දන්සල් 3000ක් ලියාපදිංචිය ලබාගෙන – සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සඳුන් හේමන්ත

27

ළඟ එන වෙසක් මංගල්‍යය සඳහා දිවයින පුරා පවත්වන දන්සල් තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ලියාපදිංචිය ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ නියෝජිත සඳුන් හේමන්ත රත්නායක මහතා “දිවයින’ට ඊයේ (14 දා) පැවසීය.

එසේම දන්සලක් පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ නම් තමන් පදිංචි වසමේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා හමුවී නිර්දේශය සහිත ලියාපදිංචිය ලබාගැනීම අනිවාර්යය බවත්, එලෙස ලියාපදිංචි කර නොගෙන දන්සල් පවත්වන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඒ මහතා කීය.

මෙවර වෙසක් මංගල්‍යයේදී පවත්වනු ලබන බත්, ෆයිඩ් රයිස්, නූඩ්ල්ස්, පාන්, බීම, කොත්තු ඇතුළු තවත් දන්සල් පරීක්‍ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් 1800 ත් 2400 ත් අතර පිරිසක් සූදානමින් සිටින බවද ඒ මහතා කීය.

දන්සලක් පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ නම් වෙසක් පුන් පෝයට දින 5කට පෙරවත් ලියාපදිංචිය ලබාගෙන තිබිය යුතු බවද ඒ මහතා කියා සිටියේය.

දන්සලක් පැවැත්වීමේදී සෞඛ්‍යාරක්‍ෂිතභාවය, ගුණාත්මකභාවය, ලබාගන්නා අමුද්‍රව්‍ය, ආහාර පිසින උපකරණ, ආහාර පිසින පුද්ගලයන් ගැන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විශේෂයෙන් සොයා බලන බවද ඒ මහතා කීය.

එසේම ආහාර පිළිගන්වන පුද්ගලයන් ගැන විශේෂයෙන් සොයා බලන බවද හෙතෙම කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment