තෙල් හෑරීම සහ නිධන් හෑරීම 02 – (යකඩ හෑරීම සහ අපායේ වහළය)

1196

තෙල් ගැනීමට අතේ සතේ නැතිව සිටින මේ පීඩාකාරී මොහොතේදී අපටම අයත් තෙල් ළිං කීපයක් මන්නාරම් ද්‍රෝනියේ විවෘත වෙමින් පවතින හැටි අපි ඊයේ මේ කතු වැකිය ඔස්සේ සාකච්ඡුා කළෙමු. ශ‍්‍රී ලංකාව යනු කොතරම් අවාසනාවන්ත වුවද අන්තිම මොහොතේදී ලක් එක පාදා ගන්නා රටකි. අපි අවුරුදු තිහක් ප‍්‍රභාකරන් සමග යුද කළෙමු. තිස්වෙනි අවුරුද්ද වනවිට අප හිටියේ තවදුරටත් යුද්ධය කරගැනීමට බැරි තරම් පීඩනයක ය. එක පැත්තකින් අපට මුදල් තිබුණේ නැත. අනිත් පැත්තෙන් යුරෝපයේ බලගතු රටවල් සහ ඉන්දියාව යුද්ධය නවත්වන ලෙසට අපට බලකරමින් සිටියහ. අන්තිම මොහොතේදී හැමෝම කීවේ යුද්ධය පරදින බවය. එහෙත් ‘දිවයින’ත් මහින්ද රාජපක්ෂත් ත‍්‍රිවිධ හමුදාවත් විශ්වාස කළේ ශ‍්‍රී ලංකාවට යුද්ධය ජයග‍්‍රහණය කළ හැකි බවය. ඒ අනුව අන්තිම මොහොතේදී අපි ප‍්‍රභාකරන් මරා දැමුවෙමු. එයින් හැඟී ගියේ ශ‍්‍රී ලංකාවේ ආලින්දයට වාසනාව පිවිසෙන්නේ අන්තිම මොහොතේදී බවය. අප කොවිඞ් සටන ජයග‍්‍රහණය කරන්නේත් දීර්ඝකාලීනව ලැබූ පීඩා වලින් පසු අන්තිම මොහොතේය. පසුගිය දිනවල ඉන්ධන නොමැතිකමින් හෙවත් ඉන්ධන ගැනීමට සල්ලි නොමැතිකමින් ආණ්ඩුවේ දෙකොන පත්තු විය. ශ‍්‍රී ලංකාව තුළ නියෝජිත පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය පවතින නිසා අවසන් විග‍්‍රහයේදී ආණ්ඩුව යනු ජනතාවය. ආණ්ඩුවේ දෙකොන පත්තුවීම යනු ජනතාවගේ ද දෙකොන පත්තුවීමය. එහෙත් අන්තිම මොහොතේදී ඔමානය අපට තෙල් දීමට එකඟ විය. එසේ ලැබෙන්නේ ණයට තමයි; ණය ගෙවන්නේ පස්සේ නොවැ. තෙල් ගෙනාවයින් පසු ලෝක විනාශයක් වුණොත් ණය ගෙවීමේ අවශ්‍යතාවයක් මතුවන්නේ ද නැත.

 මන්නාරම් ද්‍රෝණියේ බිම් කැබලි අටසිය ගණනක ඩොලර් බිලියන 167 ක් වටිනා තෙල් තිබෙන බව අපි දැන ගතිමු. එහෙත් ලෝකයේ වගකිව යුතු ආර්ථික වෙබ් සයිට් එකක් වන Economy Next කියන පරිදි එම ගණන ඩොලර් බිලියන 267 කි. ශ‍්‍රී ලංකාවේ සම්පූර්ණ විදේශ ණය ප‍්‍රමාණය ඩොලර් බිලියන 50 ක් නැත. අපේ තෙල් සහ ගෑස් ඉල්ලම පෑදුනොත් විදේශ ණය ටික සියල්ල ගෙවා, මැද පෙරදිග ධනපතීන් මෙන් (සාමාන්‍ය පුරුද්දේ හැටියට) කා බී පිස්සු කෙලීමට අපේ ජනතාවට අවකාශ ලැබේ. එසේ පිස්සු කෙලීමට ලැබෙන්නේ මේ රටේ සිටින දේශපාලඥයන් රැුළ එම ඉතිරි මුදල ගසා නොකෑවොත් පමණි. ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයන් සතු විදේශ වත්කම් පැනමා පේපර්ස් සහ පැන්ඩෝරා පේපර්ස් නමැති පර්යේෂණ දෙකකින් හෙළිදරව් කරන ලදී. ඒ ගැන මතු කතු වැකි වලින් සාකච්ඡුා කරනු ලැබේ.

 අපට තෙල් කණින්නට වත්කමක් හෝ තාක්ෂණයක් නැත. දැනට අපට හැක්කේ ලිඳක් හෑරීමට හෝ වළක් හෑරීමට පමණි. ඉතිරි සියලූ කැණීම් සඳහා අවශ්‍ය කරන ධනය සහ තාක්ෂණය පිට රටින් ගෙනා යුතුය. තෙල් හැරීමේ සහ යකඩ හැරීමේ තාක්ෂණය යුරෝපය සතුව ඇත. ආසියාවේ ලොකුම යකඩ නිධි වලින් එකක් ලංකාවේ තිබේ. එය ඇත්තේ හඳපානාගලය. මේ යකඩ නිධිය කැණීම සඳහා මීට අවුරුදු කිහිපයකට පෙර යුරෝපීය විද්‍යාඥයෝ මෙරටට පැමිණියහ. කරන ලද මූලික පර්යේෂණ වලින් තහවුරු වුණේ යකඩ නිධිය තිබෙන්නේ පොළොව මතුපිට සිට කිලෝමීටර් පහකටත් වඩා යටින් අපායේ වහලයට අඟල් කිහිපයක් උඩින් බවය. මේ යකඩ නිධිය හෑරුවොත් යන වියදමට අනුව යකඩ කිලෝවක් රත්තරං කිලෝවකට වඩා මිල වැඩි වන්නේය. එබැවින් එය අත්හැර දමන ලදී. තෙල් කැණීම පිළිබඳ තත්ත්වය මෙයට වඩා වෙනස්ය. ස්ථිර වශයෙන්ම උඩට ගැනීමට හැකි තෙල් මේ මොහොතේදී මන්නාරම් ද්‍රෝණියේ තිබේ. මෙවා හෑරීම සඳහා යුරෝපීය තාක්ෂණයත් මූල්‍ය සහභාගිත්වයත් ලබාගත යුතුමය. එනම් පිට රට සමාගම් එක්ක එකතු වී Partnership එකට වැඬේ කළ යුතුය. මේ තාක්ෂණය සහ ආයෝජන ශක්තිය පවතින්නේ නෝර්වේ, ඇමෙරිකාව, ජර්මනිය වැනි රටවලය. එහෙත් නෝර්වේ සමග වැඩ කරනවාට මේ රටේ ජාතිවාදී බලවේග කැමති නැත. ඇමෙරිකාව සමග වැඩ කරනවාට ජාතිකවාදී බලවේග කැමති නැත. ජර්මනිය සමග වැඩ කරනවාට ප‍්‍රගතිශීලී බලවේග කැමති නැත. චීනය වැඬේ කුණු කොල්ලෙට අරගෙන අප අතරමං කර දමනු ඇතැයි යන බියෙන් එරට සමග වැඩ කරනවාට විපක්ෂය කැමති නැත. මේ තත්ත්වය මේ විදිහටම පවතිනවා නම් තව දුරටත් තෙල් ණයට ගැනීමත් හිඟන්නන් ලෙස ජීවත්වීමත් හැර විකල්පයක් අපට ඉතිරි වන්නේ ද නැත.

advertistmentadvertistment
advertistmentadvertistment