ත‍්‍රිපිටකය තවත් දණ්ඩ නීති සංග්‍රහයක් බවට පත් කිරීමේ පනත කවුරුන් සඳහාද?

432

ආචාර්ය විජයදාස රාජපක්ෂ
 ජනාධිපති නීතිඥ
 
ථෙරවාද ත‍්‍රිපිටකය විකෘති කිරීම වැළැක්වීමට විධිවිධාන සැලැස්වීම පිණිස සහ ඊට ආනුෂංගික වන්නා වූ කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස 2021 ත‍්‍රිපිටක සංරක්ෂණ පනත යනුවෙන් පනත් කෙටුම්පතක් බුද්ධ ශාසන ඇමැතිවරයා 2021 පෙබරවාරි 28 දාතම සහිත ව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඇත. එය කුමන මූලාශ‍්‍රයකින් ඇති වූයේ ද යන්න සහ කාගේ උවමනාවක් වෙනුවෙන් සිදුකරනු ලබන්නත් ද යන්න පිළිබඳව භික්ෂූන් වහන්සේලාට මෙන්ම බෞද්ධ සමාජයට අවබෝධයක් නැත. යෝජිත පනත අනුව ත‍්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයක් ස්ථාපිත කරනු ලබන අතර සියම්, අමරපුර, රාමඤ්ඤ නිකායන්හි මහානායක හිමිපාණන් වහන්සේලා හතර නමගෙන් ද, තවත් භික්ෂූන් වහන්සේලා 36 නමකගෙන් ද, සංරක්ෂිත ත‍්‍රිපිටක ග‍්‍රන්ථ සම්පාදන මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් ද එය සමන්විත වේ. පිළිගත් ථෙරවාදී පාලි පිටකයේ, පාලි අට්ඨකථාවල, පාලි ටීකාවල සහ ඒවායෙහි පරිවර්තනවල අක්ෂර, පද, වාක්‍ය, ෙඡ්ද, ථෙරවාදානුකූල හා පාලි ව්‍යාකරණානුකූල අර්ථ සහ ථෙරවාද ත‍්‍රිපිටකයේ සැලැස්ම, පාලි අට්ඨකථාවල සැලැස්ම, පාලි ටීකාවල සැලැස්ම හා ඒවායේ අන්තර්ගතය කිසිදු ආකාරයකින් වෙනස් කිරීම්, විකෘති කිරීම්, විනාශ කිරීම්, අවඥාවට ලක් කිරීම්, අයථා භාවිතය යනාදිය වැළැක්වීම එම පනතේ අරමුණු ලෙස ඉදිරිපත් කර ඇත. එම මණ්ඩලයට සභාපතිවරයකු පත් කළ යුතු අතර ඔහු බුද්ධාගම සම්බන්ධව සර්ව බලධාරී දෙවියන් වහන්සේ සතු බලය දරනු ලබයි.
 
 යම්කිසි භික්ෂුවක් හෝ පුද්ගලයකු හෝ කණ්ඩායමක් මුද්‍රිත, ඩිජිටල්, ශ‍්‍රව්‍ය, දෘෂ්‍ය, අන්තර්ජාලය යනාදී කවර මාධ්‍යයකින් වුවද ථේරවාදී පාලි ත‍්‍රිපිටකය විකෘති කරනු ලැබුවහොත් හෝ අයථා භාවිතය කරනු ලැබූහහොත් ඔවුන්ට දඬුවම් පැමිණ විය හැකිය. පාලි ත‍්‍රිපිටකය ලෙස අර්ථ නිරූපණය කර ඇත්තේ විනය පිටකය, සූත‍්‍ර පිටකය, අභිධර්ම පිටකය, පාලි අට්ඨකථා සහ පාලි ටීකාවන් ය. එසේ පැනවිය හැකි දඬුවම් අනුව මහාධිකරණය විසින් රුපියල් 1,000,000 දක්වා වූ දඩයන් ද, අවුරුදු 07 ක කාලයක් දක්වා වූ සිර දඬුවම් ද නියම කළ හැකිය.
 
 ඉහත සඳහන් ක‍්‍රියාවන් පළමුව නීතිය අනුව කළ හැකිද යන්නත්, දෙවනුව එසේ නීති පැනවීම බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුකූලව කළ හැකිද යන්නත් පිළිබඳව සලකා බැලිය යුතුව ඇත. බුදු දහමේ උරුමකරුවන් කවුද? බුද්ධ ශාසනයේ පැවිදි වී සිටින භික්ෂූන් වහන්සේලා කිහිප නමකට බුද්ධ ශාසනය උරුම වී ඇත්ද? එසේත් නැතිනම් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිවුවනක් පිරිසට එය උරුම වී ඇත්ද? එසේත් නැතිනම් බුදුන් වහන්සේගේ ධර්මයේ පිහිට පතන ඕනෑම කෙනෙකුට එම ධර්මය තුළින් විමුක්තිය ලබා ගැනීම සඳහා අයිතියක් නොමැත්තේ ද?
 
 සාම්ප‍්‍රදායිකව දෙමව්පියන්ගේ ආගම ඇදහීමට දරුවන් පුරුදු වුවත් ආගම් ඇදහීමට ඇති නිදහස එමඟින් අභියෝගයට ලක් කළ නොහැක. අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඉ) ව්‍යවස්ථාව අනුව එකලාව හෝ අන් අය සමග ප‍්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප‍්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප‍්‍රකාශ කිරීමේ නිදහස මූලික මානව අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇත. අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති මූලික අයිතිවාසිකමේ නිදහසට වඩා වැඩි නිදහසක් ආගම් ඇදහීම් සම්බන්ධව ලබාදී ඇත්තේ බුදුරජාණන් වහන්සේ විසිනි.
 
 ලෝකයේ අති බහුතරයක් ජනතාව අදහනු ලබන ආගම් බවට පත්ව ඇත්තේ ක‍්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් වැනි ආගම් ය. එම සෑම ආගමක් තුළම අනුගාමිකයන් විසින් අනුගමනය කළ යුතු ආගමික සම්ප‍්‍රදාය පද්ධතිය තුළ නීතිමය ස්වරූපයක් ගැබ්ව ඇත. එවැනි නෛතිකමය වශයෙන් සැලකෙන නැතහොත් අනිවාර්ය ලෙස අනුගමනය කළ යුතු බවට පැනවූ නියමයන් නොමැති ආගමක් ලෙස සැලකෙනුයේ බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය පමණි. එය ආගමික ස්වරූපයෙන් පැවත ආවද ආගමක් ලෙස පටු අර්ථයෙන් අර්ථ නිරූපණය කළ හැකිද යන්න පිළිබඳ කාරණය වෙනම සාකච්ඡා කළ යුතුව ඇත. බුදු දහම අනුව කිසිදු දෙයක් කිරීමට හෝ නොකිරීමට බලකිරීමක් නොමැති අතර යහපත් දෙයක් සිදුකළහොත් යහපත් ප‍්‍රතිඵල ද අයහපත් දෙයක් සිදු කළහොත් අයහපත් ප‍්‍රතිඵල ද ඇති වන ආකාරය ලෝකයේ පවතින යථාර්ථය වශයෙන් තේරුම් කොට ඇත. අන් සියලූ ආගම්වල දකින්නට ලැබෙන පොදු සාධකය වන දෙවියන් හා වන බැඳීම බුදුදහම තුළ නොමැත. ඒ වෙනුවට බුදුන් වහන්සේ භික්ෂූන්ට අනුශාසනා කොට ඇත්තේ බොහෝ මිනිසුන්ගේ හා දෙවිවරුන්ගේ හිත සුව පිණිස උතුම්වූ සද්ධර්මය දේශනා කරන ලෙස ය. බුදු දහම ඇදහීම යනු දෙවියන් සමග කරන ගනුදෙනුවක් නොව සිය හෘද ශාක්ෂිය සමග කරනු ලබන ගනුදෙනුවකි.
 
 සබ්බපාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා
 
 සචිත්තපරියොදපනං – එතං බුද්ධානු සාසනං. (ධම්ම පදය, බුද්ධ වර්ගය)
 
 සියලූ අකුශල කර්මයාගේ (පව්) නොකිරීමද, සියලූ කුශල කර්මයාගේ (පින්) ඉපදවීමද තමාගේ සිත පිරිසිදු කිරීමද යන ඉගැන්වීම සියලූ බුදුවරයන්ගේ අනුශාසනයයි.
 
 ”කුල්ලූපමං භික්ඛවේ ධම්මං දේසිස්සාමි නිත්ථරණත්ථාය නෝ ගහණත්ථාය. තං සුණාථ සාධුකං මනසිකරෝථ. භාසිස්සාමීති. ඒවං භන්තේති ඛෝ තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච. (අලගද්දූපම සූත‍්‍රය)
 
 ”මහණෙනි මම මේ ධර්මය ඔබට කියා දෙන්නේ පහුරක් උපමා කර ගෙනයි. පහුර තියෙන්නෙ එතෙර වෙන්න විතරයි. කරේ තියාගෙන යන්න නොවෙයි. අන්න ඒ ධර්මය හොඳට අහගන්න. නුවණින් විමසන්න. මම දැන් කියා දෙන්නම්.”
 
 බුදුරජාණන් වහන්සේ කාලාම සූත‍්‍රයේ ඉගැන්වූයේ විශ්වාස කළ යුතු දේ සහ නොකළ යුතු දේ ය.
 
 ”අලංහි වො කාලාමා, කඞඛිතුං අලං විචිකිචýතුං. කඞඛනීයෙ ව පන වො ඨානෙ විචිකිච්ඡා උප්පන්නා” එනම්:
 
 ”කාලාම, ඔබ නිවරැදි ලෙස සැක කළ යුතු තැන සැක කරයි. ඔබ නිවරැදි ලෙස ප‍්‍රශ්න කළ යුතු තැන ප‍්‍රශ්න කරයි. ඔබගේ සැකය හරිම සාධාරණයි.”
 
 බුදුන් වහන්සේ කාලාමයන්ට දේශනා කළ දෙසුමේ අර්ථය නම්;.
 
 යම් දෙයක් පරම්පරා ගණනාවක් තිස්සේ සම්මතයේ ඇති නිසා, යමක් සාම්ප‍්‍රදායික සිරිතක් ලෙස පරම්පරාවෙන් පරම්පරාවට විශ්වාස කර ඇති නිසා, යමක් මෙසේ යයි සෑම කෙනෙකුම විශ්වාස කිරීම නිසා, ශුද්ධ වූ ලියවිල්ලක තිබූ නිසා, තර්කනය අනුව නිවැරැදියයි පෙනෙනෙ හේතූව නිසා, යමක් ඔබගේ දර්ශනයට අනුකූල වන නිසා, යමක් සාමාන්‍ය බුද්ධියට තේරුම් යන නිසා, යමක් ඔබගේ අදහසට ගැලපෙන නිසා, යමක් ප‍්‍රකාශ කළ තැනැත්තා විශ්වාසවන්ත යැයි පෙනෙන නිසා, ඔබේ ගුරුවරයා ඔබට එසේ පවසන නිසා විශ්වාස නොකරන්න. වාසෙට්ඨ සූත‍්‍රයේදී පැහැදිලි කළ පරිදි කෙනෙකු සැබෑ බ‍්‍රාහ්මණයෙකු බවට පත් වන්නේ උපතින් නොව ඔහුගේම ක‍්‍රියාකලාපය අනුව ය.
 
 මේ වන විට ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය බුදු දහම වෙත නැඹුරු වී ඇත්තේ එහි පවතින නිදහස සහ ස්වාධීනත්වය හේතුවෙනි. අන්‍ය ආගමිකයකු හට හෝ ආගමක් නොඅදහන අයෙකුට බුදුදහම ද තවත් ආගමික නීති පද්ධතියක් නම් ඔවුන් වෙනත් ආගමක් අතහැර බුදු දහම අදහනු ලබන්නේ කුමන හේතුවක් නිසාවෙන් ද? බුදු දහම සහ ථෙරවාදී ත‍්‍රිපිටකය නමැති රාමුවකට කොටු කිරීමට උත්සාහ කළත් මහායාන බුදුදහමේ ලක්ෂණ ද ඕනෑ තරම් අපගේ ශාසනයට ඇතුල් වී ඇත. එහෙත් ඒ පිළිබඳ මනා සිහිනුවනින් යුතුව දහම ආරක්ෂා කර ගැනීමට බෞද්ධයන් විචක්ෂණශීලි විය.
 
 බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය විකෘති කිරීමෙහි ලා උත්සුක වූවන් මෙකල පමණක් නොව එකල ද සිටියේ ය. දෙව්දත් තෙරගේ අනුගාමික සාති භික්ෂුව බුදුන්වහන්සේගේ ධර්මය නිවරැදි නොවන බවත්, ඔහු දේශනා කරන ධර්මය පමණක් ම නිවරැදි බවත් ගමින් ගමට ගොස් දේශනා කළේ බුදුන් වැඩ සිටි දෙව්රම් වෙහෙරේ වෙසෙමින් ම ය. එහෙත් බුදුන්වහන්සේ එම විහාරස්ථානයෙන් ඔහුව නෙරපා දැම්මේ නැත.
 
 සිදුහත් බෝසතුන් වහන්සේ බුද්ධත්වයට පත්ව වසර විස්සක් යන තෙක් භික්ෂු භික්ෂුණීන් වෙනුවෙන් ශික්ෂා පද නොපැනවූහ. නමුත් වසර විස්සකට පසු භික්ෂූන්ගේ චර්යාවන් හේතුවෙන් ශික්ෂා පද පැනවීම අවශ්‍ය විය. භික්ෂූන් වෙනුවෙන් විනය ශික්ෂාපද 227 ක් ද, භික්ෂුණීන් වෙනුවෙන් විනය ශික්ෂා පද 311 පනවන්නට යෙදුණි. පාරාජිකා පාලියේ සඳහන් වන පරිදි ආසවට්ඨානීය ධර්මයන් සංඝ සංස්ථාව තුළ පහළ වීම හේතුවෙන් එසේ පනවන්නට යෙදුනි.
 
 එමෙන්ම බුද්ධ ශාසනයේ පැවැත්ම පිණිස පහත අංග තුනක් පැවතිය යුතුය.
 
 1. පර්යාප්තිය හෙවත් බුදුන් වදාළ නිර්මල චතුරාර්ය සත්‍ය දහම පැවතීම
 
 2. ප‍්‍රතිපත්ති පිරීම
 
 3. ප‍්‍රතිවේධ හෙවත් මාර්ගඵල ළඟා කරගත හැකි වීම. ඒ සඳහා විනය ශික්ෂාපද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.
 
 ලොවක් කම්පිත කළ කාලිංග දේශය ලෙයින් තෙත් කළ කුරිරු චිත්ත සන්තානයක් පැවති චණ්ඩාශෝක වැනි රජකුගේ සිත සන්සුන් කොට මහා කාරුණික පාලකයකු කිරීමේ හැකියාව සංඝ ශාසනයේ සුසිල්වත් වූ අවුරුදු 08 ක් වයසැති කුඩා සාමණේර නමක් වූ නිග්‍රෝධ හිමියන් තුළ පැවතීම තුළින් ප‍්‍රකට ව පෙනී යන කරුණ වන්නේ බෞද්ධ භික්ෂුවකගේ ශීලය අනාගත ලෝකයේ ගමන් මග සුභවාදීව වෙනස් කිරීමට හැකි ප‍්‍රබල සාධකයක් වූ බව ය. එම කුඩා සාමණේර නම නොසිටින්නට ධර්මාශෝක කෙනෙක් බිහි නොවන අතර අනුබුදු මිහිඳු හිමි නමක් සහ සංඝමිත්තා මහ තෙරණීන්වහන්සේ නමක් ලොවට බිහි නොවන්නට ඉඩ තිබුණි.
 
 වර්තමානයේ ජනප‍්‍රිය බණ දේශනා කරන භික්ෂූන් වහන්සේලා නොයෙක් ආකාරයට දේශනා පවත්වනු ලබන අතර කවි බණ, විරිදු බණ යනාදිය ද ඊට ඇතුළත්ව ඇත. විද්‍යුත් මාධ්‍යයේ විකාශය වන සමහර බණ දේශනාවල ද ධර්මයේ වෙනස්කම් හා විකෘතිතාවයන් ඕනෑ තරම් දැකිය. එම දේශනාවන්වල දී දැන හෝ නොදැන සිදුවන වරදක් හේතුවෙන් භික්ෂූන් වහන්සේලාට ද, එවන් දේ ප‍්‍රකාශ කරනු ලබන හෝ පළ කරනු ලබන ගිහියන් හට ද, මාධ්‍ය ආයතන සහ ඒවායේ සේවකයන් හට ද රුපියල් ලක්ෂ ගණන් දඩ ගෙවීමට සහ වසර හතක් දක්වා වූ සිර දඬුවම්වලට යටත් වීමට සිදුවන්නේ නම් කිසිවකුත් ධර්මය දේශනා කිරීමට හෝ ප‍්‍රචාරණය කිරීමට ඉදිරිපත් නොවනු ඇත. එසේ වුවහොත් රටටම බණ කීමට ඉතුරු විය හැක්කේ ත‍්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සාමාජික භික්ෂූන් වහන්සේලා සහ අධ්‍යක්ෂක ජෙනරාල් පමණක් විය හැකිය.
 
 විශාල වශයෙන් රාජ්‍ය අනුග‍්‍රහය ලබා ගනිමින් මහජන මුදල් වියදම් කොට විශාල මන්දිර වැනි වෙහෙර විහාර ස්ථාන ගොඩනඟා ගෙන සිටින අධි සුඛෝපභෝගී ජීවිත ගත කරන භික්ෂූන් වහන්සේලාට ඇති පහසුකම් පිටිසර දුගී දුප්පත් ගම්මානවල ජීවත්වන භික්ෂූන් වහන්සේලාට නොමැත. බොහෝ පංසල්වල අඩු තරමින් ත‍්‍රිපිටකයක පිටපතක්වත් නොමැත. එදිනෙදා දාන වේල උපයා ගනු ලබන්නේ ද ඉතාමත් දුෂ්කර ආකාරයට ය. මෙරට ජීවත්වන ජනතාවගෙන් තුනෙන් එකකට වැඩි ප‍්‍රමාණයකට තුන් වේලක් තියා එක වේලක් සඳහාවත් නිසි ආහාර වේලක් නොමැත. එක අතකින් දේශපාලනඥයෝ මහජනතාවට අයත් රටේ සම්පත් අනවරතයෙන් මංකොල්ල කමින් සිටී. එය මෙරට නීතිය බවට ද පත්ව ඇත. අනෙක් අතට එම දේශපාලනඥයනට උදේ හවා පිරිත් කියමින් සෙත් පතන භික්ෂූන් ද ඇත. ඔවුන් දේශපාලනික හයිය පෙන්වා ලක්ෂ දාහ දෙදාහ තරම් වූ මහජන මුදල් යොදවමින් කිසිදු පලදායිතාවයක් නොමති මහ මන්දිර ඉදිකරවාගෙන ඇත.
 
 දුප්පත් ගම්මානවල ජීවත්වන භික්ෂූන් වහන්සේලා මහනායක, අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේද උපදෙස් අනුශාසනා අනුව උන් වහන්සේලා රටටත්, දායකයන්ටත් බරක් නොවී ගැමි ජනතාවගේ දුක සැප බෙදා ගනිමින් අර්ථයෙන් ධර්මයෙන් ඔවුන්ව සනසාලීමට සඳහා පැය විසි හතරේම කැපවී කටයුතු කරති. මෙම ශාසනය ආරක්ෂා වීමට වැඩිම කැපකිරීමක් කර ඇත්තේ උන්වහන්සේලා බව අමතක නොකළ යුතුව ඇත.
 
 අනෙක් අතට මෙම පනත අවශ්‍යයයි තර්ක කරන ආචාර්ය මහාචාර්ය භික්ෂූන් වහන්සේලා කල්පනා කරනුයේ සාම්ප‍්‍රදායික මහනායක, අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට ශාසනය ආරක්ෂා කර ගැනීමට ප‍්‍රමාණවත් දැනුමක් සහ ශක්තියක් නොමැති බවයි. මෙම පනත මගින් මහනායක, අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා යටපත් කරමින් උන්වහන්සේලාට උඩින් උගත් සහ පණ්ඩිත යයි කල්පනා කරන භික්ෂූන් වහන්සේලා කීප නමක් ශාසනික බලධාරීන් බවට පත් වීමට සැලසුම් කොට ඇත. එමගින් සිදුවන සංඝ භේදය මේ වන විටත් ආරම්භ වී ඇත. නිකායන් අතර ගැටුම්කාරී තත්ත්වයන් ද මෙම කෙටුම්පත මගින් නිර්මාණය කොට ඇත. එම පංචානන්තරිය කර්මය සිදු කරනු ලබන භික්ෂූන් වහන්සේලා ශාසන බලධාරීන් බවට පත්වන්නේ නම් බුද්ධ ශාසනයට සිදු වන්නේ කුමක්ද යන්න අවබෝධ කර ගැනීමට තරම් මෙකල බෞද්ධයන් විචක්ෂණශීලි විය යුතුය.
 
 මෙම යෝජිත පනත සම්මත වුවහොත් එය දණ්ඩ නීති සංග‍්‍රහයට වඩා බරපතල සහ ව්‍යාකූල එකක් වනු ඇත. පොදු සම්මතයේ මානව සමාජයට එරෙහි වන්නා වූ නීති දණ්ඩ නීති සංග‍්‍රහයේ වෙන වෙනම සංගෘහිත කොට ඇති අතර එහි සඳහන් වරදක් කරන්නෙකුට එරෙහිව අධිචෝදනා පත‍්‍රයක් ගොණුකොට නීතිපතිවරයා විසින් නඩු පැවරීම සිදු කරනු ලබයි. පනතේ සඳහන් මණ්ඩලය විසින් යමෙකුට එරෙහිව නඩු පැවරීමට නීතිපතිට උපදෙස් දෙනු ලැබුවහොත් ත‍්‍රිපිටකයේ කුමන වාක්‍යය උල්ලංඝනය කර ඇත්දැයි යන්න පිළිබඳව නීතිපතිට පූර්ණ අවබෝධයක් ලබා ගත යුතුය. ඒ සඳහා ඔහු ලංකාවේ තිබෙන පාලි ත‍්‍රිපිටකය පමණක් නොව මියෙන්මාරයේ සහ තායිලන්තයේ තිබෙන ත‍්‍රිපිටකය ද අධ්‍යයනය කොට තේරුම් ගත යුතුය. ඔහුට එම ත‍්‍රිපිටක අධ්‍යයනය කිරීමට ඔහුගේ ජීවිත කාලය ප‍්‍රමාණවත් නොවනු ඇත. යම් හෙයකින් ඔහු ත‍්‍රිපිටකය පූර්ණ ලෙස කියවා අවබෝධ කර ගනු ලැබුවහොත් මාර්ග ඵලයක් ලබාගැනීමෙන් අධ්‍යයනය අවසන් විය හැකිය. විනිසුරුවරයකු හට එවැනි නඩුවක් විමසීමට සිදු වුවහොත් ඔහුට ද මුහුණ දිය යුතු අත්දැකීම එයම බවට පත්වනු ඇත. එනිසා මෙවැනි නීතියක් කිසිසේත්ම රටක ක‍්‍රියාත්මක කළ නොහැකිය. මෙවන් වූ පනත් කෙටුම්පතක් නීතිගත කිරීමට හැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව හෝ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සහතිකයක් දෙනු ලබන්නේ නම් මේ රටේ මරණාධාර සමිතියකට තිබෙන පිළිගැනීම වත් එම දෙපාර්තමේන්තු දෙකට හිමි නොවනු ඇත.
 
 එමෙන් ම ත‍්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයට භික්ෂූන් වහන්සේලා පත් කිරීම හරහා මෙරට කවදාවත් නොතිබුණු ආකාරයේ සංඝ භේදයක් ඇතිකොට බුදු දහම බමුණන් ගේ දහමක් බවට පත්කිරීමේ ම්ලේච්ඡ උත්සාහයක් මේ තුළ දැකිය හැකිය. හින්දු දහමේ වේදය කියවිය හැක්කේ ද, ඉගැන්විය හැක්කේ ද, අසා සිටිය හැක්කේ ද බමුණන්ට ම පමණි. බුදු දහම බමුණන්ගේ දහමටත් වඩා පහල ගෝත‍්‍රිකයන්ටවත් නොගැළපෙන දහමක් බවට පත්කිරීමට උත්සාහ කරන්නේ ඇත්ත වශයෙන්ම බුදු දහම පිළිපදින්නන්ද යන්න ප‍්‍රශ්නයක් පැන නැගී ඇත. වැඩවසම් බමුණු කුලයක් නිර්මාණය කොට බුදු දහම කීතු කීතුවලට ඉරා දැමීමට ගනු ලබන ම්ලේච්ඡ උත්සාහය පයින් ගසා පරාජය කර දැමීම සියලූ බෞද්ධයන්ගේ වගකීම වන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment