දරුණු පරාජය හමුවේ දකුණු අප්‍රිකාවෙන් එන්නට වේ

401

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරියට යෑම සඳහා තීරණාත්මක තරගය බවට පත්වුණ නවසීලන්තයට එරෙහිව පෙරේදා (19 වැනිදා) රාත්‍රියේ පැවැති තරගයෙන් ලකුණු 102ක දරුණු පරාජයක් අත් විඳීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදු විය.

මේ නිසාම තරගාවලියේ දෙවැනි තරග වටයට හෙවත් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට යෑමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තිබූ අවස්ථාවද මග හැරී ගියේය.

මූලික තරග වටය යටතේ දකුණු අප්‍රිකාවට සහ බංග්ලාදේශයට එරෙහිව පිට පිට ජයග්‍රහණ වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට දෙවැනි තරග වටයට යෑම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය කෙසේ වෙතත් ශුද්ධ දළ ලකුණු වේගය ඉතා වැදගත් වූ නමුත්, වගකීම් විරහිත පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාවට තිබූ සියලුම අවස්ථාවන් මෙම පරාජයත් සමඟ අහිමිව ගියේය. මෙම තත්ත්වය මත ඉතිහාසයේ කිසි දිනෙක විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක දෙවැනි තරග වටයට යෑමට අපොහොසත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වතාවට එවැනි අවස්ථාවකට සුදුසුකම් ලබා ගැනීමට තිබූ පහසුම අවස්ථාවද ගිලිහී ගියේය.

දරුණු පරාජය හමුවේ දකුණු අප්‍රිකාවෙන් එන්නට වේ

නවසීලන්තය මෙම තරගය ජය ගැනීමත් සමඟ නවසීලන්තය සහ ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව හතර බැගින් සමාන තත්ත්වයට පත්ව ඇතත්, ශ්‍රී ලංකාවට (-1.46) වඩා දළ ලකුණු ලබා ගැනීමේ වේගය (0.138) වැඩි අගයක් රඳවා ගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකියාව ලැබීම නිසා ඔවුන් අවසන් පූර්ව තරග වටය සඳහා ඉතා ආසන්න සුදුසුකමක් ලබා ගත්තේය.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව තමන්ට ඉතිරිව ඇති අනෙක් තරගය ජයග්‍රහණය කළහොත් නවසීලන්තයට අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට එය බාධාවක් වනු ඇත. මන්ද මේ වන තරග තුනකට සහභාගි වී එක් ජයග්‍රහණයක් හිමි කරගෙන සිටින දකුණු අප්‍රිකාවේ ශුද්ධ ලකුණු ලබා ලබාගැනීමේ වේගය නවසීලන්තයට වඩා ඉදිරියෙන් පවතින බැවිනි.

පෙරේදා තරගයේ දී පන්දු 48 කදී ලකුණු 66 ක් ලබා ගත් අමෙලියා කෙර් සහ පන්දු 49 කදී ලකුණු 56 ක් ලබා ගත් සුසි බෙට්ස් ශ්‍රී ලංකාවට ලකුණු 102 ක දැවැන්ත තරග ජයක් ලබා ගැනීම වෙනුවෙන් වැඩිම දායකත්වයක් දක්වන ලද ක්‍රීඩිකාවන බවට පත්වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීමේ සහායද ඇතිව පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 162 ක් ලබා ගැනීමට සමත්වූවේය. මෙම ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම අතින් උඩ පන්දු 2 ක් ගිලිහී යෑමට අමතරව දුවද්දී දැවී යෑම් අවස්ථා කීපයක්ම මඟ හැරිණ.

ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 22 ක් එක් කිරීමට චමරි සහ හර්ෂිතා සමත් වුවත්, මුළු ලකුණු සංඛ්‍යාව 22 ක්ව තිබියදී හර්ෂිතා දැවී ගියාය. එතැන් පටන් හිස එසවීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් නවසීලන්ත පන්දු යවන්නියෝ ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 13 ක් එකතු වන අතර වාරයේ ඉදිරි පෙළ පිතිකාරිණියන් 5 දෙනාම දවා ගැනීමට සමත්වූහ. ඒ අතර නායිකා චමරි අතපත්තු (19) ද පසුවූවාය. චමරි හැරුණු විට ශ්‍රී ලංකා පිලේ ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට සමත් වූ එකම පිතිකාරිණිය වූයේ මල්ෂා ෂෙහානි (10) පමණි.

තෙවැනි පන්දුවාරය යවන අතරතුරදී වේග පන්දු යවන අචිනි කුලසූරිය උරහිසේ ආබාධයකට ගොදුරුවීම නිසා පන්දුවට පහර දීමට පැමිණීමෙන් වැළකී සිටියාය. මේ නිසා ශ්‍රී ලංකා ඉනිම කඩුලු 9 කින් සමන්විත විය. වගකීම් විරහිත අතිශය දුර්වල පිතිහරඹය නිසා ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 15.5 කදී ලකුණු 60 කට සීමා විය.

නවසීලන්තය පන්දුවාර 20 කදී කඩුලු 3 ට ලකුණු 162 යි – (අමේලියා කෙර් 66, සුසී බේට්ස් 56, බ්‍රෙමඩයින් බිසුඩිහයට් 32)

ශ්‍රී ලංකාව පන්දුවාර 15.5 කදී සියලු දෙනා දැවී ලකුණු 60 යි – (චමරි අතපත්තු 19, මල්ෂා ෂෙහානි 10, අමේලියා කෙර් 07/2, ලී ටහුහු 12/2)

advertistmentadvertistment
advertistmentadvertistment