දරුවන් මුලින්ම මතට හුරු කරන ෆාමසි මාෆියාව

183

ට්‍රැෆික් බයිසිකලෙන් තවුට් ගහන පොලිසියේ ඇත්තෝ

ඖෂධ අලෙවි නියෝජිත මාෆියාවෙන් මත් පෙත්ත සමාජගත වූ හැටි

මත් පෙති ජාවාරම නොදුටු සෞඛ්‍ය බලධාරීන් කෝටිපතියන් වෙලා

පෙම්වතුන් නිසා අයිස් ගහන කලාපේ තරුණියෝ

මානසික සහ ස්නායු රෝගීන්ට දෙන ඖෂධ තොගපිටන් රට ඇතුළට

වසර හයක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවට ආගන්තුක මත්ද්‍රව්‍යයක් වූ මෙතන්පෙටමයින් හෙවත් අයිස් මාරයා අපේ දරුවන්ට අත්කර දී තිබෙන ඛේදනීය ඉරණම ඉකුත් සතියේ දිවයින ඉරිදා සංග්‍රහය මගින් අනාවරණය කිරීමට අපි කටයතු කළෙමු.

එකී අනාවරණය ඇතැම් තීන්දු තීරණවලට කොතෙක් බලපෑවේදැයි අපි නොදන්නෙමු. එහෙත් අයිස් මාරයා පිළිබඳ අප රටට පවසා සතියක් ගෙවී යන්නටත් මත්තෙන් රටපුරා පැතිරෙන මතට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා ජනාධිපති කාර්ය සාධ බලකායක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබීය.

එපමණක් නොව, ඉකුත් ඔක්තෝබර් මස 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලැබූ 2022 අංක 41 දරණ විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත බලාත්මක කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි දැවැන්ත පියවරක් ඉදිරියට තබන්නටද ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩව කටයුතු කළේය.

එමඟින් රට වෙලාගත් අයිස් මාරයාට එල්ලවූයේද මරු පහරකි. මතට එසේ වැට බැඳෙද්දී මේ වන විට රට පුරා පැතිර යන මත් උවදුර මැඬලීම සඳහා දැන් අපට ජනාධිපති කාර්ය සාධක බළකායක්ද ඇත. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා දැනටමත් එහි ප්‍රධානියා ලෙස පත්කර සිටී.

නව කාර්ය සාධක බළකායේ ඉලක්කය වී තිබෙන්නේ විද්වත් සොයා බැලීමක් තුළින් අදාළ නිර්දේශ ඉදිරිපත් කරන අතරේ රටපුරා පැතිර යමින් තිබෙන මත් උවදුර මැඬලීමය.

සැබැවින්ම අද මෙරට තුළ මත් උවදුර පැතිර යමින් තිබෙන්නේ කෙසේද? එය වැළැක්වීමේදී පුරවැසියන් ලෙස රට වැසියන්ට මෙන්ම වගකිවයුත්තන්ට පැවරී තිබෙන කාර්යභාරය කෙසේ වී තිබේද? එකී වගකීම පැහැර හැරෙමින් තිබෙන්නේ කොතැනකින්ද?

මේ ගැටලුවලට විසඳුම් සෙවීමේදී අපට පෙනෙන්නට ඇති පරිදි මුලින්ම වගකීම් විරහිතව කටයුතු කරමින් සිටින්නේ තමන්ගේ දරුවා, පියා, සොහොයුරා හෝ සොයුරිය මත් ලෝලියකු වී සිටිතියි දැන දැනත් නිහඬව සිටින දහස් ගණනක් වූ පවුල්වල සාමාජිකයෝය.

හෙරොයින්, අයිස් ආදී වශයෙන් භයානක මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් ඇතැම්විට ඒවා ලබා ගන්නේ ජාවාරම්කරුවන්ට දුරකථන ඇමතුම් ලබා දීමෙනි. එසේ නැතහොත් ජාවාරම්කරුවා සිටින ස්ථානය වෙත ගොස් මත්ද්‍රව්‍ය ලබා ගැනීම සාමාන්‍යයෙන් සිදුවේ.

මෙහිදී තම පුතා, සැමියා, දියණිය හෝ සොයුරිය මත්ද්‍රව්‍ය ලබා ගන්නා ආකාරය පවුල්වල සාමාජිකයෝ හොඳින්ම දැන සිටිති. එය සිදු කෙරෙන්නේ දුරකථන ඇමතුම් මගින් නම් අදාළ ජාවාරම්කරුවන්ගේ දුරකථන අංක අනාවරණය කර ගැනීම පවුලේ අයට ඉතාම පහසුවෙන් කළ හැකිය.

එසේ කිරීමෙන් පසු නිර්නාමිකව හෝ අදාළ දුරකථන අංක මත් උවදුරට එරෙහිව ක්‍රියාත්මක ආයතනයක් වෙත ලබාදීමට ඔවුන්ට හැකියාව ඇත. පවුලේ සාමාජිකයා මත්ද්‍රව්‍ය ලබා ගන්නේ ජාවාරම්කරුවා වෙත යමින් නම් එකී ස්ථාන පිළිබඳ තොරතුරු අනන්‍යතාව හෙළි කිරීමකින් තොරව ලබාදීමේ හැකියාවද ඔවුනට ඇත.

එහෙත් කණගාටුදායකම සිදුවීම වන්නේ කිසිවකුත් එවැන්නකට ඉදිරිපත් නොවීමය. තමන්ගේ පවුලේ සාමාජිකයකු මත් ද්‍රව්‍යයකට ඇබ්බැහි වී සිටින බව දැන දැකත් ඔවුහු පුරවැසි යුතුකම අමතක කර දමා නිහඬවම සිටිති. ඔවුන් එසේ සිය යුතුකම අමතක කරද්දී මේ රටෙන් මත තුරන් කරනුයේ කෙසේද?

රට පුරා මත් උවදුර පැතිර යෑමේ ව්‍යසනයේදී දෙවනු අපේ අවධානය යොමු කරනුයේ පසුගරැිය දිනක අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතාද චෝදනාත්මක සඳහන් කරනු ලැබූ පොලිසිය වෙතය.

මෙහිදී වගකීමෙන් සඳහන් කළ යුතු එක් කරුණක් ඇත. සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම සිටිනුයේ දූෂිතයන් යැයි අපි කිසි විටෙකත් නොකියමු. පොලිසියේ අති බහුතරයක් නිලධාරීහු වැදගත් ලෙස රාජකාරිය සිදු කරන්නෝ වෙති. එහෙත් මේ අතරේ පොලිසියට ආ දූෂිතයෝද සිටින්නාහ.

අද ඇතැමුන් කියන පරිදි එකී දූෂිතයෝ ජාවාරම්කරුවන්ගේ ඉත්තන් වී මත් කුඩු හෝ අයිස් වැනි භයානක මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනුයේ පොලිස් රථවාහන අංශවල රාජකාරියට ඇති නිල යතුරු පැදිවලිනි. එය හැඳනිවෙන්නේ තවුට් ගැසීම ලෙසිනි.

දරුවන් මුලින්ම මතට හුරු කරන ෆාමසි මාෆියාව

මේ අන්දමට පොලිසියේම යතුරු පැදිවලින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී ලැබෙන ආරක්‍ෂාවද පවතින්නේ ඉශළම තැනකය. එසේ වන්නේ පොලිස් යතුරු පැදි කොතැනකදීවත් පරීක්‍ෂාවට ලක් නොවීම නිසාය.

ට්‍රෆික් බයිසිකලයේ කතාව එසේ වෙද්දී අද ඇතැම් පොලිස් ස්ථානා0පතිවරුන් ගැන කියැවෙමින් තිබෙන කතාවද ඒ හා සමානම එකකි.

කිසියම් පෙලිසියක මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු වීමේදී අත්ඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ප්‍රමාණය අධිකරණයට ඉදිරිපත් කෙරෙනතුරු පවතින්නේ පොලිස් ස්ථානාධිපතිවරයා භාරයේය.

මෙවැනි වැටලීමකදී බොහෝ විට අත්අඩංගුනට ගැනෙන්නා ජාවාරම්කරුගේ ගෝලයකු වීම සාමාන්‍යය. මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ ක්‍රියාකාරීත්වය අනුව ජාවාරමේ අංක එක හා දෙක වැනි තැන්වල සිටින්නන් පොලිස් අත්අඩංගුවට පත්වීම විරලය.

නීතිගරුක පොලිසියේම ඇත්තන් පෙන්වා දෙන්නේ එසේ ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් යටතේ පවතින මත් ද්‍රව්‍ය තොග අධිකරණයට යෑමට පෙර වෙනත් ආදේශකවලට මාරු කෙරෙන බවකි. එසේ කිරීමෙන් පසු අංක එකේ හෝ දෙකේ සිටින ජාවාරම්කරුවන් පැමිණ අත්අඩංගුවට ගත් මත් කුඩු හෝ අයිස් ඇතුළු අනෙකුත් දේ පොලිසියෙන්ම යළි රැගෙන යෑම ඇතැම්විට සිදුවන බවද ඔවුහු සඳහන් කරන්නාහ.

මෙහිදී අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට සැලසෙන වාසි දෙකක් ඇත. පළමු වැන්න වන්නේ වැටලීම හේතුවෙන් ස්ථානාධිපතිවරයා උසස් නිලධාරීන්ගේ අගැයීමට පාත්‍ර වීමය. දෙවැන්න වන්නේ ජාවාරම්කරුවා ලබා දෙන සන්තෝසම්වලින් ඔහුගේ සාක්කු පිරී ඉතිරී යෑමය.

ඕනෑම අයකු මෙවන් තත්ත්වයකට ඇද වැටෙනුයේ පවතින ආර්ථික අපහසුතා හමුවේ විය හැකිය. එනිසා කිසිවකුටත් අපි දොස් නොකියමු.එහෙත් මෙහිදී සිදුවන්නේ සමස්තය ගර්හාවට පත් වීමක් නම් එය ගැටලුවකි.

මේ අන්දමට කටයුතු සිදු වීමේදී අගෞරවයට පත් වන්නේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවය. දෙපාර්තමේන්තුවේ සිටින විනයගරුක, නීතිගරුක හා රාජකාරියට අවංක වූ නිලධාරීන්ට සිදුවන අවැඩද සුළු පටු නැත.

එසේම මෙවැනි දේ සිදුවීමේදී රටට සිදුවන විනාශයද අති විශාලය. එසේ නම් මෙහිදී පොලිසියේ සිටින අති බහුතරයක් වූ සද්භාවයෙන් රාජකාරිය සිදු කරන අවංක නිලධාරීන්ද සමඟ පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය රැක ගනිමින් රටත් බේරා ගැනීමට අප කළ යුත්තේ කුමක්ද?

ඇමරිකාව ඇතුළු ලොව දියුණු රාජ්‍යයන්හි පොලිස් නිලධාරියා යනු වාර්ෂික විගණනයකට ලක් වන්නෙකි. එය සැලකිල්ලට ගෙන අදාළ ක්‍රමවේදයන් අනුගමනයට අපද කටයුතු කළහොත් මෙකී ගැටලුවට විසඳුම් සෙවීමට අපට නොහැකි වනු ඇතිද?

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය සමඟ ආරක්‍ෂක අමාත්‍යංශයද අත්වැල් බැඳගතහොත් එවැන්නක් තුළන් දූෂිත නිලධාරීන් හඳුනා
ගන්නවාක් මෙන්ම ගෞරවනීය පොලිස් නිලධාරීන් රැක ගන්නා අතරේ පොලිසියේ කීර්තියද පහසුවෙන්ම සුරක්‍ෂිත කළ හැකි වනු ඇත.

අද පොලිසිය මෙවන් තැනකට ඇද වැටීමේදී එයට මූලික වටපිටාව සකස් කරන්නෝ කවුරුන් වී සිටිතිද? මේ රටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිසාපති කාර්යාල ආදී වශයෙන් වූ රාජ්‍ය පරිපාලනයේදී ජනසමාජය හා නිරන්තර මුසුවන වගකිවයුතු තැන් අන්ත දූෂිතව පවතින බව පසුගිය කලයේදී විගණනයන්හිදී පවා අනාවරණය විය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දූෂිත නම් ගම හා බද්ධ වන ග්‍රාම නිලධාරියා දූෂිත විය හැකිය. ගමට සම්බන්ධ වන අනෙකුත් නිලධාරීන්ගේ කතාවද එසේම වීමට ඇති ඉඩ බොහෝය.

යම් ගමක මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කෙරෙන්නේ නම් එසේ කරන්නේ කවරුන්ද යන්න ග්‍රාම නිලධාරීහු දැන සිටිති. එහෙත් එලෙස දැන සිටියද ග්‍රාම නිලධාරියා සිය වගකීම ඉටු කිරීමෙන් වැලකී සිටී.

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නෝ කවුරුන්දැයි ඉහළට අනාවරණය කිරීමට ඔහුට හැකියාව ඇත. එහත් ඔහු නිහඬය. මුදල ඉදිරියට පැමිණ ඇත.

ගමේ රාජ්‍ය සේවකයා එසේ අක්‍රීය වීමේදී ගම වනසන ජාවාරමුන් ඉදිරියේ නිද්‍රාශීලීව සිටීම පොලිසියට ඉතාම පහසුය.

මතට එරෙහි ජනාධිපති කාර්ය සාදක බළකායේ ප්‍රධානියා මෙන්ම රාජ්‍ය පරිපලනයේ සිටින ඉහළම නිලධාරියා වන ජනාධිපති ලේකම්තුමනි. මතට වැට බැඳීමේ ක්‍රියාදාමයෙදී මෙසේ අකර්මන්‍ය තැන් නිවැරදි කරමින් ගමෙන්ම වැඩේ ආරම්භ කෙරුණහොත් එය පහසුවක් නොවනු ඇතිද?

අපට වැටහෙන පරිදි නම් ගමේ ග්‍රාම සේවකගේ සිට ප්‍රදේශීය ලේකම්, දිසාපති ඔස්සේ පොලිසිය ආදී වශයෙන් සියල්ලේ ජාලගත සබඳතාවක් තුළින් එය සිදුවුවහොත් වැඩේ ඉතා පහසු වනු ඇත.

මත් උවදුර රට පුරා ව්‍යාපත්ත වීමේදී නැතහොත් රටේ දරුවන් මුළින්ම මතට ඇද දමා ඔවුන් විනාශය කරා ගෙනගිය පුරෝගාමින් පිරිසක්ද අප කිසිවකුත් නොදැනම මේ රටේ සිටිති. ඔවුහු ඉතා වැදගත් ලෙස ව්‍යාපාර කරනු ලබන ධනවතුන්ය.

ඇතැමහු ව්‍යාපාර අරඹා වසරක් ගෙවී යන්නටත් මත්තෙන් සුඛෝපභෝගී රථවාහන හිමිකරුවෝ ලෙස යෙහෙන් වැජඹෙන්නෝ වන්නාහ. ඒ පිරිස කවරහුද? ඔවුහු වන්නේ රට පුරා ඇති ෆාමසිවල ඇතැම් හිමිකරුවෝය.අද වන විට මේ රට තුළ ඇති ඖෂධහල් හෙවත් ෆාමසි ගණන පන්දහසකට අධිකය. සාමාන්‍යයෙන් ෆාමසියක් පවත්වාගෙන යෑමට සුදුසුකම් ලත් ඖෂධ වේදියකු සිටිය යුතු වුවත් මෙරට ෆාමසි අති බහුතරයක එවැන්නෝ නැත.

ඒ වෙනුවට තිබෙන්නේ ඖෂධවේදියාගේ ඡායාරූපයක් සහිත අවසර පත්‍රය පමණි. ඖෂධවේදියා වෙනුවට ෆාමසියේ සිටින්නේ ඖෂධ වෙළෙන්දෝය. නැතහොත් වෙළෙන්දියෝය. මෙහිදී සිදු වන්නේ කුමක්ද?

මෙම තත්ත්වය තුළ ඇතැම් ෆාමසිවලින් වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඔනෑම ඖෂධයක් මිලදී ගැනීම ඉතා පහසුය. රටේ දරුවන් මෙකී ෆාමාසි හරහා මුළින්ම මතට හුරු කෙරුණේ මේ හිඩැස තුළින් යැයි කිවහොත් එය ඉතාම නිවැරැදි වන්නකි.

මේ රටේ සෞඛ්‍ය අමාත්‍යංශයක් ඇත එසේම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවක්ද ඇත. ඔෂධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක තවත් ආයතන කිහිපයක්ද ඇත. එසේ වුවද පන්දහසකට අධික රටපුරා ඇති ෆාමසි නියාමනයට කිසිවකුත්ම නැත.

නැත නොව, අදාළ වගකිවයුත්තෝ එය සිදු කරන්නේ නැත. සිය ගණනක් වූ ඖෂධ ආනයනය කරනු ලබන සමාගම් පිළිබඳව කතාව ඇත්තේ ද එතැනය. ඒවාද කිසිදු අධීක්‍ෂණයකට ලක් වන්නේ නැත.

සෑම මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලයකම ෆාමසි අධීක්‍ෂණයට නිලධාරියකු සිටියද ඔහුගෙන් එකී කාර්යය සිදු කෙරෙන්නේද නැත. ඔහු ෆාමසිය අධික්‍ෂණයට යැයි පවසා කාර්යාලයෙන් පිටතට ගියද අධීක්‍ෂණය වෙනුවට සිදුවන එකම දේ බවට පත්ව ඇත්තේ එසේ යන නිලධාරියා ෆාමසි හිමිකරු ලබා දෙන ලියුම් කවරයක් මිටි මොළවාගෙන එයින් පිටව යෑමය.

මේ කියන ෆාමසි තුළ මානසික රෝගීන්ට ලබා දෙන සහ ස්නායු අබාධවලට මෙන්ම ලිංගික උත්තේජනය සඳහා ලබා දෙන ඖෂධ වර්ග ඇත්තේ විශාල තොග වශයෙනි. එකී ෆාමසි දෙක තුනක් ගත් කල්හි රටටම පිස්සු හැදුණත් දෙන්නට බෙහෙත් එකී අතලොස්සේ තිබේ.

මේවා අලෙවි කෙරෙන්නේ කවරෙක්ටද? මානසික රෝගීන්ට, ස්නායු අබාධවලට සහ ලිංගික උත්තේජනය සඳහා නිකුත් කෙරෙන ඖෂධ යනු භාවිතයෙන් පසු මත්වීම, නිදිමත දැනීම, මත්ද්‍රව්‍ය ලබාගත්තාක් වැනි තත්ත්වයක් ඇතිවීම සාමාන්‍යයකි.

මෙම ඖෂධ අලෙවි කිරීමේදී වෛද්‍ය නිර්දේශයක් තිබීම අනිවාර්ය ය. එහෙත් ඖෂධ වෙළෙන්දන් සිටින ඉහත කී ෆාමසිවලට එවන් නිර්දේශ අවැසි නැත. ඕනෑම අයකු පැමිණි අදාළ ඖෂධයක නම කියූ සැණින් එය නොමැති නම් ඒ හා සමාන එකක් වුව දෙන්නට මෙකී වෙලෙන්දෝ අති සූර වන්නාහ.

සියල්ල සිදු කෙරෙන්නේ ඉතා රහසිගතවය. සොයන්නට බලන්නට කිසිවකුත්ම නැත. රටේ දරුවන් අතට මුලින්ම මත් පෙත්ත ෆාමසිවලින් ගියේ ඒ අන්දමටය. මෙහිදී එකී පෙති සහිත එක් කාඩ් එකක වටිනාකම රුපියල් සියයක් නම් එය අලෙවි කරන්නේ රුපියල් දහසක් වැනි මිලකටය.

එසේ ලබන ඉහළ ආදායමෙන් කොටසක් ෆාමසියේ සිටින වෙළෙන්දන් හෝ වෙළෙන්දියන් අතර බෙදී යද්දී තවත් කොටසක් යන්නේ එහි හිමිකරු වූ බෙහෙත් මුදලාලිගේ සාක්කුවටය.

රටේ දරුවන් වැනසී යද්දී ෆාමසි කරන ඖෂධ මුදලාලිලා ව්‍යාපාර අරඹා දවසින් දෙකෙන් ලක්‍ෂපතියන්, කෝටිපතියන් වන්නේ එලෙසිනි. මේ කියන ඖෂධ භාවිතයේදී බොහෝ විට වෛද්‍ය නිර්දේශය වන්නේ දිනකට එක් පෙත්තක් හෝ දෙකක් ලබා ගැනීම වුවද ඒවා අතට ගන්නා අපේ දරුවන් පෙති අටක් පමණ වන ඔෂෟධ කාඩ්පතම ගන්නේ දෙවේලට නැති නම් එක වේලටය.

එතැන් සිට දරුවන් සූර් වෙද්දී වැනසී යන්නේ රටේ අනාගතය ය. මෙම තත්ත්වයන් නියාමනය කිරීමට සෞඛ්‍ය අංශයේ ආයතන ගණනාවක් ඇති බව අපි මුලින්ද සඳහන් කළෙමු.

එහෙත් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ මහත්වරුනි සොයා බලන්න. එසේ නියාමනයට ඇති ආයතනවල අද සේවය කරන්නේ ප්‍රකෝටිපතියෝය. ඔවුන්ගේ වත්කම් පිළිබඳ විගණනයක් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන වතමන් ආණ්ඩුවට හැකිවුවහොත් මේ කාගේත් ඇඳිවත රට ඉදිරියේ ගැලවී යන්නේ බලාසිටියදී බව නම් නොකියාම බැරිය.

එසේ අපේ දරුවන් මත් පෙති සහ කරල් තොග පිටින් ගිල දමද්දී අවසානයට සිදු වන්නේ කුමක්ද? ස්නායු රෝගී අනාගත පරපුරක් රටේ බිහිවීමය. කලකට ඉහත දඹුල්ල ප්‍රදේශයේ ෆාමසියක් කැස්ස පැණියක් දරුවන් අතරට යැවීමෙන්ද මේ හා සමානම විනාශයක් රටේ සිදු විය. එයට ඇබුබැහි වූ දරුවෝ මැරී වැටුණහ. අද සිදුවන විනාශය එයට දෙවැනි නැත.

මේ අන්දමට රට තුළ ක්‍රියාත්මක ෆාමසි හෙවත් ඖෂධහල් මාෆියාවේ අනෙක් කොටස වන්නේ ඔෂෟධ ගෙන්වනු ලබන සමාගම්වල සේවය කරන ඔෂධ අලෙවි නියෝජිතයෝය. රටම වැනසුනද සමාගමේ ටාගට් අනුව වැඩ කරන ඔවුහු සිදු කරන අවැඩද බොහෝය.

මේ ඇතැම් ඔෂෟධ අලෙවි නියෝජිකයෝ යනු මෙරට තුළ ක්‍රියාත්මක මත් පෙති ජාවාරමේ මහ මොළකරුවන් යැයි කීවද එහි වරදක් නැත.

දරුවන්ට අලෙවි කිරීමට මත් පෙති සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනකු ඉකුත් දිනවල පොලිස් අත්අඩංගුවට ගනු ලැබිණි. එකී සැකකරුවන්ට එම මත්කරල් ලැබුණේ කොතැනකින්දැයි නිසි විමර්ශනයක් සිදු කෙරෙන්නේ නම් මේ කියන ඖෂධ නියෝජිත මාෆියාවේ තරම අනාවරණය වනු ඇත.

එහෙත් මත් කරල් අත්අඩංගුවට ගැනීම මිස ඉන් ඉදිරියට විමර්ශනයක් සිදු වූ බවක් නම් මේ දක්වා වාර්තා නොවීය.

අද ඖෂධ සමාගම්වලට ටාගට් අනුව කටයුතු කරන මෙම අලෙවි නියෝජිතයෝ ඉහළ ආදායමක් ඉපැයීම සඳහා විවිධ තැරව්කරුවන් මාර්ගයෙන් මත් පෙති හා කරල් සමාජගත කරති.

අද මේ රටේ සිටින මානසික රෝගීන් සංඛ්‍යාව පැහැදිලිව ගණනය කළ හැකිය. එසේම ස්නායු රෝගීන් පිළිබඳව ඇත්තේ එවැනි තත්ත්වයකි. එකී ගණනය කිරීම් අනුව රටට අවශ්‍ය කරනු ලබන මානසික හා ස්නායු රෝගීන්ට දෙන ඖෂධ ප්‍රමාණ කෙතෙක් දැයි තීරණය කිරීමද ඉතා පහසුය.

එහෙත් මේ මොහොතේ රට තුළ සිදු වෙමින් තිබෙන්නේ කුමක්ද? ඖෂධ ආනයනය කරනු ලබන සමාගම් රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා එකී ඖෂධ ආනයනය කරනුයේ දසගුණයකටත් අධික වන ලෙසිනි.

මේකී සාමාගම් මගින් ලබා දෙන සන්තෝෂම් ඉදිරියේ මුනිවත රකින මේවා සොයා බැලීමට සිටින බලධාරීහු දවසින් දවස කෝටිපතියන් වෙමින් සිටින්නාහ. සිදු වෙමින් තිබෙන්නේ ඒ ටිකය. රටේ දරුවන් පමණක් නොව මුළු රටම වැනසී ගියත් මේ කිසිවකුටත් ඒ පිළිබඳ වගේ වගක් නැත.

මේ අන්දමට ඖෂධ වෙළෙන්දන් රටේ දරුවන් මතට හුරු කරද්දී මීට අදාළ අනෙක් කතාව අද කියවෙමින් තිබෙන්නේ ඉහළම විදේශ විනිමය ප්‍රමණයක් අපට හිමිවන ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිතවය.

අද වන විට එකී කතාවේ ඇති ඛේදනීය බව කොතෙක් දැයි කිවහොත් දැනටමත් මෙරට ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන තරුණියන් රාශියක් අයිස් මතට හුරුවී අවසන්ව ඇත. එය සිදුව තිබෙන්නේ කෙසේද?

මෙරට ආයෝජන කලාප ගතහොත් කටුනායක සහ බියගම කලාපවලට හිමි වන්නේ ප්‍රධාන තැනකි. මේවායෙහි ගම්බද තරුණියෝ රාශියක් සේවය කරති. ඔවුන් සිටින්නේ දෙමාපියන් සහ පවුලේ සමීපතමයන්ගෙන් ඈත්ව තනිකම උරුම කරගෙනය. එසේ සිටින ඇඟලුම්හල්වල තරුණියන් ව්‍යාජ ප්‍රේමවන්තයන්ගේ අතකොලු බවට පත්වීම යනු වෙළෙඳ කලාප ආශ්‍රිතව කාලාන්තරයක සිට සිදුවන්නකි.

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ වෙළෙඳ කලාපවල තරුණියන් මත්ට ඇබ්බැහි කිරීමේදී යොදා ගනු ලැබුවේ ඔවුන්ගේ එකී අසරණකමය. ජාවාරමකරුන්ගේ ගෝලයෝ පෙම්වතුන් ලෙසින් තරුණියන්ට සමීප වූහ.

අවසානයට සිදුවූයේ එකී පෙමවතියන් අයිස් මතට හුරු වෙද්දී ඔවුන් හරහාම එක බෝඩිමේ සිටින මිතුරියන් වෙතටද අයිස් මාරයා ළඟා වීමය.

එසේ අයිස් මතට හුරුවූ තරුණියන් නොනිදා සේවය කිරීම අදාළ ආයතනවලට විශාල ලාභ ගෙන දෙන්නක් විය. මේ වන විට කටුනායක සහ බියගම වෙළෙඳ කලාපවල තරුණියන් බහුතරයක් අයිස් ලෝලීන් වීමේ කතාව දිග හැරී යන්නේ එලෙසිනි.

ඔවුන්ව යළි එකී ව්‍යසනයෙන් ගොඩගත නොහැකිද? පුළුවන. ඒ සඳහා අවශ්‍යව ඇත්තේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහාය සමඟ බහුතරයක් වන අතිරික්ත සෞඛ්‍ය සේවකයන්ගේ සේවය පමණි.

එහෙත් ගැටලුව වී තිබෙන්නේ මේ කිසිවක් තවමත් සිදු නොවීමය. එකී වගකීම් විරහිත බව හමුවේ හෙට දවසේ මේ රටේ ඉරණම කුමක් විය හැකිද? මත්ද්‍රව්‍ය මර්දනයට ස්ථාපිත කරනු ලැබූ ජනාධිපති කාර්ය සාධක බළකායේ අවධානය මේ කෙරෙහි වහා යොමු වීම අත්‍යවශ්‍ය ය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment