තොණ්ඩාගේ රණ්ඩුව ආණ්ඩුව සහ රංගේගේ ගුණ්ඩුව !

404

මේ සතියේත් සමාජ දේශපාලන ක්ෂේත්‍රවල ප්‍රමුඛ මාතෘකාව බවට පත්ව තිබෙන්නේ කාලගුණ විපර්යාස හා කැළඹිලි නිසා විපතට පත් ගම්දනව් හා ජනජීවිත පිළිබඳවය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කරන ලද නිවේදන අනුව දිස්ත්‍රික් ගණනාවක්ම මේ කාලගුණයේ දැඩි පීඩාවලට ලක්ව ඇත. මහ වැසි ගංවතුර නාය යෑම්, දැඩි සුළං, ගස් කඩා වැටීම්වලට අමතරව පුද්ගල මරණ ද වාර්තා වී තිබේ. ඇතැම් නිවාස හානියට පත්ව ඇත්තේ ඒවායේ සිටි නිවැසියන්ද මරුමුවට පත් කරවමින්ය. කුමක් වුවත් මේ සියලු ස්වභාවික විපත් කඩා වැටෙන්නේද බොහෝවිට නැති බැරි අයගේම හිස මතටය. ධනිය ගෝපාලලාගේ වර්ගයට අයත් බොහෝ ධනීන්ටත් වරප්‍රසාද සහිත අයටත් මේවා බොහෝවිට මාධ්‍යයක් ඔස්සේ දකින හෝ කියවන පුවත් පමණක්ද විය හැකිය. එසේ වුවද එබඳු දුකට පත් අයට පිළිසරණවීමට සද්භාවයෙන් ඉදිරිපත් වන පිරිස් ද සිටිති. කුමක් වුවත් ස්වභාවධර්මයේ නියමයට අභියෝග කළ හැකි නවීන විද්‍යාවක් හෝ තාක්ෂණයක් නැති බවද අපි දනිමු. එසේ වුවද මෙබඳු ආපදා කළමනාකරණය සඳහා විධිමත් සැලසුම්වල හිඟයක් ද අපට තිබේ. මෙබඳු විපත්දායක අවස්ථාවල බොහෝවිට එබඳු අඩුපාඩු පිළිබඳව ද වාර්තා වේ. එහෙත් ඒ විපත් අඩුවීමත් සමග ඒ තොරතුරු ද යටපත් වීම මෙරටේ ක්‍රමය වී තිබේ. මේ අතර විපතට පත් ජනතාවට සහන සැලසීමටත් අඩාල වූ ජනතා සේවාවන් ප්‍රතිසංස්කරණය කිරීමටත් අවශ්‍ය විධිවිධාන යොදා ඇතැයි ද වාර්තා වේ. එසේම හානියට පත් නිවාස රජයේ වියදමින් ඉදිකර දෙන බවද සඳහන් වේ. අපගේ යෝජනාව වන්නේ ද සරණාගතයන් බවට පත්ව දුක්පත්ව සිටින ඒ ජනතාව සුවපත් කළ යුතු බවය. රට යට කරමින් ගලා ගිය ඒ ජල කඳ සමග පීඩිතයන්ගේ කඳුළු ද තිබෙන බව අපි සිහිපත් කරමු.

දැන් අප අවධානය යොමු කරවන්නේ සමාජ දේශපාලන කැළඹීම්වලට තුඩු දුන් සිදුවීම් අතර තිබෙන ප්‍රධාන සිදුවීම් කීපයක් කෙරෙහිය. මෙහිලා මුලින්ම විමසා බලන්නේ ඉකුත් සතිය මුළුල්ලේම ඉමහත් විවාදයටත්, අවධානයටත් යොමු වූ එ.ජා.ප. මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාරගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු විසින්ම දක්වන ලද ප්‍රතිචාරය පිළිබඳවය. ඔහුගේ මුල් ප්‍රකාශය වූයේ වත්මන් ජනාධිපතිවරයාට හා පාර්ලිමේන්තුවට තවත් දෙවසරක කාලයක් ලබාදිය යුතු බවය. ඒ සඳහා ඔහු විසින් දක්වන ලද හේතු සාධකවල හරය වූයේ රට අසීරු ආර්ථික අර්බුදයක හිරවී සිටින මෙම අවස්ථාවේ මැතිවරණවලට නොයා යුතු බවය. පාර්ලිමේන්තුවට ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කර අවශ්‍ය නම් ජනමත විචාරණයකින්ද එය අනුමත කරගත හැකි බවය.

මේ යෝජනාවට එල්ල වූයේ දැඩි ප්‍රහාරයකි. හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ ආණ්ඩුව මේ කරන්නේ මුට්ටිය දමා බැලීමක් බවත් මුට්ටිය කුඩු වී යන ප්‍රහාරයක් එල්ල කළ යුතු බවත්ය. දේශපාලන මෙන්ම සිවිල් ක්‍රියාකාරීහුද ඒ මැතිවරණ කල්දැමීමේ යෝජනාව එකහෙළාම ප්‍රතික්ෂේප කළහ. නීතිඥ සාමූහිකයද නිවේදනයක් නිකුත් කරමින්ම එයට මෙන්ම විධායකයේ හැසිරීම් සම්බන්ධයෙන්ද අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබුණි. ජා.ජ.බය ඇතුළු වෙනත් සිවිල් ක්‍රියාකාරීන්ගෙන්ද ප්‍රකාශ වූයේ මේ යෝජනාව ජනාධිපති රනිල්ගේ ආශීර්වාදය සහිත එකක් බවය. එසේම ජනාධිපතිගේ ඇතැම් සමීපතමයන් වෑයම් කළේ මෙය රංගෙ බණ්ඩාරගේ පෞද්ගලික අදහසක් බව තහවුරු කිරීමටය. එහෙත් අද මේ සමාජයෙහි දේශපාලන සාක්ෂරතාව වැඩී තිබෙන බව ඒ මහත්වරු නොදනිතියි කිව හැකිද?

කෙසේ හෝ මෙවන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ එ.ජා.ප. මහ ලේකම් රංගෙ බණ්ඩාර විසින් ඉකුත් සඳුදා (03) විශේෂ මාධ්‍ය හමුවක්ද කැඳවා ප්‍රකාශ කරන ලද්දේත් තමන් කළේ ව්‍යවස්ථානුකූලව කළ හැකි කාර්යක් බවය. ඔහු දිගින් දිගටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උපුටා දැක්වීය. එහෙත් ඒ කිසිදු තර්කයකට පදනමක් හෝ නීත්‍යානුකූල බවක්ද නොවූ බව ඉතා පැහැදිලිය. ඇතැම්විට ඔහුට ඒ ප්‍රකාශය වෙනත් කිසිවකු විසින් ලබාදෙන ලද එකක්ද විය හැකිය. කොහොමටත් නීතිඥයකු හෝ එම ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණිකයකු නොවන රංගෙ බණ්ඩාරගේ ප්‍රතිචාරය ගැන කතා කිරීම පවා නිෂ්ඵලය. ඔහු විසින් කරන ලද මුල් ප්‍රකාශය අළලා ප්‍රකට කාටුන් ශිල්පියකු විකට චිත්‍රයක්ද ඇඳ තිබුණි. එහි වූයේ ජනප්‍රවාදයේ එන කූඤ්ඤය ගැලවූ වඳුරාගේ පුවත සිහිපත් කිරීමය. ඇත්ත වශයෙන්ම මෙරටේ බොහෝවිට අප දකින නරකම දේශපාලන ප්‍රතිචාරයක් වන්නේ ඇතැම් නායකයන් විසින් තම අනුගාමිකයන් හෝ පාක්ෂිකයන් මගින් සමාජගත කරන විසකුරු අදහස්ය. ඒ සටකපට දේශපාලන වංචාව අන්තිමේදී එය සමාජගත කළ අයගේ කරපිටින්ම යයි.

එ.ජා.ප. මහ ලේකම්වරයා ලෙස නොවුවත් එම ධුරය හොබවන පුද්ගලයකුට තම නිල කාර්යාලයේ (සිරිකොතදී) එබඳු පෞද්ගලික ප්‍රකාශයක් කිරීමට සදාචාරාත්මක අයිතියක් තිබිය නොහැක. විශේෂයෙන් ජනාධිපතිවරණයක සූදානමක් තිබෙන අවස්ථාවක එබඳු මුට්ටිය දැමීම් බාල දේශපාලනයක් පමණක් නොව වංක හා දුෂ්ට ක්‍රියාවක් ලෙසද හෙළා දැකිය යුතුය. ඇත්තටම රංගෙ බණ්ඩාරට මේ පක්ෂවල ප්‍රජාතන්ත්‍රවාදී සෙප්පඩ විජ්ජා ගැන හෝ ජනමතයට උඩින් පැනයාමේ මෙහෙයුම් ගැන හෝ අවබෝධයක් නැතැයි අපට සිතිය නොහැක. එ.ජා.ප. නායකයා ලෙස ජේ. ආර්. ජයවර්ධන සම්බන්ධ අතීතය පමණක් වුවද ඔහුට බොහෝ දේවල් ඉගෙන ගැනීමට ප්‍රමාණවත් වනු ඇත. ජයවර්ධනගේ ජනමත විචාරණය මෙරටේ දූෂිතම දේශපාලන ප්‍රතිචාරයක් මෙන්ම අශිෂ්ට හා ප්‍රචණ්ඩ එකක් බවද ලියා තිබේ. ඡන්ද පොළවල් ආක්‍රමණය, හොර ඡන්ද දැමීම් වැනි සැහැසිකම් පිළිබඳ ජයවර්ධනගේ කුප්‍රකට වාර්තා රංගෙ බණ්ඩාර නොදන්නෙහිද?

පසුගිය දිනක මෙරටේ හිටපු අගවිනිසුරුවරයකු වූ සරත් එන්. සිල්වා මාධ්‍යයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ජනමත විචාරණ පනත බලගැන්වූ ආකාරය සැකමුසු එකක් බවද පෙන්වා දී තිබුණි. ඒ අවස්ථාවේ නීතිපති ලෙස සිටි තමන්ට ඒ සම්බන්ධයෙන් ලබාදුන් බහුතරයේ තීන්දුව ගැන කුකුසක් පහළ වූ බවද ඔහු සඳහන් කර තිබුණි. 1982 ජනමත විචාරණ පනත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එයට එරෙහිව නීතිඥයකු ලෙස ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක තර්ක කළ බවත් ඔහු පෙන්වා දුන්නේ ජනමත විචාරණය යනු ජනතාවගේ පරමාධිපත්‍ය රැකෙන ජනවරමක් නොවන බවත්ය. පනතට පක්ෂව ලැබුණු බෙදුනු තීන්දුවේ (4යි 3යි) එවක අගවිනිසුරු නෙවිල් සමරකෝන්ද සිටි බව ඔහු පවසයි. එහෙත් එදා ජේ. ආර්. සිය බලය යොදවා ඒ ක්‍රියාමාර්ගය ගත් බවද සරත් එන්. සිල්වාගේ චෝදනාවකි. එපමණක් නොව ඔහුට අනුව රංගෙ බණ්ඩාරගේ යෝජනාව රනිල්ගේම ගුණ්ඩුවකි.

ඇත්තටම අද සමාජ දේශපාලනයේ තිබෙන බලලෝභයත් තනතුරු තෘෂ්ණාවත් ඉතා පැහැදිලිය. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් ප්‍රතිචාර දැක්විය යුතු යැයි පවසන්නේ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්ය. මැතිවරණ කල්දැමීමට තම පක්ෂය එකඟ නොවන බව එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ද කියයි. කුමක් වුවත් රංගෙ බණ්ඩාර ජාම බේරාගෙන ඇතැයි ඔහුට ඒ අදහස් කැවූ මහ මොළකරු සිතනු විය හැකිය. එහෙත් අපට කිව හැක්කේ මහත්වරුනි ඔබලගේ දේශපාලන මගඩි මෙරටේ ප්‍රබුද්ධ ජන කොටස්වලට සැඟවිය නොහැකි බවය. ඇත්තටම අද ජනාධිපති රනිල්ගේ අනුග්‍රහයෙන් කරළියට පැමිණ සිටින පරාජිත එ.ජා.ප. නඩය තුළ ද එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳ තිගැස්මක් තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත.

ජනාධිපතිවරණයෙන් තම නායකයා වන රනිල්ට අත්විය හැකි පරාජය වළක්වා ගැනීමට එ.ජා.පයේ සභාපතිවරයා මෙන්ම තවත් ජ්‍යෙෂ්ඨයන් විසින්ද නිබඳවම කරනු ලබන අවධාරණය වන්නේ මේ රට ස්ථාවරත්වයට පත් කරමින් ජනාධිපති රනිල් ඇරඹූ වැඩපිළිවෙළ ඔහුට විනා අන්අයෙකුට ඉදිරියට ගෙන යා නොහැකි බවය. වජිර අබේවර්ධන යෝජනා කරන්නේ අන් අය එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී රනිල්ට තව වසර කීපයක් (වසර 10ක්) ලබාදිය යුතු බවය. එහෙත් එහි තාර්කික පදනමක් නැත. රාජපක්ෂවරුන්ට එරෙහිව නැඟුණු ජනතා විරෝධය අබියස ගෝඨාභය රටින් පැන ගිය අතර මහින්ද අගමැති ධුරයෙන්ද ඉල්ලා අස්විය. රනිල් ඒ ජනතා විරෝධය සමග ඇතිවූ දේශපාලන ව්‍යාකූලත්වය සමනය කළ බව ඒ සඳහා තිබෙන විවේචන පසෙක දමා පිළිගත හැකිය. 1994 සිට මෙරටේ රාජ්‍ය බලය ලබාගැනීමට අසමත් වූ එජාපයේ නායකයා වූ රනිල් මෙවර බල ගන්වනු ලබන්නේද ඔහුගේ දේශපාලන පසමිතුරු වූ රාජපක්ෂවරුන්ම බව ප්‍රකට කතාවකි. එනිසා රනිල් අද උසුලන තත්ත්වයට මෙන්ම ඔහුගේ කාර්ය සම්බන්ධයෙන්ද රාජපක්ෂවරුන්ගේ පක්ෂයද වගකිව යුතුය.

අදත් රාජපක්ෂවරුන්ගේ අනුග්‍රහය ලබමින් විධායක ධුරය හොබවන රනිල් මැදිවී සිටින උභතෝකෝටිකය වන්නේ එළඹෙන ජනාධිපතිවරණයයි. ඒ ගැටලුව රාජපක්ෂවරුන්ටද තිබේ. මේ දේශපාලන භූමිය තුළ එ.ජා.පයට මෙන්ම පොදුජන පෙරමුණට පමණක් නොව වල්මත් වී සිටින ශ්‍රීලනිපයටද කළ හැකි බලපෑමක් නැත. සන්ධාන ගතවන දේශපාලන චරිතවල පැටිකිරියද ජනතාව දනී. එහෙත් එ.ජා.පයෙන් බිඳී ආ ස.ජ.බයටත් ඒ සියල්ලන්ම එරෙහිව සිටින ජා.ජ.බයත් වෙන වෙනම ජනතාවට ආමන්ත්‍රණය කරමින්ද සිටියි. එළඹෙන කවර මැතිවරණයකදී වුවද ඔවුන් අභිබවා පවතින දේශපාලන පක්ෂවලට හෝ ගොඩනැඟෙන සන්ධානවලට ඉදිරියට යා නොහැකි බව අද තිබෙන යථාර්ථයයි. එසේම මේ පක්ෂ දෙක එනම් ස.ජ.බ. හා ජා.ජ.බ. කිරා බැලීමටද මේ වේලාසන වැඩිය.

තොණ්ඩාගේ රණ්ඩුව ආණ්ඩුව සහ රංගේගේ ගුණ්ඩුව !

මෙතෙක් මෙරටේ දේශපාලන බලය හිමිකරගත් ප්‍රභූ තන්ත්‍රයට අයත් පරපුරේ නූතන බලවතුන් වන රනිල්, මහින්ද හා චන්ද්‍රිකා යන තිදෙනාගේම දේශපාලන මෙහෙයුම් ඉතා දුබල බව නිසැකය. මේ තිදෙනා අතරද සබඳතාවන් මෙන්ම විරසකයන්ද මතුවෙයි. එහෙත් අවසන් විග්‍රහයේදී මේ තිදෙනාම තම පැවැත්ම වෙනුවෙන් එක්වීමටද ඉඩ තිබේ. චන්ද්‍රිකා ශ්‍රී.ල.නි.පය මෙහෙයවමින් එහි බලයද දුර්වල කර තිබෙන අතර පොදුජන පෙරමුණ රාජපක්ෂවරුන් සතු උරුමය රැකගැනීමේ ප්‍රයත්නයක නිරතව සිටියි. එනිසාම මේ දේශපාලන භූමිය අතිශය කැළඹිලි සහගත එකක් බවටද පත්ව තිබේ. ස.ජ.බයට හා ජා.ජ.බයට රොක් වන ජනතාව ඈත් කිරීමද ඔවුන්ගේ දේශපාලන අභිලාෂය බව නිසැකය. එසේම ස.ජ.බයේ දේශපාලන පසමිතුරා වන්නේද ජා.ජ.බයයි. බොහෝවිට ජා.ජ.බය ඉලක්ක කරගනිමින් කෙරෙන්නේ විවේචන නොව අවලාද හා වෛරී ප්‍රකාශන බවද පෙනේ.

මේ සියලු දේශපාලන ප්‍රතිචාර දෙස ජනාධිපති රනිල් මෙන්ම පොහොට්ටුවේ නායක මහින්දත් සියුම්ව බලා සිටිති. තම පන්ති සතුරා පරාජය කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අභියෝගයට ඔවුහු මුහුණ දී සිටිති. එ.ජා.ප. අනුගාමිකයන් මෙන්ම පොහොට්ටුවේ අනුගාමිකයෝද වෙන වෙනම තම නායක ප්‍රතිරූප ගොඩනඟමින් සිටිති. එහෙත් ඔවුන්ට ඒ සඳහා ජනතාවට කීමට තිබෙන්නේ මොනවාද? ජනතා ප්‍රසාදය ගිලිහී ගිය බව ඔවුහු දනිති. රනිල් නැතිව රටට හෙටක් නැතැයි ඔහුගේ අනුගාමිකයෝ කියති. රට බේරාගත් නායකයා මහින්ද බව ඔහුගේ පාර්ශවය කියති. එහෙත් රනිල් නැතිව මේ රටට ගමනක් නැද්ද? වෙන කිසිවෙකුට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ජාත්‍යන්තරය කළමනාකරණය කළ නොහැකිද? රනිල්ට තව දෙවසරක් ඉල්ලන්නේ ඔහුගේ වැඩපිළිවෙල අඛණ්ඩව ගෙන යෑමට බවද කියති. එහෙත් රනිල්ට පමණක් නොව පොහොට්ටුවටද අද ජනවරමක් නැත. රනිල් හැර කිසිවෙකුට රට ගොඩනැඟිය නොහැකි යැයි කීම තුළ අනතුරු ඇඟවීමක්ද ඇත. ආර්ථිකය ගොඩ දැමූ වීරයා රනිල් බව පවසන ඇමැතිවරුද සිටිති. එහෙත් මේ ආණ්ුව විසින් රටේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කර තිබේද? බොහෝ දෙනෙක් විසින් පුන පුනා කියනු ලබන තෙල්, විදුලිය, ගෑස් පෝලිම් නැති කිරීමේ කතාව තුළ නොකියන කොටසක්ද තිබේ. බදු බර, ජීවන වියදම සම්බන්ධ සැබෑ චිත්‍රය කෙබඳුද? මේවා ජනතාවද දන්නා ඔවුන් විඳවන කටුක යථාර්ථයයි.

මේ අප්‍රසන්න සමාජ චිත්‍රය යටපත් නොකර මේ ආණ්ඩුවට යළි බලයට ඒම අසීරු බව ඔව්හු දනිති. මේ වන විට දසක දෙක තුනක් පාර්ලිමේන්තුවේ සිටි අයගේ ජීවිත සාර්ථක වී තිබිය හැකිය. සමහරු දැන් හැත්තෑව දසකයටද එළඹ සිටිති. ඔවුන්ට වුවමනා තවදුරටත් බලයේ එල්ලී සිටීම පමණි. දේශපාලනය තරමටම යල් පැන ගිය නායකයන්ට තවදුරටත් මේ රට ගොඩනැඟිය හැකිද? යන ප්‍රශ්නය ජනතාවටද තිබේ. රටේ පසුගාමී බවට තිබෙන එක් හේතුවක්ද මෙරට පාලනය කළ අයගේ සමාජ ආර්ථික දැක්ම බව ජනතාව දනිති. නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ගැන කෙබඳු සුරංගනා සිහින සමාජයට ලබා දුන්නත් ඔවුන්ගේ හෙට දවස කෙතරම් අවිනිශ්චිත දැයි ජනතාව දනිති. පවතින සමාජ දේශපාලන සන්දර්භය තුළ මෙරටේ ජාතික සම්පත් සුරැකීම හා ගෝලීය භූ දේශපාලනයට ප්‍රතිචාර දැක්වීම ගැන ස.ජ.බ. හා ජා.ජ.බ. වේදිකාවලදී ඇසෙයි. එහෙත් ඒවා තවමත් නිරවුල්ව ප්‍රකාශයට පත් වී නැත. ඇත්තටම ස.ජ.බ. හා ජා.ජ.බ. අතර ඒ නායකයන් දෙදෙනාගේ විවාදය දෙස ප්‍රබුද්ධ ජන කොටස් බලා සිටින්නේද ඒවා සම්බන්ධ කරුණු දැක ගැනීමටත් පිරිපහදු කර ගැනීමටත්ය. පක්ෂ දෙකේ ආර්ථික කමිටු ජනතාවට වැදගත් නැත.

අවසන් වශයෙන් මේ සමාජ දේශපාලන කැළඹිලි අස්සේ ආණ්ඩුවේ ඇමැතිවරයකු වන ජීවන් තොණ්ඩමන්ගේ හැසිරීම් ගැන සමාජ දේශපාලන අංශ දක්වන අවධානය ගැන ද යමක් කිව යුතුය. මේ තොන්ඩමන්ගේ පුරෝගාමීන් හැසිරී ඇති ආකාරය ද අපට මතකය. අපේ ආණ්ඩුවල නායකයන් ඒවා ඉවසා සිටින්නේද වතුකරයේ ඡන්ද දෙස බලාගෙන බව කව්රුත් දනිති. එහෙත් ඇමැතිවරුන්ගේ චණ්ඩි පාට්වලට ඉඩ දිය යුතු නැත. මෙයට පෙර තවත් මන්ත්‍රීවරයෙක් (අලි සබ්‍රි රහීම්) පුත්තලමේ ප්‍රාදේශීය ලේකම්ට කඩා පැන්න ආකාරය පිළිබඳවද මාධ්‍ය වාර්තා කර තිබුණි. එසේම කටුනායකදී පෝටර්වරයකුට කනට ගැසූ රාජ්‍ය ඇමැත්තෙක් ගැන ද කතාවක් තිබේ. කුමක් වුවත් මැති ඇමැතිවරුන්ට අභිමත පරිදි ක්‍රියා කිරීමේ ඉඩක් රටක තිබේ නම් එරට නීතිය කුමකට දැයි අප විමසිය යුතුය. අලි සබ්‍රි රහිම්ලා රණවීරලා මෙන්ම ඩයනලාටද නිදහසේ සිටිය හැකි දූෂිත දේශපාලනය පරාජය කළ යුතු නැද්ද?

මේ අතරම ආණ්ඩුව ලහි ලහියේ සම්මත කිරීමට සැරසෙන ආර්ථික පුනර්ජීවන පනත් කෙටුම්පත මගින් පාර්ලිමේන්තුව සතු මූල්‍ය පරිපාලන බලය දුර්වල කරන බවටද ඇතැම් ආර්ථික විද්‍යාඥයෝ පවසා සිටිති. කුමක් වුවත් බලයේ සිටින පාලකයන් කල්පනා කළ යුත්තේ තමන් විසින් සම්මත කර ගනු ලබන අණපනත්, කවදා හෝ පසුව බලයට පත්වන අය අතටද පත්වන බවත්, එවිට ඒවායේ ආදීනව කෙසේ විය හැකිද යන්න කෙරෙහි බවත් සඳහන් කළ යුතුය.

කෙසේ හෝ අද යුක්තිගරුක හා සාධාරණ පුරවැසියන් ඇතුළු පටු දේශපාලන ප්‍රතිලාභ නිසා මුනිවත රකින විද්වතුන් හා එබඳු පිරිස් ද බරපතළ ලෙස කල්පනා කළ යුත්තේ මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය බිඳ වැටෙන ක්‍රියාකාරකම්වලට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විරෝධය දැක්වීමට ජනතාවට තිබෙන අයිතිය ආරක්ෂා කරදීම පිළිබඳවද. ජයවර්ධන පන්නයේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනතුරු හා ව්‍යාජ ස්වරූපය ජනතාවට පෙන්වා දීමද ඒ සියලු විද්වත් හා ප්‍රබුද්ධ ජන කොටස්වල මෙන්ම නීතිඥ ප්‍රජාවගේද වගකීමකි. ඇත්තටම මෙම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දේශපාලනඥයන් විසින් කරනු ලබන අර්ථකථන, විග්‍රහ කෙතරම් බොළඳ හා විකඩ ස්වරූපයක් ගන්නේ ද යන්නත් රංගෙ බණ්ඩාරගේ දෙවන මාධ්‍ය හමුවේදී තහවුරු විය. අනෙක් අතට ජනාධිපති රනිල් ක්‍රියාත්මක කළ ආර්ථික වැඩපිළිවෙළ හැර මේ රටට වෙනත් මගක් නැද්ද යන්නටත් ස.ජ.බ.යේ සජිත් හා ජා.ජ.බ.යේ අනුර කුමාර අතර පැවැත්වෙන විවාදයේදී ගැඹුරින් සාකච්ඡා කිරීමට ද හැකිවනු ඇත. එහෙත් ඒ විවාදය දැන් තිබෙන්නේ අද නොවේ හෙට යන බාලගිරි දෝෂයට හසුවී බවද සමහරු කියති.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment