දකුණුදිග වැල්ලේ ඩොලර් මලු හෙල්ලේ

1509

දකුණු වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයකි. බෙන්තොට හික්කඩුව, ගාලූකොටුව, වැලිගම, මිරිස්ස, උණවටුන, තංගල්ල යන සංචාරක කලාප මේවනවිට දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරීගොස් ඇත්තේය. කොටින්ම කිවහොත් මෙරට සංචාරක ක්ෂේත‍්‍රයට නව අරුණලූ උදාවෙමින් තිබේ. විශේෂයෙන්ම මෙකී සංචාරක කලාපවල අමුතුම තාලයේ උප සංස්කෘතියක් ද බිහිවී ඇත. ඒ ගෘහාශ‍්‍රිත සංචාරක කර්මාන්තයයි. විශේෂයෙන්ම, උණවටුන, මිරිස්ස, තංගල්ල ගාලූකොටුව යන සංචාරක කලාපවල ගෘහාශ‍්‍රිත සංචාරක කර්මාන්තය ඉතා ජයටම සිදුවේ. උණවටුණ, මිරිස්ස යන සංචාරක කලාපවල සියයට අනූවක් පමණ සිදුවන්නේ ගෘහාශ‍්‍රිත සංචාරක කර්මාන්තයයි.

සංචාරක සමය ආරම්භ වීමත් සමග ඇතැමුන් තම නිවාස විදේශීය සංචාරකයන්ට බදු පදනම මත ලබාදෙති. තවත් පිරිසක් කාමර කිහිපයක් විදේශීය සංචාරකයන්ට ලබාදී සැලකිය යුතු ආදායමක් උපයා ගනිති. මෙම තත්ත්වය නිසා ත‍්‍රිරෝද රථ රියැදුරාගේ සිට පලතුරු වෙළෙන්දා දක්වා වක‍්‍ර ලෙස සංචාරක කර්මාන්තයේ යෙදෙන විශාල පිරිසකට උදාවී ඇත්තේ හොඳ කලදසාවකි. කොවිඞ් වසංගතයත් සමග වැලේවැල් නැතිව දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටි මෙකී පුද්ගලයන්ගේ ආර්ථිකයට නව ජීවයක් ලැබී ඇත්තේය. ගෘහාශ‍්‍රිතව සංචාරක කර්මාන්තයේ නිරතවූවන් අතර ඩොලර් ගැවසීමට පටන්ගෙන තිබේ. මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් අතුරින් සියයට අසූවක් පමණ රුසියානු හා යුක්රේන් ජාතිකයන්ය. ඔවුහු මහා පරිමාණ හෝටල්වල ගත කිරීමට වඩා ගෘහාශ‍්‍රිතව ඇති කාමරවල ගතකිරීමට වැඩි කැමැත්තක් දක්වති. ඇතැම් රුසියානු හා යුක්රේන් ජාතික විදේශිකයින් ඩොලර් 500ක පමණ මුදලකට කාමරයක් කුලී පදනම මත ලබාගෙන පිටතින් කෑමබීම ලබා ගනිති. ඒ කොයිහැටි වුවද ඔවුහු මෙරට රැඳීසිටින කාලය තුළ අඩුම තරමින් ඩොලර් දෙතුන් දහසක් වියදම් කරති. මෙහි වාසිය ත‍්‍රිරෝද රථ රියැදුරගේ සිට පලතුරු වෙළෙන්දා දක්වා ලැබී තිබේ. මේවනවිට ත‍්‍රිරෝද රථ රියැදුරන් පලතුරු වෙළෙඳුන්, අතර ඩොලර් ගැවසීමට පටන්ගෙන ඇත. ඇතැමුන් තම කාර්රථ විදේශිකයින්ට කුලී පදනම මත ලබාදී ආදායමක් උපයා ගනිති. මෙම ගනුදෙනු සිදුවන්නේ ඩොලර් වලිනි.

මාගේ ළඟ තිබූ ඇල්ටෝ වර්ගයේ කාර් රථයක් රුසියානු ජාතිකයෙකුට මාසයක් සඳහා රුපියල් 30000ක මුදලකට කුලී පදනම මත ලබාදුන්නා. රුසියානු ජාතිකයා ඩොලර්වලින් තමයි මට මුදල් ලබා දුන්නේ. දැන් අපි ළඟත් ඩොලර් ගැවසෙනවා. ගාල්ල බෝගහගොඩ ප‍්‍රදේශයේ පදිංචි සංක සමරවික‍්‍රම මහතා එසේ කීවේය. ගෘහාශ‍්‍රිතව සංචාරක කර්මාන්තයේ නිරතවූවන් උපයාගන්නා ඩොලර් ගණනය නොවන බව ඔවුන්ගේ අදහසයි.

මහා පරිමාණ සංචාරක හෝටල් හිමියන් විසින් උපයාගනු ලබන ඩොලර් තමයි ගණනය වන්නේ. නමුත් සුළුපරිමාණ හෝටල් හිමියන් උපයාගන්නා ඩොලර් ගණනය වෙන්නේ නැහැ. කොටින්ම කිවහොත් මෙරට සංචාරක කර්මාන්තයේ ජීවනාලිය තමයි සුළු හා මධ්‍ය පරිමාණ ලෙස සංචාරක කර්මාන්තයේ නිරතවන අය. උණවටුන සංචාරක කලාපයේ සියයට 99ක් විතර සිදුවන්නේ ගෘහාශ‍්‍රිත සංචාරක කර්මාන්තයයි. මගේ හෝටලයේ කාමර 15 මේ වනවිට විදේශීය සංචාරකයන්ගෙන් පිරීගොස් තියෙනවා. උණවටුනේ සියලූ හෝටල් කාමර විදේශිකයින්ගෙන් පිරිලා තියෙන්නේ. මගේ හෝටලයේ කාමර අපේ‍්‍රල් මාසය වෙනකම් වෙන්කරගෙන තියෙන්නේ. පලතුරු වෙළෙඳුන්ගේ, ත‍්‍රිරෝදරථ රියැදුරන් ඇතුළු සංචාරක කර්මාන්තයේ වක‍්‍රලෙස යෙදී සිටින අයගේ ආර්ථිකය ශක්තිමක් වෙලා තියෙනවා. ඔවුන්ට නව ජීවයක් ලැබිලා තියෙනවා. නමුත් සුළු පරිමාණ ව්‍යසායකයන් උපයාදෙන ඩොලර්වලට වටිනාකමක් ලැබී නැති බැව් උණවටුන සංචාරක කලාපයේ සුළු හා මධ්‍ය පරිමාණ හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති නීතිඥ රූපසේන කොස්වත්ත මහතා කීවේ එවැනි කථාවකි.

දකුණුදිග වැල්ලේ ඩොලර් මලු හෙල්ලේ

සැබවින්ම කොවිඞ් වසංගතයත් සමග මෙරට සංචාරක කර්මාන්තයට උදාවූයේ නරක කලදසාවකි. සංචාරක කර්මාන්තයේ නිරත විශාල පිරිසකට රැකියා අහිමිවූහ. කොටින්ම කිවහොත් ඔවුන්ට යන එන මංනැතිවූහ. සංචාරක කලාප වෙරළ තීරයන් පාළුවට ගොස් තිබුණි. එහෙත් මේ වනවිට රට විවෘතකොට දෙස් විදෙස් සංචාරකයන් පැමිණීමත් සමග එකී සංචාරක කලාප කාර්යබහුල තත්ත්වයට පත්වෙමින් ඇත්තේය.

සැබවින්ම දකුණු වෙරළ තීරයේ ඇති සංචාරක කලාපවල විදේශීය සංචාරකයන් ආකර්ෂණීය කරගැනීම සඳහා රාත‍්‍රි කාලයට මෙකී වෙරළ තීරයේ නොයෙකුත් සාදයන් පවත්වති. එම සාදයන් සඳහා දෙස් විදෙස් සංචාරකයන් ද එක්වෙති. රාත‍්‍රියේ ආරම්භ කරන ඇතැම් සාදයන් අළුයම තෙක් පැවැත්වෙන අතර ඒ තුළ හරි අපූරු දේවල්ද සිදුවෙති. ඒ විතරක් නොව විදේශීය සංචාරකයන් වෙනුවෙන් මිරිස්ස මුහුදු තීරයේ බෝට්ටු තුළද විවිධ සාදයන් පවත්වති. ඇතැම් විදේශීය සංචාරකයන් තම උපන්දින සාද පවත්වනු ලබන්නේ මුහුදු තීරයේ නවතා ඇති මෙකී බෝට්ටු තුළදීය. කොවිඞ් වසංගතය නිසා මෙරටට පැමිණීමට නොහැකිව සිටි විදේශීය සංචාරකයන් නිදහසේ තමන්ට රිසි සේ විනෝද වීමට අවස්ථාව උදාවී ඇත.

මිරිස්ස සංචාරක කලාපයේ අසිරිය විඳ දරාගැනීම සඳහා වැඩිවශයෙන් පැමිණ ඇත්තේ රුසියානු හා ඉන්දීය ජාතික විදේශිකයන්ය. ඒ අතර යුරෝපීය රටවල සිටද විදේශීය සංචාරකයන් සැලකිය යුතු පිරිසක් පැමිණ සිටිති. මිරිස්ස ප‍්‍රදේශයේ සුළු පරිමාණ සංචාරක හෝටල් හිමියකු වන චරිත් සිරිවර්ධන මහතා අපිට කීවේ මෙවැනි කථාවකි.

2013 වර්ෂයේ ඉඳලා තමයි මා සංචාරක කර්මාන්තයේ නිරත වෙලා ඉන්නේ. සංචාරක කර්මාන්තයට හොඳ කලදසාවක් උදාවෙමින් තියෙනවා. නත්තල්වලින් පස්සේ විදේශීය සංචාරකයන් පැමිණෙමින් සිටිනවා. අපිට ආරංචි හැටියට පී. සී. ආර්. පරීක්ෂණයෙන් පසු තමයි විදේශීය සංචාරකයන් මෙරටට පැමිණීම සඳහා ගුවන් ටිකට්පත ගන්නේ. මේ යන විදියට ඉදිරියේදී සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනයක් ඇතිවේවි මිරිස්සට සංචාරක සෘතුවක් නැහැ. වර්ෂය මුළුල්ලේම දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙනවා. ඉන්දියන් හා රුසියානු ජාතිකයන් ගොඩක් ඇවිත් ඉන්නවා. චීන ජාතිකයන් ඇත්තේම නැති වගේ මගේ හෝටලයේ කාමර 06ක් තියෙනවා. ආදායම ඒතරම්ම හොඳයි කියන්න බැහැ. කාමර 06න් දිනකට ඩොලර් 750ක් හමුවෙනවා. එක් කාමරයක් ඩොලර් 150ක මුදලකට තමයි දෙන්නේ. වෙනදාට වඩා හෝටල් ගාස්තු සියයට 50කින් පමණ අඩුකරලා තියෙනවා. කොවිඞ් වසංගතය නිසා විදේශිකයන්ගේ ආදායම අඩුවෙලා.

වෙනදා වගේ මුදල් වියදම් කරන්නේ නැහැ. විදේශීය සංචාරකයන් ආකර්ෂණීය කරගැනීම සඳහා තමයි හෝටල් ගාස්තු අඩුකරලා තියෙන්නේ. කොවිඞ් වසංගතයට පෙර තිබූ ආදායම ගන්න බැහැ. යම් ලාභයක් ගන්න පුළුවන්. පලතුරු මිල වැඩිවෙලා. කොමඩු කිලෝවක් රුපියල් 300ක් වෙනවා. අන්නාසි කිලෝවක් රුපියල් 200කට වඩා වැඩියි. චීස් ලොකු පැකට් නැහැ. භාණ්ඩලද හිඟයක් තියෙනවා. මිරිස්ස ඉතා ආකර්ෂණීය වෙරළ තීරයක්. වෙරළ තීරයේ තමයි ඩිනර් එක සූදානම් කරන්නේ. දේශීය සංචාරකයන්ද ගොඩක් එනවා. ජල සැපයුම නිසි අයුරින් ලැබෙන්නේ නැහැ. විදුලිය ද හිටපු ගමන් විසන්ධි වෙනවා. රාත‍්‍රියට ඞී. ජේ. ගහනවා. ඒ සඳහා ඇතැම් විදේශිකයන් කැමති නැහැ.

දකුණුදිග වැල්ලේ ඩොලර් මලු හෙල්ලේ

ඔවුන් මෙරටට එන්නේ නිදහසේ ගත කරන්න. කන් පැලෙන ශබ්දයට ඔවුන් කැමති නැහැ. පොලිස් නිලධාරීන්ද ඇවිත් කියනවා ඞී. ජේ. ගහන්න එපා කියලා. චරිත් සිරිවර්ධන කීවේය.

රවිදු සසාන් ජයවික‍්‍රම (25) මිරිස්ස සංචාරක කර්මාන්තයේ නිරත තරුණයෙකි.

දෙස් විදෙස් සංචාරකයන් සඳහා ටුවර් සංවිධානය කිරීම තමයි කරන්නේ. තල්මසුන් බැලීමේ ගමන් සංවිධානය කරනවා. සෆාරි ටුවර් සංවිධානය කරනවා. දැනට වසර 10ක සිට සංචාරක කර්මාන්තයේ නිරතව සිටිනවා. විදේශීය සංචාරකයන් දැන් සියයට 25ක් පමණ එනවා. සියයට සියයක් නැහැ. රුසියානු සංචාරකයන් තමයි වැඩිපුර එන්නේ. සති දෙක තුනක් ගත කරන විදේශිකයන් තමයි වැඩිපුර ඇවිත් ඉන්නේ. දිනකට තල්මසුන් බැලීම සඳහා ගමන්වාර දෙක තුනක් සංවිධානය කරනවා. තල්මසුන් බැලීමට යන විදේශීය සංචාරකයකුගෙන් රුපියල් 9000ක් අය කරනවා. අපිට එක ටිකට් පතක් අලෙවි කළහොත් රුපියල් 2500ක කොමිස් මුදලක් තියෙනවා. කොරෝනා කාලයේ නම් අපේ සියලූ ආදායම් නැතිවුණා. ඒ කාලයේ කොන්ත‍්‍රාත් වැඩපළක වැඩකළා. ඉදිරියේදී මෙරට සංචාරක ක්ෂේත‍්‍රයට හොඳ කලදසාවක් උදාවන බවට පෙර නිමිති පහලවෙමින් තියෙනවා. ඇතැම් විදේශීය සංචාරකයන් නම් කියන්නේ සැම දෙයකම වගේ මිල ගණන් වැඩිවෙලා කියලා. හොඳට වියදම් කරන විදේශිකයන්ද ඉන්නවා. ඇතැමුන් රෙස්ටුරන්ට් වලට පවා එන්නේ නැහැ. පොඩි කඩයකින් තමයි රයිස් එකක් දමාගෙන සප්පායම් වෙන්නේ. යැයි රවිඳු කීවේය.

මිරිස්ස ප‍්‍රදේශයේ හෝටල් හිමියකු වන එස්. ජිනේෂ් මහතා මෙසේ කීවේය.

දැනට වසර 20ක පමණ කාලයක සිට සංචාරක කර්මාන්තයේ නිරතව සිටිනවා. විදේශිකයින් සංචාරකයන් පැමිණියත් ඔවුන් වියදම් කරන්නේ ඉතා අඩුවෙන්. එතරම්ම වාසි නැහැ. කොවිඞ් වසංගතයෙන් පසුව වුවත් සංචාරක කර්මාන්තයේ ලොකු වර්ධනයක් පේන්නේ නැහැ. ආදායම් බදු ගෙවන්න කියලා ලියුම් එවනවා. අපිට කිසි සහනයක් නැහැ. රාත‍්‍රියට ඞී. ජේ. ගහනවා. මල්වෙඩි ගහනවා. ඇතැම් විදේශීය කතුන්ද නොයෙකුත් හිරිහැරවලට ලක්වෙනවා. කැළිකසළ ඉවත් කිරීමේ කටයුතු නියමිත අයුරින් සිදුවන්නේ නැහැ. ජිනේෂ් කීවේය.

මිරිස්ස සංචාරක කලාපයේ හෝටල් හා අවන්හල් සංඛ්‍යාව 500කට අධිකය. ඇතමුන් ගෘහ ආශ‍්‍රිතව සංචාරක ව්‍යාපාරය කරගෙන යති. රාත‍්‍රියේ පැවැත්වෙන ඇතැම් සාදවලදී විදේශීය කතුන් නොයෙකුත් හිරිහැරවලට ලක්වෙති. ඒ අගනගරයේ සිට මෙරටට පැමිණෙන සෙල්ලක්කාර තරුණයන්ගෙනි. අගනගරයේ සිටි ඇතැම් ව්‍යාපාරිකයන්ගේ සෙල්ලක්කාර දරුවන් විනෝදවීම සඳහා මිරිස්සට පැමිණෙති. ඔවුන් සාදවලදි විදේශීය කතුන්ට හිරිහැර වනසේ හැසිරෙති. එවැනි අවස්ථාවලදි විදේශීය කතුන්ද නිකන් සිටින්නේ නැත. විදේශීය කතුන්ගෙන් කම්මුල් පහරට ලක්වූ සෙල්ලක්කාර තරුණයන්ද ඒ අතර නැතිවා නොවේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment