දකුණේ කුඩු ජාවාරමුන් 5 ක් සමග කෝටි 400 ක මත්කුඩු රැගත් ධීවර යාත්‍රාව දෙවුන්දර මුහුදේදී නාවික හමුදා දැලේ

287

රුපියල් කෝටි 400 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් රැගෙන ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 05 දෙනකු නාවික හමුදාව විසින් ඊයේ (22 දා) අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවට දකුණින් දෙවුන්දර ගැඹුරු මුහුදේදී මෙම බහුදින ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගත් අතර එහි තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 200 ක් සොයාගෙන තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පිරිස දකුණු පළාතේ පදිංචිකරුවෝ වෙති. ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතමයන් වන මෙම ජාවාරම්කරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිතය.

මෙම හෙරොයින් තොගය රැගත් බහුදින ධීවර යාත්‍රාව පිළිබඳ නාවික හමුදා වෙරළ ආරක්‍ෂක බළකාය වෙත පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් දැනුම්දී තිබුණේ මීට සති 3 කට පමණ පෙරය.

ඒ අනුව මෙම ධීවර යාත්‍රාව පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිට ඇති නාවුක හමුදා වෙරළ ආරක්‍ෂක බළකාය එම යාත්‍රාව ඊයේ මෙරට මුහුදු සීමාවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති අතර හෙරොයින් තොගය සහ සැකකරුවන් දෙවුන්දර නගරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන්ට භාරදීමට කටයුතු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.


advertistmentadvertistment