තෙල් බී වස බීම

183

රට ඉතා නරක තැනකට පැමිණ තිබේ. (එහෙත් එය කිසි ලෙසකින්වත් අරාජික වී නැති බව සියලූ කඩාකප්පල්කාරයන් දැනගත යුතුය.) කොවිඞ් වසංගතය හේතුවෙන් ආර්ථිකය බිමටම සමතලා වී ඇත. අපට පිට රට වලින් විනිමය උපයා දුන් ප‍්‍රධාන ආදායම් මාර්ග සියල්ලම පාහේ අන්දොස් වී තිබේ. වෙන රටවල ද කොවිඞ් පැතිර ඇති හෙයින් අපේ ශ‍්‍රමිකයන්ට ඒ රටවල තවදුරටත් රස්සාවල් නැත. රටේ ඇඟලූම් කර්මාන්තය තුන් කාලට හෝ සම්පූර්ණ වශයෙන්ම වැසී ගොස් ඇති නිසා ඒ පැත්තෙන් ද විදේශ විනිමය රට තුළට නොඑයි. සංචාරක කර්මාන්තය ද හාන්සි වී ඇත. උදයංග වීරතුංග විසින් කාලෙන් කාලෙට මෙරටට ගෙන්වන හම්පඩ යුකේ‍්‍රන් සංචාරකයන්ගෙන් කිසිම වැඩක් වී නැත. ඔවුන් සමාන වන්නේ හෝටල් කාමරේ තිබෙන ඉලෙක්ටි‍්‍රක් අයන් එක රත්කර ඒ මත තබා රොටී පුච්චාගෙන කන ඉන්දියන් සංචාරකයන්ට ය. ආණ්ඩුව තෙල් මිල වැඩි කරන්නේ මේ අතරය. අපට තෙල් මිල වැඩි කරන්නට සිදුවූයේ ඔපෙක් සංවිධානය සමග ගිවිසුමකට නොගොස් සිංගප්පූරුවේ තැරව්කරුවන්ගෙන් තෙල් මිලට ගැනීම නිසා යැයි කිසියම් මී හරකෙක් කියා ඇති බවක් ෆේස්බුක් සමාජ මාධ්‍යය ඔස්සේ අපි දැන ගතිමු.

මේ මී හරකා ආණ්ඩුවේ ඉහළ තැනක සිටින්නෙකි. ආචාර්ය උපාධියක් ද ඇත්තෙකි. ජර්මන් බසෙහි ද කෙළ (කුණු කෙළ නොවේ) පැමිණියෙකි. ඔපෙක් සංවිධානය සමග ගිවිසුම් ගැසීමට ශ‍්‍රී ලංකාව වැනි අඩු ආදායම් සහිත කුඩා රටවලට හැකියාවක් නැත. ඒ නිසා මෙලොව තිබෙන කුඩා රටවල් විශාල ප‍්‍රමාණයක් තෙල් ගන්නේ සිංගප්පූරුවෙනි. සමහරුන්ට සුපර් මාර්කට් යෑමට වත්කම් ඇත. තවත් සමහරු බඩු ගන්නේ ගමේ කඩයෙන් ඉතා සුළුවට ය. ලංකාවේ ආර්ථිකය කවදත් තිබුණේ ගමේ තිබෙන පුංචි කඩයක ආර්ථික මට්ටමේ ය. මේ නිසා සුපර් මාර්කට් යෑමට අපට නොහැකි විය. අපේ ආර්ථිකය ඉහළ නොනැගීමට ප‍්‍රමුඛ හේතුව වූයේ තිස් අවුරුදු යුද්ධය යි. යුද්ධය දිනා රට පිරිසිදු කිරීමෙන් පසු යුද්ධය දිනූ රාජපක්ෂ ආණ්ඩුව පැරදින. ඉන්පසු පැමිණි යහපාලන ආණ්ඩුව රට අල කළේය. ගෝඨාභය ගේ සම්ප‍්‍රාප්තියත් සමගම පිටිපස්සෙන් කොවිඞ් පැමිණියේය. මෙතරම් කරදර පවතින රටක් අරාජික කළ යුතු නැත. මෙවැනි අවස්ථාවල සියලූ පුරවැසියන්ගේ සහ දේශපාලන පක්ෂවල වගකීම වන්නේ තිබෙන ආණ්ඩුව පරිස්සම් කිරීමය. එහෙත් විවිධ කොටස් ආණ්ඩුව තුළ සිට ඇති කරන අර්බුද නිසා වියවුල් සහගත තත්ත්වයක් මතුවෙයි. අද මේ රටට හරියාකාර විපක්ෂයක් නැත. විපක්ෂයේ සිට පාර්ලිමේන්තුව තුළ දී ප‍්‍රයෝජනවත් විවේචනයක් ඉදිරිපත් කරන එකම මන්ත‍්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක ය. (ඔහු දිවයින සමග එතරම් හොඳ නැත)

මේ කාලකණ්ණි සන්දර්භය තුළ සිට පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් පසුගියදා ඛනිජ තෙල් ඇමැති උදය ගම්මන්පිලට අත් බෝම්බයක් දමා ගැසීය. බෝම්බය උදය ගම්මන්පිල ගේ කන ළඟින් ගොස් බිත්තියේ වැදී බම්ප් වී පැමිණ සාගර කාරියවසම් ගේ කලිසම් සාක්කුව තුළට ඇතුල් වී කුණුහරුපය කිට්ටුවෙන් පුපුරා ගියේය. මේ ක‍්‍රියාවලියෙන් කවර අවයව වලට හානි වන්නේද යන්න ඔබ දනී. සාගර කාරියවසම් නරක මිනිහෙක් නොවේ. පොහොට්ටු පක්ෂය හැදීමට මහත් සේ මහන්සි වූ හෙතෙම අද වනවිට වෙනත් බලවේගයකට නතුව සිටින අහිංසක ඉත්තෙකි. මීට මාස කිහිපයකට පෙර ස්වකීය ඉත්තා තනතුරේ රාජකාරියක් වශයෙන් විමල් වීරවංශට පහර දීමට ගිය සාගර කාරියවසම් බඩ පුරා කා අතුරුදන් විය. ආණ්ඩුව තෙල් මිල වැඩි කිරීම මහජනයාගේ පැත්තෙන් වරදකි. එහෙත් ආණ්ඩුවේ පැත්තෙන් එය නොකර බැරි දෙයකි. ලංකාව වාර්ෂිකව තෙල් ආනයනය කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන හාරදාහක් පමණ වැය කරයි.

ඊට අමතරව කොරෝනා කාලය නිමිත්තෙන් රජයේ සේවකයන් ලක්ෂ ගණනකට නිකං පඩි දෙයි. රටේ දරුවන්ගේ ජීවනාලිය වූ ගුරු පරපුර මාස ගණනාවක් තිස්සේ ගෙවල් වලට වී සිටිති. හැබැයි ඔවුන්ට පඩි දිය යුතුය. ඒ අතර කොරෝනා හැදුන ගෙවල් වලට රුපියල් දහ දාහේ බඩු බෑග් යැවිය යුතුය. ලොක්ඩවුන් ඒරියා වලට පන්දාහේ බඩු බෑග් යැවිය යුතුය. කොරෝනා තිබීම සාධකයක් කර ගනිමින් මේ කිසිම දෙයක් නොකර සිටීමට නොහැක. මේ තත්ත්වය පවත්වාගෙන යෑමට නම් හැල හැප්පීම් වලින් තොර ගමනක් ආණ්ඩුවට තිබිය යුතුය. ආණ්ඩුවට විපක්ෂය ගැන බයක් නැත. මන්ද යත් නිකරුනේ කියවමින් සිටිනවා මිස කිසිදු ප‍්‍රයෝජනවත් වැඩක් මේ විපක්ෂය නොකරයි. එහෙත් ආණ්ඩුව ස්වකීය ගෙදර තුළ තිබෙන විපක්ෂයෙන් ප‍්‍රවේශම් විය යුතුය. ගෙදර එකා ගෙදරම අයට කෙළින අවස්ථා තිබේ. තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල වරද භාරගෙන එල්ලූම් ගසට නැගී සියතින්ම ගෙල වැලලා ගත යුතු බව හෙවත් ඛනිජ තෙල් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව අවධාරණය කරමින් පොහොට්ටු ලේකම් වන සාගර කාරියවසම් නමැති අහිංසකයා ලියුමක් නිකුත් කළ අවස්ථාවේදී වෙනත් දේශපාලනඥයන් සම්බන්ධයෙන් සිදු නොවන යමක් සිදුවිය. එනම් ජනාධිපති, අගමැති සහ මුදල් රාජ්‍ය ඇමැති යන තිදෙනාම ගම්මන්පිල වෙනුවෙන් ප‍්‍රකාශ නිකුත් කිරීමය.

විශේෂයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ප‍්‍රශස්ත නිවේදනයක් නිකුත් කර තිබිණ. මේ රටේ ඉන්ධනවල සැබෑ කතාවත් පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වී පුනර්ජනනීය බලශක්තිය වෙත ළඟා වීමේ අවශ්‍යතාවත් එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ. මේ ආණ්ඩුවේ ඇති ලොකු වරදක් වන්නේ ප‍්‍රතිගාමීන්ට උත්තර දීමට ඇති නොහැකියාවය. එහෙත් මෑතක සිට ජනාධිපති කාර්යාලය පැත්තෙන් එම ඩියුටිය හරියටම සිදුවේ. අප තවදුරටත් මේ විදිහට තෙල් බිව්වොත් ඉදිරියේදී වහ බොන්නට සිදුවීම නියතය. ඒ අතර ඉත්තාගේ තත්ත්වයෙන් ඉවත් වී ස්වාධීන මිනිසකු වීම සඳහා සාගර කාරියවසම් ට අවස්ථාවක් ද ලබාදිය යුතුය.


advertistmentadvertistment