දකුණු ආසියාවේ අතීතය අලූතින් කියවන ගිරිබාවේ වීදුරු පබළු

466

ගිරිබාවේ අතීතය අලූතෙන් ලියැවෙමින් ඇත. අනුරාධපුර රාජධානියේ සිට කිලෝමීටර් හතළිහක තරම් ආසන්න දුරකින් පිහිටි ගිරිබාවේ අතීතය අලූතින් ලියැවෙන විට එදා සිංහල දීපය වූ ඉන්දියන් සාගරයේ මුතු ඇටය වන මේ රටේ ඉතිහාසයද අලූතින් ලියැවෙන්නේය. නමුත් ඒ මුතු නිසා නොව වීදුරු පබළු නිසාය. ගිරබාවෙන් හමුවූ වීදුරු පබළු නිෂ්පාදනාගාරයක අතීත නටබුන් නිසාය. එම පෞරාණික නටබුන්වල අතීතය අනුරාධපුර රාජධානියේ ඉසුරුමත් අවධිය දක්වා දිවෙතැයි පුරාවිද්‍යාඥයන් මත පළකරන්නේය. කැලණිය විශ්වවිද්‍යාලයීය උරුම අධ්‍යයන කේන්ද්‍රය ජර්මානු සහ ප‍්‍රංශ පුරාවිද්‍යාඥයන් පිරිසක් සමග පසුගිය කාලය මුළුල්ලේ සිදුකළ වෙහෙසකර පුරාවිද්‍යා අධ්‍යන හා කැණීම්, එම මාගැ`ගි උරුමය දැන් ලෝකය හමුවට ගෙනයමින් ඇත. ඉන් කියැවෙන්නේ දකුණු ආසියාවේ පුරාතනම වීදුරු පබළු නිෂ්පාදනාගාරය සහ වීදුරු කර්මාන්තය පැවති ගිරිබාවේ අසිරිමත් අතීතයය.

වීදුරු ආශ‍්‍රයෙන් පබළු නිෂ්පාදනය කළ ඒ සාරවත් අතීතයට උරුමකම් කියන ප‍්‍රදේශය ඇත්තේ කුරුණැගල ගිරිබාව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පබළුගලය. පබළුගල පබළු නිෂ්පාදනයට ප‍්‍රචලිතව පැවැත ඇතැයි අනුමාන කරන්නේ කුරුණෑගල රාජධානිය ගොඩනැගෙන්නටත් පෙරය. ඒ බව විද්‍යාත්මක තහවුරු කරගැනීමේ ක‍්‍රමවේදයට පැමිණෙන තෙක් මීට කලකට ඉහතදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එම උරුමය සහිත ප‍්‍රදේශය පුරාවිද්‍යා ආරක්ෂිත භූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කළේය. කැලණිය විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යයන කේන්ද්‍රයේ පුරාවිද්‍යාඥ ආචාර්ය මංගල කටුගම්පල ඇතුළු පිරිස ඉකුත් දෙසැම්බරයේ සිට ගවේෂණ කටයුතු ඇරඹුවේ එම ඓතිහාසික භූමියේය.

‘‘පබළුගල කියන ස්ථානය නිරීක්ෂණය කළාම අපි දැක්කා එතන පබළු නිෂ්පාදනය කිරීම සඳහා යොදාගත්ත පෞරාණික උදුන් දෙකක සලකුණු. තවදුරටත් මේ පුරාවිද්‍යා භූමිය පර්යේෂණයකට ලක්කළ යුතුය කියන තීරණය ගත්තෙ එම සාධකත් සමග.’’ ආචාර්ය මංගල කටුගම්පළ මේ ඓතිහාසික සොයාගැනීමට නිමිත්ත වූ හේතුව ගැන එසේ කියන්නේය.

දකුණු ආසියාවේ අතීතය අලූතින් කියවන ගිරිබාවේ වීදුරු පබළු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නම් කර ඇති පබළුගල පුරාවිද්‍යා බිම්කඩට අක්කර තිස්තුනක් අයත්ය. එහි පොළව මතුපිට විසිරී ගිය පුරාණ පබළු එම භූමියෙන් අද ද සොයා ගත හැකිය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් කැලණිය විශ්වවිද්‍යාලයීය උරුම අධ්‍යයන කේන්ද්‍රයත් විදේශීය පුරා විද්වතුන්ගේද සහාය ඇතිව ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එම අතීතය වර්තමාන ලෝකයට අනාවරණය කිරීමට පසුගිය පෙබරවාරි හත්වැනිදා විධිමත් පියවර තැබුවේය. එම පර්යේෂණයේ අරමුණු අතර වූයේ පබළුගල පුරාවිද්‍යා රක්ෂිතය පුරා සැඟව තිබෙන පුරා විද්‍යාත්මක වටිනාකම කුමක්ද. එය කෙතරම් අතීතයකට දිව යන්නේද, වීදුරු නිෂ්පාදනය සඳහා භාවිත කළ උදුන් කුමනාකාර තාක්ෂණයකින් යුතුද. පබළුගල අවට ඇති අනෙකුත් පුරා විද්‍යා ස්ථානත් පබළුගලත් අතර පැවති සම්බන්ධය කුමක්ද යන කරුණු අනාවරණය කරගැනීමය. ඒ වෙනුවෙන් පරීක්ෂණ කණ්ඩායම ආකාර දෙකක් ඔස්සේ ස්වකීය පරීක්ෂණ කටයුතු මෙහෙයවූවේය. තෝරාගත් ස්ථාන කැණීම් කිරීම සහ ගවේෂණය කිරීමේ ක‍්‍රමවේද දෙක ඒ අතර ප‍්‍රධාන විය. එහිදී හෙළි වූ තොරතුරු සහ පොළොවෙන් මතු වූ සාධක විදේශීය පුරා විද්‍යාඳයන් පවා මවිත කිරීමට සමත්විය. ආචාර්ය කටුගම්පළ පවසන්නේ පුරාවිද්‍යා කැණීම්වලදී ලංකාවේ මෙතෙක් භාවිත නොකළ දියුණු තාක්ෂණික ක‍්‍රමවේදයන්ද භාවිත කිරීමට හැකි වීම ඉතා කෙටි කලකින් මෙම මාහැ`ගි අනාවරණය කරගැනීමට හේතුවක් වූ බවය.

‘‘පුරාවිද්‍යා ගවේෂණවලදි අධිතාක්ෂණික ක‍්‍රමවේද භාවිත කිරීමේ හැකියාව ලංකාවේදි අපට නෑ. නමුත් ප‍්‍රංශය සහ ජර්මනිය නියෝජනය කරමින් පැමිණි ආචාර්ය Ariane de Sa*ce, ආචාර්ය Joelle Rollan සහ roman scholz පුරාවිද්‍යාඥයන් නිසා භූ භෞතික ගවේෂණ ක‍්‍රමවේදය මේ සොයා ගැනීම් සඳහා යොදාගැනීමේ හැකියාව ලැබුණා. මෙවැනි පෞරාණික උදුන් පිහිටි භූමියක ලංකාවේ මේ ක‍්‍රමවේදය භාවිත කළ පළමු අවස්ථාව තමයි මේ. එතනදි කරන්නේ පොළව කැණීම් කරන්නෙ නැතිව පොළව මතුපිට ඉඳල යම් සංඥාවන් පොළව අභ්‍යන්තරයට යවා ඒ අභ්‍යන්තරයේ තිබෙන දේ මොනවද කියල බලන එක. අපි භාවිත කළ මේ තාක්ෂණයට මැග්නටෝ මීටර් නැත්නම් පුරා චුම්බක ගවේෂණ ක‍්‍රමවේදය කියලත් හඳුන්වනවා. පොළව අභ්‍යන්තරයේ තිබෙන පිළිස්සුණු දේවල් නිසා යම් චුම්භක ක්‍ෂේත‍්‍රයක් හටගෙන තිබෙනවනම් ඒක සටහන් කරගැනීමේ හැකියාවත් මේ මැෂින් එකට තියෙනවා. පබළුගල පුරාවිද්‍යා රක්ෂිතයේ අත්හැර දැමූ කුඹුරක් සහිත විවෘත භූමියක කළ මේ පරීක්ෂණයෙදි වීදුරු නිෂ්පාදනය සඳහා භාවිත කළ උදුන් හතළිහක් පමණ එම භූමියේ පමණක් තිබෙන බව අප හඳුනාගත්තා.’’

දකුණු ආසියාවේ අතීතය අලූතින් කියවන ගිරිබාවේ වීදුරු පබළු

පුරාවිද්‍යාඥයන් හඳුනාගත් මෙම පෞරාණික උදුන් ප‍්‍රමාණයෙන් විශාල එවා වන අතර එහි විශ්කම්භය මීටර් දෙකත් තුනත් අතර අගයකට අයත්ය. එවැනි විශාල ප‍්‍රමාණයේ උදුන් භාවිත කිරීමත් උදුන් විශාල ප‍්‍රමාණයත් එකම ස්ථානයක තිබීමත් නිසැකවම මෙම ස්ථානයේ මහා පරිමාණයෙන් පබළු නිෂ්පාදනය සිදුකරන්නට ඇතැයි ඔවුන් අනුමාන කළේය. ලෝකයේ ඇති පබළු වර්ග ගණනාවක් අතරින් පුරාවිද්‍යාඥයන්ට පබළුගලින් හමුවන්නේ වීදුරු පබළුය. කානේලීයන්, ඇගේට් වැනි ඛනිජ විලින් නිර්මාණය කරන පබළු වලට වඩා අතීතයේ සිටම වඩා ජනප‍්‍රියව ඇත්තේ මේ වීදුරු පබළුය. අභයගිරිය, ජේතවනාරාමය, තිස්සමහාරාමය, මාන්තායි වැනි ලංකාවේ පෞරාණික ස්ථාන වලින් පබළු හමු වූ විට ඒවා විදේශික රාජ්‍යන්ගෙන් ලැබෙන්නට ඇතැයි යන්න මේ තාක් පුරාවිද්‍යාඥයන්ගේ පවා අනුමානය වූයේය. දැන් එම අනුමානයට වෙනත් කියවීමක් පබළුගලින් හමුවූ පබළු නිෂ්පාදිත උදුන් නිසා ඇතිවෙන බව ආචාර්ය මංගල කටුගම්පල ඇතුළු මේ පරීක්ෂණ කණ්ඩායමේ මතය වී ඇත.

‘‘වීදුරු වලින් කරපු මේ වගේ පබළු හඳුන්වන්නේ හින්දු ෆැසිපික් බීඩිස් කියන නමින්. එවා අතීතයේදී ලෝකය පුරාම සංසරණය වෙලා තියෙනවා. මෙතෙක් මේ පබළු නිර්මාණය කළ මුල් භූමිය විදියට සැලකෙන්නෙ දකුණුදිග ඉන්දියාව. අපිත් කලින් හිතුවේ මේ වීදුරු පබළු අපිට එන්න ඇත්තෙ දකුණු ඉන්දියාවෙන් කියල. හැබැයි දැන් තේරුම් යමින් තිබෙන්නෙ අපේ භූමියෙන් හමුවන මේ පබළු දකුණු දිග ඉන්දියාවෙන් හමුවන පබළු වලට වඩා පරණයි කියල. අපි මේකත් එක්ක අනුමාන කරන්නේ අනුරාධපුර මුල් අවධියේ ඉඳල එහි අගභාගය වන අට නවය සියවස වෙනකන් අපේ පබළු නිෂ්පාදනය සහ සංසරණය තිබුණාය කියල. ඒක අනුමානයක්. හැබැයි ඒක එහෙම තහවුරු වුණොත් දකුණු ආසියාවේ පැරණිතම වීදුරු පබළු නිෂ්පාදනාගාරය වෙන්නෙ මේ පබළුගල.’’

නමුත් පුරාවිද්‍යාඥයන් ලෙස ආචාර්ය කටුගම්පළ ඇතුළු පර්යේෂකයන්ගෙ අරමුණ ලෝකයේ තිබෙන පරණම දේ සොයාගැනීමවත් ලෝකයේ විශාලතම දේ සොයාගැනීමවත් නොවේය. මේ පෞරාණික උරුමය පිටුපස ඇති තාක්ෂණය, ඥානය සහ කලාව කුමනාකාරද යන්න සොයා ගැනීමය. ඒ ඔස්සේ අපේ පුරාතනයන්ගේ හැසිරීම් රටා කෙබඳුද යන්න අනාවරණය කර ගැනීමය.

දකුණු ආසියාවේ අතීතය අලූතින් කියවන ගිරිබාවේ වීදුරු පබළු

‘‘මේ සොයාගැනීමත් එක්ක අනුරාධපුර රාජධානියේ ඉඳල පැවති පුරාණ මාර්ග ගැනත් අලූතෙන් අනුමානයකට එන්න අපට පුළුවන්. අනුරාධපුරේ ඉඳළ පබළුගලට ඇත්තේ කිලෝ මීටර් හතළිහක වගේ දුරක්. මේ හදපු පබළු ඒ කාලේ අනුරාධපුර රාජධානියට සපයන්න ඇති. ඒ කියන්නෙ එදා පැරණි මාර්ග වැටිල තියෙන්න ඇත්තෙත් මේ ප‍්‍රදේශ හරහා. මාන්තොට ප‍්‍රදේශයේ දැන් අපේ කෙරෙමින් තිබෙන පරීක්ෂණයෙත් මේ වගේ වීදුරු පබළු හමුවෙලා තියෙනවා. අනුරාධපුරයට මේ පබළු ගියා කියන්නෙ අනුරාධපුර රාජධානියට සම්බන්ධ ප‍්‍රධාන වරාය වන මාතොට හරහා ලංකාවේ හදපු පබළු විදේශ රාජ්‍යන් වලට යන්න ඇති.’’

පරීක්ෂණ කණ්ඩායමේ අරමුණ මේ රටේ පැවති එකී විරාජමාන යටගියාව වර්තමාන ලෝකය ඉදිරියේ තැබීමය. ඒ වෙනුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විදේශීය විද්වතුන් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය මංගල කටුගම්පොළ, කථිකාචාර්ය හරින්ද්‍ර ලාල් නාමල්ගමුව, රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව හා උරුම කළමනාකරණ අධ්‍යන අංශයේ අංශාධිපති ආචාර්ය නුවන් අබේගුණවර්ධන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා, විශ‍්‍රාමික කැණීම් නිලධාරී එල්. බී. ඇල්ෆ‍්‍රට් ද මෙල් ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් වෙහෙස ගන්නේය.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment