සාකච්ඡාවක් ඇසුරිනි
එරික් ගාමිණී ජනප‍්‍රිය
මම පළමුවෙන්ම කැමතියි අපේ මව්බස වෙනුවට ඉංගිරිසිය යොදා ගත යුතුයි කියන, හෝඩියේ සිට ඉංගිරිසියෙන් අධ්‍යාපනය දිය යුතුයි කියන පිරිස් නගන තර්කවලට පිළිතුරු සපයන්න. ඔවුන් විසින් න`ගන මූලික තර්ක දෙකක් තිබෙනවා.
ඔවුන් න`ගන එක් තර්කයක් මෙවැන්නක්. අද ඇත්තේ තාක්ෂණය මුල් කරගත් ලෝකයක්. බටහිර ලෝකය තාක්ෂණය මුල් කර ගෙන සිව්වන කාර්මික විප්ලවය අද සිදුකර තිබෙනවා. අපිට මීට පිටුපා කටයුතු කරන්න බැහැ. අපේ සංවර්ධනය සඳහා අපිත් ඒ තාක්ෂණික ලෝකය සමග බද්ධ විය යුතුයි. අපේ මව්බස වන සිංහලය මගින් එය කරගන්න බැහැ. එය කරගන්න පුළුවන් ඉංගිරිසිය මගින් පමණයි. ඉංගිරිසිය නොදන්නා අපි තාක්ෂණික ලෝකයෙන් කොන් වෙනවා.
මේ තර්කය නගන බොහෝ දෙනා විශේෂයෙන්ම තරුණ පිරිස හිතාගෙන ඉන්නෙ සෙල්පෝන් එකක් කනේ ගහගත්තු පමණින් අපිත් ඒ සිව්වන කාර්මික විප්ලවය සිදු කරලා තාක්ෂණික ලෝකයට පිවිස ඇතිය කියලා. සිව්වන කාර්මික විප්ලවයට පිවිසීම කෙසේ වෙතත් අපි තාම පළමු කාර්මික විප්ලවයටත් පිවිසිලා නැහැ. සිදුවෙලා තියෙන්නේ බටහිර ලෝකයේ අද ඇති තාක්ෂණයට අපි ගොදුරු වීම පමණයි.
තුන්වන ලෝකයේ ඇතැම් රටවල් නම් ඒ තාක්ෂණික ලෝකයට පිවිසීම කෙසේ වුවත් ඒ තාක්ෂණික ලෝකයට අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර කෑලි හැදිමට සමත්වෙලා තියෙනවා. අපිට ඒ ටිකවත් කරගන්න පුළුවන් වෙලා නැහැ. අපිට පුළුවන් වෙලා තියෙන්නේ ඒ බටහිර තාක්ෂණික ලෝකයට අවශ්‍ය වෙළෙඳපොල (මාර්කට්) සැපයීම පමණයි. ඒක නම් අපි සාර්ථක ලෙස කරලා තිබෙනවා. දකුණු ආසියාවේ වැඩිම සෙල්පෝන් ඇත්තේ අපේ මේ රටෙයි. අපේ දේශපාලකයොත් හිතාගෙන ඉන්නේ ගමේ ඉස්කෝලෙට කොම්පියුටර් එකක් දුන්නාම එකේ ඉන්න දරුවත් තාක්ෂණික ලෝකයට ඇතුළු කර ගන්න පුළුවන් කියලා.
මම කියන මේ දේවල් පිළිගත්තත් නැතත් එක දෙයක් මම අවධාරණය කරලා කියන්න කැමතියි. ඒ තාක්ෂණික ලෝකයට ඇතුළු වීමට අවශ්‍ය නම් ඊට අපේ භාෂාව බාධාවක් නොවෙයි. අපට ඒ සඳහා ඉංගිරිසිය අවශ්‍ය නෑ. පසුගිය අඩසියවස කාලය තුළ අපි ඒ තාක්ෂණයේ පදනම වන නවීන විද්‍යාත්මක භාෂාව ප‍්‍රගුණ කරලා තියෙනවා. අද මේ රමේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු, විශේෂඥ මහාචාර්යවරු, ඉංජිනේරුවරු නවීන විද්‍යාව ප‍්‍රගුණ කරලා (උසස් පෙළ දක්වා) තියෙන්නේ සිංහලෙන්. ඉංගිරිසියෙන් නෙවෙයි. එමගින් තාක්ෂණයට නවීන විද්‍යාවට අවශ්‍ය වාග්කෝෂය අපි නිර්මාණය කරලා තියෙනවා.
එම නිසා ඒ සඳහා ඉංගිරිසිය අවශ්‍ය යැයි කියන මිථ්‍යාව අපි විසින් බැහැර කළ යුතුයි. බටහිර ලෝකයේ බිහිවන නවීනතම විද්‍යා ඥානය, තාක්ෂණික ඥානය ලබා ගැනීම සඳහා අපි අන්තර්ජාතික භාෂාවක් ඉගෙන ගැනීම වෙනම දෙයක්. ඒ පිට දාලා මුලූ මහත් දරු පරම්පරාවටම ඉංගිරිසිය පොවන්නට යෑම ජාතික අපරාධයක්.
ඉංගිරිසිය රජ කරවීමට යෝජනා කරන මේ පිරිස නගන දෙවැනි තර්කය මෙවැන්නක්. ඔවුන්ට අනුව අපේ තරුණ පිරිස, අපේ දරුවන් විරැකියාවෙන් පෙලෙන්නේ ඔවුන්ට මේ තාක්ෂණ දැනුම නොලැබීම නිසයි. එය තාක්ෂණ දැනීමේ මාධ්‍යය වන ඉංගිරිසි බස ඔවුන්ට නොලැබෙන නිසයි.
ඔවුන්ගේ මේ තර්කය අපේ රටේ මධ්‍යම පන්තියට ඉතාමත් පි‍්‍රය මනාප වෙන්න පුළුවන්. මොකද මේ මධ්‍යම පන්තිය ඉතාමත් පිරිහිණු ඉතාමත් දීන අභිලාෂයන්ගෙන් යුත් අනුකාරක පන්තියක්. මොවුන්ගේ එකම පරමාර්ථය එකම අභිලාෂය තමන්ගේ දරුවන් ඉනිමගේ ඉහළට යැවීමයි. එමගින් තමන්ටත් ඉනිමගේ ඉහළට ගොස් සුපිරි ධනපති පන්තියට ඇතුළුවීමට හැකිය කියා මේ දෙමාපියන් හිතාගෙන ඉන්නවා. මේ මිථ්‍යාව ඔවුනගේ මනසට කැවී තියෙනවා. අපේ තරුණ පරම්පරාව විරැකියාවෙන් පෙළීමට ප‍්‍රධාන හේතුව ඔවුන්ට තාක්ෂණික ඥානය නොලැබීම නෙවෙයි. ඔවුන් ඉංගිරිසිය නොදැනීම නොවෙයි.
ඊට හේතුව විරැකියාව ඇති කිරීමට හේතුව අපේ ආර්ථිකය ඊට අවශ්‍ය ලෙස ප‍්‍රසාරණය නොවීමයි.
පසුගිය දසක හත තුළ නිදහස ලැබීමෙන් පසු අපේ ආර්ථිකය එසේ ප‍්‍රසාරණය වූයේ නෑ. සිදු වූයේ තිබුණු ආර්ථිකයත් සංකෝචනය වීමයි. ඊට ප‍්‍රතිකර්මය තාක්ෂණය ලබා දීමවත් ඉංගිරිසිය ඉගැන්වීමවත් නොවෙයි. චීනය, ජපානය වැනි රටවල් සිය ආර්ථික ප‍්‍රසාරණය කරගෙන ඇත්තේ පරබසක් රට තුළට වැද්ද ගැනීමෙන් නොවෙයි.
අපේ දරුවන්ට සිංහලෙන් මව්බසින් ප‍්‍රාථමික, ද්විතික අධ්‍යාපනය දිය යුතු යැයි අපි කියන්නේ සිංහලය කෙරෙහි අප තුළ අති විශේෂ පේ‍්‍රමයක් හෝ ජාතික අනුරාගයක් උඩ නොවෙයි. නියම විද්‍යාත්මක පදනම් ඉවහල් කර ගෙනයි.
කුඩා දරුවා බහ තෝරන වයසේ සිට බාහිර ලෝකය හා සම්බන්ධ වන්නේ සිය මව්බස – සිය ගෙදරදොරේ කතා කරන භාෂාව මගිනුයි. මෙය ඔහුගේ වර්ධනයට ඉතාමත් අවශ්‍යයි. මේ කරුණු අපි ගැඹුරින් වටහා ගත යුතුයි.
බහ තෝරන දරුවා අවට ඇති ලෝකය හා සම්බන්ධ වන්නේ දෙයාකාරයකින්. දැකීමෙන් සහ දැනීමෙන්. මේ දෙක එකක් නෙවෙයි දෙකක්. මේ දෙක ඉංගිරිසි බසින් හඳුන්වන්නේ (perception cognition) යනුවෙනි. දරුවා අවට ලෝකය දකින්නේ පසිඳුරන් හා සම්බන්ද වූ මොළය (Brain) මගින්. දරුවා දකින බාහිර ලෝකය ඔවුන් දැනගන්නේ හඳුනා ගන්නේ සිය මනස මගින්. ඒ මනස ඔහු ලබා ගන්නේ සිය දෙමාපියන්, පවුල, පාසල ලබා දෙන සංස්කෘතිය ඇසුරින්. ඒ කියන්නේ දරුවා ලොව හඳුන ගන්නා මනස සංස්කෘතික නිර්මාණයක්.
දරුවා පමණක් නොවෙයි වැඩිහිටි අපත් අප වසන බාහිර ලෝකය හා සම්බන්ධ වන්නේ මේ අයුරිනි.
– දැකීමෙන් සහ දැනීමෙන් – පසිඳුරන් හා මොලය අසුරෙන් කරනු ලබන මේ දැකීම මුළු ලොවටම සියලූම සත්වයන්ට පොදුයි. අප ලොව දැන ගන්න, හඳුනාගන්න, අවබෝධ කර ගන්නා මනස කිසියම් සංස්කෘතියකට විශේෂිතයි. දැකීම මෙන් විශ්වයටම පොදු නැහැ. මේක අපට සරල උදාහරණයකින් වටහා ගන්න පුළුවන්.
අනුරාධපුරයට යන සිංහලයා රුවන්වැලිසෑය දැක ගන්නේ සහ හඳුනාගන්නේ එහි යන විදේශිකයා රුවන්වැලිසෑය දැක හඳුනාගන්නේ එක ලෙස නොවෙයි. සංචාරක විදේශිකයා රුවන්වැලිසෑය හඳුනාගන්නේ ගඩොල් ගොඩක් ලෙසයි. (අපේ පැරණි මාක්ස්වාදීනුත් එසේ හඳුනාදුන් බව ඔබට මතක ඇති.) සිංහලයා රුවන්වැලිසෑය හඳුනාගන්නේ හදවත වැලැඳ සිටින මහාර්ඝ වස්තුවක් ලෙසයි. ගඩොල් ගොඩක් ලෙස නොවෙයි. සිංහලයා එසේ හඳුනාගන්නේ සිය සංස්කෘතික මනස මගින්. මේ මනස පිහිටියේ කොතනද, මොල කුහරය තුළ ද නැත්නම් පිටත ද යන්න අප තවම දන්නේ නෑ.
මා හිතන අයුරින් මේ කරුණ පැහැදිලි කර ගැනීමට අපේ බෞද්ධ දර්ශනය චිත්ත චෛතසික විග‍්‍රහය ප‍්‍රයෝජනවත් වන්න පුළුවන්. ඒ විග‍්‍රහයට අනුව අපට පසිඳුරන් ඉක්මවා සිටින මනස නමින් හඳුන්වන තවත් ඉන්ද්‍රියක් තිබෙනවා. මා සිතන අයුරින් ඒ හයවන ඉන්ද්‍රියය සංස්කෘතික නිර්මාණයක්. මේ ගැන මට මීට වඩා අවබෝධයක් නැහැ.
වැඩෙන දරුවා මේ කියන මනස ලබා ගන්නේ සිය පරිසරය තුළිනුයි. සිය දෙමාපියන්, සිය පවුල, සිය පාසල මගිනුයි. එය සංස්කෘතික මනස පරපුරින් පරපුරට ගෙනියන්නේ භාෂාව විසින්. භාෂාව තමයි ඒ සංස්කෘතික මනස පරපුරින් පරපුරට ගෙනයන වාහකයා. මේ කරුණ අපි ගැඹුරින් වටහා ගත යුතුයි.
අපි මෙය වටහා නොගෙන අපගේ මව්බස මේ සඳහා යොදා නොගත්තොත් මේ කාර්යය ඉටු වන්නේ නැහැ. ඉංගිරිසිය වැනි පර බසකින්, අපේ සමාජයට ආවේනික නොවන බසකින් මේ කාර්යය ඉටු කර ගන්න බැහැ.
මේ කරුණ නොතකා අපි ඉංගිරිසිය වැනි බසකින් මේ කටයුත්ත කර ගන්න හැදුවොත් එහි ප‍්‍රතිපලය වන්නේ මනසක් නැති රොබෝ පරපුරක් බිහිවීමයි.
එවැනි පරපුරක් බිහිවිම තමයි ජාතියක් නැති වීමේ පළමු පියවර. (එය දැනටමත් සිදුවී ඇද්දැයි මා දන්නේ නෑ.) බාගෙවිට මේ ඉංගිරිසිය හෝඩියේ සිට පොවන්න හදන මේ වියතුන්ගේ අවශ්‍යතාවය ද ජාතිය නැති කිරීමේ මේ කාර්යය වන්නට පුළුවන්.