දඹුල්ලට ඊයේ එළවළු කිලෝ ලක්ෂ 10 ක් එයි: සැපයුම සියයට 40 කින් වැඩිවෙලා

151

මාළු මිරිස් තොග මිල 550, අමුමිරිස් 450, කැරට් 360,
කරවිල 300, බෝංචි 320, ලීක්ස් 240, ගෝවා 220

දඹුල්ල තොග වෙළෙඳපළට ඊයේ (21 දා) එළවළු සැපයුම සියයට 40 කින් ඉහළ ගිය බවත්, එළවළු කිලෝ ලක්ෂ දහයක් පමණ ලැබුණ බවත් දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යූ. බී. ඒකනායක මහතා පැවැසීය.

වැටකොළු, කරවිල තොග පමණක් ඉතාම අඩුවෙන් ලැබුණ බවද ඔහු පැවැසීය.

මාළු මිරිස්, අමු මිරිස්, බෝංචි සහ කැරට් තොග මිල ඉහළ මට්ටමක තිබූ බවත්, උඩරට, පහතරට, යාපනය සහ වයඹ කලාපයේ එළවළු තොග සැපයුම තවමත් සාමාන්‍ය තත්ත්වයට පත්ව නොමැති බවද හෙතෙම පැවැසීය. සිල්ලර වෙළෙඳපල ඉල්ලූමට අවශ්‍ය එළවළු තොග තවමත් නොලැබෙන බවත්, ගෙවුණු සති අන්තයේ නිවාඩු දිනවල තොග වෙළෙඳපළ වසා තිබූ බැවින් එළවළු තොග සැපයුම ඊයේ ඉහළ ගිය බව ඔහු පැවැසීය.

මාළු මිරිස් කිලෝවක් රුපියල් 500 ත් 550 ත්, ලීක්ස් 240, කැරට් 360, බෝංචි 300 ත් 320 ත්, අමු මිරිස් 400 ත් 450 ත්, වම්බටු 180 ක් වැනි තොග මිලකට අලෙවි වූ බව සභාපතිවරයා පැවැසීය.

ගෝවා කිලෝවක් රුපියල් 220 ක්, කරවිල 300 ත් 320 ත්, පතෝල 200 ත් 220 ත්, වට්ටක්කා (වර්ග අනුව) 110 ත් 120 ත්, මයියොක්කා 25 ත් 30 ත් අතර තොග මිලකට අලෙවි වූ බවද පැවැසීය.

පෙබරවාරි මාසයේ මුල් සතියේදී පමණ රසායනික පොහොර දිලීර නාශක සහ කෘමිනාශක එළවළු වගාවට සැපයීමට රජය මැදිහත් විය යුතු බවත්, ඉදිරි අවුරුදු උත්සවයට වෙළෙඳපළ, එළවළු ඉල්ලූම ඉහළ යන බැවින්, ඊට සාපේක්ෂව එළවළු නිෂ්පාදනය ඉහළ නැංවීමට ගොවියා දිරි ගැන්වීමට පියවර ගැනීම කෘෂි බලධාරීන්ගේ වගකීමක් බවද වෙළෙඳ සංගමයේ සභාපතිවරයා අවධාරණය කළහ.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment