දරුවන් උදෙසා… තේරුම් ගනිමු, ගැටලු අවම කරගමු

602

දෙමාපියන් හා දරුවන් අතර ඇති සම්බන්ධය දුරස්වීම තුළ ඔවුනොවුන් පිරිහීමට ලක්වීම සහ සතුටින් වෙසෙන පවුලක් යන බලාපොරොත්තුව ඉටු කරගත නොහැකි වීම වර්තමානයේ බොහෝ පවුල් මුහුණ දෙන ගැටලුවකි. මෙයට ප්‍රමුඛතම හේතුව දරුවන් යැයි රැල්ලට බොහෝ දෙනා දොස් නැගුව ද සත්‍යය එයින් දුරස් වේ. දරුවන් යනු ඉගෙන ගන්නා මෙන්ම පුහුණු වන පිරිසකි. ඔවුන් ඉගෙන ගන්නේ අත්දැකීම්වලින් හා තමා අවට පරිසරයෙනි. මෙහිදී දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධය ඉතා වැදගත් බලපෑමක් මෙම වෙනස්කම් උදෙසා සිදු කරයි.

සම්බන්ධය හා දුරස් වීම

දෙමාපියන් වෙත දරුවන්ට විවෘත වීමට නොහැකි වීම සහ දරුවන්ව දෙමාපියන්ට තේරුම් ගැනීමට නොහැකි වීම යන කරුණු යුගල මෙම සම්බන්ධතාව බිඳවැටීමට බලපා තිබේ. මෙම ප්‍රමුඛ සාධක දෙක නොබලා හුදෙක් ජංගම දුරකථනයට හෝ පරිගණකයට දොස් නැගීම විහිළුවකි.

සම්බන්ධය ගොඩනඟා ගනිමු

දරුවන් හා සම්බන්ධය ගොඩනඟා ගැනීමට දෙමාපියන් විසින් දරුවාට අවංකවීමත් දරුවාට තමා වෙත විවෘත වීමට ඉඩ හැරීමත් සිදුකළ යුතුව තිබේ. එහිදී දරුවන්ට කුඩා කාලයේ සිට ජීවිතය ගැන උපදෙස් දීම වෙනුවට දරුවාව තේරුම්ගෙන දරුවාගේ දෘෂ්ඨි කෝණයෙන් ගැටලුව දෙස බලා දරුවා වෙත කාරුණිකත්වය මත ගැටලුව නිරාකරණය කර ගැනීමට සහාය වීම සිදුකළ යුතුව ඇත. උදාහරණයක් ලෙස, ඔබේ දරුව පිරිසිදුව නොසිටින කෙනෙක් යැයි සිතන්න. පිළිවෙලක් නැත්තෙකු ලෙස සිතන්න. ඔබ එය වෙනස් කිරීමට දොස් නැගීම පමණක් කරන්නේ නම් එය වෙනස් කිරීමට වඩා අපහසු වනු ඇත. ඊට ප්‍රථම ඔබේ දරුවාගේ ඒ හැසිරීමට හේතුව විමසීමත්, දරුවා සිටින්නේ කවර මානසික තත්ත්වයක දැයි තේරුම් ගැනීම පිණිස දරුවා සමග කතා කිරීමත්, පසුව ගැටලුව තේරුම් ගැනීම තුළ දරුවා ක්‍රමක්‍රමයෙන් පිරිසිදුව සිටීමට හුරු කිරීමත් සිදුකළ යුතුව ඇත.

නමුත් ඒ වෙනුවට බොහෝ දෙමාපියන් දරුවාට ඔහේ හැදෙන්නට ඉඩ හැර පසුව අපිළිවෙළට දොස් නගා පිළිවෙළ ගැන දේශනා කරමින් බැන වැදීම සිදු කරනු දක්නට ලැබේ. දරුවාට ක්‍රම ක්‍රමයෙන් පුහුණු කරවීම විනා නින්දෙන් නැගිට්ටා සේ අලුත් හැසිරීමක් බලාපොරොත්තු වීම හාස්‍යයට කරුණකි.

ලිංගික අධ්‍යාපනය

දරුවා සමග පුද්ගලික ශාරීරික වෙනස්කම් මෙන්ම ලිංගිකත්වය පිළිබඳවත් කතා කිරීමට නිසි කාලය දෙමාපියන් විසින් තේරුම් ගත යුතුව ඇත. සමාජයෙන් හා මිතුරන්ගෙන් එය ඉගෙනීම වඩා හානිකර විය හැකිය. එබැවින් දරුවාට සත්‍ය ලෙසම සිදුවන ක්‍රියාවලිය සීමාවක් තුළ පැවසීමට දෙමාපියන් කටයුතු කරන්නේ නම් දරුවාගේ ආරක්ෂාව වැඩි දියුණු වනු ඇත.

සන්සුන් මනසක් හා අධ්‍යාපනය

දරුවන්ගේ අධ්‍යාපනය හා මානසික සෞඛ්‍ය ගැනත් සැලකිලිමත් වීම වැදගත් කරුණකි. දෙමාපියන් විසින් දරුවාගේ මනස සන්සුන් කිරීම සඳහා දරුවාව විවේචනය නොකර දරුවාට ඇහුන්කම්දීමත් ගැටලුව අවතක්සේරු නොකර වැඩි අවධානයක් ලබාදීමත් අත්‍යවශ්‍ය වේ. එසේම දෙමාපියෙකු ලෙස ඔබගේ මනසත් සන්සුන්ව තබාගෙන රැකියා ස්ථානයේ හෝ ඔබගේ පවුල් ජීවිතයේ ගැටලු හා පීඩනයන් දරුවා පිටින් නොයැවීමට කටයුතු කිරීම වැදගත් වේ.

දරුවෙකුගේ වගකීම

දරුවෙකුගේ වගකීම නම් තම ජීවිතය සාර්ථක කර ගැනීම පිණිස දෙමාපියන්ගේ උදව් ලබා ගැනීමයි. දෙමාපියන්ගේ උපකාර ලබාගැනීම නම් තමාගේ ප්‍රශ්න හෝ ගැටලු දෙමාපියන් සමග කතාකොට ඒවාට උපකාර ලබාගැනීමයි. ඔබ තනි වූ කෙනෙකු හෝ තනිව තීරණ ගත යුත්තෙකු නොවන අතර දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ සහාය නිතර ලබා ගැනීමෙන් ඔබේ අනාගත අරමුණු කරා පහසුවෙන් ළඟාවිය හැකිවනු ඇත.

අරමුණ සහ අධිෂ්ඨානය

දරුවෙකු ලෙස ඔබ කිනම් වයසක පසු වුවත්, අරමුණක් ඇතිව වැඩ කිරීමෙන් වඩා ප්‍රායෝගික ප්‍රතිඵල ඔබට ලබාගත හැකිවනු ඇත. ජිවිතයේ අරමුණ වෙනුවෙන් තමා විසින් කැපවිය යුතු ආකාරය මෙනෙහි කිරීමත් ඒවා සිහියේ තබා ගැනීම පිණිස නිරන්තර උත්සාහයක නිරත වීමක් වැදගත් වෙයි.

ඒ සඳහා අරමුණු කාඩ්පතක ලියන්න. අරමුණු සඳහා කැපවිය යුතු අයුරු තවත් කාඩ් පතක ලියන්න. අරමුණු ඉෂ්ට නොවුවහොත් ඒ සඳහා වෙනත් සැලැස්මක් තවත් කාඩ් පතක ලියන්න (Backup Plan) මෙහි පළමු කාඩ්පත දෙක නිරන්තරයෙන් තමා සන්තකයේ පෙනෙන තැනක තබාගෙන උත්සාහය අඩුවන සෑම තැනකදීම එය කියවන්න. තුන්වන කාඩ්පත සුරැකිව තබාගන්න. එය ඔබගේ අරමුණු බිඳ වැටුනහොත් කියවා, මානසිකව වැටීමෙන් ගැලවී ගමන් කිරීමට උත්සාහ කරන්න.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම

බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ද දෙමාපියන් සහ දරුවන් අතර සම්බන්ධය පහත ආකාරයට පවත්වාගන්න ලෙසයි.

දෙමාපියන්ගෙන් දරුවන්ට සිදුවිය යුතු දේවල්

  1. පවින් වළකා ගැනීම
  2. යහපතේ යෙදවීම
  3. අධ්‍යාපනය ලබාදීම
  4. නිසිකලට ආවාහ විවාහ කර දීම
  5. සුදුසු දායාදය ලබාදීම

දරුවන්ගෙන් දෙමාපියන්ට සිදුවිය යුතු දේවල්

  1. මාපියන් පෝෂණය කිරීම
  2. මාපියන්ගේ කටයුතු සොයා බලා කරදීම
  3. දෙමාපියන්ගේ ගෞරවය රැකීම
  4. දෙමාපියන් ලබාදුන් දායාදය සුරැකීම
  5. දෙමාපියන් මියගිය පසු පින් අනුමෝදන් කිරීම

ඉහත දැක්වූ පරිදි දෙමාපියන් සහ දරුවන් අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතුව තම වගකීම් හා යුතුකම් තේරුම්ගෙන කටයුතු කළහොත් වඩා සතුටුදායී ජීවිතයක් සේම අප බලාපොරොත්තු වන තෘප්තිමත් ජීවිතයක් ලබා ගැනීමට හැකියාව පවතියි.

පැපිලියානේ
ආර්යදේව රතනහිමි

සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment