දඩ අඩුවෙන් සටහන් කිරීම: හිටපු මහෙස්ත්‍රාත් අවුරුදු 10 ක් හිරේ

741

ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ සමයේ එම අධිකරණය විසින් සුරාබදු පනත යටතේ ගැනෙන චෝදනාවලට වැරදිකරුවන් කළ පුද්ගලයන් දෙදෙනකුට නියම කළ දඩ මුදල් අඩුකර සටහන් කිරීමෙන් පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩු දෙකක විත්තිකාරිය ලෙස නම් කර තිබූ ගාල්ල හිටපු මහෙස්ත්‍රාත් ඩී. එස්. මෙරෙන්චිආරච්චි මහත්මිය වහාම අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විවෘත වරෙන්තු ඊයේ (02දා) නිකුත් කළේය.

2000, අප්‍රේල් 4 වැනිදා සහ (5 වැනිදා) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩු දෙකක සැකකරුවන්ට නියම කළ රුපියල් 7500 ක දඩය රුපියල් 1500 ලෙස ද රුපියල් 5000 ක දඩය රුපියල් 2500 ලෙස සටහන් කිරීමෙන් පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සිදුකළේ යැයි චෝදනා කරමින් එම විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා හතරක් යටතේ වෙන් වෙන්ව නඩු දෙකක් පවරා තිබිණි. විත්තිකාරිය නොමැතිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වගන්තිය යටතේ එම නඩු දෙක විභාග කළ විනිසුරුවරයා විත්තිකාරියට එම නඩු දෙකට වෙන් වෙන්ව බරපතළ වැඩ සහිත වසර පහ බැගින් වූ සිර දඬුවම් සහ රුපියල් 22500ක දඩ නියමකර තිබිණි. විත්තිකාරිය විදේශගතවී ඇති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇතැයි පැමිණිල්ල මෙහෙය වූ රජයේ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා අධිකරණයට පැවසූ අතර එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා එලෙස විවෘත වරෙන්තු නිකුත් කළේය. මහාධිකරණ භාෂණ පරිවර්තක සුලෙයිමාන් මොහොමඩ් යාසිර් මහතා විවෘත අධිකරණය හමුවේ දී අධිකරණය නියම කළ දඬුවම් කියවා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment