ලංකාව උදේ හවස බණ අහන සෙක්ස් සොයා කප් ගන්න රටක්

අන්තර්ජාලය හරහා බෙදා ගැනීමත් වරදක්

අන්තර්ජාල ළමා අපයෝජකයන්ට වසර 10ක සිර දඬුවමක්

මිහිමත ඇති සුන්දරතම වස්තුව ලෙස සලකන්නේ දරුවන්ය. රටක ළමා පරපුර මේතකැයි කියා නිම කළ නොහැකි තරම් වූ අමිල සම්පතකි. ළමයකු කුඩා බීජයක් නම් එය සරු පසකට වැටී සාරවත්ව දලු කොළ දමා වැඩෙනවාද නැතිනම් කර්කශ පොළවකට වැටී නිසරුව විනාශ වී යනවාද යන්න පිළිබඳව සැලකිලිමත් වීම දෙමාපියන් ඇතුළු මුළු මහත් සමාජයේම වගකීමකි. නෙල්සන් මැන්ඩෙලා පවසන්නේ “කිසියම් සමාජයක් තම දරුවන්ට සලකන ආකාරය තරම් එම සමාජයේ ආත්මයේ ප්‍රකට කරන තවත් යමක් නොමැත” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ජාතික ළමා හා ආරක්ෂක පනතට අනුව ළමයකු ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකි. ඒ අනුව ළමයා යනු දෙමව්පියන්ගේ ආදරය, කරුණාව හා රැකවරණය ද සමාජ ආරක්ෂාවද උපරිමයෙන් ලැබිය යුතුම කෙනෙකි. ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියක් 1989 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති අතර ඉන් වසර කිහිපයකට පසුව 1991 වසරේදී ශ්‍රී ලංකාවද ළමා අයිතිවාසිකම් තහවුරු කිරීම පිණිස නීතිමය ආරක්ෂාවක් ලබා දීමට ඉදිරිපත් විය. මේ අනුව ළමා හිමිකම් පිළිබඳ ප්‍රඥප්තියේ ඇති වගන්ති 54න් පළමු වගන්ති 40 තුළ ළමුන්ට හිමි අයිතිවාසිකම් හිමිකර දීම පිළිබඳව විස්තර කර ඇත. කරුණු එසේ වුවද වර්තමානයේදී බොහෝ දරුවන්ට ළමා කාලය තුළදී ඔවුනට අවශ්‍ය වන ආදරය, රැකවරණය හා ආරක්ෂාව නිසි ලෙස නොලැබෙන බව පෙනී යයි. මෙවැනි වාතාවරණයක් තුළ ළමා අපචාර පිළිබඳ වාර්තා වීම ද ක්‍රමිකව ඉහළ යන බව පර්යේෂණවලින් සනාථ වී තිබේ. ළමා අපහරණය, ළමා අපයෝජනය යනුවෙන් හැඳින්වෙන්නේ ළමයින්ට බලහත්කාරයෙන් හෝ ළමයින් පෙළඹවීම මගින් ළමයින් ලවා කරවනු ලබන නීති විරෝධී ක්‍රියාකාරකම් නම් වේ. ඒ අනුව ලෝකයේ ළමා අපචාර පිළිබඳ විමසුමට බඳුන් කිරීමේදී ළමා අපචාර වැඩිම රටවල් 5 අතරට ලංකාව ද ඇතුළත්ව ඇති බව අප දැනගත යුතුම ය. සමාජයේ රැකවරණයක් ලබා දිය යුතු රටක ජීවනාලිය වන් ළමුන් සමාජය තුළම අපචාරයන්ට ගොදුරු වීම සමාජයට දුෂ්කෘත්‍යාත්මකව බලපාන සංසිද්ධියක් බවට පත් වේ. ගෝලීයකරණය වූ ලෝකයක සන්නිවේදනය හා තාක්ෂණික ක්‍රමෝපායන් නිසා ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම පරිගණක භාවිතය මෙන්ම ජංගම දුරකථන භාවිතය ද ඉහළ ගොස් ඇත. සමාජ සක්‍රීයතාවටත්, ඵලදායීතාවටත් ඉවහල් කරගත හැකි නවීන සමාජ සන්නිවේදන ක්‍රම (වට්ස්ඇප්, ෆේස්බුක්, යූ ටියුබ්, වෙබ් අඩවි) හරහා ළමුන් ඉලක්ක කරගත් ළමා ලිංගික අපයෝජනයන් වර්ධනය වීම කනගාටුවට කාරණයකි.

ළමා ලිංගික අපයෝජන සම්බන්ධ ප්‍රකාශනයන් නොහොත් ළමා කාමුක දර්ශනයන් අන්තර්ජාලය තුළ පළකිරීමේ ශීඝ්‍ර වර්ධනය වීම අද වන විට ගෝලීය ගැටලුවක් බවට පත්වී ඇත. ළමා ලිංගික අපයෝජන ප්‍රකාශනයන්, දරුවකු ලිංගික ක්‍රියාකාරකම්වල නියැළෙන හෝ එවැනි දෑ නිරූපණය කරන ඡායාරූප හෝ වීඩියෝපට ලෙස අර්ථ දක්වනු ලැබේ. මෙවැනි ක්‍රියාවන් දරුවන්ගේ කැමැත්තෙන් සිදු වුවද දඬුවම් ලැබිය යුතු බරපතළ අපරාධයක් ලෙස සැලකේ. මන්ද එවැනි දෑ පිළිබඳව කැමැත්ත අකමැත්ත පළ කිරීමට තරම් මානසික පරිණතභාවයක් දරුවන්ට නොමැති නිසාය. (Protecting environment and children everywhere – PEACE) විසින් පලකල වාර්තාවකට අනුව 2021 වසරේ ශ්‍රී ලංකාවේ ෂඡ’ ලිපිනයන් මගින් අන්තර්ජාලයට උඩුගත කර ඇති ළමා ලිංගික අපයෝජන ප්‍රකාශනයන් ප්‍රමාණය 150,000 ඉක්මවා ඇත. එසේම ‘Internet watch foundation foundations (IWF)’ සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙන්නේ 2019 වසරේ සිට වයස අවුරුදු 7-10ත් අතර ළමුන්ගේ ලිංගික අපයෝජන ඡායාරූප හා වීඩියෝ පට පෙන්වන වෙබ් පිටු සංඛ්‍යාව 1058%කින් වැඩි වී ඇති බවයි. ළමා ලිංගික අපයෝජන සම්බන්ධ ප්‍රකාශනයන් පෙර වසරටත් වඩා මෙම වසරේ වැඩි වී ඇති බව ගත වූ මාස කිහිපය තුළ වාර්තා වූ සිදුවීම් හා සැසඳීමේදී නිරීක්ෂණය වේ. මේ සම්බන්ධ සැකකරුවන් හට නිසි දඬුවම් ක්‍රියාත්මක කිරීම හා වින්දිතයන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම සම්බන්ධව අප කළ විමසීමක දී ශ්‍රී ලංකා පොලිස් හා ළමා කාන්තා කාර්යාංශයෙහි නියෝජ්‍ය පොලිස්පතිනි රේනුකා ජයසුන්දර මහත්මිය මෙම අදහස් ප්‍රකාශ කළේය.

ළමුන් සම්බන්ධ අසභ්‍ය පළකිරීම් වාර්තාවන්හි වත්මන් තත්ත්වය

ළමුන් සම්බන්ධ අසභ්‍ය පළකිරීම් 10ක් සම්බන්ධව මේ වසරේ මුල් මාස තුනේ දී පමණක් වාර්තා වෙලා තියෙනවා. මෙවැනි සිදුවීම් සම්බන්ධව පසුගිය වසර දෙකකට සාපේක්ෂව මේ වසරේ පැමිණිලි ලැබීම ඉහළ ගිහින් තියෙනවා. තවම අපට දත්ත නිසියාකාරව ලැබිලා නැති වුණත් කලින්ටත් වඩා දින දින ගැටලුව උත්සන්න වීමක් තමයි දකින්න ලැබෙන්නේ. 2021 වසරේදී ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් ළමුන් හා සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා ‘අතුරුදන් වූ හා සූරාකෑමට ලක්වූ ළමුන් සඳහා වූ ජාතික මධ්‍යස්ථානය’ නමින් විශේෂ ඒකකයක් පිහිටුවලා තියෙනවා. මෙම මධ්‍යස්ථානයට ළමා ලිංගික අපයෝජන ප්‍රකාශනයන් පිළිබඳව සිද්ධීන් මිලියන 29කට අධික ප්‍රමාණයක් මේ වන විට වාර්තා වෙලා තියෙනවා.

දරුවන් ගොදුරු වන ආකාර

දරුවන්ට කෙළ හලන ඔන්ලයින් මරුවන්…අන්තර්ජාල ළමා අපයෝජන ඉහළ යයි
පොලිස් හා ළමා කාන්තා කාර්යාංශයෙහි නියෝජ්‍ය පොලිස්පතිනි රේනුකා ජයසුන්දර

අපිට ලැබී ඇති පැමිණිලිවලට අනුව දරුවන් මේ සඳහා වැඩිපුරම ගොදුරුවන්නේ තම සමීපතමයන් හරහා. ඔවුන් දරුවන් ලිංගික ක්‍රියාවන් සඳහා පොළඹවාගෙන හෝ බලහත්කාරයෙන් ලිංගික අපයෝජන සිදුකර ඒවා වීඩියෝ ගත කොට අන්තර්ජාලයට නිකුත් කරනවා. තවත් වැඩිපුරම පැමිණිලි ලැබෙන තවත් එක ක්‍රමයක් තමයි සෝෂල් මීඩියාවලින් දරුවන් සමඟ ප්‍රේම සම්බන්ධතා ඇතිකරගෙන ඔවුන් ලවා නිරුවත් පින්තූර ලබාගෙන ඒවා අන්තර්ජාලයට නිකුත් කිරීම හා ඒවා අන්තර්ජාලයට නිකුත් කරනවා යැයි පවසමින් දරුවන් බ්ලැක්මේල් කිරීම් සම්බන්ධවද පැමිණිලි ලැබෙනවා. ඒ වගේම දරුවන්ගේ ෆොටෝ බද්ධ කිරීම් සම්බන්ධවද පැමිණි ලැබෙනවා. එහිදී දරුවෝ හෝ දෙමාපියන් සෝෂල් මීඩියාවලට දමන දරුවන්ගේ ෆොටෝ අරගෙන ඒවා නිරුවත් ෆොටෝ සමග බද්ධ කර සමාජ ජාලා වෙත අප්ලෝඩ් කරපු අවස්ථා පිළිබඳ පැමිණිලිද වැඩිපුර ලැබෙමින් පවතිනවා. දරුවන් නානකොට හරි, ඇඳුම් මාරු කරනකොට හරි ඒවා හොරෙන් වීඩියෝ කරලා ෆොටෝ අරන් ඒවා අප්ලෝඩ් කරනවා. නැත්නම් දරුවන්ගේ නොවන නිරුවත් ෆොටෝ අරගෙන දරුවන්ගේ නම් හා ඡායාරූප දාලා වචනවලින් පවා දරුවන්ව අපහසුතාවයට පත්කරන අවස්ථාවන් ද දකින්නට ලැබෙනවා. ඡායාරූප භාවිතා නොකරන අවස්ථාවල අසභ්‍ය වචන යොදා දරුවන් පිළිබඳව වැරදි ප්‍රතිරූපයක් එන ප්‍රකාශන දාලා ටෙලිෆෝන් නම්බර් සමග සමාජ මාධ්‍ය වෙත දමන අවස්ථාද දක්නට ලැබෙනවා.

අතුරුදන් වූ හා සූරා කෑමට ලක්වූ ළමුන් සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ කාර්යභාරය හා එය ක්‍රියාත්මක වන ආකාරය

මෙම ආයතනයේ ලංකාව සමග පමනක් නොව රටවල් ගණනාවක් සමග සම්බන්ධ වෙමින් දරුවන් සම්බන්ධව සිදුවන සයිබර් අපරාධ එය සිදුවන රටෙහි NCMEC දත්ත පද්ධතියට එවනු ලබයි. සියලුම සමාජ මාධ්‍යවල හෝ සයිබර් අවකාශයට ළමයකුගේ නිරුවත් ඡායාරූප හෝ වීඩියෝ දර්ශන යම් පුද්ගලයකු විසින් මුදාහරින්නේ නම්, සමාජ මාධ්‍ය තුළ බෙදාහරින්නේ නම් හෝ එවැනි වීඩියෝ නිතර නිතර නරඹනවා නම් එම තොරතුරු අදාළ සමාජ මාධ්‍ය තුළින් සහ සයිබර් අවකාශයේ අනෙකුත් සේවා සපයන ආයතන විසින් NCMEC දත්ත පද්ධතිය වෙත යොමු කෙරේ. පසුව එම දත්ත පද්ධතිය විසින් එම තොරතුරු අදාළ අපරාධකරුවන් සහ වින්දිත දරුවන් සිටින රටවල්වලට යොමු කරනු ලබන අතර ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය ද එම දත්ත පද්ධතිය සමග සහසම්බන්ධව කටයුතු කරනු ලබයි. උදාහරණයක් ලෙස ගූගල් ආයතනය සමඟ මෙම දත්ත පද්ධතිය සම්බන්ධ වී සිටින නිසා ගූගල් ආයතනය විසින් ළමුන් සම්බන්ධ අසභ්‍ය ප්‍රකාශන සෘජුව අපගේ දත්ත පද්ධතියට එවනු ලබයි. එසේ එවන ලද පැමිණිලි පිළිබඳව විමර්ශන ආරම්භ කරන්නෙ ඒ අනුවය. ගූගල් ආයතනයේ විසින් එසේ දත්ත පද්ධතියට එවන ලද පැමිණි හතරක් පිළිබඳ පර්යේෂණයක් ළඟදී සිදුකර අවසන් කර ඇත. එම පැමිණිලි හතරෙන් එක් පැමිණිල්ලක් පිළිබඳ අනාවරණය වූ දෙයක් ලෙස අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි විස්සක තිහක ප්‍රමාණයක් එකවර අඩු වූ බවක් දක්නට ලැබුණු අතරම එම පුද්ගලයා දරුවන් සම්බන්ධ අසභ්‍ය ප්‍රකාශන අන්තර්ජාලගත කිරීමට සක්‍රීය සහභාගි වූ අයෙක් ලෙස හඳුනාගෙන ඔහුට පුළුවන් ලබාදීමට කටයුතු සිදුකරන බව නියෝජ්‍ය පොලිස්පතිනිය පවසයි.

මෙරට නීතියෙන් දරුවන්ට ඇති ආරක්ෂාව

2006 අංක 16 දරණ දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනතේ 360 (ඉ) වගන්තියට අනුව ලිංගිකව අපයෝජනය කිරීමේ කාර්යය සඳහා ළමයකු පොළඹවා ගැනීමට ඇවිටිලි කරන ඕනෑම තැනැත්තකුට එරෙහිව අවුරුදු 10කට වැඩි නොවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමක් හෝ දඩයක් නැතහොත් එම දඬුවම් දෙකම ලබා දිය හැක. 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනතේ 286 (අ) වන වගන්තියට අනුව ළමයින්ට අදාළව අසභ්‍ය පළකිරීම් හා ප්‍රදර්ශන ආදිය සිදුකරන ඕනෑම තැනැත්තෙකුට එරෙහිව අවුරුදු 2 කට නොඅඩු හා අවුරුදු 10ක් නොඉක්මවන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමක් සිදුකළ හැක. තවද එම තැනැත්තාට දඩ මුදලක්ද ගෙවීමට සිදුවේ. එසේම දණ්ඩ නීති සංග්‍රහයේ 286 වෙනි වගන්තිය යටතේ ළමුන්ගේ අසභ්‍ය දර්ශන, වීඩියෝ පට, ඡායාරූප බෙදා හැරීම වරදක්. ඒ වගේම අසභ්‍ය ප්‍රකාශන පනත යටතේත් එය වරදක් ලෙස පැහැදිලිව දක්වා ඇත. එවැනි නිරුවත් ඡායාරූප, නිල් චිත්‍රපට, වීඩියෝ දර්ශන තව කෙනකුට යැවීම, ෆෝවර්ඩ් කිරීම, ෂෙයාර් කිරීම එම නීතින් යටතේ වරදක් බවට පත් වේ. අප්ලෝඩ් කළ තැනැත්තා පමණක් නොව බෙදා හරින තැනැත්තාත් වරදකරු බවට පත් වේ. අන්තර්ජාලය තුළ පවතින Face Book වැනි සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ළමයින්ව අපයෝජනය කරන හා අපයෝජනය සඳහා පොළඹවන තැනැත්තන්ට එරෙහිව ඉහත පනත් 02 කට අදාළව ඉහත පරිදි දඬුවම් නියම කළ හැක.

දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කම

ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල්වල ලිංගිකත්වය පිළිබඳ කතිකාවත් සඳහා එතරම් නම්‍යශීලී සංස්කෘතික පසුබිමක් නොමැත. නමුත් උගුරට හොරා බෙහෙත් බීම තුළ සිදුවන්නේ ලිංගිකත්වය පිළිබඳ පවතින කුතුහලය වඩ වඩාත් උඩුදිවීමකි. එහි අනිසි ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා ගූගල් යෙදුම හරහා sex සොයා අන්තර්ජාල පිරික්සීමේ ලොව ඉහළතම වාර්තා අතරට ලංකාව ඇතුළත්ව තිබේ.

ලිංගිකත්වය යන වචනය ඇසූ පමණින්ම කුතුහලය ඇවිස්සෙන්නේ ඒ පිළිබඳ පවතින මිත්‍යා මත නිසාවෙනි.

ලිංගිකත්වය යනු කතා නොකළ යුතු, අසභ්‍ය මාතෘකාවක් බවට පත් කරගෙන ඇත්තේ ද අප විසින්මය. මෙරට පාසල් අධ්‍යාපනය තුළින් ලිංගික අධ්‍යාපනය නිසි ලෙස ලැබෙන්නේ නැත. විද්‍යා විෂයට ප්‍රජනනය පාඩමක් තිබුණද ඒ සම්බන්ධයෙන් ඉගැන්වීමට බොහෝ ගුරුවරු මැලිවෙති. පාසල් අධ්‍යාපනය තුළට ලිංගික අධ්‍යාපනය ලබාදීම පිළිබඳ කතිකාවත පසුගිය වකවානුව තුළ වඩාත් මතභේදාත්මකව සාකච්ඡාවට ලක්විණි. ලිංගික අධ්‍යාපනයේ අඩුපාඩු නිසා කුතුහලයෙන් පිරි ළමුන් ලිංගික දැනුම අන්තර්ජාලය හරහා හැදෑරීමට යෑමෙන් විශාල සමාජ පරිහානියක් වී තිබේ. මාධ්‍ය භාවිතයේදී ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා, වෙබ් අඩවි හරහා බෙදාහරිණු ලබන අසභ්‍ය දේ ළමා මනස විකෘති කිරීමට හේතුවේ. ලිංගික අධ්‍යාපනය ලබා දිය යුත්තේ එක් එක් වයසේදී එම වයසට දරුවන්ට තේරුම්ගත හැකි ආකාරයටය. ලිංගික අධ්‍යාපනයක් ලබා දීම ඔවුන්ට අපචාරයක් නොවන්නට ලබා දෙන ආරක්ෂක රැකවරණයක්, මෙවලමක් බව දරුවන් සම්බන්ධයෙන් සැබෑ ලෙසම කතා කරන බොහෝ දෙනා පෙන්වා දෙති. ලිංගික අධ්‍යාපනය දීම යනු ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව ළමයින් පෙළඹවන්නක් නොවන බවත්, බාල වයසේ සිටම ලිංගික අධ්‍යාපනය ලබා දීමෙන් බොහෝ අතවර වළක්වාගත හැකි බවත් ඒ සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ කරන විද්වතුන්, වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥවරුන් මෙන්ම දරුවන් සමග නිරන්තරව හිඳින ගුරුවරුන් ඇතුළු පිරිස් පවසති.

දරුවන් අන්තර්ජාලය භාවිතයේදී අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රම

වර්තමානයේ ළමුන්ගෙන් බොහෝ දෙනකුට පරිගණක භාවිත කළ හැකිය. අන්තර්ජාලය අගනා තොරතුරු මූලාශ්‍රයක් වුවත් මෙය ළමා අපයෝජකයන්ට ළමුන් අපචාර සඳහා හසුකර ගැනීමට මග සලසන මාධ්‍යක් ලෙසද හැඳින්විය හැකිය. ඔබගේ දරුවා අන්තර්ජාලයේ බොහෝ වේලාවක් ගත කරනවා නම් දෙමාපියන් ලෙස ඔබ ඒ පිළිබඳව සොයා බැලිය යුතුමය. ඔහු ඔබ පරිගණකය අසලින් යන විටදී පරිගණකයේ තිරය හදිසියේ වෙනස් කරන්නේද අන්තර්ජාලය හරහා දරුවා පණිවිඩ හුවමාරු කරගන්නේ කා සමගද යනාදී කරුණු පිළිබඳව වගකිවයුතු දෙමාපියකු ලෙස ඔබ ඉතා සැලකිලිමත් විය යුතුය. දරුවන් පරිගණකයක් භාවිතා කරන්නේ නම් එය පවුලේ සියලු දෙනාම ගැවසෙන පොදු ස්ථානයක තබන්න. ජංගම දුරකථනයක් දරුවාට ලබා දෙනවා නම් නිරන්තරයෙන් ඒ පිළිබඳව අවධානයෙන් සිටින්න. අන්තර්ජාලය හරහා දරුවන් අපයෝජනයට ලක් විය හැකි ආකාර පිළිබඳව තම දරුවන් නිරන්තරයෙන් දැනුවත් කිරීමද දෙමාපියන් හා ගුරුවරුන් සම්බන්ධ වගකීමකි. කිසිදු අවස්ථාවකදී නම, පාසලේ නම, දුරකථන අංකය යනාදී තොරතුරු බාහිර පුද්ගලයන්ට ලබා නොදෙන ලෙසත්, කිසිවිටක තම ඡායාරූපය සමාජ ජාලයන්ට ඇතුළත් නොකරන ලෙසටත් ළමුන්ව දැනුවත් කරන්න. සමාජ ජාලයන් හා සම්බන්ධ වූ නව යෞවනයන්ට ඇති වූ ගැටලු හා එහි ප්‍රතිවිපාක පිළිබඳවත් ඔබගේ ළමුන්ට පහදා දෙන්න. නොහඳුනන පුද්ගලයන්ගෙන් ලැබෙන පණිවිඩ හෝ ඡායාරූප විවෘත කර බැලීම හෝ ප්‍රතිචාර දැක්වීම නුසුදුසු බවත්, එය අනතුරු දායක විය හැකි බවත් දරුවාට පවසන්න. එමෙන්ම එවැනි දෙයක් සිදු වුවහොත් තමන්ට පවසන ලෙසටත් දරුවාට උපදෙස් ලබා දීම දෙමාපියන් සතු වගකීමකි.

පැමිණිලි කළ යුත්තේ කාටද

අන්තර්ජාලය හරහා ළමා අපයෝජනයන් සිදුවන්නේ නම් නොපමාව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු අදාළ අංශ දැනුවත් කිරීමට නොපමාව කටයුතු කිරීම රටවැසි සියලු දෙනාගේ යුතුකමකි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අදාළ තොරතුරු කඩිනමින් ලබා දීම 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය ඔස්සේ සිදු කළ හැකිය. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන ත්‍රෛභාෂාවන්ගෙන් 24 පැය පුරා ක්‍රියාත්මක මෙම ක්ෂණික දුරකථන අංකයට අදාළ පැමිණිලි සිදුකිරීම සඳහා ඔබට කිසිදු මුදලක් වැය නොවේ. ඊට අමතරව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයටද අදාළ ළමා අපයෝජන පිළිබඳව පැමිණිලි කළ හැක. ඊට අමතරව පැය 24 පුරා ක්‍රියාත්මක 109 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතුමක් ලබා දීමෙන් හෝ 071-8595843 වට්ස්ඇප් අංකය ඔස්සේ මෙන්ම cwb.online@police.gov.lk දරන විද්‍යුත් ලිපිනය හරහා ළමා අපයෝජන සම්බන්ධව පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණිලි කළ හැකිය. එමෙන්ම මෙවැනි සිදුවීම් පිළිබඳව දිවයිනේ ඕනෑම පොලිස් ස්ථානයකටද පැමිණිලි සිදු කළ හැක.

රශ්මි කරුණාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment