දවසක් වයස සන්ධානයකට මෛත්‍රීගේ විරෝධය

461

දේශපාලන කරළියේ තවත් බොහෝ දේ සිදු වූ සතියක් ලෙස පසුගිය දින කීපය ඉතිහාසයට එක් විය. ඒ අතරින් දේශපාලන කතිකාවේ උණුසුමින් කතාබහට ලක් වූ සිද්ධියක් ලෙස මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සතියේ ලබාදුන් තීන්දුව කැපී පෙනෙන්නට විය. සැබැවින්ම මේ තීන්දුව නිසා ලොකු දේශපාලන පෙරළියක් සිදු වූවා යයි කිවහොත් එය නිවැරදිය.

පාස්කු ප්‍රහාරය වළක්වා ගන්නට කටයුතු කළේ නැතැයි කියා හිටපු ජනාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කීප දෙනකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පනවා තිබූ නඩුවේ තීන්දුව පැමිණියේ පසුගිය සතියට පෙර සතියේ ය. තීන්දුවට අනුව එම අනතුර වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම හේතුවෙන් වරදකරුවන් වූ හිටපු ජනාධිපතිවරයාටත් අදාළ ආරක්ෂක ප්‍රධානීන්ටත් වෙන වෙනම දඩ මුදල් නියම කර තිබුණි. මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අයවිය යුතු දඩ මුදල රුපියල් මිලියන 100කි. එනම් කෝටි දහයකි. එම දඬුවම නියම වීමත් සමගම මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ සමීපතමයන් දැඩි කම්පනයකට පත්ව අදහස් ප්‍රකාශ කරන්නට පටන් ගත්හ.

ඒ තීන්දුව එන විට දේශපාලන කරළියේ වැඩි දෙනකුගේ අවධානය යොමු වී තිබුණු කාරණය වූයේ “නිදහස් ජනතා සන්ධානය” යනුවෙන් අලුත් දේශපාලන බලවේගයක් නිර්මාණය වීමයි. මාස ගාණක් තිස්සේ කෙරුණු සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් ඩලස්ලාගේ නිදහස පවුරත්, විමල්-උදය වාසු ගෙවිඳු ඇතුළු කණ්ඩායමක් ම සිටින උත්තර ලංකා සභාගයත්, අනුර යාපාලගෙ කණ්ඩායමත් සමසමාජ කොමියුනිස්ට් පක්ෂත් එක්ව හෙලිකොප්ටරය නමැති පොදු ලකුණකින් ඉදිරි මැතිවරණ සඳහා තරග වදින්නට නිදහස් ජනතා සන්ධානය පිහිටුවා ගත්තේ පසුගිය එකොළොස් වැනිදා ය.

● නඩු තීන්දුව නිසා මෛත්‍රී පියවරක් පස්සට…

මේ සංවිධානය පිළිබඳ ලොකු කතාබහක් රටේ ඇති විය. ඇතැම් දේශපාලන බලවේග මෙම අලුත් සන්ධානය නිසා කලබලයට පත්ව සිටියහ. පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂලාගේ කඳවුරේ සිටි සාපේක්ෂව දූෂණ චෝදනා නොමැති හා අඩු දේශපාලනඥයින් ලෙස සැලකෙන කණ්ඩායමක් මේ ආකාරයට එකට ගොනුවී කරළියට ඒම සම්බන්ධයෙන් බොහෝ ඉහළ පෙළේ දේශපාලනඥයින්ට තිගැස්මක් ද තිබිණි.

කෙසේ වෙතත් මේ පුළුල් සන්ධානය 11 වැනිදා බිහි වී අවසන් විය. 12 වැනිදාට එළි වන විටත් එම පුළුල් සන්ධානයේ පුරෝගාමී නායකයකු ලෙස අවිවාදයෙන් සැලකුණු මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉහත තීන්දුව ලබා දෙන්නේ 12 වැනි දාය.

එම තීන්දුවත් සමගම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා දේශපාලනික වශයෙන් පුළුල් පරිවර්තනයකට බඳුන් විය. ඔහු “දවසක් වයසැති” අභිනව සන්ධානයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන්නට පටන් ගත්හ. ඒ සමඟම ඔහු තවත් හරි අපූරු කතාවක් කියන්නට විය.

“කෝටි දහයක් ගෙවන්න මට පුළුවන් කමක් නෑ. මට එච්චර ධනයක් නෑ. එච්චර වත්කමකුත් නෑ. ඒ මුදල ගෙවන්න නම් මට හිඟා කන්න සිද්ධ වෙනවා.”

මෛත්‍රීපාලගේ එම ප්‍රකාශය මාධ්‍ය මගින් ප්‍රචාරය වන්නට විය. ඒ අතරතුර අපි කවුරුත් නොදන්නා තවත් සිද්ධියක් සිදු වී තිබිණි.

පාස්කු නඩුවේ දී මෙන්ම මෛත්‍රීපාල සිරිසේනගේ සියලු නඩුහබවලදී ඔහු වෙනුවෙන් ඉදිරිපත්වූ ඉහළ නීතිඥයා නීතිඥ ෆයිසර් මුස්තාපා ය. ෆයිසර් මුස්තාපා විශේෂ සාකච්ඡාවක් සඳහා මෛත්‍රීපාල හමු වන්නට ගියේය. සාකච්ඡාවේ තොරතුරු එළියට අනාවරණය වූයේ නැතත් එය දේශපාලනාත්මක ලෙස දැඩි තීන්දු කීපයක් ගත් සාකච්ඡාවක් ලෙස බොහෝ දෙනාගේ නිරීක්ෂණයට බඳුන් වූහ.

ඉන්පසුව මෛත්‍රීපාල සිරිසේන 11 වැනි දා සිට කියමින් සිටි හෙලිකොප්ටර් ලකුණෙන් ඡන්දය ඉල්ලන කතාව අවසන් විය. යළිත් ශ්‍රීලනිපය අත ලකුණින් ඡන්දය ඉල්ලන ආරංචිය සමාජගත විය. ඉන් පසුව එළඹි 13, 14, 15 දිනයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මක විය. දේශපාලන අභ්‍යන්තරයේ ආන්දෝලනාත්මක තීන්දු ගණනාවක් ගැනීමට රහසිගත සාකච්ඡා සහ මෙහෙයුම් ගණනාවක් ම එම දින කීපය තුළ සිදුවිය.

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම පෙළේ තමන්ට හිතවත් නිලධාරීන් පිරිසකගෙන් සැදුම්ලත් දේශපාලන මණ්ඩලය කැඳවණු ලැබීය. ඔහු එහිදී කතා කළේ තමන් වන්දි මුදල ගෙවන්නේ කෙසේද කියා නොවේ. හෙලිකොප්ටරය සමඟ ඉදිරියේදී දේශපාලනය කරන්නේ කෙසේද කියාය.

එතන සිටි ඉහළ නිලධාරීන් දහතුන් දෙනාගෙන් දොළොස් දෙනෙකුම එක් පැත්තක් ගත්හ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් ඡන්දය ඉල්ලිය යුතු බව ඔවුන්ගේ මතය වූහ. ඇතැම් අය යෝජනා කළේ හෙලිකොප්ටර සන්ධානයෙන් ඉවත් වන්නටය.

අවසානයේ අත ලකුණෙන් ඡන්දය ඉල්ලන්නට තීන්දුවක් ගනු ලැබූහ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍යවලට එක් එක්කෙනා කියූ අදහස් විවිධ වූහ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිලංග සුමතිපාල, දයාසිරි ජයසේකර ඇතුළු කණ්ඩායමක් ම මෛත්‍රීපාල සිරිසේනගේ මතය සමග එකඟ ව සිටියේ නැත. ඔවුන්ගේ තර්කය වෙනස් එකක් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසිදායක යම් යම් ස්ථානවල අත ලකුණෙන් ඉල්ලන්නටත් සන්ධානයට වාසිදායක සංවේදී දිස්ත්‍රික්කවල හෙලිකොප්ටරයේ ලකුණෙන් සන්ධානයෙන් තරග වදින්නටත් ගත් තීන්දුවේ වෙනසක් නැති බව ඔවුන් තරයේ ම කියා සිටියහ.

මේ අතරතුර පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන සමග යම් විරසකයකට පැමිණ සිටි ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් හා වගකීම්වලින් නිදහස් වෙමින් ඉල්ලා අස්විය. ඔහු ඒ සඳහා දිගු හේතු දැක්වීමක් ද ලිපියක් ලෙස පක්ෂ නායකයා වෙත ලබාදී තිබිණි.

තත්ත්වය මෙසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල සමග පවත්වාගෙන ගිය සම්බන්ධතා අත්හැර ගත්තේද නැත. තිලංග හා දයාසිරි සිටියේ එක මතයකය. අලුතෙන් පිහිටුවාගත් නිදහස් ජනතා සන්ධානය සමග පළාත් පාලන මැතිවරණයට තරග වැදිය යුතු බව ඔවුන් එකහෙළා පිළිගත්හ. එහෙත් මෛත්‍රීපාල සිරිසේනගේ කණ්ඩායම සමග දැඩි විරසකයට නොගිය ඔවුන් දිස්ත්‍රික්ක කීපයක ඇතැම් ආසන අත ලකුණෙන් තරග වදින්නටත් ඉතිරි බහුතර ස්ථාන යෝජිත හෙලිකොප්ටර් ලකුණින් තරග වදින්නටත් එකඟත්වයක් ඇතිකර ගත්හ.

● තෛපොංගල් බලන්න ජනපති යාපනේ ගිහින්

මොන අභියෝග පැමිණියත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සියල්ල ඉවසුවේ සුපුරුදු උපේක්ෂාවෙන් යුතුව ය. කරන්න තිබෙන හැම වැඩක්ම ඔහු කළේය. අනෙකුත් පක්ෂ නායකයෝ සියලුම දෙනා පළාත් පාලන මැතිවරණය සඳහා අවධානය යොමු කරමින් කටයුතු කළත් රනිල් ඒ ගැන සැලකිල්ලක් දැක්වූයේ නැත.

“ඒක මට අයිති වැඩක් නෙවෙයි. පක්ෂයේ නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලො ඒක බලා ගනීවි. මට තියෙන්නෙ මේ වෙලාවේ වැටිච්ච රට ගොඩගන්න උපක්‍රම සොයන එක.” ජනාධිපති රනිල් මේ ගැන විමසන විට කීවේ එයයි.

පසුගිය සති අන්තයේ තෛපොංගල් උත්සවය සඳහා ඔහු යාපනය බලා පිටත්ව ගියේය. සාමාන්‍යයෙන් මීට පෙර සිටි රාජ්‍ය නායකයෝ සියලුම දෙනා මෙවන් දෙමළ සංස්කෘතික උත්සව සමරන්නේ කොළඹ ජනාධිපති මන්දිරයේ සිට ය. එසේත් නැතිනම් දෙමළ ජනතාව වැඩිපුර වෙසෙන නුවරඑළියේ හෝ හැටන් තලවකැලේ ප්‍රදේශයේ සිට ය. එහෙත් රනිල්ට ඒ සඳහා යාපනයට යෑමට අවශ්‍ය විය. යාපනයේ දී සියලු සම්බන්ධීකරණ කටයුතු හා මෙහෙයුම් කටයුතු භාර ගත්තේ ඩග්ලස් දේවානන්දයි. රනිල් සමග සාගල රත්නායකත් එම ගමනට සහභාගී වී සිටියේය.

ජනාධිපති යාපනයට පැමිණෙන බව දැනගත් එක්තරා දේශපාලන කණ්ඩායමක් යාපනය ප්‍රදේශයේ රනිල්ගේ පැමිණීමට විරෝධය දක්වමින් විරෝධතාවයක් ද පවත්වනු ලැබුවත් ජනාධිපති රනිල් ඒ කිසිවක් මායිම් කළේ නැත.

“තෛපොංගල් කියන්නේ සර් සංස්කෘතික උත්සවයක්. බොහොම අහිංසක නිදහස් සාමකාමී උත්සවයක්. මේ වගේ උත්සවයක් එක්ක අපි විරෝධතා ව්‍යාපාර කරන්නේ නෑ. දැන් දේශපාලනය කරන සමහර අයට මේ වගේ වටින සංස්කෘතිකාංගවල හරය අමතක වෙලා. ඒකයි මේ විරෝධතාවන් දක්වන්නේ…” ඩග්ලස් ජනාධිපතිවරයාට එසේ කීවේ තම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සමාව ඉල්ලන්නාක් මෙනි. එහෙත් ජනාධිපතිවරයා එය එතරම් සැලකිල්ලට ගෙන තිබුණේ නැත.

ඉරිදා රාත්‍රිය යාපනයේ ගත කළ ජනාධිපතිවරයා පසුදා පාන්දරම කොළඹ පැමිණියේය. එදින ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඇතුළු කැබිනට් රැස්වීම් ආදී විශේෂ සාකච්ඡා ගණනාවක් ම තිබිණි. රටේ මූල්‍ය තත්ත්වය පරිපාලනය කර ගැනීම සඳහා විශේෂ තීන්දු තීරණ කිහිපයක්ම ගත යුතු විය. ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරු හා ඇමැතිවරු සමග දිගින් දිගටම සාකච්ඡා කළේය. රට වෙනුවෙන් ගතයුතු අසීරු තීන්දු රැසක් ගන්නට ඔහුට සිදුවිය.

රජයේ සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා ගෙවීම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ විවිධ අදහස් පළ විය. රාජ්‍ය සේවක වැටුප දෙපාරකට ගෙවීම, රජයේ මාණ්ඩලික සේවයේ වැටුප් ප්‍රමාද කිරීම, විශ්‍රාම වැටුප් හා සමෘද්ධි දීමනා ගෙවීම ප්‍රමාද කිරීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡාවට බඳුන් වූහ.

රජයේ මෙවන් බැරෑරුම් තීන්දු ගනිමින් සාකච්ඡාවේ සිටියදී ඇතැම් මන්ත්‍රීවරුන්ට ප්‍රශ්නය වූයේ පළාත් පාලන මැතිවරණය ගැනය… එය පවත්වනවාද නැද්ද යන කාරණය පවා විමසා සිටියහ.

ජනාධිපතිවරයා කිව්වේ එය තමන්ට අයිති කාර්යයක් නොවන බවය. මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු මැතිවරණ කොමිසම ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇතැයි ජනාධිපති කීවේය.

● සිස්ටම් චේන්ජ් ගැන වජිර කියන කතාවක්

පහුගිය සෙනසුරාදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන තකහනියෙම ගාල්ලට ගියේ ගාලු නගරයේ නවීකරණය කරන ලද නව පුරහල ජනතා අයිතියට පත් කරන්නට ය. මෙම උත්සවයට රමේෂ් පතිරණ ඇමැතිවරයා ද සහභාගි විය. ගාල්ලේ වැඩකට සහ සාමාන්‍යයෙන් නෑවිත් නොසිටින මනුෂ නානායක්කාර පසුගිය දිනවල ඩුබායි ඇතුළු රටවල් කීපයක සංචාරයක නිරත වූ නිසා මෙම උත්සවයට පැමිණ සිටියේ නැත.

නගර ශාලාව විවෘත කිරීමේ උත්සවයට මහ සෙනඟක් පැමිණ සිටියහ. එයා අමතා කතා කරනු ලැබූ වජිර මේ රට මේ දුෂ්කර අවස්ථාවේ නගා සිටුවන්නට ක්‍රියාකරන ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ගැන විශේෂ අගය කිරීමකින් යුතුව කතා කළේය.

“අද අපේ රටට වෙනසක් අවශ්‍ය කර තිබෙනවා. අපේ රටේ තරුණ පරම්පරාව බලාපොරොත්තුවන්නේ සිස්ටම් චේන්ජ් එකක්. මෙන්න මේ නිසා තමයි ජනාධිපතිතුමා දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ ජාතික ප්‍රතිපත්තියක් සහ ජාතික එකඟතාවයක් ඇතිකර ගත යුතුයි කියලා” වජිර රැස්වීම අමතා කතා කරමින් එසේ කීවේය.

● හෙලිකොප්ටරයේ තටු ගැලවෙයිද…?

හෙලිකොප්ටර් සන්ධානය හෙවත් නිදහස් ජනතා සන්ධානයට එය පටන් ගත් දා පටන්ම අභියෝග හා ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවිය.

මුල්ම ගැටලුව වූයේ සන්ධානගතව දවසක් ඇතුළත මෛත්‍රීපාල සිරිසේන ඉන් ඉවත් වන්නට තීරණය කිරීමයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම ප්‍රශ්නය දෙස පුළුල්ව බලා කටයුතු කිරීම හේතුවෙන් ගැටලුව යම් එකඟතාවයකින් නිරාකරණය කරගන්නට දෙපාර්ශ්වයට හැකිවිය.

කළුතර දිස්ත්‍රික්කය වෙනුවෙන් තෝරා ගන්නා ලද කමිටුවේ රැස්වීමත් පසුගිය දිනක වාද්දුවේ පුංචි හෝටලයක පැවැත්වුණේ ජයන්ත සමරවීර මන්ත්‍රීවරයාගේ කැඳවීමක් අනුවය. රෙජිනෝල්ඩ් ඊට සහභාගි වූයේ ශ්‍රී ලංකා එකෙන් පැමිණි එක් නියෝජිතයකු ලෙසයි. උත්තර ලංකා සභාගය වෙනුවෙන් ගෙවිඳු හා ජයන්ත පැමිණ සිටි අතර සෙසු පක්ෂවලින් ද අදාළ නියෝජිතයෝ පැමිණ සිටියහ. දිස්ත්‍රික් කමිටුව සඳහා කැඳවුම්කරුවකු තෝරා ගැනීමට අවශ්‍ය විය. එල්ලාවල මන්ත්‍රීවරයා පැමිණ නොසිටි බැවින් ජයන්ත කීවේ එම කටයුත්ත අපි කල් දමමු කියාය.

ගෙවිඳුගේ අදහස වූයේ අවශ්‍ය ප්‍රධාන පක්ෂවල නියෝජිතයන් සිටින බැවින් තෝරා පත්කර ගැනීම් ප්‍රමාද කළ යුතු නැති බවයි. රෙජිනෝල්ඩ්ගේ මතය වූයේ සමසමාජය වැනි පක්ෂවල නියෝජිතයන් පැමිණ නැති නිසා තව ටිකක් බලමු කියාය.

“සම සමාජ පක්ෂය නියෝජනය කරන්නේ උත්තර ලංකා සභාගය. ඒ වෙනුවෙන් මමත් ජයන්ත සමරවීරත් ඉන්නවා. සාකච්ඡාවේ ඉදිරි වැඩ කටයුතුවලට ඒක බාධාවක් කර ගන්න එපා…” ගෙවිඳු කීය.

රෙජිනෝල්ඩ්ට ගෙවිඳුගේ උත්තරය ඇල්ලුවේ නැත. තමන් වැනි අයෙකුට එසේ කතා කරන්නට එපා යැයි කියමින් ඔහු මදක් උස් හඬින් කතා කළේය.

ගෙවිඳු කරුණු පහදන්නට උත්සාහ කරද්දී රෙජිනෝල්ඩ් කුරේ යළිත් කතා කරමින්… අහගෙන ඉන්න මට කතා කරන්න ඉඩ දෙන්න… යනුවෙන් තර්ක කර ඇත. එහිදී රෙජිනෝල්ඩ් කුරේ සමඟ ශ්‍රී ලංකා නියෝජිතයා ද “සර් කතා කරන්න එපා… සර්ට හොඳ නෑ” යයි කියා තිබිණි. එහෙත් ඒ ආවේගය උත්සන්න වීමෙන් පැමිණි අපහසුතාවක් නිසා රෙජිනෝල්ඩ්ව ඉවතට ගෙන ගොස් තිබිණි.

රෙජිනෝල්ඩ් කුරේ සැත්කමකට බඳුන් කර විවේකීව සිටිය යුතුයැයි වෛද්‍ය උපදෙස් මත සිටින අයෙකු බව සාකච්ඡාවේ සිටි බොහෝ දෙනකු දැන ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙක් නියෝජිතයා එම සිද්ධියෙන් පසු කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුවය.

රෙජිනෝල්ඩ් ව පානදුර පුද්ගලික රෝහලක් වෙතත් එතනින් කළුතර මහරෝහල වෙතත් ඇතුල් කිරීමෙන් පසු තත්ත්වය පාලනය වෙතැයි සෙසු පිරිස විශ්වාස කළහ.

එහෙත් රෙජිනෝල්ඩ් කුරේගේ හදිසි අභාවය සිදු වීමෙන් පසුව ඒ පිළිබඳ ඇතැම් මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වූයේ ද හෙලිකොප්ටරයට ය. නිදහස් ජනතා සන්ධානයට ඒ සම්බන්ධයෙන් ද මාධ්‍යවලට කරුණු පහදන්නට සිදුවිය.

කෙසේ වෙතත් මේ ගැටලු කිසිවකින් ඩලස්ලා විමල්ලා උදයලා වාසුලා හෝ තිලංග සුමතිපාල පසුබට වන බවක් නම් පෙනුනේ නැත. පසුගිය සතිය පුරාම සෙසු පක්ෂ හා සාපේක්ෂව හෙලිකොප්ටර් ලකුණෙන් පැමිණෙන නිදහස් ජනතා සන්ධානය ද විවිධ පළාත්වල විවිධ පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කරමින් ඉදිරිපත් වන ආකාරය අපට දැකගත හැකි විය.

● පුංචි ඡන්ද සටනේ ගැටුම් ඇරඹේ…

පුංචි ඡන්දය පවත්වන්නට කිසිදු නීතිමය බාධාවක් රට තුළ තිබුණේ නැත. එහෙත් පුංචි ඡන්දයක් වැනි යමක් මෙවන් අසීරු මොහොතක පවත්වන්නට තරම් ආර්ථික ශක්තියක් රටට නැතැයි යන තර්කය පසුගිය සතියේ එහෙන් මෙහෙන් ඉතා ප්‍රබලව ඇහෙන්නට පටන් ගත්තේය.

විශේෂයෙන්ම ඒ පිළිබඳ නව තර්ක විතර්ක ඇහෙන්නට වූයේ ආණ්ඩුවේ ඒ ඒ පාර්ශ්වයන්වලිනි. ආණ්ඩුවේ ඇමැතිවරු ඒ සම්බන්ධයෙන් කතා කළේ විවිධ තර්ක ද ඉදිරිපත් කරමිනි. ඡන්දෙ තිව්වොත් වී ටික මිලදී ගන්නට රජයට බැරි වෙයි… එක් පිරිසක් කීහ.

ඡන්දෙ තිව්වොත් රටට උවමනා බෙහෙත් ටික ගෙන්න ගන්න බැරි වෙලා බෙහෙත් හිඟයක් රටේ ඇති වෙයි… තවත් පිරිසක් තර්ක කළහ. ඡන්දෙ තිව්වොත් ආයෙත් ඉන්ධන හිඟයක් ඇති වෙලා ඉන්ධන පෝලිම් නිර්මාණය වෙන්න පටන් ගනියි… තවත් කට්ටියක් තර්ක කළහ.

ඡන්දෙ තිව්වොත් විදුලි බලයට අවශ්‍ය ඩීසල් ටික, ගල් අඟුරු ටික ගෙන්න ගන්න බැරි වෙලා ආයෙත් පැය හත අටක් ලයිට් කපන්න වෙයි.. මේ ආකාරයේ තර්ක විතර්ක දේශපාලන කරළියේ මතුවෙමින් විවිධ පීඩනයන් ජනතාව වෙත එල්ල වෙමින් පවතින අතර වාරයේ පුංචි ඡන්දයේ ජයග්‍රහණය ලබා අවසන් වූ කණ්ඩායම් ද සිටියහ.

ඒ අතර සමගි ජන බලවේගයේ හා ජාතික ජන ජනබලවේගයේ ගැටුම ද අපේ දේශපාලන කරළියේ කැපී පෙනෙන කාරණාවක් විය. සමගි ජන බලවේගය කල්පනා කළේ තමන්ගේ නිසර්ග සිද්ධ ජයග්‍රහණයට මේ රටේ ඇති ලොකුම බාධකය ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගය කියාය. ඒ නිසා සමගි ජන බලවේගය සෑම වේදිකාවක දීම සෑම රැස්වීමකදී ම ජවිපෙට මදි නොකියන්නට විවේචනය කරන්නට වූහ.

මේ තත්ත්වයෙන් උත්තේජනය ලත් ජාතික ජාතික ජන බලවේගය ද නිකන් සිටියේ නැත. ඔවුන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් සිය ප්‍රමුඛ ප්‍රතිවාදියා වූ අලි පොහොට්ටු හවුලට වඩා සතුරු කොට සැලකූවේ සමගි ජන බලවේගයයි. පසුගිය දිනවල දේශපාලන කරළියේ පැවති සෑම දේශපාලන සංවාදයක දී ම මේ දේශපාලන ගැටුම අපට පැහැදිලිව දකින්නට ලැබිණි.

● ඡන්දය කල් දාන්න ආණ්ඩුවෙන් පනතක්

මෙම පනත ගෙන එන්නේ ඡන්දය කල් දමන්නට යැයි විපක්ෂයේ පක්ෂ චෝදනා කළහ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී ඉතා දැඩි ලෙස කියා සිටියේ ඡන්දය කල් දමන්නට කිසිදු අයුරකින් ඉඩ නොතබන බවයි. ඔහු දැඩි ආවේගයකින් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කළහ.

“ ඡන්දය කල් දමන්න එපා කියලා මෙතන ඇවිල්ලා සමහර අය ගිරිය පුප්පන් බෙරිහන් දෙනවා… ඒ උනාට එළියෙදි හම්බ උනාම කියනවා… අනේ ඇමැතිතුමා. කොහොම හරි මේ ඡන්දය අපිට කල් දාලා දෙන්න කියලා. ඒක නෙවෙයිද ඇත්ත… ඒක නෙවෙයිද ඇත්ත කියමින් විජයදාස රාජපක්ෂ මේ අවස්ථාවේ රහසක් හෙළිදරව් කර සිටියේය.

“මම නම් කොයි තැනකදිවත් ඡන්දය කල් දාලා දෙන්න කියලා ඔය කියන විදියට ඉල්ලීම් කරල නෑ… මං දන්නෑ අනිත් කවුරු හරි කරලා තියෙනවද කියලා…” සජිත් උත්තර දුන්නේ ය.

කෙසේ වෙතත් මේ පිළිබඳව අනිකුත් පක්ෂ සමග සාකච්ඡා කරන්නට පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නයි ජනාධිපති කථානායකවරයාට උපදෙස් දුන්නත් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක වන සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය ඊට අනුකූලතාවක් දැක්වූයේ නැත.

● ආණ්ඩුවේ ගැට ගැන අනුර කිව්ව කතාව

පසුගිය (17) වැනිදා අධිකරණ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීම පැවැත්විණි. එහිදී ද විපක්ෂය පැත්තෙන් ඉල්ලීම් ආවේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දමන ලෙසය. එමෙන්ම පාර්ලිමේන්තු සභා කටයුතු පිළිබඳ කාරක සභාවේදී ද මේ ඉල්ලීමම ඉදිරිපත් විය.

මේ විරෝධයන් උත්සන්න වනවිට ජනාධිපතිවරයා තීරණය කළේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකවරුන් හමුවන්නටය. ඒ පාර්ලිමේන්තුවේදීය. නමුත් ජනතා විමුක්ති පෙරමුණ හා සමගි ජන බලවේගය මෙම හමුව වර්ජනය කළහ. මේ මොන විරෝධතා එල්ල වුවත් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඒ හමුවේදී රජය තීරණය කළහ.

අනුර කුමාර එම පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් ඉල්ලීය. ඒ වනවිට පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණි. අනුරගේ අදහස වූයේ එහි වාසිය ගනිමින් පුනරුත්ථාපන පනත පරාජය කිරීමය. නමුත් වූයේ අනෙකකි. අනුරගේ ඉල්ලීම අනුව කථානායකවරයා විසින් මන්ත්‍රීවරුන් කැඳවීමේ සීනුව නාද කළේය. ඒ සමඟම පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිටි ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් සභා ගර්භයට පැමිණියහ. ඇමැති ප්‍රසන්න ද දුරකතන ඇමතුම් දෙමින් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සභාවට කැඳවා ගැනීමේ මෙහෙයුමක් දියත් කළහ.

එහෙත් ඒ වනවිටත් විපක්ෂයේ සිටියේ මන්ත්‍රීවරුන් දහ දෙනෙකුටත් අඩු පිරිසකි. මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය වීමත් සමඟ ඇමැති ප්‍රසන්න පාර්ලිමේන්තුවේ සිය කාමරයට පැමිණ නිලධාරියකු ලවා සියලුම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ නම් ලැයිස්තුව ගෙන්වා ගත්තේය.

“මම මේ හැමෝටම අද රෑට කතා කරනවා. හැම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයකුම තමන්ගේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් හෙට පාර්ලිමේන්තුට ගෙන්වා ගන්න ඕන.”

කී ලෙසම ඇමැතිවරයා එදින රාත්‍රි සෑම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයකුටම පුද්ගලිකව කතා කළේය. ඊට අමතරව ඔහු වට්ස්ඇප් මගින්ද අදාළ පණිවිඩය දැන්වීමට කටයුතු කළේය.

ඒ අතරදීත් ආණ්ඩු පක්ෂ කාර්යාලයෙන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට ඇමතුම් ලබාදුන්නේය.

බොහෝ මන්ත්‍රීවරුන් සිටියේ කොළඹින් පිට මැතිවරණ කටයුතුවල නිරතවෙමිනි.

“අපි ඡන්ද වැඩවල. හදිසියේම කොළඹ එන්න විදියක් නෑ” බොහෝ දෙනෙකුගේ පිළිතුර විය.

“මේ වැඩේ හරියන්නේ නෑ” එසේ කී ඇමති ප්‍රසන්න ආණ්ඩුවේ සහකාර සංවිධායකවරුන් තිදෙනා කාර්යාලයට කැඳවීය.

ඒ අනුව කෝකිලා හර්ෂණි හා මධුර විතානගේ කාර්යාලයට පැමිණි අතර තිස්ස කුට්ටිආරච්චි සම්බන්ධ කරගත නොහැකි විය.

“මට එන්න වාහනයක් නෑ” තිස්ස කුට්ටිආරච්චි ආණ්ඩු පක්ෂයේ නිලධාරින්ට පවසා තිබේ.

“ඔයාල දෙන්න සියලුම මන්ත්‍රීවරුන්ට වෙන වෙනම කතා කරල හෙට අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු එන්න කියන්න.”

ඇමැති ප්‍රසන්න කීවේය. ඒ අතරදී ඇමැති ප්‍රසන්න පුද්ගලිකවම තිස්සකුට්ටිආරච්චි කොහිදැයි සොයා බැලීය.

ඇමැති ප්‍රසන්නට පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් දැන ගන්නට ලැබුණේ තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි. ඔහු පැමිණි වාහන අංකය පවා සොයා ගත් ඇමැතිවරයා තිස්ස කුට්ටිආරච්චිට දෝෂාරෝපණය කළේය.

බ්‍රහස්පතින්දා දහවල් කාලයේදී ද ඇමැති ප්‍රසන්න කාර්යාලයේ නිලධාරින් ලවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කතා කරමින් ඔවුන් කොහිදැයි සොයා බැලීය.

කෙසේ වෙතත් එදින දහවල් වනවිට ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට ගෙන්වා ගන්නට ඇමැති ප්‍රසන්න සමත් විය.

“සර්.. විපක්ෂයේ මන්ත්‍රීවරුන් නෑ. අපි ඡන්දයකට ගිහිල්ලා පනත සම්මත කරගනිමු.”

ඒ යෝජනාව ආවේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතරිනි. එහෙත් ඇමැතිවරයා එයට එකඟ නොවීය.

“ඒක නරක පූර්වාදර්ශයක් වේවි. විපක්ෂයේ කතිකයෝ නැත්නම් අපේ පැත්තෙන් දාල කතා කරමු” ඇමැතිවරයා කීය.

ඒ අනුව ශෙහාන් සේමසිංහ, ජානක වක්කුඹුර වැනි රාජ්‍ය ඇමැතිවරුන් ලවා විවාදය දිගටම කරගෙන ගියේය.

“දැන් මේකට විපක්ෂය සංශෝධන ගෙනාවොත් අපි මොකද කරන්නේ” ඇමැති ප්‍රසන්න අගමැතිවරයාගෙන් විමසීය.

ඒ අනුව අගමැතිවරයා විජේදාස රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග යන ඇමැතිවරුන් හා මන්ත්‍රී වජිර අබේවර්ධන සිය කාර්යාලයට කැඳවීය. අගමැතිවරයා සමඟ සාකච්ඡාවේ සිටියත් ඇමැති ප්‍රසන්නගේ සිත තිබුණේ සවස පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්ද විමසීම ගැනය. එබැවින් ඔහු නිලධාරින් ලවා ඒ ගැන සොයා බැලීය.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් 97 දෙනකු සභාවට ගෙන්වා ගැනීමට ඇමැති ප්‍රසන්න සමත් විය. මැතිවරණ වියදම් නියාමන කිරීමේ පනතට පක්ෂව ඡන්ද 97ක් හා විපක්ෂව ඡන්ද 36ක් ලැබී තිබුණි.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment