දවසකට තිස් දෙනා බැගින් මරා දැමූ අවුරුදු විසි එකේ නාසි රූමතිය

547

ඇය යුද අධිකරණයෙන් එල්ලා මැරූ ඉර්මා ග්‍රීස් ය
යුද සිරකරුවන් අතර මරණ දඩුවම ලැබූ ළාබාලම තරුණිය ඇයයි
සෑම රාත්‍රියකටම සිය කාම පිපාසාව වෙනුවෙන් තරුණයෙක් හෝ තරුණියක්
තරුණයන් මරා දැමුවේ හිස මත බර පටවා නිරාහාරව තැබීමෙන්

මේ 1943 එක් දිනයක ආරම්භය වූයේය. හිට්ලර්ගේ එක් සුප්‍රකට වධකාගාරයක් ලෙස හැඳින්විය හැකි අවුට්විෂ් හි කාන්තා රැඳවියන් සිටි තැනට පැමිණෙන සුරූපී නාසි නිලධාරිනියකි. ආකර්ෂණිය නිල්වන් දෙනෙතකින්ද, කාමාශක්ත දෙතොලකින්ද, හැඩවැඩැති උස් සිරුරකින්ද යුත් ඇයට සිය නිල ඇඳුමින් තේජාන්විත පෞරුෂයක්ද එකතු වී තිබුණේය. ඇයගේ අකුණතෙහි කසයක් වූ අතර වමතින් අල්ලාගෙන සිටියේ දුටු මතින්ම කෙනෙකු බියපත්වන සුලු දැවැන්ත සුනඛයින් දෙදෙනකුගේ රැහැන් පටය.

සිය ප්‍රධාන නිලධාරිනියගේ ආගමනයත් සමග සියල්ලෝම වැඩ පටන් ගත්හ. මේ අතර අසනීපයෙන් පසු වූ කතුන් දෙදෙනකු අප්‍රාණික ගතින් යුතුව උසුලාගෙන සිටි දැව කඳද සමග ඇද වැටෙන්නට යනු ඇගේ නෙත ගැටුණි. මොහොතක හෝ පමාවෙන් තොරව සිය සුනඛයන් ඔවුන් වෙත මුදාහල ඇය තිරිසනුන් දෙදෙනා එම අසරණියන්ව කීතුකීතු කරමින් ලේ පෙරෙන අමු මස් කඩා කන ආකාරය සිනා සෙමින් බලා සිටියාය. එය ඇගේ දවසේ පළමුවැනි මිනිස් දඬයම වූ අතර දිනකට තිස් දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් හිතුණ හිතුණ ආකාරයට මරා දැමීම ඇගේ දින චරියාව වූයේය. නමුත් ඇය විසින් දෛනිකව මරා දමන ලද සිරකරුවන් ප්‍රමාණය මීට වඩා බොහෝ වැඩි බව දිවි බේරා ගත්තෝ පසුව පැවසූහ.

තමන් යටතේ සිටි සිරකරුවන් සිරකාරියන් උදෙසා මෙවැනි කෲර දඬුවම් හිමි කර දෙන ආකාරයේ අධිකාරී බලයක් සහිත ඇයගේ වයස ඒ වන විට යාන්තම් විසි එකක් වූයේය.

දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව ජාත්‍යන්තර යුද අධිකරණයෙන් මරණ දඬුවම ලැබූ ළාබාලම කාන්තාව ලෙස ඉතිහාසයට එකතු වූ ඇය ඉර්මා ග්‍රීස් ය.

මෙතරම් ළාබාල රූමතියක් අතිශයින් කෲර යකින්නක් ලෙස මනුෂ්‍ය ඝාතන වල යෙදුණේ කෙසේදැයි යන්න පිළිබඳව ඇයව අත්අඩංගුවට ගත් මිත්‍ර හමුදා නිලධාරීන් පවා පුදුමයට පත් වුණ බව පැවසෙන අතර ඔවුන් ඒ නිසාම ඇයව හඳුන්වනු ලැබුවේ ලස්සන මෘගයා යන අරුතින් යුත් The beautiful beast යන නමිනි.

1923 ඔක්තෝබර් මාසයේ 07 වෙනිදා ජර්මනියේ නෙක්ලන්ඩ්බර්ග්හි උපත ලැබ ඉර්මා එලිසබෙත් ඉල්සේ ඊඩා යාන්තම් විසි වයස ඉක්මවද්දීම මේ සා බලයක් ලැබෙන තත්ත්වයට පත් වූයේ කෙසේද යන්න වෙනමම ශෘංගාරාත්මක කතාවකි.

ඒ කතාවට පළමුව ඇගේ කුඩා කාලය ගැන කියන්නේ නම් සඳහන් කළ යුතුව ඇත්තේ එය කිසිසේත්ම ප්‍රීතිමත් එකක් නොවූ බවය. සිය මවත් පියාත් නිරන්තරයෙන් අඬ දබර කරගත් අතර ඇය මෙම සණ්ඩු සරුවල් වලට මැදිහත් වීමට දැඩි අකැමැත්තක් දැක්වූවාය. මේ හේතුකොටගෙන පාසල් ජීවිතයේදීද ඉතා කුලෑටි දැරියක් වූ ඇය, සෙසු දඩබ්බර කෙල්ලන් සණ්ඩු දබර කර ගන්නා සෑම විටකම පාහේ බියෙන් තැතිගෙන කොහේ හෝ සැඟවෙන්නට පුරුදුව සිටියාය. මෙසේ කල් ගෙවන අතරවාරයේ සිය පියාගේ අනියම් සබඳතාවක් අතටම අසුවීම නිසා ඉර්මාගේ මව සිය දිවි නසා ගත්තාය.

නමුත් ඇය උග්‍ර හිට්ලර් වාදිනියක වීමට බලපෑවේ ද ඇල්ෆ්‍රඩ් ග්‍රීස් නම් ඇගේ මේ කරදරකාර සල්ලාල පියාය. ඔහු උග්‍ර නාසි පාක්ෂිකයෙකු වූ අතර තම දියණියද එම අදහස් වලින් පෝෂණය කරවන්නට අමතක නොකළේය. ඒ 1937 සිටය. ඒ වන විට වයස අවුරුදු 13ත් 14ත් අතර සිටි ඉර්මා ග්‍රීස් තුළ සිය පියා විසින් වපුරන ලද අදහස් කොතෙක් නම් දුරට බලපෑවේද යත්, ජර්මනිය ගලවා ගැනීමට මහ පොළව මත බිහිවී සිටින එකම තැනැත්තා ඇඩොල්ෆ් හිට්ලර් පමණකැයි ඇය සිතුවාය.

මෙකී උමතුව නිසා ඇයට පාසල් අධ්‍යාපනයට වඩා වැදගත් වූයේ නාසි පක්ෂයට බැඳී හිට්ලර් වෙනුවෙන් සේවය කිරීමට තිබූ වුවමනාවය. ඒ අනුව වයස අවුරුදු පහළොව වන විට පාසලෙන් අස් වූ ඇය හෙදියක වශයෙන් පුහුණුවට බැඳෙන්නේ නාසි හමුදාවට සමීප වීමේ පොටක් පාදා ගනු පිණිසය.

එතැන් සිට සිය ගමන් මගේ ඉහළට නැඟීම ඇයට එතරම් අපහසු නොවුණේ ඕනෑම බලවතෙකු වෙනුවෙන් තම රූමත් සිරුර පුද කිරීමට කිසිදු මැළිකමක් නොදැක්වූ බැවිනි. මේ ආකාරයට නාසි හමුදාවේ ඉහළම නිලධාරීන් හා ඇසුරක් ගොඩ නගා ගත් ඇය ඉතා කෙටි කාලයක් තුළ හමුදාවේ ආරක්ෂක නිලධාරී තනතුරක් ලබා ගත්තාය. ඉර්මා මේ ආකාරයට නාසි නිලධාරීන් ඇසුරු කරමින් යුද හමුදාවට සම්බන්ධ වීම පිළිබඳව ඇගේ පියා වූ ඇල්ෆ්‍රඩ් ග්‍රීස් තුළ වූයේ බලවත් නොකැමැත්තකි. නමුත් ඒ වන විට ඇය පසුවූයේ සිය පියාගේ අණසක පිළිගන්නා තත්ත්වයක නොවේ. මේ පිළිබඳව සිය පියා සමඟ ඇති වූ ගැටුම්වල අවසන් ප්‍රතිඵලය වූයේ ඇල්ෆ්‍රඩ් ග්‍රීස් විසින් ඇයව නිවසින් එලවා දැමීමය.

මෙම පිටමං වීම ඇයට කිසිදු ප්‍රශ්නයක් නොවූයේ ඒ වන විට ඇය ඒ වන විටත් ස්ථාපිත කර තිබූ අවුට්විෂ් සිර කඳවුරෙහි ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරිනියක ලෙස පත්වීමක් ලබාගෙන සිටි බැවිනි. ඒ හේතුකොටගෙන ඇයට එම කඳවුරෙහි නිල නිවාසයක් ලැබුණ අතර ඉතා කෙටි කලකින් සමස්ත කඳවුරේ දෙවැනියා බවටද පත් වූ බව ඇතැම් වාර්තාවල සඳහන් වේ. දෙවැනියා වුවද, පළමුවැනියා වුවද මේ වන විට කඳවුරෙහි සිටින ඕනෑම සිරකරුවෙකුගේ හෝ සිරකාරියකගේ ඉරණම තීන්දු කිරීමේ බලය රැඳී තිබුණේ ඇය අතය.

ඒ අනුව ඇතැම් විටක තරුණ සිරකරුවන් නිරුවත් කොට හිස මත බරැති කලු ගල් තබාගෙන ඉන්නට සැලැස්වූ ඇය ඔවුන් දවස මුළුල්ලේම දිය බිඳක් හෝ නොමැතිව හිඳ මැරී වැටෙනු බලා මහත් සතුටක් ලැබුවාය.

හිට්ලර්ගේ වධකයන් අතර සිටි තවත් බිහිසුණු මෘගයෙකු ලෙස ප්‍රකට වෛද්‍ය ජෝශප් මෙන්ගල් සමග ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගා ගත් ඇය ඔහුගේ පරීක්ෂණ සඳහා අවශ්‍ය තරුණ තරුණියන් තෝරා යැවීමද කරනු ලැබුවාය. මෙම පරීක්ෂණවලදී අමු අමුවේ කපා කොටනු ලැබූ තරුණ තරුණියන් නැගූ මර ළතෝනියට ඔවුන් සවන් දුන්නේ මිහිරි සංගීතයක් රස විඳින කලෙක මෙනි. ඊට අමතරව විකෘති කාමුකයෙකුද වූ වෛද්‍ය මෙන්ගල්ගේ සංතෘප්තිය උදෙසා තරුණියන් සැපයීම සිදු කෙරුණේද ඇය අතිනි. ඔහුට නොදෙවෙනි මානසික තත්ත්වයකින් යුතු ඉර්මාද සෑම රාත්‍රියක් පාසාම තමාගේ ලිංගික වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා සිරකරුවන් අතුරින් තරුණයෙකු හෝ තරුණියක තෝරා ගත්තාය. පසුවදා උදැසන වන විටදී ඔවුන් අනිවාර්යයෙන්ම ඝාතනයට ලක්වූ අතර, ශිෂ්ණය ඡේදනය කරනු ලැබූ තරුණයන්ගේ මළ සිරුරු තැන් තැන්වල එල්ලා තැබිණි. සිය ඝාතන වලදී පැහැපත් වූත්, පිරුණ අඟ පසඟින් යුතු වූත් යුදෙව් තරුණියන්ට ඇයගෙන් කිසිදු ගැලවීමක් නොලැබුණ අතර ඔවුන් කෙරෙහි වූයේ නොසන්සිඳෙන වෛරයකි. ඒ වන විට ඇගේ එකම ආගම වී තිබුණේ යුදෙව්වන් යනු කෲර ලෙස වධ දී ඝාතනය කොට ලොවෙන් තුරන් කළ යුතු ජාතියක් ලෙසය.

ඇයව සිරභාරයට පත් වීමෙන් අනතුරුව මනෝ විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබුවේ හිට්ලර්ගේ නාසිවාදීන් වැඩි දෙනකුට පොදු වූ එක්තරා මානසික ව්‍යාධියකින් ඉර්මාද පෙළෙමින් සිටි බවය. යුද්ධයෙන් ජර්මනිය පරාජය වීමෙන් අනතුරුව පැවැති නියුරම්බර්ග් නඩු විභාගයේදී එල්ලුම් ගසට නියම වූ ඇයව එල්ලා මැරීමේ කාර්යය ඉටු කරනු ලැබුවේ මේජර් රිචඩ් ඇන්තනි විසිනි. ඔහු පවසා තිබුණේ අවසාන මොහොතේදී පවා ඇගේ සුන්දර නෙත් යුවළේ මරණ දඬුවම පිළිබඳව අල්පමාත්‍ර වූද බියක් පිළිඹිබු නොවූ බවය.

ඇගේ අවසාන ඉල්ලීම වූයේ හැකි ඉක්මනින් තමාව එල්ලා දමන ලෙසය.

තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment