දරු පවුලට කන්න දෙන්න විදිහක් නැතිව හෝමාගම එක්දරු පියා ගෙලවැලලා ගනී

499

ජීවත්වීමේ අපහසුතාව නිසා සිත්තැවුලට පත්වූ එක්දරු පියකු ඊයේ (04 දා) නිවසේ වහලයේ පරාලයක ගැටගැසූ සාරියකින් ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන මීගොඩ පොලිසිය පවසනුයේ මෙලෙස  දිවිනසාගෙන ඇත්තේ හෝමාගම, උතුරු පිටිපන, හෙට්ටිගොඩ කුලී පදනම මත රැඳී සිටි තෝමස් දිසානායකලාගේ කලණ මධුසංඛ නමැති 28 හැවිරිදි අයකු බවය.

එදිනෙදා කුලී වැඩක් කර ජීවිතය  ගැටගසාගන්නා අයකු වන මියගිය අය  පසුගිය දින කීපයක් පුරා කිසිදු රැකියා තත්ත්වයක් හෝ කුලී වැඩක් නොමැතිවීමෙන් දැඩි සිත්තැවුලට පත්ව සිටි බවත්, කීපඅවස්ථාවකම මට දිවිනසා ගන්නට සිතෙනවා යනුවෙන් බිරිඳට පවසා තිබූ බවත් ඇය පොලිසියට ප්‍රකාශ කර තිබේ.

වයස අවුරුදු 2 ක දියණියකගේ පියකු ද වූ මරණකරු නිවසේ අය ගැන දැඩි වේදනාවකින් පසුවූයේ ඔවුනට ජීවත්වීමේ නිසි ක්‍රමවේදයක් නොතිබූ නිසාය. ඒ පිළිබඳ දැඩි සිත්තැවුලෙන් පසුවූ මරණකරු නිවැසියන් වෙත ලිපියක් ලියා තබමින් 15 වතාවකට වඩා මෙසේ ගෙලවැලලාගෙන මැරෙන්න සිතුණු බවට සඳහන් කර ඇත.

මේ පිළිබඳව මීගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නෙවිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් (20712) මෙන්ඩිස් මහතා වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

මියගිය අයගේ හදිසි මරණ පරීක්‍ෂණය හෝමාගම කොට්ඨාස හදිසි මරණ පරීක්‍ෂක මානෙල් ගමගේ මහත්මිය විසින් සිදු කළාය.

ඇන්ටන් ප්‍රනාන්දු
 

advertistmentadvertistment
advertistmentadvertistment