දරුවන්ගේ පෝෂණයේ පසුබෑමක් නැතැයි ළමා රෝග වෛද්‍යවරුන් පවසනවා – වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ

73

දශක ගණනාවක් තිස්සේ ගෙනගිය  ආර්ථික ක්‍රමයෙන් ජනතාවට ලැබුණු දෙයක් නෑ – හරිනි අමරසූරිය (ජාජබ)

අපි ත්‍රිපෝෂ සියයට සියයක් නිපදවූවා: අතිරික්තය සුපෝෂ නමින් වෙළෙඳ පොළට දැම්මා – රාජිත සේනාරත්න (සජබ)



වයස අවුරුදු 05ට අඩු දරුවන් අතර 2009 වසරේදී 27.4 තිබූ අවපෝෂණ තත්ත්වය 2021 වන විට 12.1 දක්වා අඩුවී ඇති බවත් ඇතැමුන් කියන තරමේ මෙරට දරුවන්ගේ පෝෂණ තත්ත්වයේ පසුබෑමක් නැතැයි ළමා රෝග සම්බන්ධ වෛද්‍යවරුන්ගේ ද මතය බව වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (07) පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි.

ප්‍රථමයෙන් ලිපි ලේඛන, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

පසුව පක්ෂ නායකයන් විසින් 27 (2) යටතේ සිදු කරන විශේෂ ප්‍රකාශ සිදුකිරීම සහ ඒවාට පිළිතුරු සැපයීමෙන් පසුව මේ වන විට වාර්තා වී ඇති මෙරට දරුවන්ගේ සහ මව්වරුන්ගේ මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ දිනට නියමිත වූ කල්තැබීමේ විවාදය දෙවැනි දිනටත් ආරම්භ විය.

විවාදය ආරම්භ කරමින්, කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා (සජබ) :

රටේ පවුල් ලක්ෂ 15කට ආහාර සුරක්ෂිතතාවක් නෑ.

දරුණු මන්දපෝෂණ තත්ත්වයකට දරුවන් ලක්විය හැකියි. වර්ධනය හීනවී රෝගී දරුවන් බවට පත් වෙනවා. ගර්භණී මවුවරුන්ට, වැඩිහිටියන්ට පවතින තත්ත්වයෙන් දැඩි බලපෑම් සිදුවෙනවා.

අද තත්ත්වයට අනුව ජනපතිගේ සංගණනය වැරදියි. අද දෙගුණයක් වෙලා. 2021 සංගණනයට අයත් වන්නේ 2019 තිබූ තත්ත්වයයි. මිටි භාවය සියයට 6කින් අඩු වෙලා. 2016 දී සංගණනයට වඩා 2019 සංගණනයෙන් සෞඛ්‍යයේ හොඳ තත්ත්වයක් පෙන්වනවා.

2015 දී ත්‍රිපෝෂ අවශ්‍යතාවයෙන් සියයට 74යි නිපදවූයේ. පසුව 2015 දී අපි මැෂින් ගෙනවිත් ත්‍රිපෝෂ සියයට සීයක් නිපදවූවා. අතිරික්තය සුවපෝෂ ලෙස වෙළෙඳපොළට දැම්මා. දැන් ඒ වැඩසටහන නතර වෙලා.

අපි ජපාන තාක්ෂණය යොදාගෙන පෝෂණ බිස්කට් එකක් හදන්න පටන් ගත්තා. එහි සියලු පෝෂණ පදාර්ථ තිබුණා. ඒකත් නවත්වලා. ඒ නිසා අද පෝෂණ තත්ත්වය දරුණු පැත්තට වැටිලා. පෝෂණ මල්ල මාස 10ක් දුන්නා. එයත් නැවතිලා.

පවුල් ලක්ෂ 15කට පෝෂණ මල්ල දෙන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා. ඒ වගේම අමතරව

ගැබිනි මවුවරුන්ටත් දෙන්න යෝජනා කරලා. නියම පෝෂණය නැති වනවිට රට අරාජික වෙනවා.

දරුණු ඖෂධ හිඟයකට රට මුහුණපාලා. අත්‍යවශ්‍ය ඖෂධ, ජීවිතාරක්ෂක ඖෂධ රැසක් රටේ නෑ. මේවාට අදාළ රෝග ඇති වුණොත් අනිවාර්යයෙන්ම මියයනවා. රෝහල්වල ආහාර නැහැ. ළමා රෝහල් පෝෂණ ආහාර වේලක් දී ගන්න බැරිව පරිත්‍යාගශීලීන්ගේ ආධාර ඉල්ලනවා.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර

පෝෂණ තත්ත්වයේ අඩුවීමක් සෑම ජන කොට්ඨාසයකම තියෙනවා. පාර්ලිමේන්තුවම එක් වෙලා මේ ගැටලුවලට පිළිතුරු සෙවිය යුතුයි. කතා කිරීමෙන් පමණක් ප්‍රශ්න විසඳන්නෙ නැහැ. කාටවත් චෝදනා කර පිළිතුරු ලැබෙන්නේ නැහැ.

ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බැගින් භාරගෙන වැඩ කරන්න. අපි අවශ්‍ය හැම පහසුකමක්ම දෙන්නම්. විපක්ෂය ආණ්ඩුව කියලා නැහැ හැමෝටම ආරාධනා කරනවා. 225 දෙනා ඊට එකතු විය යුතුයි. මේ සඳහා ජාතික හා පළාත් මට්ටමින් කමිටු පත් කරමින් යනවා. අපි එක් වුණොත් මාස කිහිපයක් ඇතුළත ආහාර ප්‍රශ්නය විසඳිය හැකියි.

පොහොර නිකං දුන්න කන්නවලට වඩා ගිය කන්නයේ ගොවීන් වගාවට එක් වුණා. එය යම් මට්ටමකට සාර්ථක වුණා. රටේ ගොවියා ගැන විශ්වාසය තියලා කටයුතු නොකිරීමේ ගැටලුවක් තියෙන්නේ. ස්වභාවික විපතක් නැත්නම් රටට හාල් ගේන්න අවශ්‍ය ලබන මහ කන්නයේ සිට සත්ව පාලනය බිත්තරවලට ඇති ප්‍රශ්නය බඩඉරිඟුරු වගාව අඩු වීමයි. එය නැංවීමටත් සැලසුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

මුංඇට, තල, කුරක්කංවලින් රට ස්වයංපෝෂිතයි. වියළි මිරිස් ආනයන නැවැත්වීමටත් රටේම නිෂ්පාදනය වැඩි කිරීමටත් දැන් සැලසුම් කර තියෙනවා. පළමු ආදර්ශය අපි රටට දෙමු කියා 225ටම ආරාධනා කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

යුනිසෙෆ් වාර්තාවට අනුව දරුවන්ට මානුෂිය උපකාර කළ යුතුයි. පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව ළමා හා මාතෘ සෞඛ්‍ය ගැන අවධානය යොමු කළ යුතුයි. පෝෂණ ප්‍රතිපත්තියක් හැමෝම එකතු වෙලා සකස් කළ යුතුයි.

දරුවන් හා ගැබිනි මවුවරුන් ඒකාබද්ධ කරගත් පෝෂණ වැඩසටහනක් රටේ ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා අපේ සහාය ලබාදීමට එකඟයි. කොවිඩ් නිසා යම් හානියක් වුණා. පසුව වූ ආර්ථික අර්බුදයත් සමග සෞඛ්‍ය පෝෂණ තත්ත්වය සම්පූර්ණයෙන් කඩා වැටුණා.

රුපියල් 20000 පෝෂණ මල්ලට තවත් 2500ක් එකතු කිරීම හොඳයි. ඒත් පසුගිය ආණ්ඩුව එය නතර කළා.

ඇමැති මණ්ඩලය රටට දරාගන්න පුළුවන්ද? විපක්ෂයෙ සිටිමින් එවැනි දේට සහාය දිය නොහැකියි. නොලැබුණු පොහොරවලට ඩොලර් මිලියන 6ක් එදා ආණ්ඩුව ගෙව්වා. අද ළමා රෝහලේ දරුවන්ට කන්න දෙන්න සල්ලි නැහැ. මේ තරම් පහත් දූෂිත වැඩ  පසුගිය කාලයේ සිදු වුණා.

මේ රටේ ආර්ථික ගැටලුවට ආණ්ඩුවට දිය හැකි එකම උත්තරය ආර්ථිකය හැකිළීමද. එමගින් තවතවත් ආර්ථිකය කඩාවැටී ජනතාව අසරණ වෙනවා. බංකොලොත් ආණ්ඩුවකට කරන්න පුළුවන් වැඩ කොටස සීමිතයි. ඒත් අපි රාජ්‍ය බලය නැතිව විශාල වැඩ කොටසක් සිදු කරනවා.

පත් කළ මන්ත්‍රී හරිනි අමරසූරිය (ජාජබ)

ප්‍රශ්නයට විසඳුම් හොයන්න ගැටලුව හා ගැටලුවට හේතුව හරියට සොයාගත යුතුයි. අර්බුදවලට හේතුව ප්‍රශ්නය හරියට හඳුනා නොගෙන මතුපිටට ඇති තත්ත්වයට පිළියම් යෙදීමයි.

අද පවතින මන්දපෝෂණ තත්ත්වය අද ඇති වූවක් නොවෙයි. විවිධ කාලවල ගත් විවිධ ක්‍රියාමාර්ග නිසා ඇති වූවක්. මන්දපෝෂණය අද විවිධ කොට්ඨාසවලට පැතිරිලා.

දශක ගණනාවක් ඇති කළ ආර්ථික ක්‍රමයෙන් ලැබුණු දෙයක් මත ජනතාව හා රට අනාරක්ෂිත තත්ත්වයට පත් වීමක් පමණයි සිදුව තියෙන්නේ. අනාරක්ෂිත සමාජයක් බිහිවීම පමණයි සිදු වී තිබෙන්නේ.

පෝෂණ මල්ල ගැන කතාකළාට එය ක්‍රියාත්මක වීමේ බරපතළ ප්‍රශ්න තියෙනවා. ගැබිනි මවුවරුන්ට ඒ විදියටම ලැබී නැහැ. අපේ ආර්ථික ප්‍රතිපත්ති දිහා නැවත බලමින් පොදු ජනයාට යහපතක් වන පරිදි ප්‍රතිපත්ති සකස් විය යුතුයි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර (ශ්‍රීලපොපෙ)

දරුවන්ගේ පෝෂණය හා ආහාර රටාව ඛේදනීය තත්ත්වයක පවතින බව වාර්තාවල සඳහන්. සමීක්ෂණ වාර්තා වර්ෂ සම්බන්ධ කරගෙන තර්ක කිරීමට වඩා ඉතිහාසයේ සිට සියලු පාලකයන් මේ තත්ත්වයට වගකිව යුතුයි.

රටේ ආර්ථිකය බංකොලොත් කියලා එළියේ සිට කියන්න පුළුවන්ද පාර්ලිමේන්තුවට මුල්‍ය බලය තියෙන්නෙ. පාර්ලිමේන්තුව දැනුවත් කිරීමක් කළ යුතුව තිබුණා. මේ ප්‍රකාශය නිසා රටට තවත් ගැටලුවලට මුහුණ දීමට සිදු වුණා.

අද සැමන්, පාන් පිටි, සිමෙන්ති ඇතුළු හැම භාණ්ඩයක්ම මිල ඉහළ ගිහින්. රටේ තත්ත්වය සමග සාමුහික විසඳුම් ගෙන ආ යුතුයි. මේ ගැන අපි කොතරම් කතා කළත් ඊට එකඟතාවක් නැහැ. අපි හැමෝම ජනතාව වෙනුවෙන් ක්‍රියා කරන්නේ නම් ඒ නියෝජිතයන්ට පොදු මතයකට එන්න බැරි ඇයි.

වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා – පසුගිය අවුරුදු දෙක තුළ මෙරට සෞඛ්‍ය වෙනුවෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සියලුම සේවකයන් කරන ලද කැප කිරීමට ස්තුතිය පුද කළ යුතුයි. මේ වන විට යුනිසෙෆ් සංවිධානය මෙරට ළමා මන්දපෝෂණය ලෝකයෙන් 06 වැනි තැනට පත්ව ඇති බව වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් මේ වාර්තාව සම්පූර්ණ වාර්තාවක් කියා අපට කියන්න බැහැ. එහි තිබෙන කරුණු අනුව ගත්තොත් අපට කියන්න තිබෙන්නේ අපේ රටේ අවපෝෂණ තත්ත්වය 2009 දී වයස අවුරුදු 05 ට අඩු දරුවන්ට සියයට

27.4 ක් තිබිලා තිබෙනවා. එය ක්‍රමයෙන් අඩුවෙලා තිබෙනවා. ක්‍රමානුකූලව 2021 වනවිට 12.01 දක්වා අඩුවෙලා තිබෙනවා. මෙය සාමූහික උත්සාහයක්, හොඳ ප්‍රතිඵලයක්. සෞඛ්‍ය අංශය ඉතා හොඳ දායකත්වයක් ලබා දීලා තිබෙනවා. ඉතා පැහැදිලිව පසුගිය දශක දෙක තුළ රටේ දරුවන්ගේ පෝෂණ තත්ත්වයේ දියුණුවක් දකින්නට තිබෙනවා. මේ ආර්ථික අර්බුදය නිසා යම් ගැටලුවක් වේවි. නමුත් මේ මහ කන්නයේ කෘෂි අස්වැන්න දෙස බැලුවහමත් අපට ආහාර හිඟයක් ඇතිවන්නේ නෑ. මේ කියන තරම් දරුවන්ගේ සුවිශේෂී පසුබෑමක් ඇතිවන්නේ නෑ කියලා ළමා රෝග පිළිබඳ වෛද්‍යවරුන් කියා තිබෙනවා.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් – තරුණ ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණ ලබා ගත්තා. ඒවගේම දේශපාලනය කරන පිරිසට රට භාරදීලා රට හදන්න ඉඩ දෙන්න.

දරුවන්ගේ මොළය වර්ධනය වන්නේ ගර්භණී කාලයේ හා කුඩා කලයි. දුෂ්කර පැතිවල එවැනි අයට පෝෂණ ආහාර වේලක් ලබාදිය යුතුයි. අපේ පැතිවල එවැනි දෙයක් ලැබෙන්නේ නෑ. අද ආර්ථිකය කඩා වැටී මන්දපෝෂණය ඇති කිරීමට වගකිවයුතු පුද්ගලයන් අලුතෙන් පක්‍ෂ පටන් අරන් එනවා. මෙවැනි නාට්‍යකාරයන් නැවත විශ්වාස කරන්න එපා. කරන පිරිසට රට භාර දෙන්න.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රි උපුල් ගලප්පත්ති (ශ්‍රීලපොපෙ) – රටේ ආර්ථීකයට වූදේ ගැන කියපුවා ඇහුම්කන් නොදී හිටියා. වළට වැටිලාත් ගණන් ගත්තේ නෑ. මහ බැංකු අධිපතිවරු, මුදල් ඇමැතිවරු, මුදල් ලේකම්වරු, ජනාධිපති ලේකම්වරු රටේ ආර්ථික තත්ත්වයට වගකිව යුතුයි.

රටේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට පොළවට බැසිය යුතුයි. මාළු කිලෝව දෙදහසට වැඩි වෙලා. මස්, බිත්තර, එළවළු මිල වැඩියි. ඉතින් පෝෂණයන් ගැන හිතන්නෙ කොහොමද?

අපේ රටේ සෞඛ්‍ය අංශ කැපවීමෙන් කටයුතු කරනවා. පින්ලන්තය හා සම කරන්න පුළුවන් තත්ත්වයක් අපේ රටේ සෞඛ්‍ය අංශවල පවතිනවා. සෞඛ්‍ය දර්ශක හොඳයි.

ආහාර පෝෂණය සම්බන්ධ කරන සභාවක් පාර්ලිමේන්තුවේ තිබිය යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි ඩී. බී. හේරත් (ශ්‍රීලපොපෙ) විශාල මුදලක් වැය කරමින් කරන කතාවල ප්‍රයෝජනයක් තියෙනවා කියා ප්‍රශ්නයක් තිබෙනවා.

ළමයා පොදු වස්තුවක්. ඊයේ සිට කරන කතා අනුව ළමයා ගැන විවිධ දේශපාලන කතා කරන්නේ.

පාර්ලිමේන්තුවේ දෙකට බෙදිලා තර්ක

කරගන්නවාට වඩා පොළවට බැහැලා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බෙදාගෙන නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කරගන්න පුළුවන් නම් එය තමයි කළ හැකි උසස්ම දෙය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි සරත් වීරසේකර (ශ්‍රිලපොපෙ) – 2021 යුනිසෙෆ් වාර්තාවට අනුව මන්ද පෝෂණය තියෙන්නේ ලංකාවේ විතරක් නොවෙයි. කොවිඩ් නිසා ඇතිවූ තත්ත්වයක් නිසා පෝෂ්‍යදායි ආහාර අඩුවී මන්දපෝෂණය වැනි තත්ත්වයන්ට ඉඩ ඇති වූ බව සඳහන් වෙනවා.

පෝෂ්‍යදායි ආහාර රටා ලංකාවේ තිබෙනවා. කඩිනමින් පාසල් විවෘත කර පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දිය යුතුයි. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඊට ආධාර ලබා දෙනවා. උසට සරිලන බර, උසට සරිලන මහත අඩුවීම වැනි දේ පෝෂ්‍යදායක ආහාර නොමැතිවීමත් ඇති වෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි තුෂාර ඉඳුනිල් (සජබ) – යුනිසෙෆ් වාර්තා බොරු කියලා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් කියනවා. මේ වාර්තාවේ තිබෙන දේ තේරුම් ගන්න ක්‍රියාකර නැහැ.

පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් (සජබ) – රට මුහුණදී තිබෙන මහ ව්‍යසන තත්ත්වයට උසට සරිලන බර නොමැති දරුවන් සංඛ්‍යාව අනුව ලංකාව ලොව හය වැනි තැනට ඇවිත්. අපි මේ

ගැන සොයා බැලිය යුතුයි.

දීර්ඝකාලීන විසඳුමකට අපි සියලු දෙනා එක්ව යා යුතුයි. අවුරුදු 5 ට අඩු ළමුන්ට අවශ්‍ය පෝෂණය ලබාදිය යුතුයි. තවදුරටත් පැවැතියහොත් අධ්‍යාපන කටයුතුවලටත් බලපාවි. තව අවුරුදු 15 කින් තරුණයෝ. මන්දපෝෂණය වළක්වා ගන්න බැරි වුණොත් ශ්‍රී ලංකා සමාජය පවතින්නේ කොයි තත්ත්වයකද කියලා හිතා ගන්නත් බැහැ.

මැදි ආදායම් රටවලට වඩා ලංකාවේ කාන්තාවන් හා දරුවන් මන්දපෝෂණයෙන් පීඩා විඳින බව ලෝක ආහාර වැඩසටහන කියනවා. මන්ද පෝෂණය තුරන් කළ යුතුයි. එකිනෙකාට ඇඟිල්ල දිගු කරනවාට වඩා සියලු දෙනා එක්ව ජනතාව ප්‍රශ්නවලින් මුදා ගැනීමට ක්‍රියා කළ යුතුයි.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ (ශ්‍රීලපොපෙ) – දරුවන් පූර්ව ළමාවිය කාලයේදී පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීම අනිවාර්ය කළ යුතුයි. කුඩා දරුවන්ගේ පෝෂණය අනිවාර්යයි. පක්‍ෂ විපක්‍ෂ හැමෝම එකතුවී දරුවන් වෙනුවෙන් හොඳ තීන්දු ගමු. දරුවන්ට පක්‍ෂ නැහැ අපි හැමෝගෙමයි. ලංකාවේ ආර්ථික ප්‍රශ්නයට සියලු දෙනාගේම මැදිහත්වීම අත්‍යවශ්‍යයි.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි පියල් නිශාන්ත (ශ්‍රිලපොපෙ)

යුනිසෙෆ් ආයතනය 2017 වාර්තාව පදනම් කරගෙන කරපු ප්‍රකාශයට මේ විවාදය අරගෙන තියෙන්නේ.

ඇත්තටම මන්දපෝෂණය තියෙන දරුවන් වෙනුවෙන් ක්‍රියාකිරීමට එක්විය යුතුයි. කතා කර කර ඉඳලා වැඩක් නැහැ. ඒ වගේම දරුවන්ට වන හිරිහැර ගැන සොයා බලන්න අපි ක්‍රියා කළා. ආර්ථික අර්බුදයත් සමග හැම වැඩක්ම එක තැන නතරවෙලා. සියලු දෙනාම එක්ව වහාම ඊට කටයුතු කළ යුතුයි.

දරුවන්ගේ පාසල් අවධිය කොවිඩ් නිසා අහිමි වුණා. දරුවන්ට නිවැරැදි පෝෂණය ලබාදීමේ වගකීමක් තියෙනවා එනිසා පළමුව පාසල් 7925ක ටත් දෙවැනි අදියරේදී පාසල් 3000 කටත් ආහාර මල්ලක් දීමේ වැඩසටහනක් කළා. එය තාවකාලිකව නතර වුණා.

පත්කළ මන්ත්‍රී මයන්ත දිසානායක (සජබ) – මේ රටේ මන්දපෝෂණය හා බඩගින්න ගැන සොයා බලා කටයුතු කරන්න කමිටුවක් පත් කරන ලෙස

ජනපතිගෙන් ඉල්ලනවා. ලබන මාසය වෙද්දි ලයිට් බිල්, වතුර බිල් ගෙවා ගන්න බැරිව කන්න නැතිව ජනතාව පාරට බහීවි. ඊට පෙර අපි පිළියම් යෙදිය යුතුයි. විපක්‍ෂය ලෙස අපි උදව් කිරීමට සූදානම්.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ (ශ්‍රීලපොපෙ) – දේශීය ආහාරවලට මුල් තැන දීලා දරුවන්ගේ පෝෂණය ඉහළ දැමීමට අපි පුරුදු විය යුතුයි. තුන් වේලටම බත් කන්න ඕන කියා දෙයක් නැහැ. අවශ්‍ය පෝෂණ සංඝටක තියෙන ආහාර ගමේ තියෙනවා. ඒවා ගලපා ගැනීම අවශ්‍යයි. හොඳ පෝෂණයක් ඇති ආහාර පලා වර්ග ගෙවත්තේම හදාගන්න පුළුවන්. එදිනෙදා ජීවන රටාවට පුරුදුවීමෙන් ගෙවත්තෙන් අපට හොඳ පෝෂණයක් දරුවාටත් මවටත් ලබාගන්න පුළුවන්.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ධර්මසේන විජේසිංහ (ශ්‍රීලපොපෙ) – ළමා මන්දපෝෂණයෙන් ලංකාව හයවැනි තැනට වැටිලා තියන එකෙන් පේනවා තව අවුරුදු කිහිපයකින් රට භාර ගන්නේ මන්දපෝෂණය හැදුණු පිරිසක් බවට.

ආහාර වට්ටෝරුවක් පාසල් ළමුන්ට සකස් කර තියෙනවා. ඊට එක ළමයකුට රුපියල් 60ක් දෙනවාලු රුපියල් 60කින් ධාන්‍ය හෝ ආහාර වර්ග ගන්න බැහැ. මේ මුදල වැඩිකර දෙන්න. ආහාර වේල හදන්නේ දරුවන්ගේ දෙමාපියන්මයි. ඔවුන් විශාල වෙහෙසක් ගන්නවා.

ගැබිනි මව්වරුන්ගේ පෝෂණ මල්ල හැම මාසයකම ලබා දෙන්න. මාසයකට රුපියල් 20000 බැගින් මාස 10ක් දුන්නා. අයවැයෙන් තව දෙදහස් පන්සීයක් වැඩි කරනවා කිව්වා. මේ මුදල් වලින් මොනවා කන්නද කියලා හිතාගන්නවත් බැහැ. සාධාරණ මුදලක් ලබා දෙන්න.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ (ශ්‍රීලපොපෙ) – ලෝකයේම මන්දපෝෂණයෙන් හයවැනි තැන ලංකාවට ලැබිලා. සශ්‍රීක රටකට වෙච්ච දෙයක්. අවුරුදු 74ක ගමන් මගක කැඩපත ඉන් පේනවා. එක් වේලක්වත් කන්න නැති පවුල් ලංකාවේ ඉන්න තත්ත්වයක් ඇතිවෙලා.

සෞඛ්‍ය ලේකම් සංඛ්‍යාලේඛන බොරු කියනවා. පරණ තොරතුරු හා තත්ත්වය මෙහෙම නම් දැන් තත්ත්වය ඊට පහත් විය යුතුයි. මන්දපෝෂණයේ අලුත් සංඛ්‍යාලේඛන හැදුවොත් දකුණු ආසියාවේ මුල්ම රට බවට පත්වීම ස්ථිරයි.

ඇතැම් නායකයන්ට නිලධාරීන්ට මන්දපෝෂණය පේන්නේ නෑ. ඔවුන්ට අධිපෝෂණය. එහෙත් ඔවුන්ගේ මොළ මන්දපෝෂණය නිසා රටට මේ තත්ත්වය උදාවුණා. ආහාර අර්බුදයට මුළු ලෝකයම සූදානම් වෙනවා. අපේ කෘෂිකර්ම ඇමැති දඬුලේනුන් පස්සෙ දුවනවා. රට දරුණු ඛේදවාචකයකට තල්ලු වෙමින් පවතිනවා. හැම මඟුලටම කාර්ය සාධක බළකා දානවා. මේ අර්බුදයට සැබෑ කාර්ය සාධක බළකායක් දාන්න සර්ව පාක්‍ෂික වුණොත් අපිත් සහය දෙනවා. අනාගත පරපුර වෙනුවෙන් දැන්වත් අවදිවී ක්‍රියා කරන්න. ප්‍රමාද කරන්න එපා. සමස්ත රාජ්‍ය සේවයේ බහුතරයක්

ගැටලුවලට මුහුණදීලා ලැබෙන වැටුප් ජීවත් වීමට කිසිසේත් ප්‍රමාණවත් නැහැ. වැටුප් වැඩි නොකළොත් ජීවන වියදම අඩු කිරීමට කිසිදු පියවරක් ගෙන නැහැ. ඉතා කළකිරීමෙන් ඔවුන් රාජකාරි කරන්නේ.

රැකියා ලක්‍ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ 39000 ක් බඳවා ගත්තා. ඔවුන් ස්ථිර කර නැහැ. ඒ පිරිස වෙනුවෙන් විශේෂ මැදිහත්වීමක් අවශ්‍යයි. වතුකරයේ තත්ත්වයත් ඉතා කනගාටුදායකයි. රොටියක් කාලා ජීවත් වූ වතුකරයේ ජනතාව එක වේලක්වත් කන්න බැරි තත්ත්වයට පත්වෙලා. මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස මන්දපෝෂණය හා අනාගත පරපුර දුර්වල පුද්ගලයන් බවට පත්වෙනවා.

පාර්ලිමේන්තුව යළි අද (08) පෙරවරු 9.30ට  යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment