දකුණු අප්‍රිකාවේ මුහුදුබඩ නගරයක් වන ඩර්බන් නගරයේ මුහුදු වෙරළට පැමිණි රළු සැඩ පහරට හසු වීමෙන් වෙරළේ සිටි තිදෙනකු මුහුදට ගසා ගෙන යෑම නිසා දියෙහි ගිලී මිය ගොස් ඇති අතර තවත් 17 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ඉකුත් සෙනසුරාදා ඩර්බන් නගරයේ උතුරු මුහුදු වෙරළේ සිටියදී 20 දෙනෙකු රළු සැඩ පහරක් වෙරළට පැමිණීම හේතුවෙන් මෙසේ මුහුදට ගසා ගෙන ගොස් ඇති බව වාර්තා වී තිබේ. එම පිරිසෙන් යෞවනයකු ඇතුළු තිදෙනකු මිය ගොස් ඇත. මෙම අනතුර සිදු වීමත් සමගම එම ස්ථානයට පැමිණි ජීවිතාරක්ෂක භටයන් 35 දෙනකු මුහුදට ගසා ගෙන ගිය පිරිස බේරා ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබූ අතර ඔවුනට සහය වීම සඳහා 100 දෙනකුගෙන් සමන්විත අතුරු වෛද්‍ය කණ්ඩායමක් පැමිණ ඇත. අදාළ සිදුවීමෙන් පසු එම මුහුදු වෙරළ වසා දැමීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.