පොලිසිය දියණිය ගෙදරට භාරදෙයි: අත්අඩංගුවට ගත් දෙදෙනාට රුපියල් පන්දහසක් දඩ
පාසලක් ඉදිරිපිට නිවසක ගංජා උරමින් සිටි එම පාසලේම ඉගෙන ගන්නා දරුවෙකුගේ පියෙකු සහ නිවැසි අයකු කොටවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොටවිල පොලිසිය විසින් අදාළ පාසල ඉදිරිපිට ඇති නිවසක් ඉකුත් 26දා කළ පරීක්ෂාවකදී එම නිවැසි වයස අවුරුදු හතළිස් පහක් වූ අවිවාහක පුද්ගලයෙක් සමඟ 35 හැවිරිදි තරුණයෙක් ගංජා පානය කරමින් සිට ඇත. තරුණයා විවාහකයකු වන අතර එම නිවස ඉදිරිපස පාසලේ අධ්‍යාපනය ලබන දියණියක්ද සිටී.
මොවුන් දෙදෙනා ගංජා පානය කර ඇත්තේ දරුවා පාසලෙන් රැගෙන යෑමට පැමිණි අවස්ථාවේදීය. අත්අඩංගුවට පත් නිවසේ හිමිකරු සන්තකයේ තිබී කේරළ ගංජා මිලිග්‍රෑම් එක්දහස් පන්සීයක් සහ සැකකාර තරුණයා සන්තකයේ මිලිග්‍රෑම් හයසීයක්ද තිබී හමුවී ඇත. මෙම මසම හත්වැනිදා මෙම නිවැසියාම පොලිස් උපාය දූතයකුට රුපියල් පන්සීයක මුදලකට ගංජා මිලිග්‍රෑම් පන්සීයක් විකිණීම සහ මිලිග්‍රෑම් හාරදහසක් ළඟ තබා ගැනීම යන කරුණු ද්විත්වය වෙනුවෙන් වරදකරු වී දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට ඉකුත් 22දා රුපියල් විසිදහසක දඩයකට යටත් කොට නිදහස් කර ඇති අයෙකි.
සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර එම අත්අඩංගුවට ගැනීම හේතුවෙන් දියණිය පත්වන අපහසුතාව වටහා ගත් කොටවිල පොලිසියේ නිලධාරීන් විසින් එම දියණියද රැගෙන එම නිවසට ගොස් දරුවා බිරිඳගේ පියාට සහ මවට භාරදී ඇත. සැකකරුවන් පෙරේදා (27 දා) කොටවිල අධිකරණයේ මාතර මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනාට පිළිවෙළින් රුපියල් එක්දහස් පන්සීයක් සහ තුන්දහස් පන්සීයක් බැගින් රුපියල් පන්දහසක දඩයක් නියම කර ඇත.
කොටවිල පොලිසියේ අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති අනුර හේවාපතිරණ, උ.පො.ප. එම්. ජයරත්න, පො.කො. (32789) එන්. හේරත් යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.
වජිර පූජිත ගුණවර්ධන – තෙලිජ්ජවිල