බුදුසමය පිළිබඳ අපරදිග ලෝකයා අල්ප වශයෙන් දැනසිටි යුගයක බටහිර ජනයා වෙත දහම් පණිවුඩය පතුරුවාලීම උදෙසා බුදුදහම කෙරෙහි ආකර්ෂණය වූ බටහිර පඬිවරුන් විසින් අනුපමේය සේවයක් සිදු කොට ඇත. ථෙරවාද බුදුසමයේ ආරක්ෂාව සඳහා ගැනීමට සාම්ප්‍රදායික බෞද්ධ රටවල ප්‍රාඥ භික්ෂූන් හා පඬිවරුන් විසින් විශිෂ්ඨ කාර්යභාරයක් ඉටුකර ඇතත් බටහිර ශාස්ත්‍රධරයන්ගේ මෙහෙය නොවන්නට අදවන විටත් බුදුදහම බටහිර ලෝකයේ මෙපමණ ආකර්ෂණයක් දිනාගැනීමට සමත් නොවීමට ඉඩකඩ තිබිණ. 18වන සියවස අගභාගයේ දී හා 20 වන සියවසයේ මුල දී බටහිර පඬිවරුන් විසින් බෞද්ධ ග්‍රන්ථ සංස්කරණය කිරීමෙන් පරිවර්තනය කිරීමෙන් හා මූලික දහම් කරුණු හෙලි පෙහෙළි කිරීමෙන් බටහිර ජනයා වෙත බුදුසමය සමීප කර ඇත. මෙම කාර්යයෙහි ලා ප්‍රමුඛත්වය ගත් අනුස්මරණීය අමිල මෙහෙයක් ඉටු කළ එක් ආයතනයක් නම් මහනුවර පිහිටුවනු ලැබූ බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියයි (Buddhist Publication Society – BPS). ඉතා සරල ඉංග්‍රීසි බසින් බුදුදහමේ සාරය බටහිර ලෝකයා වෙත සමීප කිරීම බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ උත්කෘෂ්ඨ කාර්යභාරය ලෙස හඳුන්වා දිය හැකි ය.
අවුරුදු 400කට අධික වූ යටත් විජිත පාලන සමයෙහි බුදුසමයට සිදු වූ හානි සුළුපටු නොවන වග බොහෝ දෙනෙක් දැනුවත් කරුණකි. කෙසේ නමුත් ඉංග්‍රීසි පාලන යුගයේ අවසාන භාගය බුදුසමයට හිතකර යුගයක් ලෙස හඳුන්වා දිය යුතු වෙයි. ඉංග්‍රීසි යටත් විජිත යුගයෙහි ඉංග්‍රීසි ජාතික පඬිවරුන් හා වෙනත් බටහිර පඬිවරුන් විසින් කරන ලද කාර්යභාරයත් එම පාලනයේ සහයෝගය ඇතිව බෞද්ධ භික්ෂූන් විසින් කරන ලද කටයුතු නිසාත් බුදුසමයේ උන්නතියට මහත් අනුබලයක් සැපයිණ‘ රීස් ඩේවිඩ්ස්, ඔල්ඩන්බර්ග් ආදී බොහෝ බටහිර උගතුන් විසින් බෞද්ධ පොත්පත් සංස්කරණය කරන ලද අතර බුදුදහමේ දර්ශනය පිළිබඳ බටහිර ප්‍රබුද්ධ ජනයා දැනුවත් කොට තිබිණි. එහෙත් බුදුසමය පිළිබඳ වඩාත් පැහැදිලි චිත්‍රයක් ඇති කර ගැනීමට සාමාන්‍ය ජනයාට අවකාශයක් නොවීය. සරල ඉංග්‍රීසි බසින් ලියන ලද බෞද්ධ කෘති දුර්ලභ වූ අතර බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියෙන් සපුරාලන ලද්දේ මෙකී අවශ්‍යතාවයි.
බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය ආරම්භ වන්නේ යුරෝපීය භාෂාවලින් අමෙරිකාව හා යුරෝපයෙහි ඉහළ ශාස්ත්‍රීය කාර්යයන් සිදුවෙමින් පැවති යුගයක ය. රීස් ඩේවිඩ්ස්, ඔල්ඩන්බර්ග්, මැක්ස්ම්‍යුලර් වැනි පඬිවරුන් විසින් මෙම ශාස්ත්‍රීය කාර්යයෙහි නිරත වන සමයෙහි ලෝක ජනයාට බෞද්ධ ධර්ම ඥානය වටහා ගැනීමට උපකාරී වන ශාස්ත්‍රීය සමාගමක අවශ්‍යතාව බෙහෙවින් දැනෙමින් පැවතිණ. එම අරමුණ සාක්ෂාත් වූයේ සිංහල ප්‍රබුද්ධ දානපතියන් දෙදෙනකුගේ හා ජර්මන් ජාතික බෞද්ධ භික්ෂුවකගේ එකමුතුවෙන් ය.
ඒ අනුව මහනුවර හිටපු නගරාධිපති ඒ. එස් කරුණාරත්න මහත්මා හා ඔහුගේ මිත්‍ර රිචඩ් අබේසේකර මහත්මා හා ජර්මන් ජාතික ඤාණපෝනික තෙරුන්ගේ මූලිකත්වයෙන් 1958 ජනවාරි මස 1වන දින ලෝකයා වෙත ධර්ම ප්‍රචාරය කිරීමේ අරමුණ ඇතිව බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සංගමය පිහිටුවන ලදි. ඒ වන විට ඤාණපෝනික තෙරුන්ගේ ගුරුවරයා වූ ඤාණතිලෝක හිමියන් අපවත් වී මාස 6ක් ගත වී තිබිණ.
සංගමය ආරම්භ කිරීමෙන් පසු වසර දෙකක් ගතවනතුරු මෙම සංගමයේ සුවිසල් කාර්යභාරය සිදුකරගෙන යෑම සඳහා නිශ්චිත ස්ථානයක් නො තිබිණ. මෙම කාර්යභාරයෙහි වැදගත්කම වටහාගත් වෛද්‍යය විතාරණ මහත්මා එම අවස්ථාවේ දී ඉදිරිපත් වී ඔහුගේ නිවසට යාබද, ව්‍යාපාරික කටයුතු සඳහා භාවිත කරන ලද ගොඩනැඟිල්ලෙහි එක් කොටසක් ලබාදුන්නේ ය. සමාරම්භක අවදියේ දී එම කොටස තුළ අතිසාර්ථක ව සියලු කටයුතු සිදුකළ අතර පසුව මෙම බෞද්ධ දානපතිවරයා එම සමස්ත ගොඩනැඟිල්ල සංගමයේ අභිවෘද්ධිය පතා පරිත්‍යාග කරන ලදි. මහනුවර දළදා මාලිගයට නුදුරින් තිබෙන එම ගොඩනැඟිල්ලෙහි අදටත් ක්‍රියාත්මක බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය (BPS). 20 වන සියවසයේ බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශනය සම්බන්ධයෙන් ලෝකප්‍රකට ප්‍රකාශන ආයතනයක් වශයෙන් ඉතිහාසගත වී ඇත.
බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියෙහි වැදගත්ම කාර්යභාරය ඉසිලූ පූජ්‍ය ඤාණපෝනික හිමියන් පිළිබඳ මෙහි දී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වේ. මෙම සමිතියේ සම නිර්මාතෘ හා පළමු ග්‍රන්ථ සංස්කාරක මෙන් ම සභාපති වූ ඤාණපෝනික හිමියන් ජර්මන් ජාතිකයෙකි. වසර 1901 ජුලි මස 21 වන දින යුදෙව් පවුලක උපත ලැබූ අතර එම හිමියන්ගේ ගිහි නම වන්නේ සිග්මන්ඩ් ෆෙනිගර් (Siegmund Feniger) ය. පවුලේ එකම දරුවා වූ සිග්මන්ඩ් ෆෙනිගර්ගේ පියා පාවහන් වෙළෙඳ ව්‍යාපාරිකයකු විය. පැවති ආර්ථිකමය අපහසුතා හමුවේ ෆෙනිගර්හට විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය ලබා ගැනීමට තරම් වත්කමක් නො තිබිණ. එබැවින් ද්විතීයක අධ්‍යාපනය නිමා වීමෙන් පසු පොත් සාප්පුවක වැඩ කළ ෆෙනිගර් එහි දී ඤාණතිලෝක හිමියන්ගේ ජර්මන් භාෂාවට පරිවර්තනය කළ ධර්ම ග්‍රන්ථ කියවීමෙන් හා උන්වහන්සේ විසින් විදේශීය ජාතිකයන් වෙනුවෙන් ආරම්භ කළ පොල්ගස්දූව ආරණ්‍ය (Island Hermitage) පිළිබඳ දැනගැනීමෙන් ඇති වූ උනන්දුව හේතුවෙන් වයස විස්සේ දී ඤාණතිලෝක හිමියන් සමීපයේ පැවිදි වීමට තීරණය කළේ ය. 1932 දී ඔහුගේ පියා අභාවයට පත් විය. 1933 දී හිට්ලර් බලයට පැමිණ යුදෙව්වන් ඝාතනය කිරීම ආරම්භ කළ බැවින් සිය මව වියානා වෙත කැඳවාගෙන අවුත් එහි ඤාතීන් සමීපයේ නවත්වා 1936 දී ඤාණතිලෝක හිමියන් වෙත පැවිදි වීමේ අරමුණින් ලක්දිවට පැමිණියේ ය. මාස කිහිපයක් පොල්ගස්දූව ආරණ්‍යයෙහි මූලික පුහුණුව ලබා ජර්මන් ජාතික ඤාණතිලෝක හිමියන්ගෙන් 1936 දී සාමණේර පැවිද්ද හා 1937 දී උපසම්පදාව ලබාගත්තේ ය. ප්‍රවෘජ්‍යාචාර්යයන් සමීපයේ මූලික පැවිදි වත් පිළිවෙත් පූරණය කළ ඤාණපෝනික හිමියන් 1951 දී දළදා මාළිගයට ඉහළින් පිහිටි උඩවත්තකැලේ ආරාමයට (Forest Hermitage) පැමිණීම බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය නිර්මාණය වීමට බලපෑ ප්‍රබලත ම හේතුව වීම ආශ්චර්යයක් විය. මෙම උඩවත්තකැලේ ආරාමය පූජ්‍ය ඤාණතිලෝක හිමියන් වෙත 1946 දී පූජා කරන ලද්දකි.
ඤාණපෝනික හිමියෝ උඩවත්තකැලේ ආරාමයෙහි වැඩවාසය කරමින් බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ ආරම්භක සංස්කාරකවරයා වශයෙන් 1958 සිට 1984 දක්වාත් සභාපතිවරයා වශයෙන් 1958 සිට 1988 දක්වා සේවය කළහ. 1984 දී ඤාණපෝනික තෙරුන් උන්වහන්සේගේ අමෙරිකානු ජාතික ශිෂ්‍ය භික්ඛු බෝධි හිමියන් ප්‍රධාන සංස්කාරක ධුරය සඳහා යෝජනා කර විශ්‍රාම ලබාගැනීමට කටයුතු කරන්නේ රෝගී තත්ත්වයක් (Glaucoma – ග්ලූකෝමා) හේතුවෙන් උන්වහන්සේගේ පොත පත කියවීමට ඇති හැකියාව අතිශයින් දුබල තත්ත්වයක පැවති නිසාවෙන් ය.
නූතනයේ ලෝකප්‍රකට භික්ඛු බෝධි හිමියන් මෙහි සංස්කාරක ධුරයෙහි 1984 සිට 2002 දක්වාත් එහි සභාපති ධුරයට පත්ව 1988 සිට 2010 දක්වා සේවය කළේ ය. අමරිකන් ජාතිකයකු වන භික්ඛු බෝධි හිමියන් පළමුව වියට්නාමයේ දී මහායාන සම්ප්‍රදායට අනුව ප්‍රවෘජ්‍යාව ලැබීය. සිය ආචාර්ය උපාධිය නිම වීමෙන් පසු ථෙරවාද බුදුදහම අධ්‍යයනය කිරීමේ අරමුණින් ලංකාවට පැමිණ ථෙරවාද සම්ප්‍රදායානූකූලව බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන්ගෙන් නැවත පැවිදි උපසම්පදාව ලබාගත්තේ ය. බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ සභාපති හා සංස්කාරක ධුරයන්හි වගකීම මැනවින් ඉටුකරමිනි භික්ඛු බෝධි හිමියන් ථෙරවාද බුදුසමයේ උන්නතිය වෙනුවෙන් තීරණාත්මක කාර්යයන් රැසක් සිදු කළේ ය. ථෙරවාද ධර්මය ස්වක්‍රීය ජන්ම දේශය තුළ ප්‍රචාරය කිරීමේ උදාරතර අරමුණින් මෙහිමියන් BPS ප්‍රකාශන ඇමෙරිකාවේ බෙදා හැරීම සඳහා 1990 දී පරියත්ති නමින් මුද්‍රණ ආයතනයක් ලුක් මැතිව්ස් (Luke Mattews) විධායක අධක්ෂවරයා යටතේ ආරම්භ කළේ ය. ථෙරවාද බුදුදහම ඇමෙරිකා එක්සත් ජනපදය තුළ මුල් බැසගැනීමෙහි ලා අනුපමේය සේවයක් මෙම පරියත්ති ආයතනය මගින් සිදු විය.
භික්ඛු බෝධි හිමියන්ගෙන් පසුව මෙම සමිතියේ සභාපති ධුරයට පත්වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වශයෙන් සේවය කළ පී.ඩී. ප්‍රේමසිරි විද්වතානන් ය. ඔහුගේ සභාපතීත්වයෙන් 2011 වර්ෂයේ සිට මේ දක්වා මෙම සමිතිය ක්‍රියාත්මක වේ. ප්‍රධාන ඉංග්‍රීසි භාෂා සංස්කාරක වශයෙන් 2005 සිට කටයුතු කරන්නේ ඕලන්ද ජාතික ඤාණතුසිත හිමියන් ය.
බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය ලොව පුරා ප්‍රකට වූයේ Bodhi Leaves හා Wheel යන කාණ්ඩ ද්විත්වය යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළ කළ ප්‍රකාශන සමූහය හේතුවෙනි. ඒ අනුව, Bodhi Leaves හා Wheel කාණ්ඩය යටතේ බුදුදහම පිළිබඳ කෙටි ලිපි හා පොත් පිංච රචනා වූ අතර භාවනාව, තුලනාත්මක අධ්‍යයන, බෞද්ධ ඉතිහාසය හා පාලි ත්‍රිපිටකයට අදාළ පරිවර්තන කාර්ය රැසක් මෙම ආයතනය මගින් සිදුකර කර ඇත.
බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය සිය මූලික අරමුණට පරිබාහිර වෙමින් 1960 දී සිංහල භාෂාවෙන් රචිත බෞද්ධ ධර්ම ග්‍රන්ථ හා පරිවර්තන ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කරයි. සමකාලීන සමාජය තුළ ඉංග්‍රීසි භාෂා කුසලතා නොමැති පාඨකයා තුළ ද ධර්ම ඥානය ඇති කිරීමෙහිලා මෙකී තීරණය ඉමහත් ලෙස බලපෑවේ ය. මේ සමඟ ඉංග්‍රීසි පාඨකයා පමණක් ඉලක්ක කරගත් මෙම සමිතියේ සේවාව සිංහල පාඨකයා වෙත ද ලැබිණ. එම තීරණයේ ප්‍රතිඵලයක් වශයෙන් බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය මගින් BPS යන සලකුණ යටතේ මුල්කාලීනව ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් මුද්‍රණය කෙරුණ ද පසුව දම්සක් හා කළණමිතුරු යන කාණ්ඩ ද්විත්වය යටතේ Wheel කාණ්ඩයේ යටතේ ඉංග්‍රීසි බසින් ප්‍රකාශනය වූ දහම් දැනුම සිංහල බසින් ප්‍රකාශනය කෙරිණ. සිංහල ප්‍රකාශනයන්ගේ ග්‍රන්ථ සංස්කාරකත්වය වජිරාරාමාධිපති පියදස්සී මහතෙරුන් 1960 සිට 1998 හා දක්වා හෙබවීය. උන්වහන්සේගෙන් පසු ඒ.ජී.එස්. කාරියවසම් මහතාගේ ග්‍රන්ථ සංස්කාරකත්වයෙන් 2005 දක්වාත් සිංහල ප්‍රකාශන සිදු විය. වර්තමානයේ දී මෙම ආයතනයේ සිංහල ග්‍රන්ථ ප්‍රකාශන කටයුතු සිදුකෙරෙන්නේ පේරාදෙණිය විශ්වවවිද්‍යාලයේ කලක් පුස්තකාලයාධිපති ලෙස කටයුතු කළ එන්. ටී. එස්. සේනාධීර මහතාගේ සංස්කාරකත්වයෙනි.
මේ අනුව පෙනී යන්නේ ථෙරවාද බුදුදහම ලෝකයා වෙත සංප්‍රේෂණය කිරීමෙහිලා බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය ඇරඹූ විශිෂ්ඨ සේවය අඛණ්ඩව තවදුරටත් සිදු කෙරෙමින් පවතින බවයි. බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියෙහි උත්කෘෂ්ඨ පරමාර්ථය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ඤාණපෝනික ධර්මදාන අරමුදල ද පිහිටුවා ඇත. එම අරමුදල මගින් ලොව පුරා වෙසෙන 3000කට අධික මෙම සමිතියේ සාමාජිකයන්ට බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන ඉතා අඩු මුදලක් යටතේ මිලදී ගැනීමට අවකාශ සලසා තිබේ. එපමණක් නොව ලෝකය පුරා ඇති බෞද්ධ ආරාම, විශ්වවිද්‍යාලය, අධ්‍යාපනික ආයතන සඳහා BPS ප්‍රකාශන නොමිලයේ බෙදාහැරීම ද මෙම අරමුදල මගින් සිදුකෙරෙන උදාර කර්තව්‍යයකි.
ලෝකප්‍රකට BPS ප්‍රකාශන කිහිපයක්
Buddhist Dictionary- Manuals of Buddhist Terms & Doctrines – බුදුදහමේ පාරභාෂික වචන සඳහා භික්ඛු ඤාණතිලෝක හිමියන් රචනා කළ බෞද්ධ ශබ්දකෝෂය
The Heart of Buddhist Meditation – ඤාණපෝනික හිමියන් විසින් මහාසතිපට්ඨාන සූත්‍රය ආශ්‍රයෙන් රචනා කළ මෙම කෘතිය භාෂා රාශියකයට පරිවර්තනය වූ කෘතියකි.
Visuddhimagga (The path of Purification – විශුද්ධි මාර්ගය සඳහා භික්ඛු ඤාණමෝලි හිමියන් කළ ඉංග්‍රීසි පරිවර්තනය (මෙම කෘතිය බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ ප්‍රකාශනයක් ලෙස මුද්‍රණය වන්නේ 1975 දී තෙවැනි සංස්කරණයේ සිට ය.
Original Publisher – Mr. Ananda Semage of Colombo & Buddhist Ethics – හම්මලව සද්ධාතිස්ස හිමි
Satipammhna: (The Direct Path to Realization – භික්ඛු අනාලයෝ හිමියන් සිය ආචාර්ය උපාධිය සදහා මහාසතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් සිදුකළ පර්යේෂණය.
Mindfulness in Plain English & Janas in Theravada Buddhist Meditation – හේනේපොල ගුණරතන හිමි
Early Buddhist Teachings – වයි. කරුණාදාස මහතා මුල් බුදුසමයේ මූලික
ඉගැන්වීම් පිළිබඳ රචනා කළ කෘතියකි.
Living Buddhist Masters/ Modern Buddhist Masters – ජැක් කොරනර්ෆීල්ඩ් විසින් පළමුව මෙම කෘතිය මෙහි දැක්වෙන පළමු නාමය යටතේ මුද්‍රණය කළ ද ප්‍රකාශිත කාලයෙන් පසුව සිදුකළ ප්‍රකාශන සඳහා දෙවන නාමය භාවිත කර ඇත. මෙම කෘතියේ දී බුරුමයේ හා තායිලන්තයේ ප්‍රකට භාවනා ආචාර්යවරුන් පිළිබඳ හා ඔවුන්ගේ භාවනා ක්‍රමවේද පිළිබඳ විග්‍රහාත්මක විවරණයන් දැකගත හැකි ය.
වෙලම්පැලේ රතනසාර හිමි
සහකාර කථිකාචාර්ය
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය
[email protected]