තෝල්ස්තෝයි ගැන මුල්ම සිංහල ලිපිය

198

සිංහල සාහිත්‍යයේ නූතන යුගයේ ශ්‍රේෂ්ඨතම ලේඛකයා ලෙස සැලකෙන මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ගේ ලේඛක ජීවිතයට රුසියානු ලේඛකයන්ගේ කෘතීන් බෙහෙවින් ම බලපා ඇති බව විචාරකයෝ සඳහන් කරති. වික්‍රමසිංහ තම ලිපි ලේඛනවල පවා මේ බව ඉතා පැහැදිලි ව සඳහන් කර ඇත. “ජාතක කතා සහ රුසියානු නවකතා” නමින් වික්‍රමසිංහ පළ කළ විචාර කෘතියෙහි ඔහු රුසියානු සාහිත්‍යයේ ගැඹුර හා පදනම මැනවින් පැහැදිලි කරන ගමන් රුසියන් ලේඛකයන් දකින රුසියානු සමාජයේ යථාර්ථය සිංහල නවකතාකරුවාට ජාතක කතා වලින් දැකගත හැකි බව සඳහන් කෙළේ ය.

වික්‍රමසිංහගේ කෙටිකතාවලට චෙකොෆ්, ගෝර්කි වැනි රුසියානු ලේඛකයන්ගේ කෘතීන් බලපෑ අතර ඔහුගේ නවකතාවලට තෝල්ස්තෝයි සහ දොස්තවොස්කි බලපෑවේ ය. ඔහුගේ විචාර කෘතීන් පහකම චෙකොෆ් ගැන සඳහන් කර ඇති අතර, වික්‍රමසිංහ සිය “උපන්දා සිට” කෘතියෙහි තමාට බලපෑ ලේඛකයන් ගැන සඳහන් කිරීමේ දී ලියෝ තෝල්ස්තෝයිගේ ශ්‍රේෂ්ඨත්වය හා ඔහුගේ කෘතීන් ගෙන් තමා ලද අත්දැකීම් හා ආභාෂය සඳහන් කරයි. මාර්ටින් වික්‍රමසිංහගේ ගම් පෙරළිය, කලියුගය, යුගාන්තය, මඩොල්දූව සහ ඔහුගේ කෙටිකතා රුසියන් බසින් කියවූ කොච්නෙව්, රීයුරිකොෆ්, ව්තාලී ඔසිරොෆ් වැනි සෝවියට් ලේඛකයෝ මාර්ටින් වික්‍රමසිංහ ගේ කෘති ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛකයන් ගේ කෘතිවලට සමීප කළ හැකි යැයි පැවසූහ. මාර්ටින් වික්‍රමසිංහ සෝවියට් දේශයේ කිහිප වරක් ම සංචාරය කෙළේ ය. ඔහු තෝල්ස්තෝයිගේ නිවස නැරඹීමට යස්නායා පොල්යානා වෙත ද චෙකොෆ් ගේ නිවස නැරඹීමට යාල්ටා බලා ද ගියේ ය.

ලියෝ තෝල්ස්තෝයි ගේ 150 වැනි ජන්මෝත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ලියෝ තෝල්ස්තෝයි සංවත්සර ජාතික කමිටුව, ලියෝ තෝල්ස්තෝයි ප්‍රථම වරට සිංහල පාඨකයාට හඳුන්වා දෙන ලද්දේ කවුරුන් විසින් දැයි විමැසුමක යෙදුණා ය. තෝල්ස්තෝයිගෙ නිර්මාණ කෘතියක් ප්‍රථම වරට සිංහලට නගන ලද්දේ එක්දහස් නවසිය පනස් ගණන්වලදී ජස්ටින් විජේවර්ධන මහතා විසින් බව සොයා ගන්නා ලදී. එහෙත් තෝල්ස්තෝයි ප්‍රථම වරට සිංහල පාඨකයාට හඳුන්වා දෙන ලද්දේ නවසිය තිස් ගණන් වලදී ඊ. ආර්. අධිකාරම් මහතා විසින් ය යන මතයක් ද සිංහල විචාරකයන් අතර විය. එහෙත් මේ පිළිබඳ සාධක සොයා ගැනීම සඳහා විවිධ පර්යේෂණ කරන ලදී. මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් කරන ලද පැරණි ලිපි ලේඛන පරීක්‍ෂාවකදී ලියෝ තෝල්ස්තෝයි පිළිබඳ ව මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියන ලද ලිපියක් කොළඹ මහ නගර සභා පුස්තකාලයේ සහකාර පුස්තකාලයාධිපති ගුණසේකර මහතා විසින් සොයා ගන්නා ලදී.

“ලියෝ තෝල්ස්තෝයි” නමින් මාර්ටින් වික්‍රමසිංහ එම ලිපිය ලියන ලද්දේ 1918 දී, එනම් මීට වසර හැට එකකට පෙරදී ය. ඔහුගේ මෙම ලිපි මාලාවේ පළමුවැන්න 1918 අප්‍රේල් 4වැනි බ්‍රහස්පතින්දා ‘දිනමිණ’ පත්‍රයෙහි පළ වූයේ ය. “මලලගම මාර්ටින් වික්‍රමසිංහ විසින් මඩකලපුවේදී” යනුවෙන් කර්තෘ සඳහන් මෙම ලිපියේ දෙවැන්න 1918 අප්‍රේල් 5 වැනි සිකුරාදා ‘දිනමිණ’ පත්‍රයේ පළ වූයේ ය. පිළිවෙළින් මෙම ලිපියේ ඉතිරි කොටස් අප්‍රේල් 6, 8, 9 සහ 12 යන දිනවල ‘දිනමිණ’ පත්‍රවල පළ වූයේ ය.

ලියෝ තෝල්ස්තෝයිගේ ජීවිතය ඔහුගේ දර්ශනය හා ඔහුගේ පොත පත ගැන දීර්ඝ විමැසුමක යෙදෙන මෙම ලිපි පෙළ මීට වසර හැටකට පෙර ද මාර්ටින් වික්‍රමසිංහ තරුණයකු වශයෙන් ඔහු විසින් ප්‍රදර්ශනය කරන ලද උදාර විචාර පූර්ණත්වය ප්‍රදර්ශනය කරයි. ලියෝ තෝල්ස්තෝයි හරිහැටි තේරුම් ගැනීමට බටහිර ප්‍රබල විචාරකයන් අපොහොසත් ව සිටි කාලයක මාර්ටින් වික්‍රමසිංහ 1918 දී තෝල්ස්තෝයිගේ දර්ශනය ගැන සඳහන් කෙළේ මෙසේ ය.

“කොයි රටවලත් වසන ධනවතුන් කෙරෙහි තෝල්ස්තෝයි මහත් වෛරයක් දැක්වූයේ ය. ඔවුන් අසරණ ගොවීන් හා කම්කරුවන් වෙහෙස වී සපයන දේ ගෙන කා බී අලසකමින් කාලය ගත කරන කොටසක් මෙන් තෝල්ස්තෝයි සැලකුවේ ය. තමාට වුවමනා දේ වෙහෙස මහන්සි වී සපයා ගත යුත්තේ ය. කම්කරුවන්ගේ දිළිඳුකමත්, ධනවතුන්ගේ අලසකමත් ලෝකයේ දුක්ඛිතභාවය වැඩි කරන ව්‍යසනයන් මෙන් තෝල්ස්තෝයි සැලකුවේ ය.”

මාර්ටින් වික්‍රමසිංහ 1918 දී ලියන ලද මෙම ලිපි ඇතුළත් “දිනමිණ” පත්‍රවල ඡායාරූප පිටපත් අද මොස්කව් නුවර “ලියෝ තෝල්ස්තෝයි කෞතුකාගාරයේ” මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබේ. මෙම ඡායාරූප පිටපත් පසුගියදා මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ භාණ්ඩාගාරික සහ ජනතා ලේඛක පෙරමුණේ ප්‍රධාන ලේකම්ව සිටි ගුණසේන විතාන මහතා විසින් මොස්කව්හි දී තෝල්ස්තෝයි කෞතුකාගාරයට භාර දෙන ලද්දේ ය.

තෝල්ස්තෝයි ගැන මුල්ම සිංහල ලිපිය

ගුණසේන විතාන

ශ්‍රී ලාංකේය සාහිත්‍යයට සෝවියට් රුසියානු සාහිත්‍ය හඳුන්වා දීමට මෙන්ම දේශීය සාහිත්‍යයයේ පෝෂණය තකා ද විශාල මෙහෙවරක් ඉටුකළ වියත් ලේඛකයෙකි, ගත්කරුවරයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment