දකුණු අපි‍්‍රකානු ප‍්‍රභේදය ළඟ සෞඛ්‍ය ලොක්කෝ ‘ඇඹරිලා’…

101

කොවිඞ් වසංගතය හමුවේ ශ‍්‍රී ලංකාව තියෙන්නේ රතු කලාපයක බවත් දකුණු අප‍්‍රිකානු ප‍්‍රභේදය මුහුදට එහායින් අපට අතවනමින් තිබියදී, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුත්තන් ‘‘ඒක එන එක නවත්තන්න බැහැ ඇවිල්ලා පැතිරුණාට පස්සේ දැන ගමු’’ යැයි කියා පැවසීම තම නොහැකියාව ප‍්‍රදර්ශනය කිරීමක් බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.

ප‍්‍රභේද අරගෙන එන්නේ රටට අලූතින් ඇතුළු වන අය. ඒ අයව පරීක්ෂා කරන්න ගුවන්තොටුපළ ඇතුළේ දාපු රසායනාගාරයට පිට රටවල ඉඳලා එන අයගේ නිදර්ශක එකක්වත් එන්නේ නෑ. හේතුව ඒවා පෞද්ගලික අංශයට යවලා කොමිස් ගන්න තියෙන වුවමනාව. ‘දොරටු ආරක්ෂා කිරීම’ රටට ඇතුළු වන දොරටු වැසීම කොවිඞ්වලට ලොව පුරා භාවිත වන අංක එකේ න්‍යායකි. ඒක දැං රටකට විතරක් නෙවේ, ආයතන කොවිඞ්වලින් ආරක්ෂා කර ගැනීමට පවා බහුල වශයෙන් භාවිත වෙනවා. අපේ රට දිවයිනක් වීමේ වාසියවත් සලකන්නේ නැතුව, දොරටුව අයාලේ ඇරලා, ආපුදෙන්, කරන්න දෙයක් නෑ කියන සෞඛ්‍ය අමාත්‍යාංශයක් අපට තියෙන්නේ.

අප‍්‍රිකානු ප‍්‍රභේදය එනවා කියන්නේ අලූත්ම වෛරසයක් අලූතින් එනවා වගේ එකක්. පැතිරීම වැඩියි. මරණ වැඩියි. ගහපු එන්නත් එකක්වත් හරියට වැඩ කරයි ද කියන එක පිළිබඳ විශ්වාසයක් තියා ගන්න බෑ.

මේ වන විට වසංගත තත්ත්වය අපේ ආර්ථිකයට බරපතළ වශයෙන් අභියෝග එල්ල කරනවා. යම් ආකාරයකින් මේ වසංගතය පාලනය කිරීමෙන් පසුව නැවතත් අපේ රටට පෙර පැවැති ජන ජීවිතය අවශ්‍යයි. පෙර තිබූ ආර්ථිකය අවශ්‍යයි.

මෙහිදී අපිට මූලික වශයෙන් රතු ලැයිස්තුවෙන් ඉවත් වන්නට නම් සපුරාලිය යුතු කාරණා තිබෙනවා. එක, අපේ රටෙන් අඩුවෙන් ආසාදිතයන් වාර්තා විය යුතුයි. ඒ කියන්නේ හොඳ රෝග පාලනයක් මේ රටේ පැවතිය යුතුයි.

දෙවැන්න අපේ රටේ ජාන විශ්ලේෂණ පහසුකම් තිබෙනවාද කියන කාරණය ගැන එම රටවල් විමසිලිමත් වෙනවා. ඊට හේතුවක් තිබෙනවා. ජාන විශ්ලේෂණයෙන් විතරයි වෛරසයේ විකෘතිතා, නව ප‍්‍රභේද ඇතිවීම ගැන අපට අවබෝධයක් ලබාගත හැක්කේ.

ඔබ දන්නවා ඉන්දියාවෙන් ඩෙල්ටා ප්ලස් වාර්තා වුණාම ඒක මුලින්ම අනාවරණය කරගත්තේ එංගලන්තයේ පර්යේෂණාගාරයක. අපේ රටේ එංගලන්තයේ රසායනාගාර සේවාවට සමගමීව ආරම්භ කරපු, අවුරුදු 100කට වඩා පැරණි වෛද්‍ය පර්යේෂණ ආයතනයක් පැවතියත්, රටට මේ මොහොතේ අවශ්‍ය කිසිදු පර්යේෂණයක් සිදු කරන්නේ නැහැ. කොවිඞ්වලට අවුරුදු එකහමාරක් ගතවෙලත්, අඩුම තරමින් ප‍්‍රභේද පරීක්ෂණයක්වත් කර ගන්න බැරි විදිහට ඒ ආයතනය අකර්මණ්‍ය කරවලා.

දැනටමත් ඩෙල්ටා ප‍්‍රභේදයේ විකෘතිතා තුනක් අපේ රටෙන් හමුවන බව අප මේ වන විට හඳුනාගෙන තිබෙනවා. එක් විකෘතිතාවයක් අපේ රටෙන් වාර්තා වෙන්නේ ලෝකයේ පළවෙනි වතාවට. මැලේසියාවේ මීට පෙර වාර්තා වූ විකෘතිතාවයකුත් දැනට රටවල් කිහිපයක වාර්තා වන තවත් විකෘතිතාවයකුත් වශයෙන් විකෘතිතා තුනක් අපේ රටෙන් හඳුනාගෙන තිබෙනවා. නව විකෘතිතාවල ඇති අවදානම වන්නේ එයින් නව ප‍්‍රභේදයක් ඇති වීමේ ප‍්‍රස්ථාවයි. අප ඩෙල්ටා සුපර් ප‍්‍රභේදයක අවදානම මුව විට සිටිනවා. අප දැනටමත් මේ දැඩි අවදානම සම්බන්ධයෙන් පර්යේෂණ කළ යුතුව තිබෙනවා.

කොහොම වුණත් අපි විද්‍යාත්මක භාවිතාවෙන් පිටමං වෙලා, මිථ්‍යාවට, ගට් ෆීලින්ග් එකට වැඩ කරන බවක් තමයි ප‍්‍රකට කරමින් ඉන්නේ. ඒ අතර දේශපාලන තීරණවල අඩුපාඩු නිසා සාමූහිකත්වය බරපතළ විදිහට නැති කරගෙන තියනවා. බල්ලාගේ වැඬේ, වසංගතය පාවිච්චි කරගෙන, බුරුවා විසින් කරන, බූරුවාටම දෙන්න හදන තත්ත්වයකුත් තියනවා. සුවසිරිපායෙන් පටන් අරගෙන සෑම පවුලක් දක්වාම විහිදිලා තියන සෞඛ්‍ය ව්‍යුහය, යාන්ත‍්‍රණය අත හැරලා, සෞඛ්‍ය සඳහා යුද හමුදාව හෝ සෞඛ්‍ය හැර වෙනත් ඕනෑම කෙනෙකු මත විශ්වාස තබමින් ඉන්නවාද කියන සැකය සමහර තීරණ මගින් පෙනෙන්නට තියනවා.

කොහොම වුණත් අපි ඉන්නේ බරෑරුම් තැනක. රට තියෙන්නේ අනතුරුදායක තැනක. ඒ නිසා අපි රට කරවන හැමෝගෙන්ම ඉල්ලන්නේ විද්‍යාවට ඉඩ දෙන්න. සාමුහිකත්වය ගොඩ නංවන්න. ඒ ඒ අයගේ වගකීම් ඒ අයට පවරන්න. අනතුරට මුහුණ දීමට විතරක් හරි, එකට එකතුවෙලා වැඩ කරන්න පුළුවං කියන විශ්වාසය, යාන්ත‍්‍රණය රටේ තහවුරු කරන්න යැයි රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසීය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment