තෙල් සහනාධාරයක් නොලැබුණොත් ධීවර කර්මාන්තය කම්මුතුයි

311

ඩොලරයේ අගය වැඩි වීමේ වාසිය ගෙඩිය පිටින් ගන්නේ මාළු පිටරට යවන ආයතන…

මේ විදිහට තෙල් වැඩි වුණොත් මාලදිවයින් ධීවර කර්මාන්තය එක්ක අපිට තරග කරන්න බෑ…

මුස්ලිම් ෂෙඩ්කාරයො සිංහල ධීවරයන්ට භූමිතෙල් දෙන්නේ නෑ…

වැල්ලෙන් උපදින තෙල් ගින්න බිහිසුණුය. 2012 වර්ෂයේ පෙරබවාරි මස 15 වැනිදා හලාවත එගොඩවැල්ල තෙල් ගින්නකින් පිච්චී ගිය අයුරු අදට ද අපට මතකය. තෙල් සහනාධාරයක් ඉල්ලා ධීවරයන් සිදු කර එම උද්ඝෝෂණයේදී ඩබ්ලිව්. ඇන්ටනී ප්‍රනාන්දු වෙඩි කා මැරී වැටී සිටි අයුරු දැනිදු සිහි ගැනේ වේ.

එකසිය එකොළහට තිබුණු ඩීසල් ලීටරය කෙටි කාලයක් තුළ රුපියල් එකසිය හැත්තෑඅටකින් මිල ඉහළ යෑමත් සමඟ දැනුදු ධීවර ප්‍රජාව ගිනියම් වෙමින් සිටින බව සැබෑය. එමෙන්ම මේ දිනවල මෙරට ජනතාව මුහුණ දී සිටිනුයේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට ය. එහෙයින් ගිනියම් වැල්ලෙන් නැවතත් ගිනි දලු මතු වීමට පෙර ධීවර ගැටලු විමසා බැලීමට පසුගිය දිනක අපි මීගමුව ධීවර වරායට ගියෙමු.

දිය නොපෙනෙන තරමට මුළු වරායම බෝට්ටුවලින් පිරී ඇත. බෝට්ටු හාරපන්සියකට වැඩිය. එහෙත් පස් හයදෙනකුට වඩා මිනිසුන් නැත. වල් බල්ලො රජදහනක් කරගෙන සිටි ධීවර වරාය භූමිය පුරා මගේ දෙනෙත් දිව ගියේය. විසල් ශාලාව තුළ දැල් පිළියම් කරන තිදෙනෙක් අසල මගේ දෙනෙත් නතර විය. ඔවුන් දැල් වියන ලෝකයේය. බාහිර කිසිවක් සන්නිවේදනය නොවෙන ගාණය. අසලට ගිය අපි ඔවුන්ගේ දැහැන බින්දෙමු.

අද බෝට්ටු මුහුදු ගියේ නැද්ද?

“තෙල් නැතුව මුහුදු යන්නේ කොහොමද? අද නෙමෙයි මේ ටිකේම බෝට්ටු මුහුදු ගියේ නෑ…” දැලට බර වී තිබෙන මුහුණු අප දෙසට ඉස්සිණි.

“මට වයස අවුරුදු 58 යි. මගේ ජීවිත කාලයට මෙවැනි ආර්ථික අහේනියක් නම් ඇවිත් නෑ. උදේ කඩේට ගිහින් ගන්න භාණ්ඩයේ මිල හවසට වැඩි වෙනවා. ඒත් ආර්ථික වියදම ඉහළ ගියාට අපිට ලැබෙන කුලිය වැඩි වෙලා නෑ. මේ දැල් පිළියම් කරනවට පහුගිය කාලේ දවසට ලැබුණු රුපියල් 2000 තමයි අදටත් ලැබෙන්නේ. රුපියල් 2000 කින් අද කොහොමද ජීවත් වෙන්නේ. ඒ වගේම මේ ජොබ් එක හැමදාමත් නෑ. දැන් ලොකු බෝට්ටු මුහුදු යනවා අඩු නිසා අපිට වැඩක් ලැබෙන්නේ කලාතුරකින් දවසක්. අර ආවේ ධීවර සංගමයේ සභාපති. අපේ කර්මාන්තයට වෙලා තියෙන නස්පැත්තිය ගැන එයා හොඳට පැහැදිලි කරයි. මහත්තෙලා එයත් එක්ක කතා කරන්න…” දැල් පිළියම් කිරීම ජීවන වෘත්තිය කරගෙන සිටින ෂෙල්ටන් සිල්වා වරාය තුළට පැමිණි පුද්ගලයෙක්ව අපට හඳුන්වා දුන්නේය. ඔහු ද අප අසලට පැමිණියේය. හේ ටිරෝන්ය. සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපතිය. දැන හඳුනාගැනීමත් සමඟ පෙළගැසෙන කතාවට ඔහු මෙසේ ප්‍රවේශයක් ලබාගත්තේය.

“ඩොලරයේ මිල ඉහළ යෑමත් එක්ක සියලුම අමුද්‍රව්‍යවල මිල වැඩි වුණා. ඒ බරත් අපිම දරාගෙන කර්මාන්තය කරගෙන ගියා. මේ වෙනකොට දෙපාරකට ඩීසල් මිල වැඩි වුණා. රුපියල් 111 ට තිබුණු ඩීසල් ලීටරය දැන් 289 යි. කෙටි කාලයක් තුළ රුපියල් 178 කින් ඩීසල් මිල වැඩි වෙලා තියෙනවා. ඒ සමඟ සියලු වියදම් වැඩි වුණා. දැන් අපේ බහුදින ධීවර යාත්‍රාවක් මුහුදට පිටත් කරන්න රුපියල් ලක්‍ෂ විස්සක්, විසිපහක් වැඩියෙන් වැය කරන්න වෙලා. මාස දෙකකට ඉස්සෙල්ලා බෝට්ටුව පිටත් කරන්න මට ගියේ ලක්‍ෂ තිස්පහයි. මේ වාරේ බෝට්ටුව මුහුදට පිටත් කරන්න රුපියල් ලක්‍ෂ 50 ට වඩා වියදම් වුණා. එක ගමන් වාරයකට තෙල් ලීටර් 10500 ක් විතර පිච්චෙනවා. 15000 ක් විතර අරගෙන යන්න ඕනෑ. තෙල්වලට විතරක් රුපියල් ලක්‍ෂ 17 ක් වැඩි වෙලා තියෙනවා. විවිධ ප්‍රමාණයේ බහුදින ධීවර යාත්‍රා එක මුහුදු ගමන් වාරයකට තෙල් ලීටර් හාරදාහේ ඉඳලා පහළොස්දහස දක්වා අරගෙන යනවා. නාවික සැතපුම් එක්දාහස් පන්සියකට ඈත දියඹේ රස්සාව කරන්නේ. මාස දෙකකට ආසන්න කාලයක් මුහුදේ ඉන්නවා. කෑම, බීම, තෙල්, තංගුස්, ඇම්, අයිස් ඇති වෙන්න ගෙනියන්න ඕනෑ. පහුගිය කාලේ තංගුස් කිලෝ එක රුපියල් අටසිය ගාණයි. දැන් දෙදහස් ගාණක්. සියලුම වියදම් ඩබල්, ටි්‍රබල් වෙලා තියෙනවා. සේවක පඩි නඩි ගෙව්වට පස්සෙ අපිට ඉතුරු වෙන්නේ සොච්චම් ලාභයක්. ඒක බෝට්ටුවේ නඩත්තු වියදමටත් මදි. ඒ වගේම බහුදින යාත්‍රාවක් නිපදවන්න පහුගිය කාලේ වියදම් වුණේ මිලියන 20 ක් විතර. පවතින ආර්ථික ක්‍රමය තුළ බහුදින යාත්‍රාවක් නිපදවන්න මිලියන 35 ක් විතර වැය වෙනවා. දැන් අපිට මේ කර්මාන්තයෙන් ලාභයක් නැති තරම්. සියලු බෝට්ටුකාරයො ණය වෙලා ඉන්නේ. වතුපිටි, වාහන සියල්ල බැංකුවට උකස් කරලා. හොඳ තැනකට ගෙනත් තිබුණු ධීවර කර්මාන්තය මේ ආණ්ඩුව අගාධයටම ඇදලා දැම්මා. අපේ හීන මේ පාලකයො විසින් ඝාතනය කරලා. අනාගතය ගැන මතක් වෙනකොට පුදුම දුකක් දැනෙන්නේ…” ජන ශූන්‍ය වරාය ශාලාව තුළ ටිරෝන්ගේ හඬ රැව්පිළිරැව් දෙන්නේය. ඔහුගේ ආවේගශීලී වචන මූණිස්සම් සේ මුහුදු සුළඟට මුසු වන අතරේ තවත් ධීවරයෙක් කතාවට එකතු විය. ඔහු රොද්‍රිගෝය. පාරම්පරික ධීවරයෙකි.

තෙල් සහනාධාරයක් නොලැබුණොත් ධීවර කර්මාන්තය කම්මුතුයි

“ඩොලරයේ අගය වැඩි වුණා කියලා මාළු පිටරට යැවීමෙන් අපිට ලොකු ලාභයක් ලැබිලා නෑ. ඒ ලාභය ගෙඩිය පිටින් ගන්නේ මාළු පිටරට යවන ආයතන. අනෙකුත් කර්මාන්තකරුවො ඉන්ධන මිල වැඩිවීම රටේ ජනතාව පිට පටවලා පාඩුව පියව ගන්නවා. ඒ විදිහට මාළු මිල වැඩි කරන්න අපිට පුළුවන්කමක් නෑ. මාළු මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මතයි. දැන් ඉල්ලුමට සාපේක්‍ෂව මාළු දෙන්න බෑ. මාළුත් අඩුයි. මාළු මිලත් උපරිමයට ගිහින් තියෙන්නේ. තවත් වැඩි කළොත් අපේ රටේ මිනිස්සු මාළු කන්නේ නැතිව යනවා. විදේශීය රටවලින් අපේ මාළු ගන්නෙ නැතිව යනවා. අපි කරන්නේ ජාත්‍යන්තර වෙළෙඳාමක්. මාලදිවයින ධීවරයන් මාළු අල්ලන්නේ ඉතාම සුළු පිරිවැයකින්. ඒ නිසා මාලදිවයින ධීවරයන්ට ඉතාම අඩු මුදලකට පිටරටවලට මාළු සපයන්න පුළුවන්. අපි මාළු අල්ලන්නේ විශාල පිරිවැයක් දරාගෙන. ඒ නිසා මාලදිවයිනේ ගාණට අපිට මාළු දෙන්න බෑ. ඒක මෙරට ධීවර කර්මාන්තයට විශාල තර්ජනයක්. දැනටත් විදේශීය වෙළෙඳපොළ තුළ මෙරට මාළුවලට ඉල්ලුම තියෙන්නේ අපේ මාළුවල තියෙන කොලටිය හොඳ නිසයි. අපේ ධීවරයො මාස ගාණක් ජාත්‍යන්තර මුහුදේ ඔට්ටු වෙමින් වැඩිපුර මාළු ටිකක් අල්ලගෙන එන නිසයි. එහෙම නොවෙන්න මාලදිවයිනේ ධීවර කර්මාන්තයත් එක්ක අපිට තරඟ කරන්න බෑ. මේ තෙල් වැඩි වෙන විදිහට අපි නිකංම තරගයෙන් එළියට විසි වෙනවා. ඒ වගේම යාත්‍රා නිරීක්‍ෂණ පද්ධති (වෙසල් මොනිටර් සිස්ටම්) ඉස්සර දුන්නේ නොමිලේ. දැන් රුපියල් ලක්‍ෂ හයක් අය කරනවා. ඊට අමතරව මාසෙකට රුපියල් 6000 බැගින් මාස් පතා ගෙවන්න ඕනෑ. ජාත්‍යන්තර මෙහෙයුම් බලපත්‍රය දෙන්න රුපියල් පනස්දාහසක් අය කරනවා. මුහුද මැද දී බෝට්ටුවක කාර්මික දෝෂයක් හෝ අනතුරක් වෙලා ඇදගෙන එන්න වුණොත් ලක්‍ෂ දහයක්, පහළොවක් ගෙවන්න ඕනෑ. ඒ වගේම අපේ මුහුදු සීමාවේදී නාවික හමුදාව බෝට්ටු පරීක්‍ෂා කරලා තුංගස් පෙට්ටි විනාශ කර දානවා. නාවික හමුදා පරීක්‍ෂා කරලා පැටළුණු තුංගස් පෙට්ටි විස්සක් විතර අපේ ගෙදර අයින් කරලා තියෙනවා. කිලෝ 20 ක තුංගස් පෙට්ටියක් දැන් රුපියල් 52000 ක් වෙනවා. මට වෙලා තියෙන්නේ පොඩි අලාභයක් නෙමෙයි. බෝට්ටු පරීක්‍ෂා කරනවට අපි විරුද්ධ නෑ. ඒකට ක්‍රමයක් තියෙන්න ඕනෑ. මේ කර්මාන්තය කරගෙන යන්න විඳින දුක දන්නේ අපි විතරයි…” අපි අසා සිටියෙමු. තෙල් ගැටලුවෙන් දැවෙන ධීවරයන් එක හුස්මට කතාව කියාගෙන යන්නේය. ඒ ගිනියම් මිනිසුන් අතරින් රොද්‍රිගෝ ගේ හඬ ඉස්මතු විය. දැන් තවත් ධීවරයන් සිව්දෙනකු කතාවට එකතු වී සිටිති. ඒ සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් සහ බෝට්ටුවල රස්සාවේ යන තිදෙනෙකි. මාතර ධීවර සංගමයේ සභාපති දිලීප දුරකථනය ඔස්සේ පෙළගැසෙන කතාවට කරුණු ඉදිරිපත් කළේය. මේ එම ධීවරයන්ගේ පොදු හඬය.

“සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ පමණක් සාමාජිකයන් එක්දාහස් ගාණක් ඉන්නවා. ලංකාව පුරාම බහුදින ධීවර යාත්‍රා පන්දාහස් ගාණක් කර්මාන්තයේ නියැලෙනවා. ඒ බහුදින ධීවර යාත්‍රාවල ප්‍රධාන ඉලක්කය ටූනා මාළු ඇල්ලීම. අපි අල්ලගෙන එන ටූනා මාළු බහුලව දෙන්නේ විදේශීය වෙළෙඳපොළට. ඒ වගේම අපි රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙනවා. ටූනා මත්ස්‍ය කර්මාන්තයෙන් පමණක් පහුගිය වසරේ ඩොලර් මිලියන තුන්සිය අසූගාණක ආදායමක් රටට ගෙනත් දීලා තියෙනවා. එක බෝට්ටුවකින් සෘජු, වක්‍ර රැකියා සීයක් විතර බිහිවෙනවා. ඒ වගේම පහුගිය වර්ෂයේදී ධීවර කර්මාන්තයේ විශාල වර්ධනයක් පෙන්නුම් කළා. ඒත් මේ තෙල් මිල වැඩිවීමත් එක්ක රාජ්‍ය ආර්ථිකයට අපෙන් ලැබුණු දායකත්වය අඩු වෙනවා. එක බෝට්ටුවක් වරායේ ගාල් කරනවා කියන්නේ රැකියා අවස්ථා සීයක් අහිමි වෙනවා. ඒ මිනිස්සුන්ගේ ආර්ථිකය බින්දුවට වැටෙනවා. රජයෙන් කියලා තඹ දොයිතුවක සහනයක් ධීවරයන්ට දෙන්නෙත් නෑ. රජය සහන දෙන්නෙත් මාළු පිටරට යවන ආයතනවලට විතරයි. ධීවරයන්ට හම්බ කරගත්තොත් කන්න පුළුවන්. ඒත් අපි සහන ඉල්ලගෙන හිඟා කෑවේ නෑ. දැන් අපි තෙල් සහනයක් ඉල්ලන්නේ කාලා ඇඳලා ජීවත් වෙලා රාජ්‍ය ආර්ථිකයට ආදායම් උපද්දලා දෙන්න…”

“අපි ඉල්ලා සිටින්නේ ධීවර වරායන් තුළ තිබෙන රජයේ ඉන්ධනහල්වල තෙල් මිල අඩු කරලා දෙන්න කියලා. ධීවර වරායන් තුළ තියෙන සියලුම ඉන්ධනහල් ඛනිජ තෙල් සංස්ථාවට අයිති ඒවා. ඒ ඉන්ධනහල්වලින් තෙල් ගහන්නේ බහුදින ධීවර යාත්‍රාවලට විතරයි. වෙනත් කිසිම කටයුත්තකට තෙල් දෙන්නේ නෑ. ඒ නිසා ඉතාම පහසුවෙන් රජයට අපේ ඉල්ලීම ඉටුකරන්න පුළුවන්. තෙල් සහනයක් දෙන්න බැරි නම් අපේ බෝට්ටු විතරක් තෙල්වලට අය කරන බද්දෙන් නිදහස් කර දෙන්න. එහෙම නොවෙන්න මේ බෝට්ටු වරායන්වල දියබත් වෙන්න අරිනවා. එතකොට අපි හොයා දුන්න ඩොලර් ආදායමත් රටට අහිමි වෙනවා. රජයට ධීවර ප්‍රජාවත් රැකබලා ගන්න වෙනවා. රජය ෆේල් කියලා අපිටත් ෆේල් වෙන්න බෑ. අපිට වෙනත් රටවලට යන්නත් බෑ. මේ කර්මාන්තයේ බහුතරය එදා වේල හොයාගෙන අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සු…” දකුණේ, මීගමුවේ ධීවරයන්ගේ ඒකමතික ඉල්ලීම ඉන්ධන සහනාධාරයකි. එහෙත් දුරකථනය ඔස්සේ ධීවර හඬට එකතු වූ ත්‍රිකුණාමලයේ සුළුපන්න ධීවරයෙක් වන විල්සන් කීවේ වෙනත් කතාවකි.

තෙල් සහනාධාරයක් නොලැබුණොත් ධීවර කර්මාන්තය කම්මුතුයි

“මේ ප්‍රදේශවල ඉන්නේ දවසෙ බෝට්ටුකාරයො. අපි බෝට්ටුවලට දාන්නේ භූමිතෙල්. ලීටරයක් රුපියල් 87 යි. අපිට තියෙන ප්‍රධානම ගැටලුව මුස්ලිම් ෂෙඩ්කාරයො භූමි තෙල් දෙන්නේ නැති ඒක. ෂෙඩ් දෙකටම තෙල් ආපු හැටියේ මුලතිව්වලට ගෙනිහින් තෙල් ලීටරය රුපියල් 150 ගාණෙ වැඩි මිලට විකුණනවා. බස්වලට වැඩි මිලට විකුණනවා. සිංහල ධීවරයන්ට තෙල් නෑ. මුස්ලිම් ධීවරයන්ට ඇති වෙන්න තෙල් තියෙනවා. පොලිසියට කිව්වත් වැඩක් නෑ. ෂෙඩ්කාරයන්ට එරෙහිව නීතිමය පියවරක් ගන්නේ නෑ. ඒ වගේම මන්නාරම අවට මුහුදු තීරය ඉන්දියන් ධීවරයන් බදු අරගෙන වගේ තිත්ත පැටියගේ ඉඳලා හූරගෙන යනවා. ඒකත් මහා විනාශයක්…” ඔහු ද නිහඬ විය.

මැයි මාසෙ 13 වැනිදා සිට හත්දින්න බිම් කන්න පටන් ගැනේ. නැවත හත්දින්න පායන්නේ ජුනි මාසෙ 13 වැනිදාය. ඔක්තෝබර් මාසෙ මැද භාගය වෙනකං නිරිතදිග මෝසම තදය. මේ කාලය ධීවරයන්ට අසුබය. මුහුදු යන ධීවරයන් වැඩිපුරම අනතුරුවලට මුහුණ පාන්නේ මේ කාලය තුළය. වාරකං කාලය තුළ මාළු මිල ද අධික ලෙස ඉහළ යන බව සැබෑය. එහෙත් මෙවර නිරිතදිග මෝසම සක්‍රීයවීමටත් පෙර ධීවරයන්ට කෝඩේ වැදී ඇත. ඒ ඩීසල් මිල දෙසිය අසූනවයක් දක්වා වැඩිවීම නිසාය. ඉදිරියේදී මුහුදත් රෞද්‍ර වී, මාළු අස්වැන්නත්

හිඟ වී ඩොලරයේ අගය තවත් ඉහළ යෑම තුළ ඉන්ධන මිල තවත් වැඩි වී ධීවර කර්මාන්තයටත් මූසල කාලයක් උදා වීමට ඉඩ තිබේ. එවැනි පසුබිමක වරායන්වල ගාල් වී තිබෙන ධීවර බෝට්ටු දිරාපත් වී මුහුදට බත් වේ. ලක්‍ෂ විස්සකට ආසන්න ධීවර ප්‍රජාවට යන එනමං නැති වේ. මෙරට බහුතරයකට මාළු කෑල්ලක්, කරවල කෑල්ලක් කෑමේ අවස්ථාව ද නැති වී යයි. මස්, මාළු කෑමට විදිහක් නැතිව පෝෂණය ඌන වූ ජනතාවක් සහිත රටක හිස් ගෙඩි වැනි දරුවො බිහිවීම, මන්දපෝෂණයෙන් දරුවො මියැදීම, කුසගින්දරේ වැඩිහිටියො මිය යෑම අරුමයක් නොවනු ඇත. රට තල්ලු වන්නේ එතැනටය. තවත් කියන්නට දෙයක් නැත. අපි අසරණ ය.

● තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment