දකුණේ කොවිඞ් රෝගීන් ඉහළට… මාගම්පුර

285

දිවයිනේ සෙසු පළාත්වල මෙන්ම දකුණු පළාතේ ද කොවිඞ් ආසාදිත රෝගීන් වාර්තා වීම දිනෙන් දින ඉහළයමින් පවතී. දකුණු පළාතෙන් ඇතැම් දිනවල කොවිඞ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 1000 ඉක්මවා යමින් පවතී. රෝහල් මෙන්ම වෛද්‍ය ප‍්‍රතිකාර මධ්‍යස්ථාන කොරෝනා ආසාදිත රෝගීන්ගෙන් පිරීගොස් තිබේ. දකුණු පළාතේ ජනතාවගේ ප‍්‍රධාන ප‍්‍රතිකාර භූමිය වන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොවිඞ් රෝගීන් සඳහා වෙන්කොට ඇති වාට්ටු කොවිඞ් ආසාදිත රෝගීන්ගෙන් පිරීගොස් ඇත. ඉකුත් 12 වැනි දින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණි රෝගීන් 310 දෙනකු රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් රෝගීන් 75 දෙනකුටම කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හා අක්මීමන මැලිබන් රෝහලේ මේ වන විට කොවිඞ් ආසාදිත රෝගින් 170 දෙනකු ප‍්‍රතිකාර ලබති. මින් රෝගීන් 53 දෙනකු ඔක්සිජන් ආධාරක යටතේ ප‍්‍රතිකාර ලබන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. කොවිඞ් වෛරසය ඉතා ශීඝ‍්‍රයෙන් ව්‍යාපත්වෙමින් පැවතියද ඇතැමුන්ට ඒ පිළිබඳ වගේ වගක් නැත. ඇතැමුන් සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව කටයුතු කරති. මේ වනවිට දකුණු පළාතෙන් කොවිඞ් ආසාදිත රෝගින් 34,175 දෙනකු වාර්තා වී තිබේ. මේ වනවිට දකුණු පළාතේ පුද්ගලයින් 13,59139 දෙනකු වෙත කොවිඞ් එන්නතේ පළමු මාත‍්‍රාව ලබාදී ඇත.

දකුණේ කොවිඞ් රෝගීන් ඉහළට... මාගම්පුර

දෙවැනි මාත‍්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 3,16395 කි. ඒ විතරක් නොව කොවිඞ් රෝගීන්ගේ මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින අතර කරාපිටිය රෝහලින් ද දිනකට කොවිඞ් මරණ තුන හතරක් වාර්තාවේ. කොවිඞ් වෛරසය ආසාදනය වී කොවිඞ් නිව්මෝනියාවෙන් මිය යන අති බහුතරයක් බෝ නොවන රෝගවලට ගොදුරුවූවන්ය. දියවැඩියාව, පිළිකා, අධිරුධිර පීඩනය වැනි නිදන්ගත රෝගවලට ලක්ව සිටි පුද්ගලයින් කොවිඞ් මාරයාට බිලිවෙමින් තිබේ.

කණිෂ්ක ලැනරොල්  කරපු දේ

ගෑස්මිල වැඩිවීම, ගෑස් හා කිරිපිටි වෙළෙඳ පොළ තුළ හිඟවීම යන කාරණා මේ වනවිට රට්ටුන් අතර ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේය. ගෑස් මිලදී ගැනීම සඳහා ඇතැම් වෙළෙඳ සල් අතර දිගු පෝලිම් ද දැකිය හැකිය. මේ අතර සමගි ජනබලවේගයේ තරුණ සංවිධානයේ මධ්‍යම කාරක සභික කණිෂ්ක ලැනරොල් මහතා ගෑස් සිලින්ඩරයක් හිස මත තබාගෙන ඇමැති රමේෂ් පතිරණගේ නිවෙස වෙත ගියේය. ‘ගෑස් ගන්න තැනක් නැහැ. වෙළෙඳපොළේ ගෑස් තිබෙන තැනක් අපිට කියන්නකෝ’ යැයි කණිෂ්ක, ඇමැතිවරයාගේ නිවෙස අසලට ගොස් ඉල්ලීමක් කළේය. එම

අවස්ථාවේ ඇමැතිවරයා නිවෙසේ සිටියේ නැත. බෝපේ පෝද්දල ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ගයාන් චින්තක ලියනගේ ඇමැතිවරයගේ නිවෙස ඉදිරිපිටට වී සිටියේය. ඔහු කණිෂ්ක ඉතා සුහද ලෙස පිළිගත්තේය. ගෑස් තිබෙන වෙළෙඳ සල් කිහිපයක නම සඳහන් කළ ලියනගේ මන්ත‍්‍රිවරයා අන්න ඒ වෙළෙඳ සල්වල ගෑස් තියෙනවා, ගිහින් ගන්න කියා

කිවේය. කණිෂ්ක ලැනරෝල් ඇමැතිවරයාගේ නිවෙස ඉදිරිපිට ටික වේලාවක් රැඳී සිට එම ස්ථානයෙන් පිටව යන්නට සූදානම් වෙද්දී ඉන්න තේ එකක් බීලා යන්න කියා ලියනගේ මන්ත‍්‍රීවරයා කණිෂ්කට කථා කළේය.

වලහන්දුව වතුයායේ ඉඩම් කොල්ලය

වලහන්දුව වතුයාය වූ කලී ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඇති ප‍්‍රධාන වතු යායකි. එකල මෙකී වතු යාය තේ, පොල්, රබර් ඇතුළු භෝගවලින් ඉතා සරුසාරව පැවතුණි. මෙකී වතුයායේ සේවකයින් විශාල පිරිසක් සේවය කළහ. කෙසේ වුවද බලයට පත්වූ විවිධ රජයන් විසින් මෙකී වතුයායේ ඉඩම් තුට්ටුවට දෙකට තම ගජ මිතුරන්ට ලබාදීමට කටයුතු කරනු ලැබීය. පසුගිය රජයේ පාලන කාලයේ දී වලහන්දුව වතුයායේ ඉඩම් කට්ටිකොට පර්චස් 10 බැගින් වැවිලි සංස්ථාවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට බෙදාදීමට කටයුතු කළ බවට වලහන්දුව වතු යාය සුරැුකීමේ සංවිධානය චෝදනා කරති. මෙකී විධායක ශ්‍රේණියේ නිලධාරීන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ පදිංචිකරුවන් නොවන අතර ඔවුහු බදුල්ල, නුවරඑළිය ආදි පිට පළාත්වල පදිංචිකරුවෝ වෙති. මේ වනවිට මෙකී ඉඩම් කැබැලි සඳහා ඔවුන්ට ඔප්පු පවා ලබාදී ඇති අතර ඔවුන් එම ඉඩම් වෙනත් පුද්ගලයින්ට අලෙවි කිරීමේ ජාවාරමක්ද ක‍්‍රියාත්මක කොට තිබේ. ගාල්ල දිස්ත‍්‍රික්කයේ බිම් අඟලක් නැති මිනිසුන් ඕනෑ තරම් සිටිති. ඒ විතරක් නොව වලහන්දුව වතුයායේ සේවකයින්ට හා වතු නිවාසවල පදිංචිකරුවන්ට මේ වනතෙක් ඉඩම් සඳහා ඔප්පු ලබාදී නැත. මේ නිසා මෙකී ඉඩම් නැවත රජයට පවරාගෙන වගා කිරීම සඳහා ලබාදිය යුතු බව වලහන්දුව වත්තේ සේවකයින්ගේ අදහසයි. නිලධාරීන්ට ලබාදී ඇති ඉඩම්වල සැලසුම් ප‍්‍රාදේශීය සභාව මගින් අනුමත නොකරන බව අක්මීමන ප‍්‍රාදේශීය සභාවේ සභාපති සේන කළහේවත්ත මහතා පවසන්නේය. පසුගිය රජය පැවැති කාලයේ වැවිලි සංස්ථාවේ නිලධාරින්ට මෙකී ඉඩම් ලබාදී ඇති බවත් ඉඩම් මගඩියක් වී ඇති බවත් සභාපතිවරයා පවසයි.

පළාත් පාලන කොමසාරිස් භාරගත් අභියෝගය

මේ දිනවල කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ ගොවීන් අතර දැඩි උනන්දුවක් ඇතිවී තිබේ. දකුණු පළාතේ පළාත් පාලන ආයතන 25 ක මේ වනවිට ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. මෙකී ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමේ දී අදාළ පළාත් පාලන ආයතනවලට ගැටලූ රැුසකට මුහුණ දීමට සිදුවිය. එකී මධ්‍යස්ථානවල යටිතල පහසුකම්වල ගැටලූ අදාළ යන්ත‍්‍ර සූත‍්‍ර නොමැතිකම මෙම තත්ත්වයට හේතුවී තිබුණි. මේ අතර පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවත්විණි. දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතාද කසළ කළමනාකරණ පිළිබඳ ගැටලූ ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කළේය. ‘අපිට පොහොර හදන්න තියා කැළිකසළ ටිකවත් කළමනාකරණය කරගන්න විදියක් නැහැ. කසළ කළමනාකරණ මධ්‍යස්ථානවලට නඩු දමලා තියෙනවා. විරෝධතා පවත්වනවා හලා ගන්න මැෂින් නැහැ කියලා. කසළ ප‍්‍රවාහනය කරන්න ට‍්‍රැක්ටර් නැහැ, වැඩ කරන්න මිනිස්සු නැහැ. එකපාරට කියනවා පොහොර හදන්න කියලා. ක‍්‍රීඩාපිටි, සාප්පු සංකීර්ණ ඉදිකරනවා, නිවාස හදනවා. ඒවා වහලා දමලා තියෙනවා. මේ සඳහා මුදල් ලබාදෙන්නේ නැහැ.’ සේනක පල්ලියගුරුගේ එසේ කිවේය. ඔයා කියන කථාව ඇත්ත. හරි ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා මුදල් වෙන්කරලා දෙන්නම් ජනාධිපති ලේකම්වරයා කීවේය. සර් මම ඒ අභියෝගය භාරගන්නවා සේනක පල්ලියගුරුගේ කිවේය. මේ සඳහා රුපියල් මිලියන 100 ක මුදලක් වෙන් කිරීමට කටයුතු කරනු ලැබීය.

එක්ස්ප‍්‍රස් පර්ල්ට කලින් ගිනිගත් නිව් ඩයමන්ඞ් නෞකාවේ වන්දියවත් පූර්ණ කරගෙන නැහැ

ශ‍්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපය තුළදී අනතුරට පත්වූ නිව් ඩයමන්ඞ් නෞකාව මගින් සමුද්‍රිය පරිසරයට වූ හානිය සම්බන්ධයෙන් සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 34 වැනි වගන්තිය යටතේ හානි අය කරගැනීම 2021 වර්ෂයේ අපේ‍්‍රල් මස 30 වැනි දින වනවිටත් සිදුකොට නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. මෙකී පනතේ 34 වැනි වගන්තිය මගින් සජීවි මුහුදු සම්පත් හා වන සතුන් ආරක්ෂණය හා සංරක්ෂණය කිරීම ද ඇතුළත් වන නමුත් මෙකී නෞකාවෙන් සිදුවූ අනතුරට අදාළව උක්ත කරුණට අදාළ වන්දි මුදල් අයකරගෙන නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment