දරුණු වන කොවිඞ් වසංගතය; පාලනය කළ හැක්කේ කෙසේද..?

305

කොවිඞ් වසංගතයේ ආරම්භයේ තිබූ වූහාන් කොරෝනා ප‍්‍රභේදයට වඩා වරින්වර ඉස්මතු වූ ඇල්ෆා ප‍්‍රභේදය සහ ඩෙල්ටා ප‍්‍රභේදය ආරම්භක ප‍්‍රභේදයට වඩා දරුණු විය. ඒ අනුව අපට අනුමාන කළ හැක්කේ අනාගතයේදී මීට වඩා දරුණු ප‍්‍රභේද ඇතිවිය හැකි බවය. වූහාන් ආරම්භක COVID ප‍්‍රභේදයේ R0 අගය 2.3 – 2.7 අතර විය. ඇල්ෆා ප‍්‍රභේදයේ R0 අගය 4 – 5ත් වූ අතර, වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ පැතිරෙන ඩෙල්ටා ප‍්‍රභේදයේ ඍ0 අගය 5 – 8ත් අතර වේ. (R0 අගය යනු රෝගය වැළඳුණු එක් පුද්ගලයකුගෙන් දළ වශයෙන් තවත් නිරෝගී පුද්ගලයන් කීදෙනෙකුට වෛරසය පැතිරී රෝගය වැලඳේද යන්න පිළිබඳ විද්‍යාත්මකව නිර්ණය කරන අගයකි.)

වූහාන් ප‍්‍රභේදයට වඩා ඇල්ෆා ප‍්‍රභේදය ද, ඉන්පසු ඩෙල්ටා ප‍්‍රභේදය ඇතිවීමත් සමග සිදුවන මරණ අනුපාතික ඉහළ යෑමක් දැකගැනීමට හැකි විය. එමෙන්ම එන්නත් සඳහා දක්වන ප‍්‍රතිරෝධය වෛරස් ප‍්‍රභේදයේ වෙනස් වීමත් සමඟ ඉහළ යනු දැකගැනීමට හැකි වේ. එබැවින් අද වන විට අප එන්නත් මාත‍්‍රා දෙකම ලබාගෙන රෝගී වූ සහ මරණයට පත් වූවන් ගැන කතා කරන යුගයක් එළඹ ඇත.

මෙම වෛරස් ප‍්‍රභේදවල දරුණු වීමත් සමඟ පළමු රැුල්ලට වඩා දරුණු, දෙවන රැල්ලක්ද, දෙවන රැල්ලට වඩා පාලනයට අපහසු වූ තුන්වන රැල්ලකටද, ඊටත් වඩා දරුණු වූ හතරවන රැුල්ලකටත් අද වන විට අප මුහුණ දීමට සිදුවී ඇත.

මේවන විට ශ‍්‍රී ලංකාවේ COVID ව්‍යාප්තිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීම් වලට අනුව හතරවන අවදානම් මට්ටමේ පවතී. සමාජ ව්‍යාප්තියක් සහිතව රෝගීන් වාර්තා වන මොහොතක COVID රෝගීන් හඳුනා ගැනීම සඳහා දැනට පවතින COVID පරීක්ෂණ ධාරිතාව කිසිසේත් ප‍්‍රමාණවත් නොවේ. COVID වසංගතය සාර්ථකව පාලනය කළ රටවල රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ කිසිසේත් සීමාසහිත සාධකයක් වී නොමැත.

දරුණු වන කොවිඞ් වසංගතය; පාලනය කළ හැක්කේ කෙසේද..?


ශ‍්‍රී ලංකාවේ දැනට COVID රෝගීන් හඳුනා ගැනීම සඳහා භාවිතා කරනුයේ RT-PCR පරීක්ෂණය සහ ක්ෂණික ප‍්‍රතිදේහජනක (Rapid Antigen) පරීක්ෂාව ((RAT) පමණි. එම RT-PCR පරීක්ෂණයක් සඳහා රුපියල් 6000 ක් වැනි අධික මුදලක්ද, RAT පරීක්ෂණය සඳහා රුපියල් 2500 වැනි අධික මුදලක් ද වැය වේ. මෙහිදී ඇතැම් ඖෂධ සමාගම් අසීමිත ලෙස ලාභ ලබයි.

මේ වන විට ලෝකයේ COVID රෝගීන් හඳුනාගැනීම සඳහා තාක්ෂණිකව දියුණු සහ අඩු පිරිවැයකින් යුත්, ඉතා කෙටි කාලයකින් වාර්තාවන් ලැබෙන ක‍්‍රමවේද විශාල ප‍්‍රමාණයක් භාවිතා කරයි.

තවද, ඇතැම් රටවල COVID රෝගීන් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වෙළෙඳ පොළේ සුලබව, ඉතා අඩු පිරිවැයකට ඇති අතර එම පරීක්ෂණය තමන්ටම සිදු කර ගත හැකි ලෙස ඉතා සරල පරීක්ෂණ ක‍්‍රමවේදද හඳුන්වා දී ඇත.

වර්තමානයේ COVID රෝග ව්‍යාප්තිය සමග ශ‍්‍රී ලංකාවේ රෝගීන් හඳුනාගැනීමේ ක‍්‍රියාවලිය සාර්ථක කර ගැනීම සහ අහඹු නියැදි පරීක්ෂණය සාර්ථකව කරගැනීම සඳහා මෙම නව ක‍්‍රමවේද හඳුන්වාදීම වැදගත් බව පෙනී යයි.

දරුණු වන කොවිඞ් වසංගතය; පාලනය කළ හැක්කේ කෙසේද..?

COVID වෛරසයේ විවිධ ප‍්‍රභේද වෙත විශේෂ අවධානයක් යොමු වී ඇති මේ මොහොතේ, සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව එම ප‍්‍රභේද හඳුනාගැනීම සඳහා ක‍්‍රමවේදයක් නොතිබීම අවාසනාවන්ත කාරණයකි. එමෙන්ම අලූතින් ඇතිවිය හැකි ප‍්‍රභේද හඳුනා ගැනීම සඳහා ප‍්‍රමාණවත් සාම්පල පරීක්ෂා කිරීමද වැදගත් වේ.

රට තුළ මේ මොහොතේ සිදුවන කොවිඞ් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට නම් පරීක්ෂණ සිදුකිරීම, රෝගීන් හඳුනාගැනීම, ස්පර්ශකයන් හඳුනාගැනීම සහ හඳුනාගත් රෝගීන් නිසිලෙස ප‍්‍රතිකාර සඳහා යොමුකිරීම කාර්යක්ෂමව සිදු විය යුතුය.

(TEST, TRACE, TREAT)  COVID රෝග ව්‍යාප්තිය දීර්ඝකාලීනව පාලනය කිරීම සඳහා අවශ්‍ය ක‍්‍රමෝපාය පිළිබඳ සංෂිප්ත වාර්තාවක් මේවන විට ජනාධිපතිතුමන්ට සහ නව සෞඛ්‍ය අමාත්‍යාතුමන්ට අප සංගමය මගින් භාරදී ඇත.

කොරෝනා වසංගතය පාලනයේදී වසංගත රෝග විද්‍යා ඒකකයේ කාර්යභාරය අතිශයින්ම වැදගත්ය. එහෙත් එම ඒකකයේ දත්ත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දැඩි චෝදනා පවතී. මෙවන් වසංගත රෝග නිවාරණ කටයුත්තකදී තීරණ සියල්ල පදනම් වන්නේ නිවැරදි සහ යාවත්කාලීන දත්ත මතය. එබැවින් කොරෝනා පාලනයේ දත්ත නිවැරදි නොවන විට ගනු ලබන තීන්දු තීරණ වරදින බැවින් එය ව්‍යසනයක් බවට පත්වෙන බව අප මීට පෙර කියා සිටි විට එය වසංගත රෝග විද්‍යා ඒකකය සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගැටුමක් ලෙස හුවා දැක්වූ පිරිස් අද එම දත්ත නැතිවීමේ අවදානම ගැන ඉහළින් කතා කරනු පෙනේ.

 තවද වසංගත රෝග ඒකකයට පැවරෙන ප‍්‍රධාන වගකීම් 6 ක් අපි පහත සඳහන් කරමු.

 1. රෝග අවේෂණය

 2. වසංගත පාලනය

 3. එන්නත්කරණ ක‍්‍රියාවලිය පාලනය

 4. සායනික ප‍්‍රතිකාර කළමනාකරණය

 5. රෝග පාලන පර්යේෂණ

 6. අධීක්ෂණය සහ ඇගයීම

ඉහත වගකීම් ප‍්‍රශස්ත ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය මගින් කළමනාකරණය කිරීමට අසමත් වී ඇති අතර, අවසන් වගකීම් දෙක කෙරෙහි මෙතෙක් කිසිදු අවධානයක් යොමුකරවත් නැත. එබැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ශ මහතා වෙත

ලිඛිතව දැනුවත් කරමින් ඉල්ලා සිටියේ ඉහත කාරණා 6 ඉටුකිරීම සඳහා දැනට වසංගත රෝග විද්‍යා ඒකකයට අනියුක්ත විශේෂඥ වෛද්‍යවරුන් සියලූ දෙනා ඇතුළත්ව ඉහත වගකීම් 6 සපුරාලන ලෙස කමිටු 6 ක් පත්කරන ලෙසටය. ඒ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය* යටතේය. එම කමිටු 6 බිහිවීම තුළින් පවතින ව්‍යාකූල තත්ත්වය සමනය කර වසංගතය පාලනය සඳහා සුදුසු තාක්ෂණික වටපිටාවක් බිහිවනු ඇතැයි අප සංගමය අපේක්ෂා කරන්නෙමු.

කොවිඞ් වසංගතය ආරම්භයේ සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ශ‍්‍රී ලංකාව තුළ කොවිඞ් රෝග ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා අවශ්‍ය උපායමාර්ගික වාර්තා 6ක් මේ වන විට එළිදක්වා ඇත. සාර්ථකව කොවිඞ් රෝගය පාලනය කරන රටවල් අපගේ වාර්තාවන් වල සඳහන් ක‍්‍රමවේදවලට සමාන උපක‍්‍රම භාවිතා කරමින් මෙම වසංගතයට සාර්ථකව මුහුණ දෙන අයුරු අද වනවිට දැක ගැනීමට හැක.

එමඟින් කොවිඞ් රෝග ව්‍යාප්තිය වැළැක්වීම මෙන්ම සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගනිමින් ආර්ථිකය කළමනාකරණය කරගැනීම සඳහා අවශ්‍ය ක‍්‍රමවේද සෞඛ්‍ය අමාත්‍යාංශයටත්, ජනාධිපතිතුමාටත් පෙන්වා දෙන ලදී.

සෞඛ්‍යය ධාරිතාව ඉක්මවා යන තරමට කොවිඞ් වසංගතය ව්‍යාප්ත වී ඇති නිසා මේ අවස්ථාවේදී රට වසා දැමීමට සිදුව ඇති අතර, මෙලෙස නැවත නැවතත් රට වසා දැමීමට සිදුවුවහොත් එයින් සිදුවන ආර්ථික බලපෑම සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී කටයුතු කළ යුතුය.

එමෙන්ම මෙම කොවිඞ් වසංගතයේ වඩාත්ම සංවේදී කාරණය වන මරණ අඩු කර ගැනීම සඳහා එන්නත්කරණ ක‍්‍රමෝපාය සකසා ගත යුතු ආකාරයද අප පෙන්වා දුනි.

කොවිඞ් එන්නත්කරණය ශ‍්‍රී ලංකාවේ අවිධිමත්ව සිදුවන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ න්‍යායන් සහ ශ‍්‍රී ලංකාවේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ දායකත්වයද ඇතුළත්ව වඩා

ප‍්‍රායෝගික සහ රටට ගැළපෙන ක‍්‍රමවේදයක් අප විසින් සකසා දෙන ලදී. එහිදී වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් එන්නත්කරණය කිරීම තුළින් සිදුවන මරණවලින් 90% වළක්වා ගන්නා ආකාරයද එහිදී අප අවධාරණය කරන ලදී.

නමුත් වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥයන් දෙදෙනෙක්, මෙම ක‍්‍රමවේදය වෙනස් කරමින් වයස අවුරුදු 30ත් 60ත් අතර ජනතාවට එන්නත්කරණය ආරම්භ කරන ලදී. එහිදී එම ක‍්‍රමවේදය නිවැරදි නොවන බව ජනාධිපතිතුමන්ට ද අප පෙන්වා දෙන ලදී.

නමුත්, වයස අවුරුදු 60ට වැඩි කණ්ඩායට එන්නත්කරණය අතරතුර ඊට සමගාමීව වයස අවුරුදු 30-60 අතර කණ්ඩායමටද නැවතත් එන්නත්කරණය කිරීමට කටයුතු කළ නිසා, ප‍්‍රමුඛත්වය සහ වැඩි අවධානයක් ලැබිය යුතු වයස අවුරුදු 60ට වැඩි මිලියන 2.7 වන කොටසේ එන්නත්කරණය සම්පූර්ණ කරගැනීමට අද වන තෙක් අපොහොසත් වී ඇත.

එහිදී අප පෙන්වා දුන් ආකාරයටම, අද වන විට වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වනුයේ වයස අවුරුදු 60ට වැඩි එන්නත්කරණය නොකළ ජනතාව අතරය.

හමුදාපතිතුමන්ද එම කාරණය තහවුරු කරමින් පසුගියදා ජනමාධ්‍ය වෙත දැනුම්දී තිබුණේ සිදුවන 60ට වැඩි වයස් කාණ්ඩයේ මරණවලින් සියයට 88%ක් පූර්ණ එන්නත්කරණය සඳහා මෙතෙක් භාජන නොවූ අය බවය.

තවද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එන්නත්කරණ ක‍්‍රියාවලිය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී යාන්ත‍්‍රණයට අමතරව රාජ්‍ය රෝහල් පද්ධතිය එක්කරමින් දිනකට ලබා දිය හැකි එන්නත් ප‍්‍රමාණය වැඩිකරගන්නා ක‍්‍රමවේදයක් යෝජනා කරන ලදී.

නමුත් වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ ප‍්‍රධානීන් දෙදෙනක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතු කාර්යක්ෂම එන්නතකරණ යාන්ත‍්‍රණය පිළිබඳ විශ්වාසය නොතබමින් එන්නත් මාත‍්‍රා විශාල ප‍්‍රමාණයක් යුද හමුදාව වෙත නිකුත් කරන ලදී.

බොහෝ අවස්ථාවල දිනකට එන්නත් මාත‍්‍රා 2000ක් පමණ අවශ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහා එන්නත් මාත‍්‍රා 500ක් පමණක් ලබා දුන් අවස්ථා අප වෙත වාර්තා විය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට එන්නත් නිකුත් කිරීමේදී සලකා බලන කිසිදු තාක්ෂණික න්‍යායක් සැලකිල්ලට භාජන නොකරමින් අසීමිත ලෙස යුද හමුදා එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත එන්නත් මාත‍්‍රා ලබාදීම මගින්, සෞඛ්‍ය පද්ධතිය තුළ ඇති එන්නත්කරණ ක‍්‍රියාවලිය පිළිබඳ ජනතාවගේ විශ්වාසයද පළුදු විය.

මේ වන විට මිලියන 2.7 ක් වන වයස අවුරුදු 60ට වැඩි ජනතාවගෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස අනුව, පූර්ණ සහ අර්ධ එන්නත්කරණයට භාජන කළ සංඛ්‍යාලේඛන වසංගත රෝග විද්‍යා ඒකකය වහාම මාධ්‍ය වෙත ඉදිරිපත් කළ යුතුය.

වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩය හැකි ඉක්මනින් එන්නත්කරණය කර අවසන් කිරීම ඉතාමත් වැදගත් බැවින් සියලූ ජනතාවගෙන් අප කාරුණිකව ආයාචනා කර සිටින්නේ තම නිවසේ හෝ අසල්වැසියෙකු මෙතෙක් එන්නත්කරණයට භාජන නොවූ වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයට ඇතුළත් වේ නම් හැකි ඉක්මනින් එන්නත්කරණය සඳහා ඔවුන් යොමු කරන ලෙසය.

තවද, දුරකථන ඇමතුම් ලබා ගන්නා විට වසංගත රෝගයේ අවදානම පැහැදිලි කරන පටිගත කළ වාදනය මගින්ද, වයස අවුරුදු 60ට වැඩි ජනතාව එන්නත් කිරීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කළ හැකිය.

ඉහත කරුණු පිළිබඳ ඉක්මන් අවධානය යොමුකර එන්නත්කරණ සහ වසංගත පාලනය සම්බන්ධව නිවැරදි තීන්දු තීරණ ගන්නා ලෙස අප නව සෞඛ්‍ය අමාත්‍යතුමන් වෙත ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කරනු ඇත.

අප මෙම අවදානම නිවැරදිව තේරුම් නොගෙන පස්වන රැල්ල සහ ඊළඟ කොවිඞ් ප‍්‍රභේදයට මුහුණදීමට සූදානම් නොවුවහොත් වටිනා මිනිස් ජීවිත රැුසක් අහිමිව නැවත නැවතත් රට වසා දමමින්, රටේ ආර්ථිකය මීටත් වඩා අසීරු තැනකට යන යුගයක් ඇතිවීම වැළැක්විය නොහැකි වේ.

දරුණු වන කොවිඞ් වසංගතය; පාලනය කළ හැක්කේ කෙසේද..?



වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු
ලේකම්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.

advertistmentadvertistment
advertistmentadvertistment