තෙල් වෙනුවට ටෝකන්

1190

ශ්‍රී ලංකාව යනු ඉතා පුදුම ලෙස ප්‍රශ්න විසඳන රටකි. ආණ්ඩුව මේ වන විට එක්තරා ආකාරයකට තෙල් ප්‍රශ්නය විසඳා තිබේ. ඒ, තෙල් වෙනුවට ටෝකන් බෙදාහැරීමෙනි. රට පුරා පෙට්‍රල් ෂෙඩ් හාරදහසකට වඩා වැඩි අතර, එයින් එක්දහස් පන්සීයකට වඩා අයි.ඕ.සී. සමාගමට හිමිය. අයි.ඕ.සී සමාගම සතුව තෙල් ටොන් කිහිපයක් මේ වන විට ඉතිරිව ඇති බැවින් එම තෙල් ටොන් ප්‍රමාණය බෙදාදිය හැකි පාරිභෝගික පිරිස මෙන් ලක්‍ෂ වාරයකටත් වැඩි පිරිසක් තෙල් ගැනීම සඳහා එකී ෂෙඩ් ඉදිරිපිට පෝළිම් ගැසී සිටිති. තවදුරටත් පෞද්ගලික වාහනවලට ඉන්ධන ලබා නොදෙන බවත් අත්‍යවශ්‍ය සේවා වාහන සඳහා පමණක් තෙල් නිකුත් කරන බවත් ආණ්ඩුව ඉකුත් රැයක නිවේදනක් නිකුත් කළේය. ඉන් පසු සිපෙට්කෝ තෙල් පෝළිම් ක්‍රමයෙන් ලිහිල්වනු දක්නා ලදී. මේ අතර මෙයට පැය 72 කට පෙර ඉන්ධන පෝළිම්වල සිටි ජනයා වෙත ටෝකන් බෙදාහරින ලදී. මුල් වටයේදී මේ ටෝකන් දෙන ලද්දේ පොලිසිය විසිනි. පසුව ශ්‍රී ලංකා යුද හමුදාව පැමිණ පොලිසියේ ටෝකන් පැත්තකට දමා යුද හමුදා ටෝකන් නිකුත් කළේය. මේ ටෝකන්වලින් කරන ලද්දේ තෙල් නැතිව බිරන්තට්ටු වී සිටින සාමාන්‍ය ජනයා සැනසීම පමණි. පෙට්‍රල් ටැංකිවලට ටෝකන් දමා වාහන ධාවනය කළ නොහැක. යුද හමුදාව මගින් ටෝකන් බෙදන ලද්දේ කවදා හෝ දවසක තෙල් ආවොත් බෙදා දීමේදී ටෝකන් ක්‍රමය අනුගමනය කරනු පිණිසය. මෙතැනදී තෙල් කවදා ඒද යන්න ගැන කාටවත් අදහසක් නැත.

මේ වන විට තෙල් ඇමැති කංචන විජේසේකර තෙල් සෙවීම සඳහා කටාර් රාජ්‍යයට ගොස් සිටී. ඔහු එම ගමන යන්නේ ඩොලර් දීලාවත් ශ්‍රී ලංකාවට තෙල් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තුළ ය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය ක්‍ෂේත්‍රය තුළ ඉතා නරක ලෙස බ්ලැක්ලිස්ට් වී සිටී. ඒ නිසා කිසිම රටක් මේ මොහොතේදී අපට ඩොලර්වලින් ණය දෙන්නේ නැත. මෑතක් වන තුරු ඉන්දියාව අපට ක්‍රෙඩිට් ලයින් එකක් හෙවත් ණය පහසුකම් මාලාවක් යටතේ භාණ්ඩ ලබාදීමට කටයුතු කළ ද දැන් එම ණය පහසුකම් මාලාව ද අවසන් ය. අනෙක් අතට දිගටම ශ්‍රී ලංකාවට ආධාර කරමින් සිටියහොත් ඉන්දියාවේ ආණ්ඩුව පෙරළී යෑමට ඉඩ තිබේ. මන්ද ඉන්දියාවත් කන්න නැතිව සිටින රටකි. ඒ රටේ සමහර පළාත්වල ඕනෑවටත් වඩා කෑම තිබෙන අතර තවත් සමහර පළාත්වල කෑම ඇත්තේම නැත. මෙයින් හැඟී යන්නේ ඒ රටේ පවත්නා ආර්ථික විෂමතාවයයි. ඉන්දියාවේ ආහාර ප්‍රශ්නයේ අගය 1 නම් ලංකාවේ ආහාර ප්‍රශ්නයේ අගය 100 කි. ඉන්දියානුවන් එක් අයකුට කෑම නැති නම් ශ්‍රී ලංකාවේ සියදෙනකුට කෑම නැත. මෙහිදී කෑම යනුවෙන් අප හඳුන්වන්නේ කුමක් ද? ආහාර යන පදයට නිර්වචනයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුව තිබේ. ඔවුන්ට අනුව ආහාරයක් යනු විටමින් වර්ග, ප්‍රෝටීන්, ඛනිජලවන, කාබෝහයිඩ්‍රේට් යනාදියෙන් සම්පූර්ණ වූ පෝෂ්‍යදායක ආහාර වේලකි. ලංකාවේ ආහාර වේල මේ වන විට පෙර කී ජාත්‍යන්තර නිර්ණායකයට සමපාත වන්නේ නැත. බතක් මාළුවක් හා එළවළුවක් සහිත වේල් දෙකක් කෑමෙන් මනසට තෘප්තියක් ලැබුණ ද ගතට පෝෂණයක් නො ලැබේ. අප කන කෑම මේ වන විට අලගොඩක් වීමට හේතු වී ඇත්තේ උද්ධමනයයි. අපගේ කතාව අදාළ ප්‍රස්තුතයෙන් පිටට යන බව පෙනේ. එබැවින් නැවත වතාවක් තෙල් පෝළිම් දෙසට හැරෙමු.

තෙල් පෝළිමට ටෝකන් බෙදීම කොතරම් දුරට සාර්ථකද යන්න අපට නොතේරේ. ටෝකන් එක සහිත තැනැත්තා කෙසේ පෝළිමේ සිටිය යුතුද, ඔවුන් පෝළිමෙන් පිටත සිටින විට ෂෙඩ් එකට තෙල් ආවොත් ඔවුන්ට ලැබෙන තැන කුමක්ද යන්න මෙහිදී අර්ථ නිරූපණය වී නැත. අපට හැඟෙන පරිදි ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ දිගටම තෙල් පෝළිමේ සිටින මිනිසුන් තාවකාලිකව සතුටට පත්කිරීම සඳහා ටෝකන් ප්‍රදානය කර ඇති බවයි. විරුද්ධ ඡන්ද අපේක්‍ෂකයාගේ කොඩි වැල් කපා, ඔහුගේ කාර්යාල ගිනිතබා තමන් වෙනුවෙන් වැඩ කරන පාක්‍ෂිකයන්ට ඡන්දය දිනූ පසු සාම විනිසුරුකම් ප්‍රදානය කිරීම ඇතැම් දේශපාලනඥයන්ගේ සිරිත ය. සාම විනිසුරු යනු විනිශ්චයකාරයෙක් නොවේ. එය සීමා වී ඇත්තේ සීල් එකකට පමණි. මේ සීල් එක මානසික ආහාරයකි. සාම විනිසුරුට නඩු ඇසීමට බැරිය. එසේම මිනිසුන් එල්ලුම්ගස් යැවීමටත් බැරිය. ඕනෑ නම් ඔහුට තනිව විනිශ්චයක් සිදුකොට තමන්ටම එල්ලී මැරෙන්නට පුළුවන. තෙල් ටෝකන් එක ද මේ ආකාරයේ කිසිදු වැදගැම්මක් නැති දෙයක් බව අපගේ වැටහීමය.

තෙල් පෝළිම යනු විටෙක ඉතා විචිත්‍ර තැනෙකි. දවස් තුනේ හතරේ මේ පෝළිමේ ලගින අය අරක්කු බොමින්, බයිට් කමින්, රෑ එළිවන තුරු විනෝදයෙන් සිටිති. ඒ අතර තවත් සමහරු මිනී මරාගනිති. තෙල් නැතිවීම නිසා ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකට එදාවේල අහිමි වී තිබේ. ජූලි 10 වැනිදායින් මෙහා තෙල් එන පාටක් නොපෙනේ. එතකල් මේ මිනිසුන් ජීවත් වන්නේ කොහොමද? මේ මිනිසුන්ට කිසියම් සහනාධාරයක් දෙන ක්‍රමයක් ආණ්ඩුව කල්පනා කළ යුතුය. ඉස්සර ත්‍රිරෝද රථ රියැදුරන් ජීවත් වූයේ එදාවේල ටුවර් ක්‍රමයට ය. දැන් තිබෙන තත්ත්වය අනුව එදාවේල් සියයක් ගියත් ටුවර් ලැබෙන බවක් නොපෙනේ. පසුගිය දිනවල ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරෝ එක දිගට තෙල් පෝළිමේ සිට තෙල් ගසාගෙන හතරවැනි දවසේදී හයර් දිවූහ. පස්වැනි දවසේ සිට නැවත වරක් තෙල් පෝළිමට එකතු වීමට ඔවුන්ට සිදුවිය. ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරන් තෙල් එකතුකර වැඩි මිලට විකුණන බව දැන ගැනීමට තිබේ. මෙය ඉතා වැරදි වැඩකි. එහෙත් දරු පවුල් නඩත්තු කිරීම සඳහා ඔවුන් වෙන මොනවා කරන්නද? හයර් දිවීමට තෙල් නැත්නම් ස්වකීය පවුල් වෙනුවෙන් ඕනෑම කැපවීමක් කිරීමට ‘තාත්තා’ තුළ වගකීමක් ඇත. තෙල් පෝළිමේ සිටින එදාවේල අහිමි අයට ආධාර දීමට ගියොත් රටේ උද්ධමනය වැඩිවනු ඇතැයි ආණ්ඩුව කියනු ඇත. එහෙත් උද්ධමනය ගැන බලබලා සිටියහොත් ඊළඟට එළැඹෙන ජවනිකාව සිවිල් යුද්ධයක් වීමට ඉඩ ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment