දවස් තුනයි – සමස්ත ලංකා වාර්තා 11 යි

135

ඩී.එම්.අයි.ඩී. කරුණාරත්න

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් දැන් ක්‍රියාත්මක සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය වූ ඊයේ (04 වැනිදා) දිනය නිමා වන විට නව තරග වාර්තා 11 ක් බිහි කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ඉකුත් සිකුරාදා (02) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණු මෙවර තරගාවලියේ සමාප්ති උත්සවය හෙට (06දා) පස්වරු 3.00 ට ආරම්භ කිරීමට නියමිතය.

අවුරුදු 18 න් පහළ බාලක මීටර් 100 ඉසව්ව ජයගත් මාතර ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ දිනෙත් ඉඳුවර වීරරත්න (තත්.10.69) ක කාලයක් වාර්තා කළ අතර ඔහු මීටර් 200 ඉසව්ව ද තත්. 21.73කින් නිම කරමින් එම ඉසව් දෙකේ ම වාර්තා පිහිටුවීමට සමත් වූයේය.

අවුරුදු 18 න් පහළ බාලක යගුලිය දැමීම ඉසව්ව ජයගත් පානදුර රාජකීය විදුහලේ ඩබ්ලිව්. ජයවී රත්හිඳ (මීටර් 16.94) සහ අවුරුදු 20 න් පහළ බාලක යගුලිය දැමීම ඉසව්ව ජයගත් මාතර රාහුල විදුහලේ ඩබ්ලිව්. එම්. උවිඳු සුධාරක විජේසිංහ මීටර් 15.43) ද නව වාර්තාවන් තැබූහ.

අවුරුදු 20 න් පහළ බාලිකා යගුලිය දැමීම ඉසව්ව ජයගත් කොළඹ බිෂොප් විද්‍යාලයේ ඔවිනි චන්ද්‍රසේකර (මීටර් 12.72), අවුරුදු 14 න් පහළ බාලක මීටර් 100 ඉසව්ව ජය ගැනීමට සමත් වූ හම්බන්තොට කණුමුල්දෙනිය ජාතික පාසලේ එච්.ජී.ටී. තුෂාන් කුමාරනායක අවසාන පූර්ව තරගයේදී (තත්. 11.85), අවුරුදු 16 න් පහළ බාලිකා මීටර් 100 ඉසව්ව ජයගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ශේෂා උමායා රත්නායක (තත්. 12.64) ද වාර්තා කළ දක්ෂතාවයන් නව වාර්තා ලෙස සටහන් විය.

අවුරුදු 20 න් පහළ බාලක මීටර් 110 කඩුළු මතින් දිවීම ඉසව්ව ජයගත් කොළඹ රාජකීය විදුහලේ ඩී. එම්. නදුන් බණ්ඩාර (තත්. 14.01), අවුරුදු 20 න් පහළ බාලිකා මීටර් 400 ඉසව්ව ජයගත් වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ඩී.එම්.අයි.ඩී. කරුණාරත්න (තත්.54.22) සහ අවුරුදු 14 න් පහළ බාලිකා දුර පැනීමේ ඉසව්ව ජය ගත් දික්වැල්ල විජිත මධ්‍ය මහා විදුහලේ එන්.ඩබ්ලිව්. එෂානී ෂෙහාරා (මීටර් 5.32) ද නව වාර්තා පිහිටුවනු ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වූහ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment