දන්නා පොහොර ගැන නොදන්නා කතාව… වඩා හොඳ කාබනිකද….? රසායනිකද…?

798

මේ දිනවල පොහොර ගැන කථිකාවත දිසා කිහිපයකින් ඇසේ. ඒවා නම් කෘතීම පොහොර තහනම ගැන, කාබනික පොහොර අපේ රටෙහිම සෑදීම ගැන, කාබනික පොහොර පිට රටවලින් ගෙන්වීම ගැන, කාබනික පොහොරවල නරක අමතක කොට ඒවායේ හොඳ පමණක් ගැන කතා කිරීම ගැන, කෘතීම පොහොරවල හොඳ අමතක කොට නරක පමණක් ගැන කතා කිරීම ගැන ආදී කරුණු කථිකාවත්වලට භාජනය කර ඇති අන්දමය. කනගාටුවට කරුණ වන්නේ වැඩි වශයෙන් සම්බන්දිත විෂයන් වල සත්‍ය මූලධර්ම භූමදානය කරමින් එක එක අයගේ හිතළු මතු වීමය. මෙම හිතළු ‘‘ ඕප-දුප” මෙන් දැවි දැවී වේගයෙන් සමාජගත වන බව පෙනෙන්නට ඇත.

උදාහරණයක් ලෙස, හිතළු වල භයානක කම නම්, අප රටට සත්‍යයෙන්ම ‘‘මැද අපරදිග” විය යුත්ත, අප විසින්ම ‘‘මැද පෙරදිග” යැයි කියන්නාක් මෙන්. යථාර්ථය අමතකකොට එක එක අය (එංගලන්ත සුද්දා) කියන පලියට කියන්නට ගිය නිසාය මෙම හිතළුව පැල පදියම් වී ඇත්තේ. බලවතුන්ගේ හිතළු කොතරම් බලවත්ද? හිතළු පැල පදියම් කිරීම සත්‍ය වසන් කිරීමක්ම වේ.

එවන් හිතළු රාශියක් පොහොර සම්බන්ධව හතර අත පාවෙන බව දැන් පැහැදිලිව පෙනේ. එයට ප‍්‍රභලම හේතුව අසන්නා සිද්ධි බද්ධවට (Objective) වඩා පුද්ගල බද්ධව (Subjective) කාරණා තහවුරු කර ගැනීමට උත්සාහ ගැනීමය. සමස්තය දේශපාලනීකරණය වී ඇති සෙයක්ද පෙනේ. මෙලෙස වචන සහ කරුණු සිතා මතා හෝ නැතිනම් උචිත නොවන ලෙස භාවිත කිරීමෙන් වනු ඇත්තේ අනාගත අවභාවිතයකට පදනම දැමීමකි. මෙම තත්ත්වය කනගාටුදායක වෙන්නට පුළුවන් නේද? හිතළු නිතර නිතර මහා පරිමාණයෙන් මැතිරීමෙන් ඒවා සත්‍යය ලෙස රටක සාමාන්‍ය ජනතාව නොදැනුවත්වම

පිලිගැනීමට පෙළඹෙනු ඇත. සෑම රටකම සිදුවන මෙවැනි දේ වලට උදාහරණ නම් අසීමිතය. සිහි කල්පනාවෙන් හිතා බලන්න.

දැන් මේ දක්වා ජනගත වී ඇති පොහොර හිතළු සමූහයක් වෙත අවධානය යොමු කරමු.

පොහොර හිතළු 1: ”සංස්ලේශිත පොහොර” (Synthetic Fertilizer) වලට ‘‘රසායනික පොහොර” (Chemical Fertilizer) යැයි කීම කාබනික වේවා කෘතීම වේවා සියලූ පොහොර වර්ගවල සංයුතිය රසානියකය. එහෙයින්ම ‘‘රසායනික පොහොර” (Chemical Fertilizer) පදය වෙනුවට ‘‘සංස්ලේශිත පොහොර” (Synthetic Fertilizer) යන පදය යෙදීම වඩාත්ම උචිතය. ඉදිරියට මෙය පුහුණු කර ගන්න.

පොහොර හිතළු 2: සංස්ලේශිත පොහොර සහ වෙනත් රසායන නොයොදා කාබනික සත්කාරක පමණක් යෙදීම කාබනික ගොවිතැන බව යැයි සිතීම.

වර්තමානයේදී කාබනික කෘෂිකර්මය යනු ‘‘ජාත්‍යන්තර කාබනික කෘෂිකර්ම සංවිධානවල එකතුව (International Federation of Organic Movements – IFOAM) මගින් නිර්දේශිත ප‍්‍රතිපත්ති මාලාවකට අනුගත වෙමින් කරන්නාවූ වගා ක‍්‍රමයකි. මෙය අප කලකට පෙර කරන්නට යෙදුන ‘‘පාරම්පරික කෘෂිකර්මය” (Traditional Agriculture) නොවේ. කාබනික කෘෂිකර්මයේ ප‍්‍රධානම මූලධර්මය වන්නේ ගොවි කටයුතු සඳහා යොදන යෙදවුම් බාහිරින් තම ගොවිපොළට ගෙන නොඒමය. එසේත් නොමැතිනම් යෙදවුම් පූර්ණව සහ ස්ථානීයව ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමය. නොවැළැක්විය හැකි යම් අවස්ථාවක පමණක් දැඩි අධීක්ෂණයෙන් යුතුව ලැයිස්තුවක් මගින් අවසර දී ඇති දේවල් පමණක් පෙර අවසර ඇතුව අවම ප‍්‍රමාණවලින් ගෙනෙන්නට ඉඩ දී ඇත. තම නිපැයුම් ‘‘කාබනික නිපැයුම්” ලෙස ලේබලය ලබා ගන්නට නම් තම ගොවිපොළ IFOAM අධිකාරියෙන් හෝ අනුබද්ධ ආයතන වලින් සහතික කරවා ගත යුතුය. ‘‘කාබනික කෘෂිකර්මය” නම් පදය IFOAM විසින් අයිති කරගෙන හමාරය.

IFOAM කොන්දේසි මත ගොවි බිමක් පූර්ණ කාබනික තත්ත්වයට පත් කිරීමට වසර ගණනාවක් ගත වේ (වසර තුනක් – හතරක් පමණ). මෙම කාල පරාසය සංක‍්‍රමණික අවධිය ලෙස හඳුන්වනු ලබයි. ඉන් පසුවය කාබනික සහතිකය ලබා දෙන්නේ. අප විසින් එවැන්නක් වගකට වත් ගෙන නැත. සහතිකය නොමැතිව වැඩි මිලට විකිණීම නම් බොරුය. විශේෂයෙන් අපනයනේදී ගොවියාටද වැඩි මිලක් නොලැබෙනු ඇත. වෙනත් රටක් අප නිපැයුම් කාබනික ලෙස ආනයනයද නොකරනු ඇත. එහෙයින්ම අප ප‍්‍රකාශ හිතළු ගොඩට වැටෙනු ඇත. සැමට නිසි ලෙස සවන් දී අපි මේවා නිවැරදි කර ගනිමු.

පොහොර හිතළු 3: ‘‘සංස්ලේශිත පොහොර” වර්ග කාබනික නොවේ යැයි සිතීම.

සංස්ලේශිත පොහොර අතරද කාබනික පොහොර වර්ග බොහෝය. සරලම උදාහරණය නම් යූරියාය. යූරියා කාබනික අනුවකි. ඒ අනුව නම් එය කාබනික නොවේය යන්න කිවෙකුට කියන්නට බැරිය. ඇමෝනීකරණය කළ පීට් වර්ග (Ammonified Peat) තවත් උදාහරණයකි.

පොහොර හිතළු 4: කාබනික සත්කාරක අති පාරිශුද්ද යැයි සිතාගෙන සිටීම

තමන් හරියට ප‍්‍රභවය නොදන්නා ද්‍රව්‍ය යොදා හදන ‘‘කාබනික සත්කාරක” වල පාරිශුද්ධ බව ඇත්තටම ගැටලූ සහගතමය. මේ අනුව වෙළෙඳපොළ කාබනික සත්කාරකවල පාරිශුද්ධ බව පදනම් වන්නේ විශ්වාසය මතමය. තමන්ම තම ගොවිපොලෙහිදීම වට පිටාවෙන් සොයා ගන්නා ශාක කොටස් සහ සත්ව මළ පාදක කොට ගෙන කරන නිපැයුම් නම් අති පාරිශුද්ධත්වයට ආසන්න විය හැකිය. නන්නාදුනන නිපැයුම් කරුවන්ගෙන් වෙළෙ`දපොළට එන කොම්පෝස්ට් වර්ගවල අන්තර්ගතයන් බොහෝ විට ගැටලූසහගත වන්නට පුළුවන. වෙන රට වලින් ආනයනිත ඒවා ගැන කුමන කතාද?

පිට රට වලින් ගෙනෙන කාබනික සත්කාරකවල සංස්ලේශිත පොහොරවලට වඩා විෂකාරක වර්ග බොහෝමය. ඔය කියන කාබනික සත්කාරක තුළ පහත ඇති දේවල් හොඳටම තියෙන්නට පුළුවන්ය. ඒවා නම් අහිතකර, සහ රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන්, අපේ පසට අහිතකර තරගකාරී ක්ෂුද්‍ර ජීවීන්, වල් පැළෑටි ඇට, කෘමි සහ අනෙකුත් ජීවීන්ගේ බිත්තර, ක්ෂුද්‍ර ප්ලාස්ටික් කොටස්, ප‍්‍රතිජීවක වර්ග, හෝමෝන වර්ග, අනෙකුත් නොදන්නා දහස් ගණන් විෂ රසායන, විෂ කාබනික අම්ල, පමණ ඉක්මවා වැලි සහ මැටි වර්ග, අපට හිරිකිත මළ මුත‍්‍රා වර්ග, සියලූ බැර ලෝහ වර්ග සහ තවත් හඳුනාගත නොහැකි විශේෂිත රසායන ආදියයි.

ශ‍්‍රී ලංකාවේද වෙළෙඳාම සඳහා නාගරික කසළ වලින් හදන කොම්පොස්ට් වලද මෙවන් විෂ තිබෙන්නට හැකියාව ඇති නමුත්, බොහෝ දියුණු රටවල හදන ඒවාට වඩා බොහෝ සෙයින් අඩුය, කාර්මීකරණයද, අධී තිව‍්‍ර රසායන සහ බෙහෙත් භාවිතයද ඉතා පහළ මට්ටමක ඇති නිසා. එමෙන්ම අප රටෙහි මිනිස් මළ අප ද්‍රව්‍යද (තටාක වල තැන්පත් කළ) මොන අයුරින් වත් කෘෂිකර්මාන්තයේදී භාවිතයට ගනු නොලැබේ.

අප රට තුළ සහ ගොවිපොලෙහිම හදන විට අප කළ/ කරන යෙදුම් අපි හොඳින් දනිමු. එහෙයින්ම පිට රටකින් ගෙනැවිත් අපගේ පසට එකතු කිරීම සහ ගහන අපරාධයක්මය.

සංස්ලේශිත පොහොරවල විෂ ලෙස සලකන්නට හැකි සංඝටක වර්ග ඉතා අඩුය. පොහොර අතිශයෙන් ගුණාත්මක නම් සංඝටක වර්ගවල අන්තර්ගත ප‍්‍රාමාණද හානි දායක නොවේ. නිර්දේෂිත ආකාරයට දේශගුණ කලාප, පස් වර්ගය, බෝග වර්ග ආදිය සලකා යොදන්නේ නම්ද හානියක් නැත. කාබනික පොහොරවල නම් වස/විෂ ලෙස සලකන්නට හැකි සංඝටක වර්ග ඉතා වැඩිය. බොහෝ හඳුනා නොගත් සංඝටක තිබෙන්නට ද පුළුවන. ඒවායෙහිද (නගර කසල පාදක කරගත් ද්‍රව්‍යවල හැර) විෂ සංඝටක වර්ගවල අන්තර්ගත ප‍්‍රාමාණ හානි දායක නොවේ. නමුත් ඒවා විශාල ප‍්‍රමාණ වලින් පසට දැමීමට සිදුවන හෙයින් වරකට පසකට එකතු වන බැර ලෝහ වැනි විෂ ප‍්‍රමාණ දරන්නට නොහැකි වන්නට හොඳටම ඉඩ කඩ ඇත.

කාබනික සත්කාරකවල හඳුනා නොගත් සහ හඳුනාගැනීමට අපහසු සංඝටක වර්ග සහ ප‍්‍රමාණයන්ද අසීමිත වන්නට පුළුවන, ඒවායේ විවිධ ප‍්‍රභවවල ආනුභාවයෙන්.

පොහොර හිතළු 5: කාබනික සත්කාරකවල ඇති නයිට‍්‍රජන් සහ පොස්පරස් පසට දැමූ සැනින් පැලයකට ලැබේ යැයි සිතීම.

කාබනික සත්කාරකවල නයිට‍්‍රජන් සහ පොස්පරස් ඇත්තේ කාබනික අණුවලට ගොනුවය. එම අණු බොහොමයක් පැලයක මුල් මගින් ලබාගත නොහැකිය. ඒවා මුලින්ම වියෝජන ක්ෂුද්‍ර ජීවීන් මගින් අකාබනික ඇමෝනියම් සහ/හෝ නයිට්ටේ‍්‍රට බවට පරිවර්තනය විය යුතුය. මෙයට යම් කලක් ගතවේ. පරිසර සාධක බෙහෙවින් බලපානු ඇත. පරිවර්ථනය වන්නේද සුළු ප‍්‍රමාණ වලිනි.

කාබනිකව අඩංගුව ඇති පොස්පරස්ද පැලයකට උරා ගත හැකි ෆොස්පේට අයන ලෙස නිදහස් වෙන්නේද එලෙසමය. කෘතීම පොහොරවල මෙම ක‍්‍රියාවලිය ඉතාමත් වේගවත්ය. යහමින් අයන බවට පත් වේ. නැතිනම් ලබා දෙන්නේ අයන වශයෙන්මය. පැලයකට කලට වෙලාවට ලබා ගැනීමට වැඩි අවස්ථාවක් සලසා දෙනු ඇත. අප‍්‍රමාණව කාබනික ද්‍රව්‍ය ඇති පසක දැනටමත් පැලයකට ගත හැකි ඉහත කී නයිට‍්‍රජන් ආකාර දෙක නැවතගත නොහැකි කාබනික අනු වලට හැරවෙන්නටද පුළුවන. මෙයට එකතු කරන කාබනික සත්කාර තුළ ඇති C : N – අනුපාතය බලපෑම් කරනු ඇත. C : N – අනුපාතය 25 පමණට වඩා ඉහළ නම් අයනික නයිට‍්‍රජන් කාබනිකව තිර වෙනු ඇත. පැල වලට නයිට‍්‍රජන් ඌණතාවයක් ඇති වනු ඇත. එම නිසාය වී වපුරන්නට පෙර බෙහෙවින් පිදුරු (C : N අනුපාතය – 80) එකතු කරන්නේ නම්, පැලයේ මුල් අවධියට සුළු ලෙස යූරියා ප‍්‍රමාණයක් එකතු කරන්න කියා කියන්නේ. වෙළෙඳපොල වංචාකාරී වාසියක් ලබා ගැනීමට සමහරු අධි ප‍්‍රමාන වලින් කොහු බත් (C : N අනුපාතය – >150) ලී කුඩු (C : N අනුපාතය – >200) වැනි දේවල් එකතු කරන්නේය. ඉදිරියේදී මේවා වෙන්නට පුළුවන් වැඩය. සිතන දේවල් නොවෙන්නට බොහෝ ඉඩ කඩ ඇත.

පොහොර හිතළු 6: පරිසර, පාංශු සහ බෝග තත්ත්ව නොසලකා කාබනික සත්කාරක ඒකාකාරී ගුණයෙන් යුක්ත යැයි සිතා කටයුතු කිරීම

පස, දේශ ගුණය, බෝග වර්ගය යන දේ ප‍්‍රධාන වශයෙන් සලකා බැලීමෙනි පෝෂක ප‍්‍රමාණ පාදක කොට ගත් සුදුසු පොහොර ප‍්‍රමාණය නිර්දේශය කළ යුත්තේ. අද අප රටෙහි දරන ප‍්‍රයත්නය නම් විවිධ ස්ථානවල, විවිධ අය මගින්, විවිධ අමුද්‍රව්‍ය යොදා ගනිමින්, විවිධ ක‍්‍රමවේද වලින් කාබනික සත්කාරක සාදා ගැනීමය. ඉහතින් සඳහන් කළ කිසිම කාරණාවක් ඒකාකාරී නැත. සංයුතිය විවිධය, අනන්‍යය. නමුත් මේ සියල්ල සමානැයි සිතා, මුළු රටෙහිම පස් වර්ග වලට, දේශගුණික කලාප වලට සහ සියලූ බෝගයන්ට මෙසේ සාදා ගන්නා කාබනික සත්කාරක ගැළපේ යැයි සිතීම කොහෙත්ම නිවැරදි නොවේ.

සම්මානිත මහාචාර්ය
ආනන්ද එන්. ජයකොඩි
විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය (පාංශු විද්‍යා/ පැලැටි පෝෂණය)
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

දන්නා පොහොර ගැන නොදන්නා කතාව... වඩා හොඳ කාබනිකද....? රසායනිකද...?
advertistmentadvertistment