තෙල් සේවක ණය කෝටි 700 පැනලා

289

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග පර්යන්ත සමාගමේ සේවකයන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව නොසලකා ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම නිසා සේවක හිඟ ණය මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 700 ඉක්මවා ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙම හිඟ ණය මුදල යටතේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ගේ හිඟ ණය මුදල රුපියල් බිලියන 3.359 කි. තොග ගබඩා පර්යන්ත සමාගමේ හිඟ සේවක ණය මුදල රුපියල් බිලියන 4.314 කි.

මෙම ණය මුදල් ප්‍රමාණය බැංකු වෙත ගෙවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ තොග පර්යන්ත සමාගමට නොහැකි වී ඇත.

සංස්ථාව හා සමාගම විසින් සේවකයන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව නොසලකා ණය යෝජනා ක්‍රියාත්මක කිරීම, සේවකයන් වෙනුවෙන් විශාල ණය ප්‍රමාණයක් පවත්වාගෙන යෑම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමස්ත සේවකයන්ගෙන් සියයට 40 කට වඩා වැඩි සංඛ්‍යාවකට සහ තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන්ගෙන් සියයට 50 කට වඩා වැඩි ප්‍රමාණයකට ඔවුන්ගේ මූලික වැටුපෙන් සියයට 50 ඉක්මවා අතිකාල දීමනා ගෙවා තිබුණි.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන්ගේ මූලික වැටුප සම්පූර්ණයෙන්ම හෝ ඊට වැඩියෙන් හෝ සැලකිය යුතු ප්‍රතිශතයක් ණය ආපසු ගෙවීමට භාවිත කිරීමට සිදු වී තිබුණි. අතිකාල දීමනා වැඩිකිරීමේ අවශ්‍යතාවයක් සංස්ථාව වෙත නොතිබූ අතර, එහෙත් සේවකයන්ට ඔවුන්ගේ මූලික ඉපයීම ණය ගෙවීමට හා අනිකුත් වියදම් සඳහා ප්‍රමාණවත් නොවීම නිසා අතිකාල සේවයේ යෙදීමට සිදු වී තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙම තත්ත්වය මෙකී ආයතනවල අතිකාල දීමනා අනවශය ලෙස ඉහළයෑමට සෘජුව බලපා තිබුණි. මේ නිසා ප්‍රමාණවත් අරමුදල් නොමැතිවීම හේතුවෙන් ඉතා හදිසි ප්‍රාග්ධන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ප්‍රමාද කිරීමට හෝ අත්හැරීමට සිදුවී තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment