දශක පහක් පැන්න ලංකාවේ මුල්ම තොරණ මෙන්න

266

71 කැරැල්ල, පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය විසින් තොරණ ප්‍රදර්ශනයට බාධා සිදුකරයි

විවෘත කරන්නට ආ අගමැති බණ්ඩාරනායකට ගුවනින් මල් ඉහලා

තොටළඟ තොරණ ජපන් ගෙන යයි

මෙරට පමණක් නොව විදෙස් රටවල පවා ප්‍රකට තොටලඟ තොරණ මුල්වරට ඉදි කොට මේ වන විට වසර 66ක් ගතවී ඇත. එහි ඉතිහාසය පිරික්සා බලන විට වාර්තාවන තොරතුරුවලට අනුව එකල තොටළඟ තොරණ ඉදි කිරීමට වැය වී ඇත්තේ රුපියල් 7,500 ක් වැනි මුදලක්ය. අඩි 80 ක් පමණ උසකින් යුක්තව ඉදි කරන ලද එම තොරණ ආලෝකවත් කිරීම පිණිස විදුලි බුබුළු 25000ක් පමණ යොදා ගෙන ඇත. එතැන් සිට සෑම වසරකම වෙසක් සමයේ මුල් කරගනිමින් ඉදිකරනු ලබන තොටලඟ වෙසක් තොරණ ඉතිහාසගත වන්නේ මෙරට ප්‍රථම වරට ඉදිකරන ලද වෙසක් තොරණ ලෙසය. එකල නාගලගම් වීදියේ පදිංචිව සිටි ප්‍රකට දානපතියකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වූ විල්බට් පෙරේරා මහතාගේ පෞද්ගලික ධනයෙන් ඉදි කරන ලද තොටළඟ වෙසක් තොරණ එදා මෙදා තුර මෙරට තොරණ කලාව ගත් කල එහි “යෝධයකු” බඳුය. වෙනත් වචනයකින් හැඳින්වුවහොත් සෑම වසරකම වෙසක් උත්සවය නිමිත්තෙන් මෙරට ඉදි කරනු ලබන වෙසක් තොරණ අතරින් සුවිශේෂී වටිනාකමක් ගත් සිරිමත් නිමැවුමක් ලෙස හැඳින්විය හැක. මෙරටට වෙසක් තොරණ හඳුන්වා දීමේ පුරෝගාමියකු වු විල්බට් පෙරේරා එහි ගෞරවය ද සහිතව 1986 වර්ෂයේදී මරණයට පත්වන අතර ඔහු මරණයට පත් වන්නේ තොටළඟ තොරණ ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් බවට පත් වෙමින්ය. එබැවින් සෑම වසරකම ඉදිකරන “තොටළඟ තොරණ” පිළිබඳ කතාබහ කිරීමේදී එම සුවිශේෂී චරිතය අමතක කොට ඒ පිළිබඳ කතා බහ කිරීමට කිසිවෙකුට පුළුවන්කමක් නැත.

උතුම් වූ වෙසක් දින උදා වීමට දින කීපයකට පෙර එක්තරා පුද්ගලයෙක් දිවයින කාර්යාලය වෙත පැමිණියේ එබැවින් විය යුතුය. ඔහු නමින් අනුර පෙරේරා නම් විය. ඔහු අන් කවරෙක්වත් නොව තොටළඟ තොරණ නිර්මාතෘ විල්බට් පෙරේරා ගේ පුතණුවන් අතරින් එක් අයෙක්ය. මෙරට තොරණ කලාවේ පුරෝගාමියෙකු වූ තම පියාණන් පිළිබඳවත් තොටළඟ තොරණ සතු සිරිමත් මතකයන් රාශියක් පිළිබඳවත් වූ රසවත් මතක රැසක් අනුර පෙරේරා විසින් සිහිපත් කර සිටියේ එම හමු වීමේ ප්‍රතිඵලයක් ලෙසය.

දශක පහක් පැන්න ලංකාවේ මුල්ම තොරණ මෙන්න

“මගේ තාත්තා කියන්නේ මීට අවුරුදු හැට හැත්තෑවකට කලින් තොටළඟ ප්‍රදේශයේ හිටිය ධනවත් ව්‍යාපාරිකයෙක්. අදත් තොටළඟ ප්‍රදේශයේ ජීවත්වෙන පැරණි මිනිස්සු ඒ බව දන්නවා. ඒ වගේම මගේ තාත්තා බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙච්ච පුද්ගලයෙක් ලෙස කා අතරත් ප්‍රකටව සිටි කෙනෙක්. තාත්තගෙ සමකාලීන මිතුරන් කියන විදිහට සමාජ සේවය පිණිසත් ඒ වගේම විනෝදය පිණිසත් අත දිග හැරල සල්ලි වියදම් කරන එක තාත්තා පුරුද්දක් විදියට කරගෙන ගිහින් තියෙනව. ඒ කතාව මගේ අම්මත් අපිත් එක්ක නිතර නිතර කියල තිබුණ කතාවක්. ඔහොම ඉන්න අතරේ අපේ ගෙවල් කිට්ටුව ළමා ළපටින් එකතුවෙලා පුංචි තොරණක් ඉදි කරන ආකාරය දැකල තමයි තාත්තා තීරණය කරලා තියෙන්නේ ප්‍රදේශයට ලොකු ගෞරවයක් ගේන්නත් එක්ක එයාගෙ වියදමින් ලොකු තොරණක් ඉදි කරන්න ඕන කියල…”

තම පියාණන් පිළිබඳවත් ඔහුගේ මැදිහත්වීම මත 1956 වර්ෂයේදී මුල්වරට ඉදිකරන ලද තොටළඟ තොරණේ ආරම්භය පිළිබඳව එලෙස අදහස් ප්‍රකාශ කළ අනුර පෙරේරා මහතා ඉන් නොනැවතී තවදුරටත් තොටළඟ තොරණ පිළිබඳ තව තවත් රසමුසු මතක අවදි කරන්නට විය. එකල අද මෙන් දියුණු ප්‍රදේශයක් නොවු තොටළඟට අලුත් ආලෝකයක් එකතු කළ තොටළඟ තොරණ ඉදිකිරීම පිණිස ප්‍රදේශවාසීන් විසින් දරන ලද “වෙහෙස” පිළිබඳ අතීත විත්ති එම අතිතාවර්ජනයට ඇතුළත් විය.

“….ඒ කාලේ අද වගේ පහසුකම් තිබිලා නෑ. එහෙම වුණා කියලා ආවට ගියාට තොරණක් ඉදිකරන එක නෙවෙයි තාත්තගේ හීනය වෙලා තියෙන්නේ. මුදල් කීයක් වියදම් වුණත් කරන දෙය හරියට කරන එක තාත්තගේ පුරුද්දක්. ඒ හින්දා ගමේ හැමෝගෙම සහයෝගය ඇතිව මේ කටයුත්ත ආරම්භ කළාට පස්සෙ හැම කෙනෙක්ම තම තමන්ට පුළුවන් විදිහට ඒ සඳහා සහයෝගය දීල තියෙනව. පුවක් ගස් දෙතුන් සියයක් ඒ සඳහා අවශ්‍යයි කියලා දැනගත්තට පස්සේ මේ පළාතේ එච්චර පුවක් ගස් නැති හින්දා ඒවා යටියන්තොට, රුවන්වැල්ල ප්‍රදේශයෙන් ගේන්න කටයුතු කරල තියෙනව. එහෙම ගේන්න පුවක් ගස් කැලණි ගඟ දිගේ තමයි තොටළඟට ගෙනත් තියෙන්නෙ. මගේ තාත්තගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකළ මුල්ම තොරණේ කතා වස්තුව තමයි “මහා භද්‍රකල්ප කතා වස්තුව”. ඒක ලංකාවේ මුල්වරට ඉදිකළ දැවැන්තම තොරණ හින්දා දස දහස් ගණනක පිරිසක් මේක නරඹන්න ඇවිත් තියෙනව. අපේ රටේ හිටපු අගමැතිවරයකු වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහත්තයා අතින් තමයි එදා තොරණ විවෘත වෙලා තියෙන්නේ. අවස්ථාව වඩාත් අලංකාර කිරීම පිණිස ගුවනින් මල් පවා ඉහළ තියනව. ඒ වගේම නියමිත දින ගණනට වඩා වැඩි දින ගණනක් තොරණ ප්‍රදර්ශනය කරන්නත් සිද්ධ වෙලා තියෙනව. ඒකට හේතුව තමයි රටේ විවිධ ප්‍රදේශවලින් දිනපතා විශාල සෙනඟක් පැමිණීම. එතැනදි තවත් අපූරු සිද්ධියක් සිදු වෙලා තියෙනව. ඒකත් මේ වෙලාවෙදි මතක් කරන්න ඕන …”

දශක පහක් පැන්න ලංකාවේ මුල්ම තොරණ මෙන්න

තොටළඟ තොරණ පිළිබඳව අතීත තතු පැවසීම පිණිස දිවයින කාර්යාලය වෙත පැමිණි අනුර පෙරේරා සතුව පැරණි ලිපි ගොනුවක් ද විය. එහි තිබූ ලිපි ලේඛන අතර තොටළඟ තොරණ පිළිබඳ අතීත විස්තර අඩංගු ලිපි ලේඛන ද කාලයා විසින් දුර්වර්ණ කරන ලද ඡායාරූප එකතුවක් ද විය. එම ලිපි ලේඛන රැගෙන එන ලද්දේ ඔහු විසින් පවසා සිටින දෙය සනාථ කිරීම පිණිස විය යුතුය. වරින් වර එම ඡායාරූප සහ ලිපි ලේඛන පෙන්වමින් ඔහු පවසා සිටින අතීතය අසා සිටීම තුළ වුව ද පහල වන්නේ එකල ලාංකිකයන් සතු හැකියාවන් පිළිබඳ විස්මය දනවන සුළු බවක්ය.

“….මම අපූරු සිද්ධියක් ගැන කිව්වනේ. ඒ ගැන වැඩිදුරටත් විස්තර කරනව නම් තොටළඟ ඉදිකරන ලද “මහා භද්‍රකල්ප කතා වස්තුව” ඇතුළත් තොරණ නරඹන්න ජපන් ජාතිකයන් පිරිසක් සහභාගි වෙලා තිබෙනව. ඒ අය මේ තොරණට කොච්චර වශී වුණා ද කිව්වොත් ඔවුන් තොරණ නැරඹුවාට පස්සේ එය ජපානයේ ප්‍රදර්ශනය පිණිස රැගෙන යන්න පුළුවන්ද කියල ඉල්ලීමක් කරල තියෙනව. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි තොටළඟ තොරණ ජපානයේ පවා ප්‍රදර්ශනය කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ සඳහා තොරණ නිර්මාණය කරපු චිත්‍ර ශිල්පියා, විදුලි කාර්මික ශිල්පියා ඇතුළු තවත් කිහිප දෙනෙකුට සහභාගි වෙන්න පවා අවස්ථාව ලැබුණා. දින ගණනාවක් ජපානය තොරණ ප්‍රදර්ශනය කරල නැවත ලංකාවට ගේද්දි ජපානයේ දී තොරණ සඳහා භාවිත කරපු විදුලි බුබුළු සහ තවත් උපකරණ රාශියක් තෑගි වශයෙන් අපේ රටට ප්‍රදානය කරන්නත් ජපන් ජාතිකයන් කටයුතු කරලා තියෙනව. ලංකාවේ මුල්වරට ඉදිකරපු තොරණ ජපානයේ පවා ප්‍රදර්ශනය වුණේ එහෙමයි …”

දශක පහක් පැන්න ලංකාවේ මුල්ම තොරණ මෙන්න

එවැනි අතීතයක් පසුබිම් කරගනිමින් ආරම්භ වන තොටළඟ තොරණ වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ ඒකාලෝක කරන වෙසක් තොරණ කීපය අතරින් සුවිශේෂී වටිනා වටිනාකමක් හිමි කරගන්නා නිර්මාණයක්ය. මේ වන විට එම කටයුත්ත පිණිස වෙනම සංවිධානයක් පිහිටුවාගෙන ඇති අතර එය නම් කරනු ලබන්නේ තොටළඟ වෛශාඛ්‍යාලෝක සමිතිය නමින්ය. පුළුල් සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන එය විශාල සාමාජිකයන් පිරිසකගෙන් සමන්විත වන අතර මේවන විට තොටළඟ තොරණ ඉදිකරනු ලබන්නේ ඔවුන්ගේ එකමුතුවෙන් සහ සංවිධාන ශක්තියෙන්ය. මේ වන විට ඔවුන් විසින් තොරණ ඉදිකිරීම පිණිස ස්ථිර කොන්ක්‍රීට් කණු තුනක්ද වෙනම කාර්යාලයීය ගොඩනැගිල්ලක්ද පවත්වාගෙන යන අතර එම කොන්ක්‍රීට් කණු ඉදිකරනු ලබන්නේ තොරණේ ආරක්ෂාව පිණිසය. එවැනි ස්ථිරසාර පදනමක් යටතේ වසරකට වරක් මහජන ප්‍රදර්ශනය පිණිස ඉදි කරනු ලබන තොටළඟ තොරණ අවස්ථා කීපයකදී පමණක් මහජනතාවට දැක බලා ගැනීමට නොහැකි මං මේ රටේ පැවැති යම් යම් සිදුවීම් හේතුකොට ගෙනය. 1971 වර්ෂයේ සිදු වූ අප්‍රේල් කැරැල්ල හේතුවෙන් වරක් එය මහජනතාවට දැකබලා ගැනීමට නොහැකි වූ අතර ඉන් අනතුරුව 2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් ද තොටළඟ තොරණ දැකබලා ගැනීමේ අවස්ථාව ජනතාවට අහිමි වූහ. ඉන් අනතුරුව හටගත් කොරෝනා වසංගතයේ හේතුවෙන් තොටළඟ තොරණ පසුගිය වසර දෙක තුළද ජනතාවට දැක බලා ගැනීමට නොහැකි වූහ. කෙසේ වුවද මෙරට ඉදිකරන ලද ප්‍රථම තොරණ ලෙස ඉතිහාසයට එක්වන තොටළඟ තොරණ හෙට උපදින පරපුරට දැක බලා ගැනීම පිණිස මතු මතු ද ඉදිකිරීම ඒ සඳහා ම පිහිටුවා ගත් සංවිධානයේ මූලික අභිලාෂය බවට පත්ව ඇත්තේ තොටළඟ යනු වසරකට වරක් එහි ඉදිකරන තොරණ හේතුවෙන් රටම දන්නා නමක් බවට පත් වීමත් එම ජනප්‍රියත්වය එම ප්‍රදේශයට මහත් ආඩම්බරයක් ගෙන දෙන කරුණක් බවට පත් වීමත් හේතුවෙන් ය.

රුවන් ජයවර්ධන.

advertistmentadvertistment
advertistmentadvertistment