තේ ප්‍රවර්ධන අරමුදල බිලියන 9.8ක් ; බිලියනයක් රජයටත් දීලා…

221

අපේ තේ ලෝකයටම තිත්ත කරන කෙරුවාව

තේ කර්මාන්තශාලා 1600 පන්සිය හැට දෙකට අඩු වෙලා…

වැටුප මදිව කම්කරුවන් තේ වතුවලින් ඉවත් වෙනවා…

කුඩා තේ වතු හිමියෝ තේ වගාවෙන් ඉවත් වෙලා කුරුඳු වගා කරති…

තේ මණ්ඩලය තුළ නිලධාරීන් කිහිපදෙනෙක් පුටු සෙල්ලම් කරති..

තේ මණ්ඩලයේ රුපියලක්වත් කවුරුවත් වංචා කරලා නෑ…
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල්

ජේම්ස් ටේලර් ලූල්කඳුර වතු යායේ පැළ කළ තේ ගස, 1842 වර්ෂයේදී රම්බොඩ කපොල්ලෙහි ආරම්භ කළ සුළු තේ වගාව ලෝකයට විශ්වීය රසයක් උරුම කර දුන් බව සැබෑය. එම විශ්වීය රසයෙන් මත් වූ විදේශීය ආයෝජකයන් මෙරට තේ කර්මාන්තය දියුණු කිරීමට උපරිමයෙන් දායක වූ බව ද ඉතිහාසයේ සඳහන්ය. එහි ප්‍රතිඵලයක් ලෙස කෙටි කාලයකින් ‘සිලෝන් ටී’ ලෝක පූජිත නාමයක් බවට පත් විය. 1965 වර්ෂය වන විට ලෝකයේ තේ අපනයනය කරන රටවල් අතර මෙන්ම නිෂ්පාදනය කරන රටවල් අතර මෙරට අංක එක ස්ථානයේ වැජඹිණි.

තේ ප්‍රවර්ධන අරමුදල බිලියන 9.8ක් ; බිලියනයක් රජයටත් දීලා…

‘සිලෝන් ටී’ අදට ද ලොව බැබළෙන නාමයක් බව සැබෑය. එහෙත් මේ වන විට මෙරට තේ කර්මාන්තයට අත්ව ඇති ඉරණම නම් අතිශය ඛේදජනයකය. ඒ කතාව ‘තේ’ තරම් රස නැත. එහෙත් ‘ඇත්ත තිත්ත’ වුවද මෙරට තේ කර්මාන්තයේ උන්නතිය උදෙසා ඒ කතාව සටහන් තැබිය යුතුමය. තොරතුරු සම්පාදනය කරනුයේ තේ කර්මාන්තයෙන් යැපෙන විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන පුද්ගලයන්ය. ඉදිරියටත් කර්මාන්තයේ රැඳෙන්නට අවැසි බැවින් නම්, කර්මාන්ත නාමයන් ඉදිරිපත් කරනවාට ඔවුහු බිය වූහ. එහෙයින් ඔවුන්ගේ කතාවේ සංක්‍ෂිප්තයක් අපි මෙසේ සටහන් තබන්නෙමු.

මෙරට සමස්ත ජනගහනයෙන් මිලියන හතරක් පමණ සෘජුව මෙන්ම වක්‍රව තේ කර්මාන්තයට සම්බන්ධ වී සිටිති. උඩරට, මැද රට, පහත රට මහා පරිමාණ මෙන්ම සුළු පරිමාණ තේ වතු විශාල ප්‍රමාණයකි. දැනට ක්‍රියාත්මකව පවතින තේ නිෂ්පාදන කර්මාන්තශාලා 562 ක් වුවද මෙරට ක්‍රියාත්මක පැවැති කර්මාන්තශාලා 1600 කි. අමු දලු එකතු කරන පිරිස 10000 ට වැඩිය. ඒ අයුරින් මෙරට තේ කර්මාන්තය ප්‍රතාපවත් රුක්ෂයක් වුවද තේ නිෂ්පාදකයන්ගෙන් අපනයනකරුවන්ට අලෙවි කිරීමේ අයිතිය ඇත්තේ බෝකර් සමාගම් 8 ට පමණි. මෙරට තේ විකිණීම සිදු විය යුත්තේ එම සමාගම් 8 හරහා පමණක් බව ක්‍ෂේත්‍රයෙන් ඇසෙන කතාවකි.

එමෙන්ම 1972 වර්ෂයේදී මෙරට වතු රජයට පවරා ගැනීමත් සමඟ අක්කර 50 ට වැඩි සියලු තේ වතු ‘ශ්‍රී ලංකා තේ මණ්ඩලය’ යටතට පත් විය. එදා සිට මේ දක්වා මෙරට තේ කර්මාන්තයේ සංවර්ධනයක් ඇති නොවූ බව ද ක්‍ෂේත්‍රයෙන් ඇසෙන තවත් කතාවකි. තේ මණ්ඩලය තුළ ඒකාධිකාරියක් ක්‍රියාත්මක වෙමින් හිතවත්කම්, විවිධ සම්බන්ධතා මත නිලධාරීන් පත් කිරීම්, උසස්වීම් ලබාදීමට කටයුතු කරන බව ද වාර්තා වේ. කාලයක සිට නිලධාරීන් කිහිපදෙනෙක් තේ මණ්ඩලය තුළ සංගීත පුටු සෙල්ලමක් ක්‍රියාත්මක කරමින් සිටින බව ද වාර්තා වේ. එකී අහේතුව නිසා පිටතින් නිලධාරියෙක්ට පැමිණීමට තිබෙන ඉඩ සම්පූර්ණයෙන්ම ඇහිරී තිබේ. විවිධ අකටයුතුකම්වලට සම්බන්ධ පුද්ගලයන් පුටුවල මාරු වෙවී එකිනෙකාට සුදුහුණු ගාමින් එක අම්මගේ දරුවො ගානට තේ රස රිසි සේ භුක්ති විඳින බව ද වාර්තා වේ. එහෙත් මෙරට තේ කර්මාන්තය නැංවීමට කිසිදු පියවරක් නොගන්නා බව තේ මණ්ඩලයට එල්ලවන ප්‍රබල චෝදනාවකි. එමෙන්ම තේ සංවර්ධන අරමුදලෙන් තේ ප්‍රවර්ධන වැඩසටහන්වලට කෝටි ගණන් මුදල් වියදම් කළ ද ඇති ප්‍රවර්ධනයක් නැති බව ද වාර්තා වේ.

මේ වනවිට මෙරට තේ නිෂ්පාදනය තේ කිලෝ මිලියන 250 ට අඩු වී ඇත. එයට හේතුව කාලගුණ විපර්යාස, පොහොර ගැටලු පෙන්වා දෙමින් නිලධාරීන් සේප් න්‍යායක් අනුගමනය කරන බව ද වාර්තා වේ. එහෙත් තේ වතු හිමියන් දිරිගැන්වීමට ණය සහනාධාර, තේ නිෂ්පාදනයට අලුත් තාක්‍ෂණය, නව වගා ක්‍රම හඳුන්වාදීම, එකතු කළ අගය මත නිෂ්පාදනය කරන අපනයනකරුවන් දිරිගැන්වීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් තේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක නොකරන බව ද වාර්තා වේ. එහෙත් තේ මණ්ඩලය තුළින් වාර්ෂිකව තේ කර්මාන්තශාලාවලට සහානාධාර ලබාදෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. එම සහනාධාර ලබාදෙනුයේ ද තේ මණ්ඩලයේ ඇතැම් නිලධාරීන්ගේ හිතවත් කර්මාන්තකරුවන්ට පමණක් බව වාර්තා වේ.

එමෙන්ම තේ වතුවල වැඩ කරන මිනිසුන්ගේ අයිතිවාසිකම් ගැන සොයාබැලීමක් සිදු නොවෙති. එහෙයින් ඒ අසරණ මිනිසුන්ට පවතින ආර්ථිකය තුළ අඩු පඩියකින් ජීවත්වීමට නොහැකිව තේ කර්මාන්තයෙන් ඉවත් වෙමින් සිටිති. ඉන්ධන මිල, විදුලි ගාස්තු ඉහළ යෑම, වෙනත් වියදම් අසාමාන්‍ය ලෙස ඉහළ යෑම තුළ තේ කර්මාන්තශාලාවලට ලැබෙන ආදායම අඩු වී ඇති නිසා කම්කරුවන්ට ලොකු වේතනයක් ලබාදීමට නොහැකි බව කර්මාන්තරුවන් පවසති. එහෙත් තේ කර්මාන්තයේ දැවෙන ගැටලු යට කරගෙන තේ මණ්ඩලයේ ප්‍රධාන රාජකාරිය බවට පත් වී ඇත්තේ කර්මාන්තශාලා තුළට යමින් තේවලට සීනි දැම්මද? වෙනත් කෙමිකල් දැම්ම ද කියා සොයාබැලීම ය. තේ මණ්ඩලයේ එවැනි බාල වැඩ සහ තේ කර්මාන්තයේ දියුණුවක් නොපෙනෙන නිසා කුඩා තේ වතු හිමියන් විශාල වශයෙන් තේ කර්මාන්තයෙන් ඉවත් වී කුරුඳු වගාවට නැඹුරු වී ඇති බව ද වාර්තා වේ. එමෙන්ම කොළඹ තේ වෙන්දේසිය ද හිතවතුන් අතර බෙදාගෙන කන පෞද්ගලික කඩයක් බවට පත් ඇති බව ද තේ කර්මාන්තකරුවන් පැවසූහ. වාර්තා වන තොරතුරු මත සිලෝන් ටී කර්මාන්තය ගමන් කරනුයේ කනත්තටය. එහෙත් ‘සිලෝන් ටී’ කර්මාන්තය මියැදෙන්නට හැර බලා සිටීමට නොහැකිය. ලංකාව ලෝකය හඳුනාගන්නෙ සිලෝන් ටී නිසාය. එහෙයින් තේ කර්මාන්තය මෙරට ට සම්පතකි. එම සම්පත ආරක්‍ෂා කරගැනීමේ වගකීම ඇති ආයතන සහ පාර්ශ්ව කිහිපයකි. ශ්‍රී ලංකා තේ මණ්ඩලය, තේ අපනයන මණ්ඩලය, වෙළෙඳ අමාත්‍යාංශය සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය. විශේෂයෙන්ම රටේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ පාරිභෝගික අමාත්‍යාංශය වගකිව යුතුය. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නිෂ්පාදනය කරන තේ අලෙවි කරනුයේ පාරිභෝගික අමාත්‍යාංශය යටතේය.

තේ යනු තුන්සිය හැටපස් දවසේම අස්වනු ලබන ආර්ථික භෝගයකි. අදට ද අමු දලු කිලෝවක් රුපියල් 180 ත් 200 ත් අතර මිලකට අලෙවි වේ. අපනයනය කරන තේ කිලෝවක තොග මිල ඩොලර් 5.5 කි. මෙරට ආර්ථිකයට වසර මුළුල්ලේ සෘජු දායකත්වයක් සපයන අපනයන භෝගයකි. මෙරට ජීවත් වන මිලියන ගණනක් පෝෂණය කරන කර්මාන්තයකි. එවැනි කර්මාන්තයක් කඩා වැඩීම, රටේ ආර්ථිකය වළපල්ලට තල්ලු කිරීමට සෘජුව බලපාන බව සැබෑය. එහෙත් සිලෝන් ටීවල ගුණාත්මකභාවයට අභියෝගයක් වන ආකාරයට තේ නිෂ්පාදනය කිරීමට ලොව කිසිදු රටකට නොහැකි වී ඇත. එහෙයින් මෙරට තේවලට ලෝක වෙළෙඳපොළේ තවමත් හොඳ ඉල්ලුමක් පවතී. එහෙත් ලෝකයේ බොහෝ රටවලට ගුණාත්මක තේ මිලදී ගැනීමට වත්කමක් නැත. තේවලට ඇති කැමැත්ත නිසා එවැනි රටවල් බාල තේ මිලට ගන්නාහ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට බාල තේවලට ද ලෝකයේ හොඳ ඉල්ලුමක් පවතී. මෙරට කසළ තේ කිලෝවක් ඩොලර් 2 ට මිලදී ගන්නා මැදපෙරදිග ඇතැම් ව්‍යාපාරිකයන් වෙනත් රටවල තේවලට කලවම් කර සිලෝන් ටී නමින් ලෝක වෙළෙඳපොළට නිකුත් කරති. අපේ කසළ තේ තරම්වත් වෙනත් රටවල තේවල රසක් නැති බව ඉනිදු පැහැදිලි වේ. එහෙත් මෙරට කරුමයට අදාළ ක්‍ෂේත්‍රයේ නිලධාරීන් සහ බලධාරීන් මේ දේවල් ගැන නිවැරැදිව විශ්ලේෂණය කර ගැටලු හඳුනාගෙන විසඳුම් සොයන බවක් නොපනේ. ඇතැම් නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් රටේ තේ කර්මාන්තය තමන්ගේ බූදලයක් කරගෙන සිටින බව ද වාර්තා වේ. මේ සියලු ගැටලුවලට පිළිතුරු සොයාගෙන ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතා හමුවීමට අපි ගියෙමු. පහතින් පෙළගැසෙනුයේ අපේ පැනයන්ට ඔහු ලබා දුන් පිළිතුරුය.

තේ ප්‍රවර්ධන අරමුදල බිලියන 9.8ක් ; බිලියනයක් රජයටත් දීලා…

මෙරට තේ කර්මාන්තය කඩා වැටීමකට ලක් වෙලා තියෙනවා කියලා ඔබ පිළිගන්නවාද?

ඔව්… 2013 වර්ෂ වෙනකම් මෙරට තේ කර්මාන්තයේ පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කළා. එම වර්ෂයේදී තේ කිලෝ මිලියන 340 ක වාර්තාගත නිෂ්පාදනයක් කළා. 2014 වර්ෂයේදී තේ කිලෝ මිලියන 329 ක වාර්තාගත අපනයනයක් කළා. 2015 වර්ෂයේදී ගත්ත වැරැදි තීන්දු තීරණ සමඟ තේ කර්මාන්තය කඩා වැටීමකට ලක් වුණා. අඛණ්ඩව ක්‍රියාත්මක වෙච්ච පහත වැටීම රසායනික තහනම, පොහොර තහනමත් සමඟ වර්ධනය වුණා. තේ ගහක් කියන්නෙත් ජීවිතයක්. ඒ ගහ ජීවත් වෙන්න පෝෂණය අවශ්‍යයි. පොහොර, රසායනික නැති වුණාම තේ කර්මාන්තය මන්දපෝෂණයට ලක් වුණා. අද අපි පණ දෙන්න කටයුතු කරන්නෙ මන්දපෝෂණය හැදිච්ච තේ කර්මාන්තයට. ඒ වගේම දේශපාලනඥයන්ගේ අවශ්‍යතා මත රට පුරා තේ කර්මාන්තශාලා ආරම්භ කරන්න අවසර දුන්නා. ඒ තුළින් නිර්මාණය වෙච්ච දලු පොරය නිසා තේ ගොවීන් තේ ගහට විශාල හානියක් කරනවා. අන්තිමේ මිනිස්සු දොස් කියන්නෙ තේ මණ්ඩලයේ නිලධාරීන්ට.

බලධාරීන් එම තීන්දු තීරණ ගත්තෙ ක්‍ෂේත්‍රයේ විශේෂඥයන්ගේ කරුණු විමසීමකින් තොරවද?

ඔව්…

ලෝකයේ තේ නිෂ්පාදනය කරන රටවල් උපරිම තාක්‍ෂණය භාවිත කරනවා. අපි තවම එක තැන පල් වෙනවා…?

ඇත්ත. ඒ ගැන මට හරිම ලැජ්ජයි. ලංකාවේ වී ගොවිතැනට භාවිත කරන තාක්‍ෂණය තේ කර්මාන්තයට ලබා දීලා නෑ. මේ වන විට තේ කර්මාන්තය දුවන්නෙ ණය මත. පෞද්ගලික තේ කර්මාන්තකරුවන් තේ තැරැව්කාර ආයතනවලට සතියක් පාසා බිලියන 10 ක් ණයයි.

ඔබත් පුද්ගලික තේ බ්‍රෝකර් සමාගමක සභාපති ධුරයක් දරනවා නේද?

ඔව්. එම ආයතනයේ දශම 0.4 කොටස් ප්‍රමාණයක් මට තියෙනවා. තේ මණ්ඩලයේ සභාපති ධුරයට පත් වෙන්න ඉස්සර 2019 තමයි මම ඒ ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට සම්බන්ධ වුණේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ධුරය දරන අතරේ තේ තැරැව්කාර සමාගමක සභාපති ධුරයක් දරන්න පුළුවන්ද?

එහෙම පත් වෙච්ච පළමු කෙනා මම නෙමෙයි. මට ඉස්සෙල්ලා කිහිපදෙනෙක්ම පත් වෙලා තියෙනවා. මම තේ මණ්ඩලයෙන් වැටුප් ගන්නෙ නෑ. මම වැඩ කරන්නෙ ස්වෙච්ඡාවෙන්. වාහනයක් දීලා තියෙනවා. ඉන්ධන දෙනවා. එච්චරයි.

ඕනෑම තේ නිෂ්පාදකයෙක්ට තේ පිටරට යවන්න පුළුවන්ද?

පුළුවන්… තේ මණ්ඩලයට තේ සම්පාල් ඉදිරිපත් කර රස පරීක්‍ෂණ වාර්තාව ලබාගෙන, තීරණය කරපු මිලටත් අනුමැතිය ලබාගෙන ඇසුරුම් සහිතව 100% ක් තමන්ගේ නිෂ්පාදන අපනයනය කරන්න ඕනෑම තේ නිෂ්පාදකයෙක්ට අවසර තියෙනවා. වෙන්දේසියකට නොගිහින් විදේශීය ගැනුම්කරු සොයාගෙන අපනයනය වෙළෙඳාම කරන්න පුළුවන්. තමන්ගේ ඇසුරුම් රහිතව තොගයට තේ අපනයනය කරනවා නම් 50% අපනයනය කරන්නත් පුළුවන්. ඒත් නිෂ්පාදකයන් තේ අපනයනය කරන්න ආසයි, බයයි.

22 අංක 37 දරන තේ වෙන්දේසියේදී මොකද වුණේ…?

අපනයනකරුවන්ගේ බහුතර පුද්ගලික තීරණයක් ගත්තා. නිල නොවන තීරණයක් ගත්තා. ඒ නිසා ගැනුම්කරුවන්ට අවාසියක් වුණා කියලා සිලෝන් ටී බ්‍රෝකර් ආයතනය තේ මිලදීගැනීම අත්හිටෙව්වා. ඒ තේ ටික සති තුනකට පස්සෙ තේ වෙන්දේසියකට ඉදිරිපත් කළා.

ඒ ගනුදෙනුවත් එක්ක කුඩා තේ වතු හිමියන්ට අසාධාරණයක් වුණා නේද?

එහෙම වුණා කියලා මම හිතන්නෙ නෑ. එහෙම වුණා නම් ඒ අය මෙලහකට කෑගහලා.

ඉරාන . ශ්‍රී ලංකා තේ ගිවිසුම (බොර තෙල් තේ හුවමාරු ගිවිසුම) ඒ හුවමාරු ගිවිසුම පළමු මාස කිහිපයේදී තනි සමාගමකට ලබා දුන්නෙ ඔබ සභාපති ධුරය දරන සමාගමට වාසියක් ගන්න බලාපොරොත්තුවෙන්ද?

තේ ප්‍රවර්ධන අරමුදල බිලියන 9.8ක් ; බිලියනයක් රජයටත් දීලා…

ඒක වැරැදියි. එහෙම දුන්නෙ එක මාසයකට විතරයි. ඒකත් දැන් වෙනස් කරලා පළමු මාසෙ ඉඳලා ආයතන දෙකකට යනවා. සම්පූර්ණයෙන්ම දෙන්න කියපු ආයතනයට 80% ක් දෙනවා. අනිත් ආයතනයට 20% ක් දෙනවා. මේ තීරණ සියල්ලම ආවේ ඉරාන තානාපති කාර්යාලයෙන්. ඒ අය කියන දේ තමයි අපි කරන්න ඕන. මේ ගනුදෙනුව ක්‍රියාත්මක වෙන්නෙ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉරාන තෙල් සංස්ථාවක් අතර.

තේ මණ්ඩලයේ බිලියන ගාණක වංචාවක් සම්බන්ධයෙන් ඔබට කෝප් කමිටුවට යන්න වුණා නේද?

ඔව්. ඒ පරණ පව්. ඒත් එහෙම වංචාවක් වෙලා නෑ. ප්‍රවර්ධන වැඩසටහනකදී වැඩිපුර වියදමක් වෙලා තියෙනවා කියනවා. ඒකත් තවම ඔප්පු වෙලා නෑ. මේ ආයතනයේ කිසිදු මුදලක් කවුරුවත් වංචා කරලා නෑ.

තේ මණ්ඩලයේ ප්‍රවර්ධන වැඩසටහන්වලට විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ඒත් ප්‍රවර්ධනයක් නෑ කියලා චෝදනාවක් තියෙනවා…?

ඔය ගාණ නිසා තමයි හැමෝම කෙළ හළන්නෙ. අලෙවි සහ ප්‍රවර්ධනය අරමුදල ආරම්භ කළේ 2010 මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා. ඒ අනුව අපනයනය කරන සෑම තේ කිලෝවකින්ම රුපියල් 3 ශත 50 ක් එම අරමුදලට බැර වෙනවා. මේ වෙනකොට එම අරමුදලේ බිලියන 9.8 ක් තියෙනවා. ඒ ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. සිද්ධ නොවුණු වංචාවක් ගැන විතරයි කතා කරන්නෙ. ඒ මුදලෙන් බිලියනයක් දැනටත් රජයට දීලා තියෙනවා. අපි යැපෙන්නෙත් ඒ අරමුදලෙන් එන පොලියෙන්. නැති නම් රජයෙන් ලැබෙන මුදල අපිට ප්‍රමාණවත් නෑ.

ඉදිරියේදී පත්වන තේ කොමසාරිස් දැනට තේ මණ්ඩලය තුළ සිටින නිලධාරියෙක්ද?

එම තනතුරට පිටිනුත් ඉල්ලුම් කරන්න පුළුවන්. තේ මණ්ඩලය තුළ සිටින නියෝජ්‍ය තේ කොමසාරිස්වරුන්ට ඉල්ලුම් කරන්නත් පුළුවන්.

තේ මණ්ඩලය තුළ සිටින නිලධාරියෙක්ම කොමසාරිස් කරන්නද තීරණය කරලා තියෙන්නෙ…?

තවම එහෙම තීරණයක් අරගෙන නෑ. ඒත් දැනට සිටින තේ කොමසාරිස් ලබන ජනවාරි මස 31 වැනිදා විශ්‍රාම ගන්නවා. තේ මණ්ඩලය ඇතුළෙ දක්‍ෂ නිලධාරීන් ඉන්නවා. පිටින් ලැබෙන ඉල්ලුම්පත් ගැනත් සැලකිලිමත් වෙලා වැඩිම ලකුණු ගන්න කෙනෙක් කොමසාරිස් ධුරයට පත් කරනවා. තේ මණ්ඩලය තුළ සිටින කෙනෙක් කොමසාරිස් වුණොත් වැඩ කරගෙන යන්න පහසුයි.

තේ කොමසාරිස් තනතුරට පත් කළ හැකි දක්‍ෂ, සාර්ථක නිලධාරීන් තේ මණ්ඩලය තුළ සිටිනවද?

ඔව්. හොඳ මනා දැනුමැති නිලධාරියෙක් අපිට ඉන්නවා. එවැනි සුදුසු පුද්ගලයො පත් කරගන්නෙ නැතිව තේ මණ්ඩලය කඩා වැටිලා කියලා වැඩක් නෑ…”

තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතා පවසන ආකාරයට තේ මණ්ඩලය තුළ දක්‍ෂ, පළපුරුදු නිලධාරීන් සිටිති. එහෙත් තේ නිෂ්පාදනය කරන රටවල් අතර පෙරමුණේ සිටි අපේ රට මේ වෙනකොට හතරවෙනි තැනට වැටී තිබේ. දැනට ලෝකයේ තේ නිෂ්පාදිත රටවල් අතරින් වැඩිම තේ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනුයේ චීනයයි. එය ලෝක තේ සැපයුමෙන් 50% කි. ඉන්දියාව 25% ක් පමණ සපයන අතර කෙන්යාව ඇතුළු තේ නිෂ්පාදනය කරන අනෙකුත් අප්‍රිකානු රටවල් සහ මෙරට සිටිනුයේ ඉතිරි 25% තුළය. ඒ අතර මෙරට තේ අපනයනයට වඩා කෙන්යාව ඉදිරියෙන් සිටිති. මුල් කාලයේදී කෙන්යාවේ තේ වගාවට තාක්‍ෂණය සහ ශ්‍රමය බහුලව ලබාදී ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ය. එහෙත් දැන් මෙරටට වඩා කෙන්යාවේ තේ අස්වැන්න සරුය. වගා කරන ක්‍රමවේදය හොඳය. බොහෝමයක් තේ වතු සමතලා බිම් හෙයින් යන්ත්‍රානුසාරයෙන් තේ දලු නෙළීමට හැකියාව තිබේ. අවසානයේ නිමි තේ කොළවල පිරිසිදුභාවය ද ඉතාම ඉහළය. එසේ නිෂ්පාදනය කරනු ලබන තේ කොළ අවම මිලකට ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කරනු ලැබේ. එමෙන්ම ගුණාත්මක තත්ත්වය බාල වුවද ඉන්දියාව ද අවම මිලකට ලෝක වෙළෙඳපොළට තේ සපයනු ලැබේ. වියට්නාමයේ තේ අස්වැන්න ඉතාම ඉහළය. නිෂ්පාදන වියදම අඩුය. එහෙයින් අවම මිලකට ලෝක වෙළෙඳපොළට තේ ලබාදෙනු ලැබේ.

මෙරට තේ වැඩිපුරම මිලට ගන්නේ අරාබිකරයේ රටවල් සහ රුසියාව ඇතුළු ඒ ආශ්‍රිත රටවල්ය. මේ වෙනකොට රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයකි. ඊශ්‍රායල් . පලස්තීන යුද්ධය තව, තවත් ඇවිළී ගොස් අරාබිකරයම ගිනි පත්තුවීමට ඉඩ තිබේ. එවැනි පසුබිමක මෙරට තේ මිල පහත වැටීමට ඉඩ තිබේ. අදාළ නිලධාරීන් ක්‍රියාත්මක වී ‘සීලෝන් ටී’ විකිණීමට අලුත් රටවල් සොයාගැනීම තුළ උද්ගතවීමට නියමිත ගැටලුවට යම් සහනයක් ලැබෙනු ඇත. එහෙත් මෙරට තේ කර්මාන්තයේ ඉහළ නිලධාරීන් සහ බලධාරීන් එවැනි දූරදර්ශී තීන්දු තීරණ ගන්නා බවක් නොපෙනේ. එහෙයින් මෙරට තේ කර්මාන්තයේ අනාගතය අඳුරු වලා පටලයකින් වැසී ඇති බව නොරහසකි.

තරංග රත්නවීර
ඡායාරූපය . කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment