තෙල් නිසා ජීවිතය මහ මගට දියකරන මිනිස්සු

46

යහමින් මුදල් ඇති අයට කිසිදු අර්බුදයක් නැති තරම්ය. කති. බොති. සතුටු වෙති. පසුගිය සති අන්තයේදී විනෝද ගමන්, වන්දනා ගමන් ගිය පිරිස දකින විට මෙරට ඉන්ධන හිඟයක් ද නොතිබෙන තරම්ය. එහෙත් පසුගිය සදුඳා සිට කොළඹ මාර්ග ජෑම් වී තිබුණේ රථ වාහන ධාවනයෙන් නොව, ඉන්ධන පෝලිම් නිසාය. බැරල් අතින් ගත් මිනිසුන් ඉන්ධනහල් අසළ පෝලිම් ගැසී සිටියේ භූමිතෙල් එන බවට ලැබී තිබූ ආරංචියටය. ගෑස් පෝලිම් ද කිලෝ මීටර් ගණන් ඈතට දිගු වී තිබෙන අයුරු අපි දුටිමු. එහෙත් ආර්ථික ආහේනිකම් පසුම්බියට දැනෙන තෙක් මෙරට බොහෝ මිනිසුන්ට එහි බරපතලකම නොදැනේ. හැළියේ රත්වෙන කකුළුවො මෙන් කා බී සතුටු වෙති. තිත්ත ඇත්ත එයයි. එහෙත් දැන් අප කතා කිරීමට සූදානම් වන්නේ පිච්චෙන තරමට ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින අසරණ මිනිසුන් ගැනය. ප්‍රථමයෙන් අප කතා කළේ මාළු වෙළෙඳාම් කරන පුද්ගලයෙක් සමඟය. මේ ඔහු කියන කතාවය.

● මාළු වෙළෙන්දෙක් කියන කතාව…

“මම සුමිත්. ගම වැලිපැන්න. වෘත්තීය විදිහට කරන්නේ මාළු වෙළඳාම. ඒත් මේ මාසෙටම බිස්නස් කළේ දවස් තුනයි. වැඩි මිලට මාළු ගෙනත් විකුණන්න බෑ…”

“තෙල් ගණන් යන්න ඉස්සර දවසට මාළු කිලෝ තිහක් ගෙනවා. රුපියල් පහළොස්දහසකට වඩා මාළුවලට වියදම් ගියේ නෑ. පෙට්රල් 137 ට තියෙනකොට බේරුවල වැල්ලට ගිහින් ඇවිත්, ගම වටේ බිස්නස් කරලා එන්න තෙල්වලට වියදම් වුණේ රුපියල් 350 යි. දවසෙ සුද්ධ ලාභය පන්දහකට වැඩිය තිබුණා. මාළු කිලෝ එකකට, දෙකකට වඩා ඉතුරු වුණෙත් නෑ. උදේ පාන්දර 3.30 ට ගෙදරින් පිටත් වෙලා සවස 2.30 වෙනකොට බිස්නස් එකත් ඉවරයි…”“දැන් ගෙන්නේ මාලු කිලෝ 18 – 20 යි. ඒ මාලු ටික ගන්නත් රුපියල් 25,000 ක් 30,000 ක් විතර යනවා. තෙල්වලට රුපියල් 1400 ක් වියදම් වෙනවා. පවතින මිලටවත් ගන්න තෙල් නෑ. රුපියල් 400 ට 500 ට තෙල් බෝතලය දාගෙන ගිහින් මාළු විකුණනවා. ඒ සියලු වියදම් එකතු කරලා තලපත් කිලෝව රුපියල් 2000 ක් කියනකොට මිනිස්සු අපිට රවනවා. බලයො කැපුවොත් කිලෝව රුපියල් 1600 ක් විතර වෙනවා. ලින්නා කිලෝව රුපියල් 1000 යි. සාලයා කිලෝව රුපියල් 700 යි. කටුමැස්සො කිලෝව රුපියල් 500 යි. ගල් මාලු මිල කිව්වම මිනිස්සු ගල් වෙනවා. තෝර මාළු නම් කාලෙකින් ගෙනාවේ නෑ. විකුණන්න බෑ. දැන් මිනිස්සු බාගෙට, බාගයක් මාළු කන එක අඩු කරලා. සමහර මිනිස්සු නාහයෙන් අඬමින් කන්න ඕන නිසා මාළු ග්‍රෑම් 250 ගන්නවා. ඉස්සර මාළු කිලෝ එක ගත්ත මිනිස්සු දැන් ගන්නෙ ග්‍රෑම් 500යි.හැන්දෑවෙනකම් දුවලත් රුපියල් 1500 ක ලාභයක් හොයාගන්න බෑ. දෙතුන්, දෙනෙක් ණයට ගත්තොත් ඒ ලාභයත් ඉවරයි. මාළු කිලෝ විස්සෙනුත් කිලෝ තුන, හතර ඉතුරු වෙන දවස් තියෙනවා. තෙල් මිල තවත් වැඩි වුණොත් මේ බිස්නස් එක අත අරින්න වෙනවා. එහෙම වුණොත් මොනව කරන්නද කියලා හිතාගන්නවත් බෑ. අත්වැඩ දෙන්න යන්නවත්, දැන් මේසන් බාස්ලටත් වැඩ නෑ…”

“අපේ ගෙදර තුන්වේල කන්නෙ බිස්නස් ගිය දවසට විතරයි. ඉස්කෝලෙ යන දුවලා දෙන්නෙක් ඉන්නවා. පුතා දැන් ඉළන්දාරියෙක්. තවම රස්සාවක් නෑ. අම්මට වයස අවුරුදු හැත්තෑවයි. මේ වෙනකොට අපේ දරු පවුල කුසගින්දර නිවාගන්නේ වයිෆ් ගාමන්ට්
ගිහින් ගන්න සොච්චම් පඩියෙන්. මාළු වෙළෙඳාම් කරන සියලු දෙනා අන්ත අසරණයි. ඩීසල් නැති නිසා ධීවර බෝට්ටු මුහුදු යනවත් අඩුයි. මේ කරදර අස්සෙ කුණාටුවකුත් ඇවිත් මුහුදත් සැරයි. අවසානයේ මට කියන්න තියෙන්නේ මෙච්චරයි. තෙල් මිල අඩු නොවුණොත් ධීවර කර්මාන්තයත්, මාළු වෙළඳාමත් දෙකම ඉවරයි…” තවත් මාළු වෙළෙන්දන් කිහිපදෙනෙක් සමඟ අපි කතාබහ කළෙමු. ඒ සියලුදෙනාගේ පොදු ගැටලුව සුමිත්ගේ කතාවේ අන්තර්ගතය. යතුරුපැදියේ බදින මාළු පෙට්ටිය ගෙදර මුළුගැන්වෙන විට අඟහිගකම් ඉහවහ යෑම මෙරට සමස්ත මාළු වෙළෙන්දන්ගේ සැබෑ තත්ත්වයයි.
ගමට එන මාළු වෙළෙන්දා ඉඳහිට හෝ තවම දකින්න ලැබෙන බව සැබෑය. එහෙත් පාන්, බිනිස් ගේන චූන් පාන් රථය ඉඳහිට හෝ දකින්න නැත. ඉන්ධන මිල වැඩිවීමත්, පාන් පිටි මිල සහ බේකරි කෑම නිෂ්පාදනයට ලබාගන්න අනෙකුත් අමුද්‍රව්‍ය මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක ගමින්, ගමට යමින් කරන කෑම වෙළෙඳාමේ ලාභයක් නැති බව කොට්ටාව, පිළියන්දල පාරේ පොල්කොටුව ප්‍රදේශයේ බේකරි ව්‍යාපාරයක් කරගෙන යන සරත් වසන්ත අපට කීවේය.

● බේකරින් හිමියන් කියන කතාව…

“මා ළඟ චූන් පාන් ත්‍රීවීල් දහයක් තියෙනවා. පවතින ආර්ථික අර්බුදයට පෙර චූන් පාන් රථවලින් හොඳ ආදායමක් ලැබුණා. රථයේ වෙළෙඳාම් කරන කෙනාටත් හොඳ කොමිෂන් එකක් ගෙව්වා. බාසුන්නැහැ ඇතුළුව තුන්දෙනෙක් බේකරියේ වැඩ කළා. ඒ අයටත් හොඳ පඩියක් ගෙව්වා. දැන් ත්‍රීවීල් දහයම නතර කරලා. චූන් පාන් රථවල වැඩ කරපු අයව ගෙවල්වලට යැව්වා. තවම ඉන්නෙ බේකරියේ බාසුන්නැහැ විතරයි. කරන්න දෙයක් නෑ. අපිටත් ජීවත් වෙන්න ආදායමක් නැතිව ඒ මිනිසුන්ව නඩත්තු කරන්න බෑ. දැනුත් කල්පනා කරමින් හිටියේ ඉදිරියේදී ජීවත් වෙන්නේ කොහොමද කියලයි…”
“ව්‍යාපාරය ටිකක් දියුණු කරගන්න බැංකු ණයක් අරගෙන තියෙනවා. චූන් පාන් අදින්න ගත්ත ත්‍රීවීල් දහයටම ෆිනෑන්ස් දාලා. ෆිනෑන්ස් ඉවර වෙලා තිබුණු වාහනවලටත් කොරෝනා කාලේ ලක්‍ෂ, දෙක, තුන ගත්තා. දැන් ඒවා ගෙවා ගන්න ක්‍රමයක් නෑ. විදුලි බිල්, වතුර බිල් සේරම හිර වෙලා. බැංකුවලින් කතා කරනවා. ෆිනෑන්ස් කොම්පැණිවලින් කතා කරනවා. කියන්න දෙයක් නැති නිසා ඒ ඇමතුම්වලට සම්බන්ධ වෙන්නේ නෑ…” බේකරි කර්මාන්තයට අත්ව ඇති ඉරණම පොල්කොට්ටුවේ චරින්දි බේකරි අයිතිකරු සරත් වසන්ත එසේ විස්තර කරන විට, මේ දිනවල පාන් ඉල්ලුමේ වර්ධනයක් පෙන්නුම් කරන බව බෝකුන්දර ප්‍රදේශයේ බේකරි ව්‍යාපාරයක් කරගෙන යන චතුරංග අපට කීවේය.“අපි පිටි ටැංකියක් ගත්තට පොඩි බේකරි හිමියන්ට ඒක කරන්න බෑ. ඒ මිනිස්සුන්ට පවතින නිෂ්පාදන වියදමත් එක්ක ව්‍යාපාරය කරගෙන යන්න අමාරුයි. පොඩි, පොඩි බේකරි වැහිලා නිසා අපිට බිස්නස් වැඩි වෙලා තියෙනවා. පාන් 1200 ක් හදපු අපේ බේකරියේ පාන් නිෂ්පාදනය 600 ට අඩු වෙලා තිබුණා. ඒත් මේ මාසෙ 09 වැනිදායි පස්සෙ පාන් ගෙඩි 2000 ක් හදලත් මදි. ඉල්ලුම හොඳටම වැඩි වෙලා.ගෙවල්වල ගෑස් නැති නිසා බතක්, හොද්දක් හදාගන්න බැරි මිනිස්සු කඩ කෑම කන්න පටන්ගෙන තියෙනවා. ගෑස් නැතිව කෑම කඩත් වැහිලා නිසා පාන් කෑම වැඩි කරලා තියෙනවා. ගෘහස්ත ගෑස් ලැබුණු හැටියේ පාන් ඉල්ලුම අඩු වෙනවා. ඒ නිසා අලුතෙන් මිනිස්සු ගන්නත් බයයි. ඉන්න කිහිපදෙනාගෙන් වැඩ කරගෙන යනවා. ගෑස් නැති නිසා මාසයකින් කේක් දැම්මෙත් නෑ. පාන් තම්බන්නෙ ඩීසල්, අවන් එකේ. දර පෝරණුවේ. තවම ඩීසල් ටිකක් තියෙනවා. දරත් ටිකක් තියෙන නිසා පාන්, කෙටි කෑම ටික හදාගෙන යන්න පුළුවන්. දර ටික, ඩීසල් ටික නැති වුණාම අපිටත් ව්‍යාපාරය කරගෙන යන්න බැරි තත්ත්වයට පත් වෙනවා…” බේකරි හිමියන් වන සරත්, චතුරංගලා තම කර්මාන්තයේ අවධානම ගැන එසේ කතා කරන විට මෙරට සමස්ත බේකරි කර්මාන්තයේ හෙට දවස ගැන සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මෙසේ පැහැදිළි කළේය.

● සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කියන කතාව…

“රට පුරා බේකරි 7000 ක් තිබුණා. ඒ බේකරිවලින් 75% ක් කුඩා බේකරි. පවතින ඉන්ධන, ගෑස් අර්බුදයත් එක්ක මේ වෙනකොට බේකරි 4000 ක් විතර වැහිලා ගිහින් තියෙනවා. ඒ බේකරි හිමිකරුවන්ගේ පවුල් ඇතුළුව සේවක පවුල් 15000 ට වැඩි සංඛ්‍යාවකගේ ආදායම් මාර්ග අහිමි වෙලා තියෙනවා. හෙට අනිද්දා වෙනකොට තවත් බේකරි වැහිලා යනවා. ඉතිරි වෙන්නේ මහා පරිමාණයෙන් කරන බේකරි විතරයි.එතකොට පාන් පෝලිමත් එනවා. දැනටත් හවසට සමහර බේකරිවල පෝලිම් තියෙනවා. ගෑස් නැතිව ගෙදර බතක්, හොද්දක් හදාගන්න බැරි මිනිස්සු රෑට කන්නේ පාන්. පිටි ඇතුළු අමුද්‍රව්‍ය මිල වැඩිවන හැටියට, ඉන්ධන, ගෑස් නැතිව ඉල්ලුමට සරිලන පාන් සැපයුමක් දෙන්න බැරි වෙනවා…”“ඒ වගේම නැවතත් පාන් පිටි මිල වැඩි කළා. රුපියල් 84.50 ට තිබුණු පාන් පිටි කිලෝවක දැන් තොග මිල රුපියල් 250 යි. සිල්ලර මිල 300 ක් විතර වෙනවා. මේ මිලත් පිටිවල තියෙන ගුණාත්මක තත්ත්වයත් එක්ක වැඩි වෙනවා. දැන් තියෙන ඉන්දියන් පාන් පිටිවලින් බේකරි නිෂ්පාදන හදන්නම බෑ. රුපියල් 80 ට තිබුණු සීනි කිලෝව 250 යි. රුපියල් 250 ට තිබුණු මාගරින් කිලෝව 1200 යි. චීස් මිල සතියෙන්, සතිය වැඩි වෙනවා. රුපියල් 600 ට තිබුණු ඊස් කිලෝව 1500 යි. රුපියල් 10 ට 12 තිබුණු බිත්තරය 32 යි. 35 යි. සොසේජස් වර්ගවල මිල පහුගිය මාසෙට හතර සැරයකට වැඩි වුණා. පොල් තෙල්, ෆාම් ඔයිල් ඇතුළුව බේකරි නිෂ්පාදන සඳහා ගන්නා සියලුම මුද්‍රව්‍ය 300% න් විතර වැඩි වෙලා තියෙනවා…” “පහුගිය කාලේ රුපියල් 280 තිබුණු කේක් කිලෝව පවතින නිෂ්පාදන වියදම යටතේ රුපියල් දහකට මිල කලත් ලාභයක් නෑ. පාන් ගෙඩිය 140 ට දීලා ලාභයක් නෑ. රුපියල් 25 ට 30 තිබුණු බනිස්, මාළු පාන් ඇතුළු කෙටි කෑම දැන් රුපියල් 100 ට ආසන්නයි. මේ විදිහට මිල වැඩි වෙනකොට මිනිස්සු කඩ කෑම කයිද…” දිළිඳු පවුලක බඩදරු මවකට දොළදුකටවත් පාන් කෑල්ලක්, කේක් කෑල්ලක් ලබාදීමට නොහැකි තත්ත්වයක් උදා වී අවසානය. හෙට අනිද්දා වනවිට ඒ තත්ත්වය තවත් වර්ධනය වනවා විනා අඩුවන සේයාවක් හෝ නැත. අනාගතයේ අඳුරු සෙවණැලි මනසෙ හෝල්මන් කරනවිට බ්ලුමැන්ඩල් පාරේ ත්‍රිරෝද රථ පෝලිම අසළට අපි ගියෙමු. මාර්ගයේ දෙපැත්තේම ත්‍රිරෝද රථ පෝලිම්ය. පිරිසක් කල්ලි ගැසී සිටි තැනක අපි නතර වීමු. ඔවුන් සමඟ තෙල් ගැටලුව ගැන කතා කෙළෙමු. පරළා අපට උත්තර දුන්නේ මෝදර රාජාය.

● කුලී ත්‍රිරෝද රථ රියැදුරන් කියන කතාව…

“පාන්දර තුනේ ඉඳලා පෝලිමේ ඉන්නෙ. ටිකකට ඉස්සෙල්ලා තමයි ෂෙඩ් එකේ තෙල් ගහන්න පටන් ගත්තේ. අර බලන්න පෝලිම… වක ගැහිලා තියෙන්නෙ. ෂෙඩ් එක ළඟට යන්න තව වරුවක්වත් යයි…” කුලී ත්‍රිරෝද රථයට ඉන්ධන පිරවීමට පෝලිමේ සිටි රාජා ඈතට අත දිගු කළේය. ත්‍රිරෝද රථ පෝලිමේ කෙළවරක් නොපනේ.“හයර්වල අඩුවක් නෑ. හයර් යන්න තෙල් නැති එකයි ප්‍රශ්නය. තෙල් ටිකක් දා ගන්න ලැබුණොත් හයර් දුවනවා. නැති නම් ගෙදරට වෙලා ඉන්නවා. තෙල් ප්‍රශ්නය ආව දවසෙ ඉඳලා වැඩි දවසක් ගෙදර හිටියේ. ෂෙඩ්වලට තෙල් ආවත් අඩුම පැය පහක්වත් පෝලිමේ ඉඳල තමයි පෙට්රල් ටිකක් දාගන්නෙ. එතකොට අපිත් එක්ක හයර් යන මිනිස්සු බස් එකේ ගමන ගිහින්. පෝලිමේ පැය පහක් විතර හිටියම හයර් දුවන්න තියෙන කාලය අඩුයි. ඒත් තෙල් දාගත්ත දවසට රෑ වෙනකම් හරි දුවලා ගානක් හම්බ කරගන්නවා. කොහොම දිව්වත් 2500 ක්, 3000 ට වඩා හොයාගන්න බෑ. ත්‍රීවීල් එකක් ෆුල් ටෑන්ක් කළා කියලා දවස් ගානක් දුවන්නත් බෑ. උපරිමය තෙල් ලීටර් හයක් වදී. ඒ තෙල් ටික එක දවසකටත් ප්‍රමාණවත් නෑ. නැවත හයර් දුවන්න ෂෙඩ්වලට තෙල් එනකම් බලාගෙන ඉන්න ඕනෑ…” රාජාට වයස අවුරුදු හතළිහකි. හේ දෙදරු පියෙකි. වැඩිමහල් දරුවාට වයස අවුරුදු 14 කි. දෙවැනි දරුවාට වයස 10 කි. දෙදෙනාම පාසල් අධ්‍යාපනය ලබති. බිරිඳ රැකියාවක් නොකරන්නීය. ඒ පුංචි දරු පවුලේ එකම ආදායම් මාර්ගය ත්‍රීවීල් හයර් කර රාජා උපයන සොච්චම පමණි.“අපි ඉන්නේ කුලියට. මාසෙ අන්තිමට ගෙවල් කුලිය ගෙවන්න ඕනෑ. විදුලි බිල්, වතුර බිල් ගෙවන්න ඕනෑ. අපිට තියෙන අඟහිඟකම් නිසා එක වේලක් කෑවේ රොටි. දැන් රොටි කන්නත් බෑ පාන් පිටි කිලෝ එක රුපියල් 250 ක් විතර වෙනවා. අපි ජීවත් වෙන පුංචි ගෙවල්වල දර ලිප් කෙරුවාව කරන්නත් බෑ. ගෑස් එකක් ගත්ත දවසට තමයි හරියට කෑමක් හදාගෙන කටට රසට කන්නේ. ඒත් ගෑස් එනකොට හයර් දුවන්න තෙල් නැති වුණොත් සේරම ඉවරයි…”“දැන් කොච්චර හම්බ කරත් මදි. කඩේකට ගිහින් බඩු කෑලි පහක් ගන්න රුපියල් පන්දහක් විතර ඕනෑ. දැන් අපේ ගෙවල්වල කිරි පිටි දකින්නවත් නෑ…” රාජාගේ කතාවට තවත් කුලී ත්‍රිරෝද රථකරුවෙක් එසේ අඩු වැඩි එකතු කළේය. ඔහු තිලක්ය. මහල් නිවාසයක ජීවත්වන කුලී ත්‍රිරෝද රථ රියැදුරෙකි. පාසල් වියේ පසුවන කුඩා දරුවන් දෙදෙනකු සිටින ඔහුගේ බිරිඳ ද රැකියාවක් නොකරති.
“පෙට්රල් 137 ට තියෙනකොට රුපියල් දාහක තෙල් දා ගත්තම දවසටම හයර් දුවන්න ඇති. එතකොට අපි හයර් එකක් ගියෙ පළමු කිලෝ මීටරය රුපියල් 50 යි. දෙවැනි කිලෝ මීටරයේ ඉඳලා රුපියල් 40 යි. දැන් ෆුල් ටෑන්ක් කරන්න රුපියල් 3700 ක් විතර යනවා. ඒත් අපි හයර් ගාස්තු වැඩි කළේ පළමු කිලෝ මීටරයට 80 යි. දෙවැනි කිලෝ මීටරයේ ඉඳලා 70 යි. අපිට පාඩුයි. ඒත් තව වැඩි කළොත් මිනිස්සු ත්‍රීවීල්වල යන්නෙ නැතිව යනවා…” පෝලිමේ පිච්චෙන කුලී ත්‍රිරෝද රථකරුවන්ගේ ප්‍රශ්න එමටය. මේ සටහනට ඒ සියලු ප්‍රශ්න බර වැඩිය. එහෙයින් අසීරුවෙන් ඔවුන් අතරින් ඈත් වී පාර දිගේ ඇවිද ගොස් කොටහේනෙ තැඹිලි කරත්තයක් ළඟ අපි නතර වීමු.

●තැඹිලි වෙළෙන්දගේ කතාව…

මහත්තයා තැඹිලි ගෙඩියක් බොමුද?

වියපත් මිනිසෙක් එසේ ඇසුවේය.ගෙඩියක් කීයද?
140 ක් දෙන්න…හපොයි… තැඹිලි එච්චර ගනං ද?

“දැන් මොනවද මහත්තයා අඩු. ඕක තමයි අවුල. තැඹිලිවල ගාන අහලා මිනිස්සු යනවා. දවසකට තැඹිලි ගෙඩි 30 ක් විකුණගන්න බෑ. අද උදේ ඉඳලා තැඹිලි ගෙඩි හයක් කැපුණේ නෑ. දැන් වරුවක් ඉවරයි. කොරෝනාවලට ඉස්සර, රුපියල් 40 ට 50 ට තැඹිලි කපන කලේ මේ වෙලාව වෙනකොට තැඹිලි ගෙඩි විස්සක් තිහයක් කපලා. දවසට තැඹිලි ගෙඩි 75 ක් 80 ක් කැපුවා. දැන් දවසටම තැඹිලි ගෙඩි 30 ක් කපාගන්න බෑ. වෙළෙඳාමක් නෑ. හරිම සවුත්තුයි. මම මෙතැන තැඹිලි කපන්න අරගෙන අවුරුදු 34 ක් වෙනවා. දැන් මට වයස අවුරුදු 72 යි. මගේ ජීවිතේට මේ වගේ අමාරු කාලයක් නම් ඇවිත් නෑ…” ඔහු සෙල්වරාජ්ය. කොටහේන හන්දියේ තැඹිලි සෙල්වරාජ් කිව්වම මුළු බජාර් එකම දන්නා බව කියමින් කලාවකට ඔහු තැඹිලි ගෙඩියක් කැපුවේය.පැය ගානක් වීථි දිගේ ඇවිඳිමින් විවිධ වෙළෙඳ ව්‍යාපාරිකයින් සමඟ කතාබහ කළ අපි වාසනාව උරගා බැලීමට ලොතරැයි කූඩුවක් අසළ නතර වීමු. වාසනාව තෝරන අතරේ ලොතරැයි බිස්නස් එක ගැන ද කතා කිරීමට අපි අමතක නොකළෙමු. එම ලොතරැයි කූඩුවේ මුදලාලි පුෂ්පරත්නය. පදිංචිය හොරණය.ලොතරැයි බිස්නස් කරගෙන යන්නේ කොළඹය.

● ලොතරැයි වෙළෙන්දෙක් කියන කතාව…

“ඉස්සර මේ කූඩුවේ වෙළඳාම් කළේ වයිෆ්. මම බයික් එකේ ගිහින් ලොතරැයි විකුණුවා. දැන් බයික් එකේ ගිහින් ලොතරැයි විකුණුවොත් අතින් කාලා හරක් බැලුවා වගෙ වෙනවා. තෙල් නැතිව කොහොමත් ඒ බිස්නස් එක කරන්න බෑ. ඒ නිසා දරුවොත් එක්ක වයිෆ්ට ගෙදර ඉන්න කියලා මම මේ කූඩුවේ වෙළඳාම් කරගෙන යනවා. දැන් හොඳටම බිස්නස් අඩුයි. ඉස්සර ලොතරැයි දාහය, පහළොව ගත්ත මිනිස්සු දැන් පහක්වත් ගන්න නෑ. පහුගිය දවස්වල ස්විප් ටිකට්පත් කිහිපයක්ම ආවෙත් නෑ. දැන් නම් සේරම ටිකට් ටික එනවා. ඒත් ලැබෙන ආදායම දවසක් ජීවත් වෙන්නත් මදි…” ලොතරැයි කූඩුවට යාබද පත්තර තට්ටුවටත් අපි කිට්ටු කළෙමු. දිනපතා, සතිඅන්ත පුවත්පත් මෙන්ම මාසික සඟරා ළමා පුවත්පත් විවිධ කියැවීමක් තට්ටුව මත තිබිණි. එහෙත් බිස්නස් ලොස් බව පත්තර තට්ටුවේ රාජරත්නම් කීවේය.

● පත්තරේ කතාව…

එමෙන්ම කියවන සුළු පිරිසට හෝ පුවත්පතක්, පොතක් ලබාදීමට කොලත් නැත. පාසල් පෙළ පොත් ටික අච්චු ගැසීමටත් කොළ අහිමි වන දවස වැඩි ඈතක නැත. සියලු අංශයන් කඩා වැටෙන රටක පත්තර වෙළෙන්දට, මාළු වෙළෙන්දට, චූන් පාන් වෙළෙන්දන්ට පමණක් නොව රටේ බහුතරයකට ව්‍යාපාර, වෘත්තීන්, රැකියා අහිමි වීමේ අර්බුදය නතර වන තැන හිතාගැනීමටවත් නොහැකි තරම්ය. පවතින අර්බුදයේ බිහිසුණු බව අද නොවේ, හෙටය. අප තේරුම්ගත යුතු යථාර්ථය එයයි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment