ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කරන්නැයි ඉල්ලන්නේ පාස්කු ප‍්‍රහාරකයන් සහ හිටපු කොටි බේරා ගැනීමටද? – * ජී.එස්.පී. ප්ලස්වලට මුවාවූ යුරෝපා පාර්ලිමේන්තුවේ නාටකය

147

අන්තවාදී කි‍්‍රයා මර්දනය කිරීම සහ ස්විස්ටර්ලන්තයට තර්ජනයක් එල්ල කරන පුද්ගලයන්ට එරෙහිව කි‍්‍රයාකිරීම නව ත‍්‍රස්ත මර්දන පණතේ අරමුණ වේ. එහෙත් සිදුවූයේ කුමක්ද? ජුනි 13 වැනිදා පැවති ජනමත විචාරණයේදී ස්්විස් ජනතාවගෙන් සියයට 56.6 ක ජනසමූහයක් එම පණතට පක්‍ෂව ඡුන්දය පාවිච්චි කිරීමයි. මෙම කි‍්‍රයාදාමය මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේට සහ ඇගේ රාජ්‍ය නොවන සංවිධාන කල්ලියට එල්ල වූ පයින් ගැසීමකි. එහෙත් යුරෝපා පාර්ලිමේන්තුව ස්විස් ජනතාව සම්මත කළ ත‍්‍රස්ත මර්දන පණත ගැන යෝජනාවක් ගෙන ඒමට හෝ ජනතාවගේ තීන්දුව විවේචනයට ලක් කළේ නැත.
 
 කීර්ති වර්ණකුලසූරිය
 
 පසුගිය ජුනි 10 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුව ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්ත මර්දන පණතට එරෙහිව සහ වෙනත් කරුණු ගැන යෝජනාවක් සම්මත කරනු ලැබීය. මේ යෝජනාවෙන් දින 3 කට පසු ස්විස් රජය එරට ත‍්‍රස්ත මර්දන පණත ජනමත විචාරණයකට යොමු කළේ ස්විස් ත‍්‍රස්ත මර්දන පණත ගැන එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් පැවසුවේ එම පණතින් ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය වන බවත් ලොව පුරා සිටින දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට උපකාර වන බවයි. ස්විස් පාර්ලිමේන්තුව මේ පණත අනුමත කිරීමෙන් පසු වධ හිංසා පිළිබඳ සෙවීමේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ඊට එරෙහිව පිටු 16 ක ලිපියක් ස්විස් රජයට යවනු ලැබීය.
 
 අන්තවාදී කි‍්‍රයා මර්දනය කිරීම සහ ස්විස්ටර්ලන්තයට තර්ජනයක් එල්ල කරන පුද්ගලයන්ට එරෙහිව කි‍්‍රයාකිරීම නව ත‍්‍රස්ත මර්දන පණතේ අරමුණ වේ. එහෙත් සිදුවූයේ කුමක්ද? ජුනි 13 වැනිදා පැවති ජනමත විචාරණයේදී ස්විස් ජනතාවගෙන් සියයට 56.6 ක ජනසමූහයක් එම පණතට පක්‍ෂව ඡුන්දය පාවිච්චි කිරීමයි. මෙම කි‍්‍රයාදාමය මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේට සහ ඇගේ රාජ්‍ය නොවන සංවිධාන කල්ලියට එල්ල වූ පයින් ගැසීමකි. එහෙත් යුරෝපා පාර්ලිමේන්තුව ස්විස් ජනතාව සම්මත කළ ත‍්‍රස්ත මර්දන පණත ගැන යෝජනාවක් ගෙන ඒමට හෝ ජනතාවගේ තීන්දුව විවේචනයට ලක් කළේ නැත.
 
 එසේ වුවත් යුරෝපා පාර්ලිමේන්තුව ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්ත මර්දන පණත ගැන මෙලෙස දක්වා ඇත.
 
 1. ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පණත සිවිල් සැකකරුවන් පරීක්‍ෂා කිරීම අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම සඳහා පොලිසියට පුළුල් බලතල හිමිවේ.
 
 2. මෙම පුළුල් බලතල නිසා වධහිංසා හා ලිංගික අපයෝජනය බලහත්කාරයෙන් පාපොච්චාරණය ලබාගැනීම, නීති රීති ප‍්‍රතික්‍ෂේප කිරීම් වැනි සිද්ධීන්වලට මුහුණ දීමට සිදුවී ඇත.
 
 3. ජාත්‍යන්තරයට අනුකූල නීතියක් ස්ථාපිත කරන තුරු අත්අඩංගුවට ගැනීම සඳහා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පණත භාවිතා කිරීම තහනම් වේ.
 
 4. නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ කවියෙකු වන අන්ජාස්ජයීන් අන්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තැබීමට ත‍්‍රස්ත මර්දන පණත භාවිතා කර ඇත.
 
 5. මෙම ත‍්‍රස්ත මර්දන පණත ගැන යුරෝපා සංගමය නැවත නැවතත් කනස්සල්ල පළ කරන අතර ගිවිසගත් පරිදි එම පණත අවලංගු කර නැත. (මේ ගිවිස ගැනීම කළේ පසුගිය යහපාලන රජයයි.*
 
 6. යුද්ධය අවසන් වී වසර 12 කට පසු වරදට දඬුවම් දීමට රජය අපොහොසත් වී ඇත.
 
 7. 2020 සිට හිටපු හමුදා සහ බුද්ධි ප‍්‍රධානීන් 28 ක් රජයේ ප‍්‍රධාන පරිපාලන තනතුරු සඳහා පත්කර ඇති අතර එකී පත්වීම් ලද නිලධාරීන් යුද්ධයේ අවසන් වසරවල යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ගැන එක්සත් ජාතීන්ගේ වාර්තාවල චෝදනා ලැබ සිටින ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනකුද ඇතුළත්ය.
 
 8. රජයේ වත්මන් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පණත අඛණ්ඩව භාවිතා කිරීමට එරෙහි දැඩි විරෝධය යළිත් වරක් යුරෝපා පාර්ලිමේන්තුව අවධාරණය කර සිටියි.
 
 9. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂක ශානි අබේසේකර රඳවා ගැනීම ගැන යුරෝපා පාර්ලිමේන්තුව කනස්සල්ල පළ කරයි. එහෙත් ශානි අබේසේකර සහ රන්ජන් රාමනායක අතර ඇතිවූ දුරකථන සංවාදය ගැන යුරෝපා පාර්ලිමේන්තුව කනස්සල්ල පළ කර නැත.
 
 එසේම ශානි අබේසේකර යටතේ රහස් පොලිසිය හමුදා නිලධාරීන්ට තර්ජනය කර බොරු සාක්‍ෂි
 
 ලබාගැනීමට ගත් උත්සාහයක් ගැන ද එම පාර්ලිමේන්තුව අවධානය යොමු කර නොමැත.
 
 10. ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්තවාදය මර්දන පණත මානව හිමිකම් රකින්නන් සහ ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම්වල සාමාජිකයන්ට හිංසා පීඩා කිරීමේ මෙවලමක් ලෙස භාවිතා කෙරෙයි.
 
 11. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර පිළිබඳව ජාත්‍යන්තර නීතිමය ප‍්‍රමිතීන්ට අනුකූලව දැඩි අපක්‍ෂපාතී පූර්ණ පරීක්‍ෂණයක් කරන ලෙස ද යුරෝපා පාර්ලිමේන්තුව ඉල්ලීමක් කරයි.
 
 මේ අයුරින් ත‍්‍රස්ත මර්දන පණතට අභියෝගයක් කරන යුරෝපා පාර්ලිමේන්තුව ස්විස් ජනතාව අනුමත කළ ත‍්‍රස්ත මර්දන පණත ගැන කියන්නේ කුමක්ද?
 
 මෙම ස්විස් ත‍්‍රස්ත මර්දන පණත අනුව 12 හැවිරිදි වියේ පසුවන අයෙක් ස්විස්ටර්ලන්තයට තර්ජනයක් එල්ල කරන්නේ නම් අත්අඩංගුවට ගැනීමට ස්විස් පොලිසියට බලතල හිමිවේ.
 
 මේ අතර ස්විස් ත‍්‍රස්ත මර්දන පණතට මුල්වූ හේතුව කුමක් ද ඒ ජිහාඞ් ත‍්‍රස්තවාදයයි. ස්විස්ටර්ලන්තයේ මෝජර්ස් නගරයේ සහ ටිසිනෝ ප‍්‍රාන්තයේ පිහි ඇනුම් සිදුවී තිබුණි. ස්විස් පෙඞ්පෝල් බුද්ධි සේවාව සඳහන් කළේ ස්විස්ටර්ලන්තය තුළ ත‍්‍රස්ත තර්ජනය ඉහළ ගොස් ඇති බවයි. මේ නිසා ස්විස් නව ත‍්‍රස්ත මර්දන පණතින් වයස 12 ට වැඩි ඕනෑම අයෙක් ගැන දැඩි නිරීක්‍ෂණයක් කිරීමට ස්විස් පොලිසියට පුළුල් බලතල හිමිවේ. එසේම ත‍්‍රස්ත කි‍්‍රයාවලට සම්බන්ධ වයස 15 ට වැඩි අයට මාස නවයක් දක්වා නිවාස අඩස්සියේ තැබීමට ද හැකි වේ.
 
 ස්විස්ටර්ලන්තය ජිනීවා ප‍්‍රඥප්තිය මානව හිමිකම් කවුන්සිලය සහ මානව හිමිකම් කොමසාරිස්ගේ කේන්ද්‍රස්ථානයයි. එහෙත් ස්විස් ත‍්‍රස්ත මර්දන පණත මේ ආයතන ජිනීවා ප‍්‍රඥප්තියට පහරක් එල්ල කර ඇත.
 
 ජිනීවා මානව හිමිකම් කාර්යාලයේ ප‍්‍රකාශිකා ලීස් ක්‍රෝයෙල් පැවසුවේ මේ පණතින් මානව හිමිකම්, නිදහසේ ගමන් කිරීම, භාෂණයේ නිදහස, සාමකාමී විරෝධතා සහ පවුල් ජීවිතයේ පුද්ගලිකත්වය නැතිකරන බවයි. මේ අතර ස්විස් ත‍්‍රස්ත මර්දන නීතිය ගැන එරට සිටින කොටි හිතවාදීන් ද දැඩි විරෝධතාවයක් එල්ල කර ඇත. මෙයට හේතුවී ඇත්තේ ස්විස්ටර්ලන්තය තුළ කොටි සංවිධානය තහනම් නොවීමයි.
 
 එම ත‍්‍රස්ත මර්දන පනත යටතේ වයස අවුරුදු 12 ක් වූ ළමුන් ත‍්‍රස්ත කි‍්‍රයාවලට සම්බන්ධ නම් නිවාස අඩස්සියේ තැබීමට සහ වයස 15 ක් වූ අයවළුන් අත්අඩංගුවට ගැනීමට ද ඉඩ ලැබේ.
 
 ස්විස් පෙට්පෝල් පොලිසිය සඳහන් කළේ ස්විස්ටර්ලන්තයේ ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල කර ඇති පුද්ගලයන් 49 ක් කෙරේ අවදානයෙන් සිටින අතර ජිහාඞ් වෙබ් අඩවි සමග සබඳකම් පවත්වන 695 ක් ගැන විමර්ශනය කරන බවයි.
 
 එහෙත් ශී‍්‍ර ලංකාව තුළ ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල කරන පුද්ගලයන් ගැන බුද්ධි අංශ නිරීක්‍ෂණය කිරීමට කි‍්‍රයාකළ හොත් එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වනු ලබයි.
 
 මෙම ස්විස් ත‍්‍රස්ත මර්දන පණත ගැන එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් දක්වා ඇත්තේ එය අනතුරුදායක පෙරහුරුවක් බවයි. එහෙත් ස්විස් ජනතාව ඊට අනුමැතිය දී තිබේ. මේ නිසා එම පණත අහෝසි කිරීමේ හැකියාවක් ස්විස් රජයට නැත.
 
 එසේ වුවත් යුරෝපා පාර්ලිමේන්තුව ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්ත මර්දන පණතට එරෙහිවී ඇත. මේ පණත අහෝසි වී තිබුණේ නම් පාස්කු ප‍්‍රහාරකයන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට හෝ අපරාධ සිදුකළ කොටි තවදුරටත් රඳවා ගැනීමට නොහැකි වේ.
 
 මෙලෙස මෙරට ත‍්‍රස්ත මර්දන පණත අහෝසි කරන ලෙස යහපාලන රජය සමයේ ද ඉල්ලීම් ඉදිරිපත් වූ අතර ජිනීවා ගිය රජයේ නියෝජිතයකු පැවසුවේ එම පණත අවලංගු වී ඇති බවයි. එහෙත් වත්මන් රජය යළි ත‍්‍රස්ත මර්දන පණත කි‍්‍රයාත්මක කරනු ලැබීය.
 
 මෙම පසුබිම මැද යුරෝපා පාර්ලිමේන්තුව ශී‍්‍ර ලංකාවට එරෙහිව ජී. එස්. පී. ප්ලස් සහනය අත්හිටුවීම සඳහා යෝජනාවක් සම්මත කළේ හිටපු රහස් පොලිස් ප‍්‍රධානි ශානි අබේසේකර මාස 11 ක් තිස්සේ රැුඳවුම් භාරයේ තැබීම නිසා බවට ප‍්‍රචාරය විය.
 
 එහෙත් ශානි අබේසේකර විසින් අත්අඩංගුවට ගනු ලැබූ හමුදා නිලධාරීන් 41 කට අධික සංඛ්‍යාවක් දිගු කලක් තිස්සේ සිරගතව සිටියත් යුරෝපා පාර්ලිමේන්තුව ඒ ගැන අවධානය යොමු කළේ නැත.
 
 මේ හමුදා නිලධාරීන්ට අදාළ නඩුවලට සම්බන්ධ බී වාර්තා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ද යවා තිබුණි. මෙය රාජ්‍ය රහස් පණත උල්ලංඝනය කිරීමකි. ශානි අබේසේකර ගැන හඬ නගන හිටපු අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මේ බව නොදන්නේද?
 
 රහස් පොලිසියේ රහස් වාර්තා ජිනීවා මානව හිමිකම් කොමසාරිස්ට ලැබීම ගැන අපි විශේෂයෙන් හෙළි කළෙමු.
 
 එහෙත් කිසිදු විමර්ශනයක් පැවැත්වූයේ නැත. මේ අතර ඉන්දියාවේ ද ත‍්‍රස්ත මර්දන පණතක් ඇති අතර එය අහෝසි කරන ලෙස යුරෝපා පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කර තිබේද?
 
 එහෙත් යුරෝපා පාර්ලිමේන්තුවට බලපෑම් එල්ල කරන පාර්ශ්ව මෙරට ද සිටී. ඒ රාජ්‍ය නොවන සංවිධාන ජාලය – ස්විස්සර්ලන්තයේ සිටින හිටපු කැරලිකරුවෙක් සහ රාජ්‍ය බලය ලබාගැනීමට උත්සාහ කරන දේශපාලන පාර්ශ්ව ද ඊට සම්බන්ධ වී සිටිති. මොවුන් මානව හිමිකම් මුවාවෙන් රටට එරෙහි ද්‍රෝහිකම් සිදුකරති. එම තත්ත්වය මත රජය මොවුන් හඳුනාගෙන තිබේද?
 
 කොරෝනා සහ එක්ස්ප‍්‍රස් පර්ල් නැවේ ගින්න ගැන ප‍්‍රකාශ සහ සංවාද පැවැත්වෙන නමුත් යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනාවෙන් එල්ල වී ඇති තර්ජනය ගැන හඬක් නැගී නැත.
 
 මෙවන් පසුබිමක් මැද යුරෝපා සංගමයේ ශී‍්‍ර ලංකාවට එරෙහි යෝජනාව මානව හිමිකම් උල්ලංඝනය වීමක් ගැන හඬ නැගීමක් නොව තනිකරම දේශපාලන යෝජනාවක් බව සනාථ වේ.

advertistmentadvertistment
advertistmentadvertistment