* යුද හමුදාව පොලිසිය හා වතුකම්කරුවන් එක්ව මෙහෙයුමක් දියත් කළත් කිසිදු තොරතුරක් නෑ
සිය මව සමග නුවරඑළිය ඩන්සිනන් රක්ෂිතයේ දර කැඞීමට ගිය 25 හැවිරිදි තරුණියක් අතුරුදහන් වී ඇති බවත්, අතුරුදන් තරුණිය සොයා යුද හමුදාව, පොලිසිය සහ ඩන්සිනන් වතුයායේ වතු කම්කරුවන් එක්ව 06 දින උදැසන සිට රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර තිබුණි.

මෙසේ අතුරුදන් වී ඇත්තේ නුවරඑළිය පොලිස් වසමට අයත් ඩන්සිනන් වතුයායේ පහල කොටසේ පදිංචි කට්පුගදාරණි නමැති (25) හැවිරිදි තරුණියකි.
05 දින උදෑසන 9.30 ට පමණ ඩන්සිනන් වතුයායට ඉහළින් පිහිටි ඩන්සිනන් රක්ෂිතයට එම තරුණිය ඇතුල් වී ඇති බවත්, අතුරුදන් දියණිය තමන් රක්ෂිතයේ ඉහළට ගොස් දර සොයාගෙන එනතෙක් පහල රැදී සිටින ලෙස තමන්ට පවසා ඇය රක්ෂිතයේ ඉහළ කදු මුදුනට ගිය නමුත් යළිත් ඇය පහලට නොපැමිණි බව අතුරුදන් තරුණියගේ මව වන එස්. මනෝවනී (58) කියා සිටියාය.
අතුරුදන් වූ දියණිය රෝග කිහිපයක් සදහා වෛද්‍ය ප‍්‍රතිකාර ලබන අයෙකු බවත් මීට ප‍්‍රථම අවස්ථා කිහිපයකදී දියණිය අතුරුදන්ව සිට පසුව සොයාගත් බවද මව විසින් නුවරඑළිය පොලිසිය වෙත පවසා ඇත.
රක්ෂිතයට පිවිසි දියණිය 06 දින පස්වරු 2 පමණ වන තෙක් නොපැමිණි නිසා තමන් ඒ පිළිබද නිවසට පැමිණ අසල්වාසීන්ට දැනුම් දීමෙන් පසු ඔවුන්ද 05 දින පස්වරුවේ සිට අතුරුදන් වූ දියණිය සොයා රක්ෂිතය පුරා මෙහෙයුමක් දියත් කළ බවද ඇය පැවසීය.
යුද හමුදාව, නුවරඑළිය පොලිසියේ නිලධාරින් සහ වතු යායේ වතු කම්කරුවන් පවතින අයහපත් කාලගුණයද නොතකා 06 දින දවස පුරා ඩන්සින් රක්ෂිතයේ කිලෝමීටර් 4ක පමණ දුරට මෙහෙයුමක් දියත් කළද අතුරුදන් වූ තරුණිය සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වූ බවද නුවරඑළිය පොලිසිය පැවසීය.
ඡායාරූප හා සටහන නුවරඑළිය නාලක රත්නායක