑමට ඉන්ධන පොදක් නොමැතිව, හරිහැටි කුසට අහරක් නැතිව දහදුක් දුක්විඳින රටේ ජනතාව පැණි මුට්ටිය බිඳින දවස වැඩි ඈතක නැති බව අපට පෙනේ. මේ ලිපිය පළවීමට පෙර එය සිදුවීමට ඇති ඉඩ බොහෝ වැඩිය.

තෙල් නැතිව වල් වැදුණු රටක්

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment