දනෝ කෙළිති සොඳ සතොසේ

130

එක් සමයෙක දඹදිව්හි නරනිඳ සිඳ මුඩ නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි මඤ්ඤංලන්ත දේශයෙහි නන්දසෙන් නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරනාහ. මෙකී නන්දසෙන් රජ්ජුරුවෝ, ‘හරිමි රජ සැපා’යැයි වූ පුරාණ ප‍්‍රශස්ති කාව්‍ය රත්නය ප‍්‍රකාර රජ මැඳුර හැරපියා නොහොත් පිළිකෙව් කොට නුගගොඩු දනව්වෙහි මාරහේන නම් පසල් දනව්වෙහි වූ තුමූ සරල හා අල්පේච්ඡ වූ පුඟුලික නිවස්නයෙහිමැ හිඳ රාජ්‍ය විචාරනාහ. ඉදින් දිනෙක රජ්ජුරුවන් වහන්සේ තුමූ දේවිය විසින් සියතින්මැ පිළියෙල කොට දුන් ධාන්‍යාදියෙන් සැදි පාතරාසය මහත් පිරියෙන් අනුභව කොට සිරිත් ලෙස ස්වේත වර්ණ වූ ලූහු උඩු සැට්ටයෙන් හා කාල වර්ණ වූ කලසම් වස්ත‍්‍රයෙන් සැරසී අංගනයෙහි ගාල් කොට ඇත්තා වූ අස්රියට නැගැ රාජ්‍ය විචාරීම් කටයුතු පිණිසැ නික්ම එන්නාහ. තුමූ මැටි ඇමැටියාදීන් පවා පරිවාර වූ අස් රිය හැට හුටාමාරක් පිරිවරා නිල අස් රියෙන් මහමඟට බට කල්හි මෙඟහි ගමන් ගන්නා වූ පදිකයන් ආදීන් මඟ දෙපස වූ පරිඛාවන් තුළට බස්වා මහ හඬින් නලා ආදිය හඬවමින්ද හස්ත සංඥාද නේක වර්ණ ආලෝකයෙන් සැදි රිටි ආදිය වනමින්ද සෙසු මහජන අස් රිය හෝරා ගණන් කල් මහමඟ ගාල් කොට තබා තුමුනට මඟ සාදා දෙන ලෙස අණවමින්ද බනවමින්ද මඟ අණ පනත් සුණු විසුණු කොට ඉගිල යන සේ නොව පෙරමුණෙන් හා පසුපසින් එක් අස් රිය බැගින් වූ ලෙස නික්ම ගමනෙහි යෙදෙනා කල්හි රජ්ජුරුවන් වහන්සේට මනා වූ හා අපූරු වූ කල්පනාවෙක් පහළවැ, එකී කල්පනාය කවුරුන් සමග කතිකා කොට උවදෙස් ගනිම්දැයි සිතනුයේ නිල රියෙහි වූ රියපළුවා පමණෙක්මැ වේදැයි දැකැ,‘මුහු වනාහී මා රජසුනට පත් වූ තැන් පටන් මා රාජ්‍ය විචාරීම පිණිසැ යන්නා වූ සෑම තැන්හිමැ මා සමග වූ විස්වස්වන්තයා වුවද මෙවන් වූ යමෙක් කතිකා කෙරුම් පිණිසැ මුහු නැණ තරම් නොවේයැ’යි විචිකිච්ඡා කොට රිය කවුළුවෙන් මහමඟ දෙස බලනුයේ රිය ඇඹලදෙනි සන්ධියට සම්ප‍්‍රාප්ත වූ බැව් දැකැ හුදී දනන් සතුටින් දිවි ගෙවත්දැයි පිරික්සනු යෙහෙකැයි සිතා අවට බලනුයේ මහමඟ පසෙකින් පරලොම ගණනෙක් දික්වූ මහළු, යවන, පුඟු, ඉතිරි ඈ නේක ජනයින්ගෙන් සැදුනු මිනිස් පෙළක් දකිනුයේ අභිවාතක වසංගතයට පිළියම් පිණිස තුමූ විසින් විදෙසයන්ගෙන් ආනයන කොට හුදී ජනයිනට නොමිලේම දෙන්නා වූ ඔසු එන්නත ලබාගනු වස් වූ පෝලිමක් නොවේදැයි සතුටුවැ රියපළුවා අමතා,”එම්බල හුදී දනන් මහත් වූ උනන්දුයෙන් එන්නත් ඔසු ලබා ගන්නේ නොවේදැ’යි ඇසූ කල්හි රියපළුවා මඳක් පැකිලෙමින් හිඳ හිස පසුපසට හරවා, ‘‘බයබෝයි ස්වාමීනී, තෙල පෙනෙනා පෝලිම් වනාහී එන්නත් ඔසු පිණිසැ නොවේයැ‘යි ගොතලමින් කියන්නේයැ. එබස් අසා වික්ෂිප්ත වන්නා වූ රජ්ජුරුවෝ,”එසේ නම් කවර පෝලිමෙක්දැ?’යි වහා ඇසූ කල්හි රියපළුවා,”ස්වාමීනී, ඒ වනාහී ඉවුම් පිහුම් පිණිස වූ ජීව වායු බහලූම් ලබාගනු වස් එකී බහලූම් අංගනයන් වෙත ඇදෙනා වූ ජනයායැ. අනෙක් ජන රාශිය වනාහී තුමූ ළදරුවන්දාදීන්ට පානය පිණිසැ වූ ක්ෂීරපිෂ්ඨ බහලූම් පිණිසැ වූ පෝලිම්යැ. ශෝකයට කරුණ නම් මෙකී ජනයාගෙන් අඩකටවත් එකී ජීව වායු, ක්ෂීර පිෂ්ඨාදී බහලූම් නොලැබුමයැ.’යි පෙරමඟ බලමින්ම පවසනායැ. ‘එකල්හි ජනයෝ ගොනාවඞ්ඩනයාගේ මෑණියන්ට පිංපෙත් පමුණුවමින් සිස් අතින්මැ පෙරළා නිවෙස් කරා යන්නාහ’යි තුමූ මුඛගට ආ වදන පිට නොකොට මුණිවත රකිමින්මැ රිය පදවනායැ.

එබස් ඇසූ රජ්ජුරුවෝ ”සොඳ ලෙසමැ කරනුයේ අපයැ’යි තුමූ විසින් නිබඳ තෙපලනා වූ පාඨය සිහිවැ මඳක් විළියෙන්, කාල වර්ණ වූ කදාමය රිය කවුළුවෙන් පිටත බලනුයේ රියැතුලත නොපෙනෙනා නියායෙන් සැනසුම්වැ යළි කල්පනායට වැටෙනායැ. මෙසේ වූ කල්පනායෙන්මැ දියවනා හොය මතින් වූ මෙඟහි පැමිණ රාජ සභා මණ්ඩප ද්වාරය අභිමුවෙහි රියෙන් බස්නා වූ රජ්ජුරුවෝ දෙපස බලනුයේ කෙහෙවට්ටයකු දැකැ, ”එම්බල, මෙහි එව. තෙල ගොනාවඞ්ඩනයා පැමිණ සිටිත් නම් වහා කැඳවව’යි පවසමින්මැ රජසබයෙහි පියගැටපෙළ තරණ කරනාහ. කෙහෙවට්ට තෙමේද එතුමන් පසුමගමැ වැටෙනුයේ,”ස්වාමීනී, ගොනාවඞ්ඩනයා මතු නොව උහු ගෝල වූ අලගිල්ලවන්නා ඇතුළු දෙබානම සුදුසු වනුයේ වාණිජ කටයුතු පිණිසැ නොව රජවාසල කවටයනටයැ. අසවල් දෑ හි මිල කෙසේවත් ඉහළ දැමුමට ඉඩ නොදෙමැයි මුන් පැවැසූ කල්හි එකී දෑ හි මිල නොබෝ දිනකින්මැ ඉහළ යන බැව් හුදී ජනයා සක්සුදක් සේ පසක් කොට ගන්නාහ. ඉදින් මුන් කියනා දෑ අසමින් දනන් ආකෝශ පරිභව හාස්‍යයෙන් දවසරිනාහ. එමතුද නොව මුන් දනන් හට මහත් සතොසින් ස්වේත ලූහුණු පොඩි කෙරුමට ගොස් සත්පොලෙහි තවරා ගෙනැයි කියනුයේ අප නොව සංතෝසාධිපතියාමයැයි දනෝ පවසනාහ’යි කියනාහ. ”ඉදින් තෙල පොට්ටු ලේකමා මෙකී කාරණාව අරභයා කිසිත් කියා නොමැත්තේදැ? අනෙකුන්ට අධෝවාතයක් පිට වුන කල්හි උහු පුක්ඛයේ සරනා ඉත්තෑවා නිදිවැද ගොස්දැ’යි අසමින්මැ ගොස් රජ්ජුරුවෝ සිංහාසනාරූඪ වනුයේ කෙහෙවට්ටයාද ඊට මුවින් නොබැන ගොස් තුමූ පුරෝහිත අසුනෙහි තැන්පත් වන්නායැ.

එසේ රාජාසනාරූඪව තුමූ හත්සන පිණිස වූ ලේඛන පිරික්සන රජ්ජුරුවෝ, සුළු දිනකට පෙර මඤ්ඤං ජනයාගේ මූලික අහර වූ බත පිණිස වූ සාල් මිල අණ කරනා ලද රාජාඥාව යළි හත්සන් පිණිසැ තිබෙනා බැව් දැකැ, දෙපා ද අසුන මතට ගෙනැ උක්කුටිකයෙන් බඳුව හිඳගෙන සිටිනා කෙහෙවට්ටයා අමතා,”එම්බල, සාල් මිල අණපත‍්‍රය හත්සන් පිණිසැ යළි ඇත්තේ කුමක් නිසාදැ?’යි විමසූ කල්හි උහු,”ස්වාමීනී, විමසුම්වැ බලනු මැනව. එකී අණපත අනුමත පිණිසැ නොව අවලංගු පිණිසයැ.’යි පිළිවදන් දුන් විට සොල්මන් ස්වභාවයට පත් එතුමන් පන්හිඳ පසෙක ලා කෙහෙවට්ටයා පවසනා කරුණ වටහාගත නොහී උහු මුහුණමැ බලා හිඳින්නේයැ. කෙහෙවට්ටයාද සන්සුන්වැ රැල් බුරුල් කෙරෙමින්,”ස්වාමීනී, මෙකල්හි සාල් මිල අණ කරනුයේ අප නොව තෙල පුලතිසිපුර මහමෝලා ප‍්‍රමුඛ මෝලූන් සුඟක් විසින් බැව් නුඹ වහන්සේට දැන්වුම් පිණිසැ අවසරයැ’යි පවසමින් වළලූ කර පාමුලට බට හැඳි වත යළි හැඳගැනුම් පිණිසැ වලිකන නවගමයා දෙස බලනායැ. රජ්ජුරුවෝද නස්පුක්වැ ගොස්,”ඉදින් අප කුමක් කළයුතුදැ?’යි ඇසූ කල්හි කෙහෙවට්ටයා මුවින් නොබැන සිටිනුයේ ඒ අසලින් ගමන් ගත්තා වූ රාජකීය ගිනිහල්ගෙයි සුළු දැස්සියක රජ්ජුරුවන්ගේ එකී පැනය අසා,‘උන් ඇතුළු මැටි ඇමැටියාදීන්ට තව තවත් යහමින් රජබොජුන්, යානවාහන, තෑගි බෝගාදිය සපයා දී හුදීජන අපට පුනකු මිල අඩු කොට දියහැක්කේ නම් යෙහෙකැ’යි තුමුනටමැ මුමුණා ගනිමින් ගිය බැව් දතයුත්තේයැ.

නිමල් ෆ‍්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment