දරුවන් හදන්න විවාහවෙන්න බය කාන්තාවන් නිසා ලෝක ජනගහනය අඩුවෙයි

492

මේ වසරේ මැයි මස අවසානයේදී චීන රජය නිවේදනය කළේ එරට සිටින දෙමාපියන්ට දරුවන් තිදෙනකු දක්වා හදාවඩා ගැනීම සඳහා අවසර ලබා දෙන බවයි. මෙම නිවේදනය නිකුත් වූයේ 1980 එක් දරු ප‍්‍රතිපත්තිය විශ්මය ජනක ආපසු හැරවීමෙන් වසර පහකට පසුවය. මීට පෙර දරු දෙදෙනකු සඳහා අවසර ලබා දී තිබිණි. මෙවැනි වෙනස්කම් සිදු කරන්නට හේතුව කුමක්ද? ඉකුත් මැයි මාසයේදී නිකුත් කරන ලද නවතම සංගණනයට අනුව, චීනයට සෑම වසරකම පුද්ගලයන් 400,000 ක් ජනගහනයට අහිමි වේ. චීනය තවමත් තම ජනගහනය වර්ධනය වන බව කියා සිටින නමුත්, මෙම ප‍්‍රක්ෂේපණය අනුව ගත්විට මධ්‍ය ශතවර්ෂයේදී ආරම්භ වනු ඇතැයි කලින් පුරෝකථනය කරන ලද ජනගහන පරිහානිය 2030 දී ආරම්භ විය හැක. මෙයින් අදහස් කරන්නේ චීනයට එහි ජනගහනයෙන් මිලියන 600 ත් 700 ත් අතර ජනතාවක් අහිමි විය හැකි බවයි. 2100 වන විට එරට සමස්ත ජනගහනය කෝටි 70ක් විය හැකි බවට නිගමනය කෙරේ. වර්තමානයේ චීන ජනගහනය කෝටි 140කි. ජනගහනය අඩුවීම බරපතළ ප‍්‍රශ්නයකි. ආර්ථිකය ඇතුළු සියලූ සමාජ සංස්කෘතික ක‍්‍රියාකාරකම් කණපිට හරවනු ලබයි. එය චීනයට නොව ලෝකයටම බලපා ඇත. කාන්තාවන් වැඩි වැඩියෙන් විවාහ වීම ප‍්‍රතික්ෂේප කිරීම මෙන්ම විවාහක යුවළ දරුවන් සෑදීමෙන් වැළකීම ලෝකයටම ප‍්‍රශ්නයක් වී ඇත. මෙය සදාචාරාත්මක ගැටලූවකි. මිනිස්සු කෘතීම වී තමන් මෙලොවට උපන් වගකීම් අත්හරින බව පෙනේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නවතම සංගණනයට අනුව, එරට උපත් අනුපාතය අඛණ්ඩව වසර හයක්ම පහත වැටී තිබේ. චීනයේ උපත් අනුපාතය 1.3කි. රටක ජනගහනය ස්වභාවිකව ප‍්‍රතිස්ථාපනය කිරීමට නම් එහි උපත් අනුපාතය අවම වශයෙන් 2.1 ක් විය යුතුය. මියයන ප‍්‍රමාණයට හා සමාන අන්දමින් උපත් සිදු නොවන්නේනම් එරට ජනගහනය ක‍්‍රමයෙන් අඩුවේ. ලොව සිදුවන්නේ මෙයයි. ලෝකයේ දෙවන වැඩිම ජනගහනය සහිත රට වන ඉන්දියාව, අඩු සශ‍්‍රීකත්ව රටවල් ලැයිස්තුවට එක්වී තිබේ. ජපානය උපත් අනුපාතය 1.3, රුසියාව 1.6, බ‍්‍රසීලය 1.8, බංග්ලාදේශය 1.7 සහ ඉන්දුනීසියාව 2.0 ද වේ. පකිස්තානය 3.4 සහ නයිජීරියාව 5.1 වැනි ඉහළ උපත් අනුපාතයක් සහිත විශාල රටවල් තවමත් පවතී. නමුත් මෙම සංඛ්‍යා පවා 1960 දී පකිස්තානයේ උපත් අනුපාතය 6.6 සහ නයිජීරියාව 6.4 ක් විය. කොරෝනා වසංගතය දරුවන් බිහිවීම අඩුවීමට ප‍්‍රබලව බලපෑ හේතුවක් වී ඇත.

දරුවන් හදන්න විවාහවෙන්න බය කාන්තාවන් නිසා ලෝක ජනගහනය අඩුවෙයි

වසංගතයට සම්බන්ධ ආර්ථික අනාරක්ෂිත භාවයේ ප‍්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපදයේ ළදරුවන් 300,000 ක් ඉපදී නැති බව එක් සමීක්ෂණ ආයතනයක් හෙළි කර ඇත. නමුත් පිලිපීනයේ තත්ත්වය මෙයට වඩා වෙනස් විය. වසංගත සමයේ එහි උපත් ලක්ෂ දෙකකට වඩා වාර්තා විය. නිවසට වී ලොක්ඩවුන් වීම නිසා ගැහැනුන්ට ස්වාමියාගේ බරින් පසුව උපත් බරද දරන්නට සිදුවිය. නමුත් සෙසු ලෝකයේ තත්ත්වය මෙලෙස සතුටුදායක නොවේ. කොරෝනා හේතුවෙන් 2020 දී ඔස්ටේ‍්‍රලියාව පළමු ලෝක සංග‍්‍රාමයෙන් පසු එහි පළමු ජනගහන පරිහානිය වාර්තා කළේය. 2020 වසරේ දකුණු කොරියාවේ උපත ලැබූ පුද්ගලයන්ට වඩා වැඩි පිරිසක් මිය ගොස් ඇත. එය දැනටමත් ලෝකයේ අඩුම උපත් අනුපාතිකය ඇති රටකි. ලෝකයේ වැඩිම වයස්ගත ජනගහනයක් සිටින ජපානයේ, හිටපු අගමැති ෂින්සෝ අබේ උපත් අනුපාතය පහත වැටීම ”ජාතික අර්බුදයක්” ලෙස ප‍්‍රකාශ කර තිබුණි. මෑත සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසය උපදින ළදරු සංඛ්‍යාව තවදුරටත් අවපාතයට ලක් කර ඇති බවයි. 2019 දී ජපානයේ ස්වාභාවික ජනගහනයෙන් 500,000 කට වඩා වැඩි පිරිසකින් අඩු වූ බව හෙළිව තිබේ. මේ උපත් අඩුවීම හේතුවෙන් 2100 දී ජපානයේ ජනගහනය මිලියන 53ක් පමණක් වෙතැයි බලාපොරොත්තු වේ. වර්තමානයේ එරට ජනගහනය මිලියන 125කි.

ඇත්තෙන්ම ලෝකයේම සාඵල්‍යතා අනුපාතය පහත වැටී තිබේ. ගැහැනු දරුවන් හැදීමට අකැමැතිය. සමහරුන්ට දරුවන් නොමැත. විවාහවීම කල් දමයි. ඉගෙන ගැනීමට කාලය යෙදවීම හරහා සරු කාලය ඉබේ ගෙවී යයි. අතීතයේ රෝම පාලනය පැවති සමයේ විවාහයෙන් පසු කාන්තාවකට දරුවන් නොමැතිනම් ඇය දික්කසාද කිරීමට හැකිවිය. (මෙය සාධාරණ ද නැද්ද වෙනම කතාවකි) දරුවන් නැති කතුන්ට එළු හම වලින් තැලූ බව කියයි. මධ්‍යතන යුගයේ දරුවන් නොමැති කාන්තාවන් මායාකාරියන් ලෙස හඳුන්වනු ලැබිය. සාතන්ට සමාන කරනු ලැබීය. පිරිමියාගේ වඳ භාවය නිසාද කාන්තාවට දරුවන් නොමැතිවෙයි. නමුත් අතීතයේ පීඩාවට පත්වූයේ කතය. අතීත කතාව කෙසේවෙතත් දැන් ලෝකයේ සිදුවන්නේ කුමක්ද? කාන්තාවන් විවාහයට පෙර සිටම දරුවන් හැදීමට අකැමැති බව පවසති. දකුණු කොරියාවේ විවාහ විරෝධී පෙරමුණක් ගොඩනගා තිබේ. කාන්තාවන් පවසන්නේ තමන් වැඩියෙන් වැඩකරන නිසා දරුවන් හැදීමට කාලයක් නැති බවයි. එහෙත් දරුවන් නොහදන විවාහක යුවළ ආත්මාර්ථකාමී බව ලෝකය කියයි. මෙය පාප් වහන්සේ පවා ප‍්‍රකාශ කර තිබිණි. මන්ද විවාහය යනු ලෝක චාරිත‍්‍රයකි. එහි ප‍්‍රධානම අරමුණ දරුවන් බිහිකර නව පරම්පරාවක් ඇති කිරීමය. නමුත් දැන් ලෝකය ආපස්සට යමින් පවතී. මාතෘත්වය සදාචාරාත්මක අත්‍යවශ්‍ය දෙයක් වුවත් දැන් එය නොසලකා හැරීම මානව ශිෂ්ටාචාරයම ආපසු හැරවීමකි. ඒ අනුව ළමයෙක් නැති පවුල සාමාන්‍යකරණය වෙයි. ‘‘පුත්ථා වත්තු මනුස්සානං” කතාවට සිදුවන්නේ කුමක්ද? ”පුත්ථා වත්තු මනුස්සානං” යනුවෙන් අදහස් කරනු ලබන්නේ ලෝකයේ ජීවත් වන මිනිසුනට ලොකුම වස්තුව දරුවෝය යන්නයි. තථාගතයන් වහන්සේ දේශනා කළා වූ අනෙකුත් සියලූ ප‍්‍රකාශ මෙන්ම මෙම කෙටි ප‍්‍රකාශයද ඉතාමත් වැදගත් වන ප‍්‍රකාශයක් වන අතරම එය අතිශය දීර්ඝ අර්ථයක් ගෙන දෙන්නක් ද වේ. දරුවන් වස්තුවක් වන්නේ කෙසේද ඕනෑම විවාහපත් යුවළකට දරුවන් ලැබිය හැකියි. එහෙත් සියල්ල උඩු යටිකුරු වෙමින් පවතී. පරාර්ථය පරයා ආත්මාර්ථය ඉස්මතු වෙයි.

කෙසේ නමුත් ලෝක මුස්ලිම් ජනගහනයේ අඩුවීමක් පැහැදිලිව දක්නට නොමැත. වේගයෙන් අඩුවන්නේ මුස්ලිම් නොවන සෙසු ආගමික ප‍්‍රජාවන්ය. 2015 දී ලෝක ජනගහනයෙන් 7% ප‍්‍රමාණයක් බෞද්ධයන් වුවත් ඒ තත්ත්වය ක‍්‍රමයෙන් වෙනස් වෙමින් පවතී. වර්තමානයේ ලෝක ජනගහනයෙන් මිලියන 500කට ආසන්න පිරිසක් බෞද්ධයෝ වෙති. ඇමරිකානු පිව් සමීක්ෂණ ආයතනය මීට වසර දෙකකට පමණ නිකුත් කරනු ලැබූ වාර්තාවකට අනුව 2060 දී ලෝක බෞද්ධ ප‍්‍රතිශතය 5% වන විට මුස්ලිම් ප‍්‍රතිශතය 31% දක්වා ඉහළ නඟී. එවිට ලෝකයේ ක‍්‍රිස්තියානි ප‍්‍රතිශතය 32%කි. 2015 දී ලොව වෙසෙන ක‍්‍රිස්තියානි ප‍්‍රතිශතය 31% වන අතර 2060 දී ඔවුනගේ ප‍්‍රතිශතය වැඩිවන්නේ 1%කින් පමණි. නමුත් 2015 දී 24% වන මුස්ලිම් ජනගහනය 2060 දී 7% කින් වර්ධනය වෙයි. 2015 දී ලෝක ජනගහනයෙන් 15% ක් වූ හින්දු ප‍්‍රතිශතය 2060 දී 14% දක්වා පහළ බසී. 2015 දී ලොව වෙසෙන අනාගමිකයන්ගේ ප‍්‍රමාණය 16% වූ අතර එය 2060 දී 13% දක්වාද පහළ බසී. ලෝකය ගමන්කරන්නේ කොතැනටද? මිනිස් කාන්තාරයකටද?

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment